
සිංහල නවකතාව එදා සිට මෙරට සමාජ සංස්කෘතික පසුබිම නිරූපණය කළ ආකාරය පැහැදිලි කළ හැකි ද?
මනුෂ්‍යයෙක් කියන්නෙ සමාජ සංස්කෘතික සත්ත්වයෙක්. ප්‍රබන්ධකරුවාත් මනුෂ්‍යයෙක්. ඔහු අයත් සමාජ සංස්කෘතිය තමයි ඔහු බිහි කළේ, හදාවඩා ගත්තේ. ඒත් සැබෑ ප්‍රබන්ධකරුවා මේ සමාජ සංස්කෘතිය තුළ ළඟින්ඩ සූදානම් නෑ. ඒ හින්දා ඔහු තමන් විසින් ම පෙකනිවැල කපාගෙන තමන්ට උපත දුන් සමාජ සංස්කෘතියෙන් පිටමං වෙනවා. එහෙම නැත්නම් ඔහුට යෙදෙන්ඩ වෙන්නෙ ප්‍රබන්ධකරණයේ නෙවෙයි, වාර්තාකරණයේ. ඉතිං වාර්තා කරණයේ යෙදෙන අයත් ප්‍රබන්ධකරුවන් අතර නැතිවා නෙවෙයි. ඒත් ඒ අය තමන් අයත්ව සිටින සමාජ සංස්කෘතික තත්ත්වයන් යථාර්ථවාදීව නිරූපණය වෙනනේ නෑ කියන එකයි මගේ අදහස. කොටුවෙන් පිටපනින තුරු කාටවත් කොටුව පෙනෙන්නේ නෑ. පෙනෙන්නෙ තමන් වටා පවතින සීමා මායිම් විතරයි. කොටුවට ආදරය කරන කෙනාට මේ සීමා මායිම් පෙනෙන්නෙ ආරක්ෂක කවචයක් විදියට. ඔහුට ඒ ආරක්ෂාව තුළ සුරක්ෂිතව ළඟිනවා හැර අලුතින් හිතන්නට මතන්නට ශක්තියක් ලැබෙන්නේ නෑ.
සිංහල නවකතාවේ ආරම්භක යුගයේ පටන් ප්‍රකාශයට පත්වෙලා තියන නවකතා ගත්තාම ඒවායින් නිරූපණය වෙන සමාජ සංස්කෘතික පසුබිම ගැන අපට කතා කරන්ඩ වෙන්නෙ මෙන්න මේ පසුබිම තුළයි. ඇතැම් නවකතා තුළ මේ රටේ සමාජ සංස්කෘතික පසුබිම යථාර්ථවාදීව නිරූපණය වුණා. ඇතැම් ඒවා තුළ සමාජ සංස්කෘතික පසුබිම ප්‍රශංසාර්හව වාර්තා වුණා. අපේ මුල්කාලීන නවකතාවල (සයිමන්ද සිල්වාගෙ මීනා හැර) තත්ත්වය ඒක තමයි. ලංකාවෙ තිබුණායැ’යි කියන නිදහස් සටනේ ආයුධයක් විදියට නවකතාව භාවිත වුණා. ජනපීඩනයකට එරෙහිව නවකතාව යොදාගත යුතු නෑ කියන්ඩ බෑ. හැබැයි ලංකාවෙදි වුණේ අසල්වැසි ඉන්දියාවෙ ථාගෝර් වගේ අය ඒ කාරණයේදී නවකතාව යොදා ගත් ආකාරයට පසුගාමී ආකාරයකින්. සිංහල නවකතාවේ මේ මෝඩ රැඩිකල් නැඹුරුව බිඳ දමන්නෙ මාර්ටින් වික්‍රමසිංහ. ඔහු තමයි ලංකාවෙ සමාජ සංස්කෘතික දේහය විනිවිද දැක්ක, ඒක කලාත්මකව ප්‍රතිනිර්මාණය කළ පළමු ලේඛකයා. මගේ මතය නම් ලංකාවෙ අද අප දකින නවකතාව ආරම්භ වෙන්නෙ ඔහුගෙන්.
