
පසිත් ඒකනායක කෙටිකතා කරණයේ දී ලේඛකයෙකු අවධානය යොමු කළ යුතු එවැනි කරුණු ගැන විශේෂ සැලකිල්ලක් දක්වමින් රචනා කළ කෙටි රචනා දහයකින් සමන්විත ‘හද පිරිමදින්නී’ නම් කතා සංග්‍රහය සහෘදයා තුළ රස ජනනය වන සේ නිර්මාණය වී ඇතැයි එය කියවන පාඨකයාට හැගී යනු ඇත.
සාහිත්‍යය වූ කලී සමාජය පිළිබිඹු කරන කැඩපතක් බව අවිවාදයෙන් පිළිගැනෙන්නකි. එකී ලක්ෂණ ‘හද පිරිමදින්නී’ කතා සංග්‍රහය මඟින් නොමඳව හෙළි වී ඇත. තමා ජීවත් වන සමාජය තුළ වෙසෙන්නන් විවිධාකාරයෙන් ඇසුරු කරමින් ඔවුන් සමඟ නන් අයුරින් ගැටෙමින් ජීවත් වන ලේඛකයෙකු ලබා ගන්නා අත්දැකීම් සැබවින්ම එකී සමාජයේ පිළිබිඹුවක් ලෙසට නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට ඔහු වෙත පවත්නා දක්ෂතාව හා සහජ කුසලතාව බෙහෙවින් උපකාරී වෙයි.
සමාජයක් එක් තැනක පල්වෙමින් පවතින්නක් නොව දිනෙන් දින වෙනසට භාජනය වෙමින් ඉදිරියට යන්නකි. එම ඉදිරි ගමනේ දී පුද්ගලයා අත්දකින හා මුහුණ දෙන විවිධ සමාජ ප්‍රශ්න කතුවරයෙකුගේ සංවේදී සිතකට තදින් බලපානු ඇත. නිර්මාණාත්මක චින්තනයකින් යුතුව ඒවා සමීක්ෂණය කරමින් එමගින් කලා නිර්මාණ බිහි කරන්නට ලේඛක ලේඛිකාවන් සමත් වන්නේ ඔවුන් සතු වාසනා ගුණය ද ඉවහල් කර ගනිමිනි. පසිත් ඒකනායක විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘හද පිරිමදින්නී’ කෙටිකතා සංග්‍රහයෙහි ඇතුළත් බොහෝ කතාවල එවන් සමාජ ප්‍රශ්න මෙන්ම ඒවා පුද්ගලයන් කෙරෙහි ඇති කරන බලපෑම යනාදිය ද මැනවින් පිළිබිඹු වෙයි. මෙහි අන්තර්ගත ඇතැම් කතා මඟින් පොදු සමාජ තත්ත්වයන් නිරූපණය වන අතර එවැනි දේ පුද්ගලයාට විවිධාකාරයෙන් බලපාන අන්දම රසවත් ලෙස කතාවලට නඟන්නට කතුවරයා සමත් වී ඇති බව පෙනේ.
පාසැල් වියේ පසුවන දරුවන් අතර දඟකාර හැසිරීම් මෙන්ම අනික් අතට එකිනෙකා සමඟ සුහදතාවෙන් බැදුණු බැඳීම් ද දැකගත හැකිය. ඒ අතරට ළමා මනසේ ක්‍රියාකාරීත්වයට පරිබාහිරව සමාජය තුළ පවත්නා විවිධ විෂමතා ද වංචාව හා දූෂණය පාදක කරගත් හැසිරීම් ද දක්නට ලැබේ. මෙම කතා සංග්‍රහයෙහි ඇතුළත් වන පළමු කතාව ‘සිත්තම’ නමින් නම් කරන කතුවරයා එමගින් අවිහිංසක ළමා ලෝකයත්, එයට පටහැනි දූෂිත සිතුවිලි පෙරටු කොටගත් වැඩිහිටි සමාජයත් අතර සිදුවන අමුතුම ආකාරයක සිද්ධියක් පාදක කොට ගනිමින් නූතන සමාජයේ එක්තරා පැතිකඩක් පිළිබඳ සියුම් විවරණයක යෙදෙයි. මෙහි දී කතාවෙහි අන්තර්ගත සිද්ධි නිරූපණයේ දී පාඨකයා තුළ කුතුහලයක් මෙන්ම අවසානයේ දී විස්මයක් ද දනවමින් කතාව අවසන් කරන කතුවරයා පාඨක මනසට සමීප කරවන අවසාන දර්ශනය සිත් ගන්නා සුලුය.
මේ සඳහා කතාවේ සිදුවීම් සමඟ ඒකාබද්ධ වී සිටි පාඨකයා එම අවසාන දර්ශනයේදී විදුහල්පතිවරයා සමඟ එක් වී සැනසුම් සුසුමක් හෙළමින් පමණක් නොව, මේසය මත එක් වටයක් කැරකෙන ලෝක ගෝලය ද මනසින් නරඹමිනි.
මෙපරිද්දෙන් කතුවරයා මතුපිටින් සරල ලෙස පෙනුන ද ගැඹුරු අත්දැකීම් ලෙස ගත හැකි නොයෙක් අවස්ථා ජීවන ගැටලු මෙන්ම සමාජ ප්‍රශ්න ද සිය නිර්මාණ දහය තුළට ගොනුකර ඇති ආකාරය ගැන බලන විට සාහිත්‍යයේ දී මෙන්ම ජීවිතයේ දී ද අගය කළ හැකි විවිධත්වය ද මෙමගින් පිළිබිඹු වේ යැයි කිව හැකිය.
