
විදේශ මුදල් සංචිත දුර්වල වීමත් සමඟ මේ වන විට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ආර්ථික අවපාතයක් දක්වා වර්ධනය වී ආර්ථිකයට ජීවය දුන් ක්ෂේත්‍ර රැසකටම දැඩි බලපෑම් එල්ල කරමින් තිබේ. එම පීඩනය රටේ දේශපාලන,ආර්ථික,සාමාජයීය දැවැන්ත පිපිරීමක් දක්වාම විකාශනය වී ඇති අතර, ඒ නිසාම සමස්ත ජනතාවටම දැඩි දුෂ්කරතා රැසකටම මුහුණ දෙන කාලසීමාවක් ගත කිරීමටද සිදු වී ඇත.
රට තුළ ඇති වී තිබෙන මේ දැවැන්ත ආර්ථික අර්බුදයට බලපෑ සැබෑ හේතු මොනවාද? එම අර්බුදයට අප රට මුහුණ දෙමින් සිටින ආකාරය නිවැරැදිද?එකී අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් යළිත් ප්‍රකෘතිමත් ලෙස නැඟී සිටීමට අප රටට හැකි වේවිද?ආර්ථික අර්බුදයේ බලපෑමට ගොදුරු වූ ක්ෂේත්‍ර රැසක ව්‍යාපාරිකයෝ "සිළුමිණ" සමඟ දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සකස් වී තිබේ.
පළමුව අප සමඟ අදහස් දැක්වීමට එක් වූයේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රධානතම ඉදිකිරීම් සංගමයක් ලෙස පිළිගැනෙන ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චිය. ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ සෘජුව හා වක්‍රව ලක්ෂ 12 කට වැඩි පිරිසක් සිය ජීවිකාව පවත්වා ගෙන ගිය බවත්, දැනට පවතින වාතාවරණය හේතුවෙන් ඉන් බොහෝ පිරිසකට සිය ආදායම් මාර්ග අහිමි වී ගොස් ඇති බවත් සඳහන් කළ හෙතෙම පවතින මෙම තත්ත්වයට වත්මන් රජය සෘජුවම වගකිව යුතු බවත් සඳහන් කළේය.
තමන් මෑතකදී අගමැතිතුමාවද හමුවී ඉතාම සද්භාවයෙන් යුතුව යෝජනා රැසක් ඉදිරිපත් කළ බවද පැවසූ ඔහු මුදල් අමාත්‍යාංශයේ තනතුරු සඳහා ව්‍යාපාරිකයන් පත් නොකරන ලෙසත්, රජයේ ප්‍රධාන නිලතල සඳහා තෝරා ගැනීම් සිදු කිරීමේදී එම ක්ෂේත්‍රයන්ට අදාළ විෂය ප්‍රවීණයන් පත් කරන ලෙසත් ඉල්ලා සිටි බවද සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි ප්‍රකාශ කර සිටියේ පසුගිය කාලය තුළ සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති රැසක් වෙනුවෙන් ඉදිකිරීම්කරුවන් සඳහා රජය විසින් ගෙවිය යුතු මුදල් ගෙවීම් දිනෙන් දින ප්‍රමාද වෙමින් ඇති බවත්, ඒ හේතුවම වත්මන් ආර්ථික අර්බුදයේ ගැඹුර කෙතරම්දැයි වටහා ගත හැකි බවත්ය. උදාහරණයක් ලෙස මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමට අදාළ මුදල් තවමත් ඉදිකිරීම්කරුවන් වෙත ගෙවා නොමැත. රජය විසින් ගෙවිය යුතු මුදල් ප්‍රමාද වීම හේතුවෙන් සේවකයන්ට සිංහල අලුත් අවුරුද්දට පෙර වැටුප් ලබා දීමේදීද ගැටලු මතු විය. මේ නිසා නියමිත පරිදි මුදල් නොගෙවන්නේ නම් ඉදිරියේදී සිදු කෙරෙන සංවර්ධන කටයුතු සදහා සහභාගි වීමට ඉදිකිරීම්කරුවන්ට නොහැකි වනු ඇති බවත් සිමෙන්ති, යකඩ, ටයිල් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍යම අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තවදුරටත් කඩාවැටීමට ලක්වනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ජාතික සංචාරක මඟපෙන්වන්නන්ගේ සංගමයේ සභාපති හෂාන් ෆොන්සේකාද අදහස් දැක්වීමට එක්වූ අතර දැනට රටතුළ පවතින අස්ථාවර දේශපාලන හා ආර්ථික වටාපිටාව මෙරට සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමන් මඟ සඳහා තීරණාත්මක වූ බලපෑම් එල්ල කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
දැනට පවතින උද්ඝෝෂණ නිසා සංචාරකයන්ගේ පැමිණීමට බාධාවක් එල්ල වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන නිසා මෙරට සංචාරකයින් පැමිණීමට පෙර වරක්,දෙවරක් නොව කිහිප වරක්ම කල්පනා කරන බවත් පැවසූ ඔහු ඉන්ධන,ගෑස්,ඖෂධ හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයත් ,විදුලිය කප්පාදුවත් නිසා මෙරටට පැමිණෙන සංචාරකයන් ආපසු හැරී යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි. මෙරට සංචාරයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් 60% ක් පමණ නැවතත් මෙරටට පැමිණෙන අය බවද පැවසූ හෂාන් ෆොන්සේකා දේශපාලන නායකයින් පමණක් නොව විසඳුම් ඉල්ලා රට තුළ උද්ඝෝෂණ කරන කණ්ඩායම්ද මෙම කරුණු ගැන සැලකිලිමත් නොවුණහොත් විදෙස් මුදල් අර්බුදය තව තවත් තීව්‍ර වනු ඇති බවටත්,තවත් වසර ගණනාවකට මෙරට සංචාරක කර්මාන්තයට හිස එසවීමට නොහැකි වනු ඇති බවටත් අනාවැකි පළ කළේය.