හැබැයි ප්‍රබන්ධකරුවාගේ මුඛ්‍ය පරමාර්ථය තමන් හා තම ප්‍රබන්ධය මඟින් නිරූපණය කෙරෙන කල්පනා ලෝකයට අදාළ සමාජ සංස්කෘතික දේහය නිරූපණය කිරීම නෙවෙයි. ඒක ද්විතීය කාරණාවක්. ඒත් ප්‍රබන්ධකරු මවන කතාවට සහ චරිතයන්ට ප්‍රාණය ලැබෙන්නේ එයින්. ඒ නිසා ඒක වැදගත්. රටක සමාජ සංස්කෘතික තත්ත්වයන් විනිවිද දැකිය නොහැකි ප්‍රබන්ධකරුවෙකුට ඒ සමාජ දේහය තුළ සිදුවන කිසිම දෙයක් වටහා ගන්නට හැකි වන්නේ නෑ. එහෙම කෙනෙකුට කතන්දරයක්වත් ලියන්ඩ බෑ. මොකද කතන්දර කියල අපි කියන ඔය ජනශ්‍රැති ඇතුළෙත් කාලීන සමාජ සංස්කෘතික තත්ත්වයන් ඉතා හොඳින් නිරූපණය වෙනවා.
මාර්ටින් වික්‍රමසිංහගෙන් පස්සෙ සිංහල නවකතාව විවිධ හැඩරුව ගනිමින් වැඩෙනවා. අද වන විට පවතින සමාජ සංස්කෘතික තත්ත්වයන් නිරූපණය කරන්නට ආරම්භක යථාර්ථවාදී රීතිය මදිවෙලා, අධියථාර්ථවාදී රීතීන් විවිධ හැඩරුව ගනිමින් සිංහල නවකතාව තුළ භාවිතයට ගැනෙනවා. මේ තත්ත්වය ගැන නියමාකාර විචාරාත්මක බැල්මකින් කතා කරන්ඩ පුළුවන් වන්නෙ විචාරකයින්ට. මං විචාර කලාව ප්‍රගුණ කළ කෙනෙකු නෙවෙයි, ලේඛකයෙකු විතරයි. මට කියන්ඩ තියෙන්නෙ අපට දැන් සම්ප්‍රදායික නවකතාවේ සීමාවන් මදිවෙලා කියන එක විතරයි. අපට මදි වෙනකොට අප අලුත් දේවල් හොයාගෙන යනවා. ඒත් ඒ තුළත් සීමාවන් සහ ගැළපීම් තිබිය යුතුයි. ඒ ගැන කතා කරන එක විචාරකයන්ගෙ වැඩක්.
ඉහත කී තත්ත්වය ඔබේ නවකතා ඇසුරේ කෙසේ නිරූපණය වුණිදැ’යි පැහැදිලි කරන්න.
මගේ පළවෙනි නවකතාව දාගේ. ලාංකීය සමාජ සංස්කෘතිය විසින් අතීතකාමය තුළ ලඝු කොට හීලෑ කළ අහිංසකයින්ගේ ඛේදවාචකය තමයි මං ඒකෙන් නිරූපණය කරන්නට උත්සාහ කළේ. එතැනදි මට තාත්වික ලෝකය තුළ මේ ඛේදවාචකය නිරූපණය කරන්ඩ අමුද්‍රව්‍ය නෑ. ඒක හින්දා මං අපේ සමාජ සංස්කෘතිය තුළ මුල්බැහැගත්ත මිත්‍යා ලෝකයෙන් මේකට අමුද්‍රව්‍ය හොයා ගන්නවා. මහවනයක් මැද දාගෙයකට පෙම් බැඳ වෘක්ෂදේවතාත්මයක් ලැබූවෙක්, මිනිසුන් විසින් මිනීමරුවෙකු බවට පත් කළ තනිඅලියෙක්, ඔවුන්ගේ ඇසුරට වැටෙන අතීතයේ ඉතුරුබිතුරු ආරක්ෂා කරන පුරාවිද්‍යා රැකවලෙක්; මේ තමයි මං සමාජ සංස්කෘතිය තුළින් අහුලා ගත්ත චරිත. මේ අයට ගොඩනගන්ඩ පුළුවන් මොන වගේ සමාජ සංහිඳියාවක් ද? මේක තමයි මං නමෝවිත්තියෙං නවකතාකරණයට ඇතුළුවෙමින් කළේ.
