අවුරුදු සැමරුම ගැන ජනතාව කියන කතා... | Page 2 | සිළුමිණ

අවුරුදු සැමරුම ගැන ජනතාව කියන කතා...

සුළුවෙන් අවුරුද්ද සැමරුවා

ඉසුරු නිරෝෂාන් (36) - ගාල්ල විධායක නිලධාරි

මේ සැරේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනදාට වඩා හරිම අභියෝගාත්මක වුණා. අනිත් අයට මේ දිනවල තියෙන පොදු කරදර වගේ ම, මළගේකුත් සිදුවූ නිසා තවත් අපිට නම් දුෂ්කර කාලයක් වුණා. අවුරුදු කෑම මේසෙ වෙනුවට දානෙ දුන්නේ. ඒ වුණාට දරුවන්ට ඇඳුම් අරන් දුන්නා. කිරි ඉතිරෙව්වා නැකතට. ළඟ ගෙවල් කීපයකටත් ගියා. මුළු රටටම ප්‍රශ්න. ලොකු කැලඹිලි නොනවතින වර්ජන රැල්ලක්. අනිත් අවුරුදු දිනවල නම් කවුරු කවුරුත් ලහි ලහියේ සූදානම් වුණේ අවුරුදු සමරන්න. ඒත් මෙවර අවුරුද්ද ඊට වඩා හාත්පසින් ම වෙනස්. සුළුවෙන් තමයි අවුරුදු සැමරුවේ.

 

-------------------------------------------------

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළා

ත්‍යාගරාජා දර්ශනී (23) - කුරුඳුවත්ත ගෘහණියක්

පසුගිය මාස ගණනක කාල සීමාවක් පුරා අපි ගෙවමින් යන්නේ පුදුම තරම් දුෂ්කර කාලයක්. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අවම වීමෙන් බහුතරයකට අමිහිරි අත්දැකීම්වලට මුහුණපාන්න සිදුවුණා. කාටත් නොදැනීම අලුත් අවුරුද්දත් ළඟා වුණා.

මොන ප්‍රශ්න තිබුණත් මුළු ලංකාවම එකම නැකතකට ළිප ගිනි දල්වා එකට ආහාර අනුභව කරන්න ලැබෙන්නේ අවුරුද්දට එකම දිනයක විතරනේ. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඒ විදිහටම කළා. මෙතෙක් කාලයක් තිබුණු සමහර ප්‍රශ්න පවා අමතක වෙලා ගියා. අර ඉස්සර වගේ අවුරුදු සතුට දෝරෙ ගලා නොගියත් කවුරු කවුරුත් දින කීපයකට හරි සියලු ප්‍රශ්න අමතක කරලා ප්‍රීතියෙන් කාලය ගත කළා.

 

-------------------------------------------------

අවුරුදු චාරිත්‍රවාරිත්‍ර අපට වැදගත්

සබීතා නිල්මිණි මාරසිංහ (41) බලංගොඩ - ව්‍යාපාරිකා

වෙනත් සිංහල අවුරුදුවලට වඩා මෙවර හැම අතින්ම කාටත් අපහසු වෙනස්ම අවුරුද්දක් වුණා.

ඒත් අපි වෙනදා වගේ ම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ටික නම් කළා. නැකතට පරණ අවුරුද්දට ස්නානය, වැඩ අත්හැරීම, පුණ්‍ය කාලයේදී පන්සලට ගිහින් වතාවත් කිරීම අවුරුදු නැකතට ළිප ගිනි දල්වා කිරිබත් පිස, ආහාර අනුභව කිරීමේ නැකතට, ආහාර අනුභව කොට, ගනුදෙනු කිරීම සිදු කළා.

ළිඳත් සමඟ ගනුදෙනු කරලා ගෙදර අය අතරත් කාසියක් හා නෝට්ටු තැබූ බුලත් හුරුලු හුවමාරු කරගත්තා. වත්තේ පැළ ටිකකුත් හිටෙව්වා. ගම් ගෙවල්වලට ඥාති ගෙවල්වලට ගිහින් කෑම බීම හුවමාරු කරගත්තා. දෙමාපියෝ බලන්න ගියා.