ආර්ථික අර්බුදය ඉක්මනින් විසඳා ගැනීමට අවශ්‍ය වන්නේ නම් සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් සිදු වීම අනිවාර්ය බවත්,වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වීමට පෙර "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ජනගත කරන ලද සංචාරක කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ මේ වන තුරුත් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ අදහස් දක්වමින් පවසා සිටියේ වත්මන් ආර්ථික අර්බුදය තුළ වාහන ආනයන කර්මාන්තය සෝදා පාළුවට ලක් වූ බවයි.
"අපි දැන් පරණ දේවල් කතා කරලා වැඩක් නෑ. ජනතාව හෙම්බත් වෙලා . ඒ නිසාම පීඩනයට හා වේදනාවට පත් වූ බහුතර ජනතාව මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අලුත් විකල්ප වෙත යාමට උනන්දු බවක් දක්නට ලැබෙනවා.
යල්පැනගිය දේශපාලන සංස්කෘතිය හා එහි ක්‍රියාකාරීත්වය ගැනම ජනතාව ඉන්නේ නොසතුටෙන්.
ඒ නිසා පළමුව ජනතාවගේ වේදනාව හා අතෘප්තිය දුරු කර ඔවුන් අතර විශ්වාසයක් ඇති කළ යුතුයි.ඒ අරමුණින් තවදුරටත් ප්‍රමාද නොකර කෙටි කාලයක් සඳහා හෝ මේ රට භාර ගන්න භාරකාර ආණ්ඩුවක් පත් කරන්න ඕනෑ. රාජ්‍ය තන්ත්‍රයේ සුදුසු තනතුරු සඳහා එක් එක් ක්ෂේත්‍රයන් පිළිබඳ හසළ දැනුමක් ඇති,ඒ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ශක්තියක් ඇති උගතුන්, බුද්ධිමතුන්, ප්‍රවීණයන් පත් කළ යුතුයි. දූෂිතයින් බිහි කරන මනාප ක්‍රමයට තිත තබා ආසන මට්ටමින් යළි මැතිවරණ පැවැත්විය යුතු වගේම ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තුළිනුත් වත්මන් අර්බුදය විසඳීමට ඉතා හොඳ ප්‍රවේශයක් ඇති කළ හැකියි. "
ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්තකරුවන්ගේ සංගමයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් අදහස් දක්වමින් පැවසුවේ පවතින ඉන්ධන හිඟය හා විදුලිය කප්පාදුව මෙරට ඇගලුම් ක්ෂේත්‍රයටද තීරණාත්මක ලෙස බලපා ඇති බවයි. කොවිඩ් ව්‍යාප්තිය තුළ විටින් විට රට වසා දැමුණු පසුගිය වසරේදීද රුපියල් බිලියන 5.1ක ඉතාම සුවිශේෂී ආදායමක් රටට උපයා දෙන්නට තම කර්මාන්තයට හැකියාව ලැබුණු බවද පැවසූ ලෝරන්ස් මේ වසරේදීද බිලියන 6 ක ආදායමක් ඇගළුම් කර්මාන්තය හරහා උපයා ගැනීමට අපේක්ෂා වී ඇති නිසා ඉන්ධන හිගය හා විදුලිය කප්පාදුවට ඉක්මන් මෙන්ම තිරසාර විසදුම් ලබා දීමට පාලකයින් හා බලධාරීන් කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.
එය එසේ නොවුණහොත් අපේක්ෂිත ආදායම අහිමි වී යනවා පමණක් නොව ඇගළුම් ක්ෂේත්‍රය තුළ සෘජුව හා වක්‍රව සිය ජීවනෝපාය පවත්වා ගෙන යන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සිය ආදායම් අහිමි වී යනු ඇති බවත්,ලොකු,කුඩා ඇගලුම් කර්මාන්තශාලා රැසක් වැසී යනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.