චාරුමන්දා නවකතාවට මං පාදක කර ගත්තේ ගම්පොල රාජධානි කාලය හා සම්බන්ධ ජනශ්‍රැති ගණනාවක කේන්ද්‍රීය චරිතය වුණු හෙණකඳ බිසෝබණ්ඩාර දෙවඟන. බෙලිගෙඩියකින් උපදින මේ රූමතිය, රජබිසොවක වෙනවා. ඒත් ඇය දේවභක්තියෙන් යුතු කතක්. ඇයට පෙම්කරන දෙවියෙක් මාලිගාවේ සිට නිතර දෙවොලට යන ඇය අතරමඟදී මරවා දේවත්වයක් ලබා දී තම පියඹ කරගන්නවා. හෙණකඳ බිසොබණ්ඩාර දේවාල පවා ඉදිවෙනවා. මේ රජෙකුත් දෙවියෙකුත් අතරට මැදිවූ ගැහැනිය පිළිබඳ පුවත් ඇසුරෙන් තමයි මං චාරුමන්දා චරිතයත්, ඇගේ මේ අසම්මත ප්‍රේමය හරහා රාජ්‍යයක් තුළ ඇතිවන කැලඹීම් සමුදායකුත් පිළිබඳ කතාවක් ගොතන්නෙ.
ලංකාවෙ ගොවිජනපද ව්‍යාපාරයන් බිහිවීමේ සහ මහපොළොව උඩ ස්ථාපනය වීමේ කතාව හරි අපූරු සිදුවීම් ගණනාවක් එකට මුහුවෙච්ච කතාවක්. විවිධ සමාජ සංස්කෘතික පදාසයන්ගෙන් කැඩී වෙන්වෙලා මහවනාන්තර මැද්දට ආව මිනිස්සුන් තමන්ටමය කියලා සමාජ සංස්කෘතියක් තනාගන්ඩ දරාපු වෙහෙස මහන්සිය තමයි ‘මතකවත’ නවකතාව තුළින් නිරූපණය කරන්ඩ උත්සාහ කළේ. ලංකාවෙ ආරම්භක ගොවිජනපදවල හිඟම දේ උණේ ස්ත්‍රීන්. මිනිස්සු පිටතින් ස්ත්‍රින් ගෙනැල්ලා විකුණුවා. මෙන්න මේ විකුණනු ලැබූ ස්ත්‍රියක, සම්ප්‍රදායික සමාජයේ ඉඩම් හිඟයෙන් හෙම්බත්ව කොලනියකට ඇවිත් ඉඩම් හිමිකරුවෙකු වන පුද්ගලයෙකුත් එක්ක අලුත් සමාජ සංස්කෘතියක් ගොඩනගාගන්ඩ අන් ජනපදිකයින් එක්ක අල්ලන උරුට්ටුව තමයි මම මතකවතෙන් කියන්ඩ උත්සාහ කළේ.
මං ‘මාතෘකාවක් හොයන වචන අනූතුන්දාහක්’ නවකතාව ගොඩනගන්ඩ පාදක කර ගත්තේ ලාංකීය ජනසමාජය තුළ මුල්බැහැගත්ත පුනරුත්පත්ති විශ්වාසය. මේකෙන් මං කතා කරන්නෙ, ලංකාව පෙළන ප්‍රධානතම ප්‍රශ්නය වර්ගවාදය නිසා උපන් ජනවාර්ගික අරගලය. මිනිසුන් අතර පවතින සමාජ සංස්කෘතික බෙදීම් ඇතැම් විට මාරාන්තික වෙන්ඩ පුළුවන් බව ඔප්පු කළ රටක් ලංකාව. මේ සමාජ සංස්කෘතික බෙදීම් පිළිබඳ කතාවේ ගැඹුරට කිමිදුනොත් අපට හිනා යනවා මිස, මහ ලොකු බරසාර බවක් පෙනෙයි කියලා මට හිතෙන්නෙ නෑ. ලාංකිකයො විශ්වාස කරන පුනරුත්පත්තිය අනුව කෙනෙක් මියගියාම වෙන ආත්මයක උපදිනවා. මිනිහෙක් මිනිහෙක් විදියටම, සතෙක් සතෙක් විදියටම උපදිනවා කියලා නියමයකුත් නෑ. ඉතිං ලංකාවේ වාර්ගික කැරැල්ල තුළ මියයන ද්‍රවිඩ සටන්කාමියෙකු සිංහල මවකගේ කුස උපදින්ඩත්, ඕකෙ අනිත්පැත්ත වෙන්ඩත් පුළුවනි. ලාංකිකයා විශ්වාස කරන උත්පත්ති ක්‍රම හතර අතරින් එකක් තමයි ඕපපාතික. ඒ කියන්නෙ මියගිය ශරිරයකින් පිටවෙන ආත්මයක්, ආත්මයක් පිටව ගිය ශරීරයකට ඇතුළුවෙන්ඩ පුළුවනි. අන්න ඒ ලාංකීය නියායට අනුව මියගිය ද්‍රවිඩකැරලිකරුවෙක් මියගිය සිංහල සෙබළෙකුගේ ශරීරයකට ඇතුළු වෙනවා. වෙනත් තැනක ඒකම අනෙක් පැත්තට මාරුවෙලා සිදුවෙනවා. සටන්බිම්වලදී සිදුවන මේ ආත්ම මාරුවීම් දෙකට භාජනය වී නව උපත් ලබන මිනිසුන් දෙදෙනාත්, ඔවුන් හා සහසම්බන්ධිතයිනුත් මුහුණ දෙන ප්‍රශ්න හා ගැටලු ගැන තමයි මා මේ නවකතාවෙන් නිරූපණය කරන්නට උත්සාහ කළේ.