 

-------------------------------------------------

ආගමික චාරිත්‍රවලට මුල් තැන දුන්නා

නිල්මිණි ගුරුගේ (37) - පාදුක්ක ගෘහණියක්, ස්වයංරැකියා

රටේ දහසකුත් එකක් ප්‍රශ්න තිබුණා තමයි. ගෑස්, පෙට්‍රල්, භූමිතෙල් හිඟය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම හා මුදලටවත් මිලදී ගන්න නොහැකි කම ආදී මෙකී නොකී ගැටලු රාශියක් මැදින් වුණත් අපි අලුත් අවුරුද්ද සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් සතුටින් සැමරුවා.

දිගුකාලීන බෞද්ධ සංස්කෘතියකට උරුමකම් පාන අපි හැම වසරකම පාහේ මේ සිරිත් විරිත් නොකඩවා ඉටු කළානේ.

පවුලේ දූ දරුවන් ඥාති හිතමිතුරන් සමඟ විවේකව සතුටින් හිටියා. සිරිත් විරිත් අපේ දරු පරම්පරාවෙන්, පරම්පරාවට නොකඩවා රැකගන්න නම් දරුවන්ට ආදර්ශයක් ලබාදිය යුතුනේ.

 

-------------------------------------------------

අනවශ්‍ය වියදම් නොකර අවුරුදු සැමරුවා

රිශානි රොද්‍රිගු (45) - බොරැල්ල කාර්යාල සේවිකා

කොවිඩ් උවදුර ලංකාවම වෙළාගත් පසුගිය අවුරුද්දටත් වඩා මෙවර සිංහල අලුත් අවුරුද්ද හරිම දුෂ්කර වුණත් අපි අපිට පුළුවන් විදිහට අවුරුදු සැමරුවා. රතිඤ්ඤා, මල් වෙඩි වගේ දේවලට වියදම් කළේ නෑ. අලුත් අවුරුද්දේ අත්‍යවශ්‍ය අංග ටික විතරක් කළා. හාල්, පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල අධික වුණත් කිරිබත් උයලා කැවිලි, පෙවිලි, කෙසෙල් එක්ක අවුරුදු කෑම මේසයක් සැකසුවා. නැකතට සියල්ල කළා. ලොකුවට නැතත්, සාමාන්‍ය විදිහට හරි අවුරුද්ද සැමරුවා. ගනුදෙනු කිරීමේ නැකතට පවුලේ කවුරුත් බුලත් හුරුලු දීලා මුදල් හුවමාරු කරගත්තා. වෙනදා වගේම සැහැල්ලුවෙන් විනෝදෙන් හිටියා.

 

-------------------------------------------------

අවුරුදු අසිරිය නිසා ප්‍රශ්න අමතක වුණා

කන්දයියා ඉන්ද්‍රරාජා (30) - මතුගම - රියදුරු

කොළඹ රැකියාව කළත් අවුරුද්දට ගමේ ගියා. පවුලේ අය, දෙමාපියෝ සමඟින් සාමාන්‍ය පරිදි අවුරුදු සැමරුවා. වෙන අවුරුදු වගේ රතිඤ්ඤා පත්තු නොකළට අවුරුදු උත්සව සැණකෙළි පැවැත්තුවෙ නැතුවට සුළුවෙන් සැමරුවා. මේ අවුරුද්ද හුඟාක් පිරිසකට විශාල ජීවන ගැටලු තිබුණා. රටේ උද්ඝෝෂණ කෝලාහල නිමක් නෑ.

බැංකුවල ගනුදෙනු කරන්න ගියේ නම් නෑ. ඒත් පවුලේ අයත් සමඟ ගනුදෙනු කළා. කෝවිල් ගියා. රටේ බහුතර පිරිසකට, ආර්ථික ප්‍රශ්න, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟකම තිබුණත් ඒ බාධක අභියෝග මධ්‍යයේ වුණත්, කොයි කවුරුත් අවුරුදු සැමරුවා. ප්‍රශ්න මොහොතකට හරි අමතක වුණා.

 

Comments