මායා බන්ධන | සිළුමිණ

මායා බන්ධන

මායා බන්ධන යනු අමෙරිකානු නාට්‍යකරුවන් අතර විශිෂ්ටයකු ලෙස සම්භාවනාවට පාත්‍රවන ආතර් මිලර්ගේ (1915 - 2005) The Crucible නම් නාට්‍යයේ පෙළෙහි සිංහල පරිවර්තනයයි.

ආතර් මිලර් මෙරට ඉංගිරිසි භාෂාව සහ සාහිත්‍යය හැදෑරූවන්ට අමුත්තකු නොවේ. ඔහුගේ Death of a Salesman කෘතිය උසස් පෙළ ඉංගිරිසි විෂයයේ පාඨ ග්‍රන්ථයක් වැ බොහෝ කලක් පැවැති අතර විශ්වවිද්‍යාල පාඨමාලාවලට ද එය හැදෑරීම ඇතුළත් ව තිබි හෙයිනි.

මිලර් නාට්‍යකර­ුවකු පමණක් නොවේ. ඔහු කෙටිකතාකරුවකු, චිත්‍රපට පිටපත් රචකයකු මෙන් ම නිබන්ධ රචකයෙක් ද විය. ඔහුගේ The Mistif නම් කෙටිකතාව ඇසුරින් ඔහු විසින්ම තිර පිටපත රචිත 1961 වසරේ ප්‍රදර්ශනය ඇරැඹූ එනමින් යුත් ජෝන් හුස්ටන්ගේ බටහිර ගොපලු චිත්‍රපටය ඒ ශානරයේ ඉහළ ඇගැයිමට ලක් වූ නිර්මාණයකි.

ජවනිකා හතරකින් සමන්විත භූමිකා දහ අටක් වේදිකාවට පැමිණෙමින් ප්‍රේක්‍ෂක ජනයාට ඉදිරිපත් කරන The Crucible 1953 ජනවාරි 22 දින නිව්යෝක් නුවර බ්‍රෝඞ්වේ හි මාටින් බෙක් රඟ හලේ දී ප්‍රථම වරට වේදිකා ගත කරන ලදී. එය ඒ වසරේ හොඳම සංගීතමය නොවන වේදිකා නාටයයට හිමි ටෝනි බෙක් සම්මානයෙන් පිදුම් ලැබී ය.

The Crucible නාට්‍යයට පාදක වන්නේ සත්‍ය සිදුවීමකි. ඒ සිද්ධිය නම් 1692 පෙබරවාරි සිට 1693 මැයි දක්වා කාලය තුළ අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් කොලනියේ සලෙම් ගම්මානයේ පැවැත්වුණු ‘සලෙම් හදි හූනියම් නඩු විභාග’ ( The Salem witch trials)යි. මේ විභාගවල දී දෙසියයකට අධික සංඛ්‍යාවකට චෝදනා එල්ල කැරුණු අතර විසිදෙනෙකුට මරණ දඬුවම නියම කැරිණි. ඒ අතරින් 14ක් ගැහැනු වුහ. 19ක් එල්ලා මරණ ලද අතර එකෙකු මරණයට පත් කරන ලද්දේ මැරෙන තුරු බර පැටවීමෙනි. (pressed to deaath) පස්දෙනෙක් සිරමැදිරි තුළ ජිවිතක්‍ෂයට පත් වූහ.

වර්තමානයේ අමෙරිකා එක්සත් ජනපදයට අයත් ඇතැම් ජනපද එකල පැවැතියේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට යටත් ව වන අතර ක්‍රියාත්මක වූයේ බ්‍රිතාන්‍ය නීතියයි. මැසචුසෙට්ස් ඒ අතරින් එකකි. ඒ අනුව සලෙම් මායා බන්ධන අධිකරණය ක්‍රියාත්මක වුයේ බ්‍රිතාන්‍ය නීතිය අනුව බව ප්‍රකට ය.

එකල පැවැති ආගමික සංස්ථාව පැවැති නීිති උපයෝගී කැර ගනිමින් ජන පීඩාව ඇති කිරීම මේ කෘතියේ නිරූපිත ය. මෙහි එන පූජකයන් දෙදෙනාම අසත්පුරුෂයෝ ය. නාට්‍යයේ ආරම්භක ජවනිකාවේ ප්‍රේක්ෂකයා ඉදිරියේ පෙනි සිටින්නී රෝගීි දැරියකි. බෙටී නම් ඇය වසම භාර පූජක පැරිස්ගේ දියණියයි. ඇයට වැලඳී ඇති රෝගය සුව කරන්නට වෛද්‍යවරයාට නොහැකි ය. පෙර දින ඇයත් තවත් දැරියන් කිහිප දෙනෙකුත් අසල වන පෙතේ ආවේශයකින් නැටූ බව හෙළිවේ. පැරිස් පවුලේ වහල් සේවිකාව වන ටිටුබා එහි යක්දෙස්සිය වැ සිට ඇති අතර පැරිස්ගේ ලේලිය වන අබිගේල් ද ඊට සහභාගි වී ඇත. අබිගේල් කලකට ඉහත ජෝන් ප්‍රොක්ටර් නමැති සලෙම් වාසී කෘෂිකාර්මිකයාගේ ගෘහ සේවිකාව වූ අතර ඇය සහ ඔහු අතර සම්බන්ධයක් තිබී ඇත. එලිසබෙත් නමැති ප්‍රොක්ටර් බිරිඳට එය හසු වීමෙන් ඇයට ඒ නිවසෙන් යන්නට සිදුවූ අතර ඉන්පසු තමා අතැර දැමීම ගැන ඕ ප්‍රොක්ටර් සමඟ කේන්තියෙන් පසු වන්නී ය.