පවතින ආර්ථික අර්බුදය මෙරට වැවිලි ක්ෂේත්‍රය සඳහාද බලපෑම් එල්ල කර ඇති අතර, එලෙස බලපෑම් එල්ල වුණු ප්‍රධාන වැවිලි ක්ෂේත්‍රයක් වන්නේ ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ආදායමක් උපයා ගැනීම සඳහා දායක වූ තේ කර්මාන්තයයි. එම කර්මාන්තයේ නිරත ප්‍රකට ව්‍යවසායකයෙකු වන අතුකෝරල තේ ව්‍යාපාර සමූහයේ සභාපති අනුර අතුකෝරල ද අදහස් දැක්වීමට එක් වුණු අතර එම අදහස් දැක්වීමේදී ඔහු ප්‍රකාශ කර සිටියේ තේ කර්මාන්තය දියුණු කිරීම තුළින් විදේශ මුදල් අර්බුදයට බලාපොරොත්තු තබා ගත හැකි සාධනීය පිළිතුරක් ලබා ගත හැකි වනු ඇති බවයි.
කෙසේ වුවත් මේ වන විට සිදු කෙරෙන විදුලිය කප්පාදුව නිසා තේ කර්මාන්තය දරුණු කඩා වැටීමකට ලක් වී ඇති බවත්, ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදනයේදී ගැටලු මතු වී ඇති බවත් පෙන්වා දුන් ඔහු මේ තත්ත්වය නිසා විදේශ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික තේ නිෂ්පාදන ප්‍රතික්ෂේප වීමේ අවධානමක් ඇති වී ඇති බවද අනාවරණය කළේය.
රුපියල් 1500/- ට තිබුණු තේ පොහොර මිටිය පවා මේ වන විට රුපියල් 10,000/- ද ඉක්මවා ඇති බවද පැවසූ ඔහු දැන් දැන් ගොවීන් සිය තේ වගාවන් සඳහා පොහොර යොදා නොගන්නා බවට නිරීක්ෂණය වී ඇති බවද පෙන්වා දුන්නේය.මේ නිසා තේ නිෂ්පාදන සිදු කිරීම සඳහා තේ කර්මාන්තශාලා වලට ලැබෙන දලු ප්‍රමාණය අඩු වී ඇති බවද ඔහු පැවසීය.
අනුර අතුකෝරලගේ එම අදහස් දැක්වීමෙන් පසු මෙරට සිටින ප්‍රකට දේශීය ව්‍යාපාරිකයෙකු වන පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායකයන්ද තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර සිටි අතර එහිදී ඔහු පවසා සිටියේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් තොරව වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමේ හැකියාවක් නොමැති බවයි.
"ලංකාවේ ජීවත්වනවා නම් දේශීය නිෂ්පාදන පරිභෝජනය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒත් අපි හැම දේම පිටරටින් ගේන කම් බලා ගෙන ඉන්නවා. මෙච්චර කාලයක් රට කරපු හැම ආණ්ඩුවම පිටරට දේ ගෙනත් ජනතාවට කන්න,බොන්න පුරුදු කළා. ලුණු, සීනි, තක්කාලි, මිරිස් පවා පිටරටින් ගේන්න කටයුතු කළා. ඉතින් ඩොලර් සංචිත හිදෙන් නැතුව තියෙයිද? මෙහෙම කම්මැළි විදිහට ජීවත් වෙන්න ජනතාවට පුරුදු කරපු නිසා තමයි අද අපි මේ විධියට ආර්ථික අර්බුදයක කර වටක් ගිලී තිබෙන්නේ.
ඒත් ඇත්තම කථාව තමයි මෙච්චර ස්වාභාවික සම්පත් තියෙන රටක ජීවත් වෙන්න බැරිනම් ලෝකේ මොනම රටකවත් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා මේ අර්බුදය පවා අපි අපේ වාසියට ගත්තොතින් රටක් ලෙස ඉතා ඉක්මනින් අපිට දෙපයින් හිට ගන්නට හැකි වේවි.මේකට අවශ්‍ය හොඳ වැඩපිළිවෙළක්.ඒ වැඩපිළිවෙළ අනුව තමයි කටයුතු කරන්න ඕන.අඩුම තරමින් මේ අර්බුදය ප්‍රයෝජනයට අර ගෙන පාසැල් දරුවන්ව දැනුවත් කරලා ඔවුන්ගේ ගෙවත්තේ කොස්,දෙල් වැනි දේ වගා කිරීමේ වැඩසටහන් නොපමාව ආරම්භ කළ යුතුයි."ආරියශීල වික්‍රමනායක අවධාරණය කළේය.