‘දේවදූතයා’ නමින් මෙම කෘතියෙහි අන්තර්ගත කෙටිකතාව කදිම සමාජ විවරණයකි. ලේඛකයෙකු වෙත තිබිය යුතු ලක්ෂණයක් වන සමාජ සිදුවීම් කෙරෙහි අවදියෙන් සිටිය යුතු බව මෙම කතාවට විෂය වී ඇති තේමාව මඟින් කියාපායි. ප්‍රසිද්ධ වේදිකාවල හෝ වෙනත් මාධ්‍ය ඔස්සේ සමාජයට ‘යහගුණ’ කියාදෙන ඇතැම් චරිතවල ඇතුළාන්තය ඊට හාත්පසින්ම වෙනස් බවට සරල නිදසුනක් වන මෙම කතාව අනපේක්ෂිත අවසානයකින් හමාර කර ඇත්තේ පාඨකයා තුළ ද ප්‍රබල හැඟීම් දනවමිනි.
මිනිස් ජීවිතය වේවා, සමාජය වේවා, සර්ව සම්පූර්ණයෙන් ම යහපත් හෝ අයහපත් නොවේය යන්න සාධාරණ නිගමනයකි. සමාජය මෙන්ම මිනිස් සිත ද විනිවිද දකිමින් නිර්මාණකරණයේ යෙදෙන කතුවරයෙකුගේ දර්ශනය තුළ ද මෙම යතාර්ථය ගැබ් වී තිබිය යුතුය. සොරුන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, වංචනිකයන් ගහන නූතන සමාජය තුළ යහපත් අවංක අවිහිංසක චරිත ද අඩුවැඩි වශයෙන් හමුවන බව කියා පාන්නට පසිත් ඒකනායක දැරූ ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස ‘මිනිස්සු’ නම් කෙටිකතාව හැඳින්විය හැකිය. කොතරම් දුගී දුප්පත් වුවද සිය ආත්මය මුදලට පාවා නොදෙන යහපත් චරිත අතරින් පතර හෝ සිටින බව පසක් කරගත් මෙම කතුවරයා ‘මිනිස්සු’ නම් කෙටිකතාව තුළින් රසවත් ලෙස එකී යථාර්ථය හෙළි කරලයි.
පවුල් ජීවිතය තුළ, විවාහ ජීවිතය තුළ, අඹුසැමියන් මුහුණ දෙන සංවේදී ප්‍රශ්න විටෙක ගැටුම්කාරී තත්ත්වයන්ට හා අරගලවලට තුඩු දෙන නමුත් තවත් විටෙක සියුම් ලෙස ඒවා විසඳා ගැනෙන ආකාරය ද සමාජය ඇතුළත අප මුහුණ දෙන යථාර්ථය හා බැඳී පවතී.
තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වන තරමට උපකාරී වූ වැඩිහිටි ඥාතියෙකුගේ අවසන් කටයුතුවලට සහභාගී වීම සඳහා යාමට දැඩි ප්‍රයත්නයක් දරන කථා නායකයා (ජයේ) පවුලේ දෛනිකව ඉටු කිරීමට ඇති වගකීම් ඊට බාධාවක් වෙමින් තිබියදී දැඩි ලෙස කනස්සල්ලට පත් වෙයි.
විවාහක කාන්තාවක් එවැනි ප්‍රශ්නවලදී ආත්මාර්ථකාමී වන ආකාරය ද සිහිපත් කරමින් විශාල ගැටලුවකට මුහුණ දෙමින් පසුවන කථකයා අවසානයේ දී මවිත කරවමින්, බිරිඳ තම සැමියාගේ අවශ්‍යතාවට අනුගත වෙමින් සහාය දක්වන අයුරු කියාපාමින් කතාව අවසන් කර ඇත.
“නෑ ජයේ..... අද පන්ති ඇරිච්චාවෙ. අපි ඔක්කොම මළගෙදර යං. මළගෙදර ගිහින් අම්මලත් බලලා හෙට විතර එමු..... ජයේ මට ඔයාව තේරෙනවා... බායි.” (73 පිට) ඔහුට පිළිතුරු දෙන්නට ඉඩ නොතබාම ඇය රිසිවරය තැබුවාය.
කථානායකයාට මෙන්ම පාඨකයාට ද සිත තුළ සතුටක් දනවමින් මෙලෙසට අවසන් කරන මෙම කෙටිකතාව මඟින් සැබවින්ම ‘හද පිරිමදින්නියක්’ අපට හඳුන්වා දීමට ද කතුවරයා සමත් වී ඇත.
කෘතිය පුරාම යෙදී ඇති භාෂාව හා රචනා විලාසය සරල වන අතරම එමඟින් පාඨකයා තුළ මෙම කතා කියවීමේ රචිය වර්ධනය කරලයි. කතාවල තේමාව අතින් වුවද අනවශ්‍ය ලෙස ගැටලු ඉදිරිපත් කරනු වෙනුවට ජීවිතයේ දී අප හැම දෙනාම කවර විටකදි හෝ මුහුණ දෙන ප්‍රශ්න කෙළින්ම හෝ වක්මගින් හෝ යොදා ගනිමින් මෙම නිර්මාණ සැකසීමට කතුවරයා සමත් වී ඇත.
ගුරු වෘත්තියෙහි නියැළෙමින් ජීවිතය හා සමාජය දෙස පුළුල් දෘෂ්ටියකින් බැලීමට මෙන්ම ඒ තුළ දී තමා ලද විවිධාකාර අත්දැකීම් මිනිස් සිත සියුම් ලෙස ස්පර්ශ කරමින් කෙටිකතා රචනා කරන්නට පසිත් ඒකනායක තුළ දිස්වන නිර්මාණ කුසලතාව අගය කරමි.