බෙටීගේ අසනිපය නිසා අනාවරණය වන යක්දෙස්සියන්ගේ මායා බන්ධන පිළිබඳ කතාව නිසා සලෙම් කැලඹෙන අතර පූජක පැරිස් ඒ ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වෙනත් වසමක පූජක හේල්ගේ සහාය ඉල්ලා සිටියි. පූජක හේල් පෙර වෙළෙන්දකු වූ පැරිස්ට වඩා ධර්මය දන්නා අතර යක්ෂාවේශ ගැන පරීක්‍ෂණ පවත්වන්නෙකි. ඔහු පැමිණ විමර්ශනය අරඹයි. අබිගේල්ගේ ප්‍රකාශ නිසා ඔහුගේ අවධානය ප්‍රොක්ටර් වෙත යොමුවේ. දස පනත කියන්න’යි හේල් ප්‍රොක්ටර්ට කියයි. ප්‍රොක්ටර්ට කිව හැකි වන්නේ නමයක් පමණි. ප්‍රොක්ටර් සහ ඔහුගේ සිව්මස් ගැබිනි බිරිඳ මායාවී කටයුතු වෙනුවෙන් චෝදනා ලබති. මේ අතර ආර්ම්භයේ සිටම ඉදිරිපත් වන චරිතයක් වන ඈන් පුට්නම් ප්‍රදේශ වාසී ධනවත් ම පුද්ගලයා වන පුට්නම්ගේ බිරිඳයි. ඔවුන්ට දියණියක් සිටී. රුත් නම් ඇය ද පෙරදින බෙටීලා සහභාගි වු නැටුමට සහභාගි වී ඇත.

රුත් යනු ඈන් පුට්නම්ගේ ගැබට පැමිණි අට වැන්නියයි. ඈන් ඊට පෙර සත් වතාවක් ම ගැබ්ගත් නමුත් කළල විනාශ විය. එසේ සිදු වූයේ මායා බන්ධන නිසා බව ඇගේ විශ්වාසයයි. මේ නිසා ඇය මායා බන්ධකයන් ගැන වෛරයකින් පසුවේ. ප්‍රදේශවාසි රෙබෙකා නර්ස් නම් කාන්තාවක් ද ඇගේ ද්වේශයට පාත්‍ර වේ.

ඊට හේතුව ඇගේ සියලුම දරුවන් සෞඛ්‍යවත් ලෙස මෙලොවට බිහිවීමයි. සිය දියණි රුත් ද මායා බන්ධකයන්ගේ ශාපයට හසුවීම ඇයට දරාගත නොහැකි ය. එහෙත් ඇය අබිගේල් විශ්වාස කරන්නී ය.

මායා බන්ධන ගැන සැකකරුවන් අනාවරණය කැර ගැනෙන අතර ඔවුන් අත්අඩංගුවට ගන්නට නගර ගුත්තික ජෝන් විලාඞ් පියවර ගනියි.

ගැබිනි එලිසබෙත්, ඇගේ සැමියා ප්‍රොකටර්, රෙබෙකා ඇතු`ඵ පිරිසක් අසාධාරණ ලෙස මරණයට පත් කැරෙති. මේවා කෙරෙන්නේ ආගමේ නාමයෙන් වීම විශේෂත්වයකි. මිලර් පෙන්වා දෙන්නේ එයයි. ආගමික උන්මාදය විසින් කොතරම් ජීවිත අනතුරේ හෙලනු ලබන්නේ ද?

මේ නාට්‍යය වේදිකා ගත කිරීමෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයේ උත්තර මන්ත්‍රණ සභාවේ ආගමික අපහාස පිළිබඳ විභාග කිරීමේ කමිටුව ඉදිරියේ පෙනී සිටින්නට මිලර්ට සිදු විය.

මේ නාට්‍යය කියැවීමෙන් නොනැවති ඊට අදාළ ඉතිහාස කතාව අන්තර්ජාලයෙන් සොයාගෙන කියැවීම ද ඇතැම්විට ප්‍රයෝජනවත් විය හැකි ය.

‘මායා බන්ධන’ ගාමිණී වියන්ගොඩගේ කෘතියකි.

Comments