ලංකාවෙ සමාජ ධුරාවලියේ ඉහළම පිරිස තමයි භික්ෂූන්. ඔවුන්ගේ රාශිභූත වාසස්ථානයන් තමයි ආරාම. ආරාමවල පීඩිතයින් ආරාමදාසයන් වශයෙන් සේවයට යොදවාගෙන තිබුණා. භික්ෂු විනය පිළිබඳ පොතක් වන සමන්තපාසාදිකාවේ තියනවා, ‘විහාරෙසු රාජුහි ආරාමාදාසා නාමදින්නා හොන්ති’කියලා පාඨයක්. රජවරුන් බෞද්ධ ආරාමයන්ට ආරාමදාසයින් විදියට මිනිසුන් පූජා කළා. දාසයින් කියන්නේ පෞද්ගලික දේපොළක්. ඒ කියන්නෙ වහලුන්. මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිමින්, ඒ විමුක්තියේ දර්ශනය දේශනා කළ සිද්ධාර්ථ ගෞතමන්ගේ දර්ශනයට මේ ආරාමදාස සංකල්පය එකඟ නැතත්, එදත් අදත් ලංකාවේ මිනිසුන් ආරාමදාසයින් බවට පත්කෙරෙන යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි. මෙන්න මේ ආරාමදාස සංකල්පයේ අතීත හා නූතන ස්වරූපයන් තමයි පසුගියදා පළවුණු මගේ ‘ආරාමදාස’ නවකතාවේ පදනම වෙන්නේ.
පොදුවේ ගත් කළ සිංහල සාහිත්‍යයේ සමාජ දේශපාන දෘෂ්ටිය ගැන ඔබේ අදහස කුමක් ද?
සිංහල සාහිත්‍යය කියන්නෙ ඉතා දියුණු සමාජ දේශපාලනික දැක්මක් ඇති තැනක්. ඒත් ලංකාවේ සාහිත්‍ය කලා විචාරය සහ අධ්‍යාපනයේ තියන නොවියත් බව හින්දා නූතන කියැවීම් පරපුරට ඉතා හොඳ සාහිත්‍ය නිර්මාණයන් හඳුන්වාදීමක් වෙන්නේ නෑ. ඒක සිංහල සාහිත්‍ය ප්‍රවර්ධනයට ලොකු බාධාවක් කියා මට හිතෙනවා. ඒ නිසා සමාජය තුළ වඩා පිළිගැනීමට ලක් වන සාහිත්‍ය නිර්මාණයන්ගේ ලක්ෂණ අනුකරණය කෙරෙන තැනකට නිර්මාණකරුවන් යන බවක් පෙනෙනවා. එයින් සිදුවන හානි බොහොමයි. ඒත් කුමනාකාර අගැයීමකට ලක් නොවුණත්, තමන් ගත් නිර්මාණ මාර්ගයේ ම ගමන් කරන ප්‍රබන්ධකරුවන් ගණනාවක් අපට ඉන්නවා. ඔවුන්ගේ කෘතීන් නිරන්තර නව්‍යභාවය ලබමින් ඉදිරියට යනවා. අන්න ඒවා පිළිබඳව රසික සිත් අලවන විකල්ප වැඩපිළිවෙළක් අවශ්‍යතාව අද පැන නැගී ඇතැයි හිතනවා. පසුගාමී අධ්‍යාපන සහ විචාරක රටාවන් සහිත රටකට මේ නූතනත්වය අගයන විකල්ප වැඩපිළිවෙළක අවශ්‍යතාව අනිවාර්යයි.