ඉහළ යන මිල එක්ක වළපල්ලට යන කජු කර්මාන්තය | Page 2 | සිළුමිණ

ඉහළ යන මිල එක්ක වළපල්ලට යන කජු කර්මාන්තය

රජයේ මැදිහත්වීම නැතිවුණොත් කර්මාන්තය කඩා වැටේවි - කජු කර්මාන්තකරුවෝ

දේශීය කජු වගාව ව්‍යාප්ත කිරීම අත්‍යවශ්‍යයි

කජු කර්මාන්තයට අවශ්‍ය ප්‍රමාණයේ හිඟය පමණක් පිටරටින් ආනයනය කළ යුතුයි

කජු කන්න කවුද අකමැති? එහෙත් මේ දිනවල නම් කජු මිල ඇසූ විට කජු කෑමක් ගැන සිතන්නටවත් බැරි තරම්ය. අහස උසට ඉහළ යන කජු මිල ගැන කජු කර්මාන්තයේ නිරත වී සිටින්නන් ද සිටින්නේ ප්‍රසාදයකින් නම් නොවේ. ඊට හේතුව අධික මිල හේතුවෙන් පාරිභෝගිකයන්ට ද කජු මිලදී ගැනීමට අසීරු තත්ත්වයක් ඇතිවී තිබීමය.

“දේශීය කජු වගාවෙන් ලැබෙන ඵලදාව කජු කර්මාන්තයට ප්‍රමාණවත් නොවන නිසා ලෙලි කජු ගෙඩි කිලෝවක් රුපියල් 850ට මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව වෙළඳපොලේ පිරිපහදු කළ කජු ගෙඩි කිලෝවක මිල රුපියල් 4,200 දක්වා ද අවන්කජු ගෙඩි කිලෝවක් රුපියල් 4,500 දක්වා ද මිල ඉහළ නැඟ තිබෙනවා. මේ නිසා කජු කර්මාන්තය පවත්වාගෙන යා නොහැකිව කඩා වැටෙමින් තිබෙනවා”

ඒ හඬ, මිනුවන්ගොඩ උග්ගල්බොඩ ජන ශක්ති කජු පිරිසැකසුම්කරුවන්ගේ සුභසාධන සමිතියේ අනුශාසක එච්.ඒ. සුගතපාල ගේ ය. දේශීය අමු කජු ගෙඩි කිලෝවක මිල ඉහළ යෑම හා එම මිල ගණන් අනුව මේ වන විට කජු නිෂ්පාදන ව්‍යාපාරයට පැන නැඟී ඇති ගැටලු හා එයට විසඳුම් වශයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව හෙතෙම තවදුරටත් කරුණු පැහැදිලි කළේය.

“මෙම කජු කර්මාන්තය මුල්ම වරට ආරම්භ වූයේ දෙවලපොල ප්‍රදේශයේ. පසුව තමයි නැදගමුව, කලුවැල්ගොඩ, උග්ගල්බොඩ, මාදෙල්ගමුව, කෙහෙල්බද්දර, බටපොත යන ගම්මාන කජු කර්මාන්තයට කජු ව්‍යාපාරයට ප්‍රසිද්ධ වුණේ. දැනට ලංකාව පුරාම මෙය ව්‍යාප්ත වෙලා තියනවා. කජු වගාවට ප්‍රසිද්ධ වයඹ පළාතේ පුත්තලම, හලාවත, ආනමඩුව සහ වාරියපොළ ප්‍රදේශයයි. ඊට අමතරව දකුණෙත් තිබෙනවා. ලංකාවේ වියළි කාලගුණයක් තිබෙන බොහෝ ප්‍රදේශවල සාර්ථක වගාවක් ලෙස වගා කළ හැකියි. අපේ ප්‍රදේශයේ කජු වගාව වැවිල්ලක් වශයෙන් නොකළත් ගෙවතුවල කජු වගාව තිබෙනවා.

කජු කර්මාන්තයක් වශයෙන් ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාම ගැන ප්‍රසිද්ධ ඉහත කී ගම්මානයයි. දිවයිනේ තවත් සමහර ප්‍රදේශවල මෙම කර්මාන්තය ව්‍යාපාරය පවත්වාගෙන යනවා. අ‍‍පි කජු කර්මාන්තයට අවශ්‍ය කජු සොයා ගන්නේ පුත්තලම, හලාවත, වාරියපොළ ප්‍රදේශවලින්. දකුණෙනුත් ගේනවා. කජු වගාවට අධික වර්ෂාවත් අධික වියළි කාලගුණයත් අහිතකරයි.

මේ ගැටලුවට රජය මැදිහත් විය යුතුයි. ලංකාව පුරා පවත්වාගෙන යන මෙම කර්මාන්තය දේශීය අවශ්‍යතාව කොපමණද කජු සංස්ථාව විසින් සමීක්ෂණයක් කළ යුතුයි. දේශීය වගාවෙන් ලැබෙන ඵලදාව ද ගණනය කර එම ප්‍රමාණය දේශීය අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවන නිසා එම හිඟය පමණක් පිටරටින් ආනයනය කිරීම රජය මඟින් කළ යුතුයි. එය පෞද්ගලික අංශයට පැවරීමෙන් අතරමැදියන් විශාල ලාභයක් ලබනවා. කජු කර්මාන්තකරුවාට එයින් සහනයක් සැලසෙන්නේ නැහැ. මෙයට හොඳම විසඳුම දේශීය කජු වගාව ව්‍යාප්ත කිරීමත් දේශීය කජු ඵලදාව හා කජු කර්මාන්තයට අවශ්‍ය ප්‍රමාණය ගණනය කර හිඟය පමණක් පිටරටින් ආනයනය කිරීමයි”

ඔහු පවසන පරිදි කජු කර්මාන්තය හා කජු කර්මාන්ත ව්‍යාපාරය මුහුණ දී සිටින මෙම ගැටලුකාරී තත්වයට හොඳම විසඳුම දේශීය කජු වගාව ව්‍යාප්ත කර වර්ධනය කිරීමයි. එසේ වර්ධනය කිරීමත් සමඟ කජු කර්මාන්තයට හොඳ වෙළෙඳපොළක් අවශ්‍ය වේ. ඊට දේශීය වෙළෙඳපොළ මෙන්ම විදේශීය වෙළෙඳපොළක් ද අවශ්‍ය වේ. වෙළෙඳපොළට ඉදිරිපත් කරන නිෂපාදන ඉහළ ප්‍රමිතියකින් විය යුතු අතර අපනයනයේදී වෙළෙඳපොළ අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනයට පියවර ගත යුතුය. ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් කජු කර්මාන්තයේ නිරත සංඛ්‍යාව 5,000ක් පමණ වන අතර, මේ වන විට ඔවුන් ඉතා අසරණ තත්ත්වයට පත්ව තිබෙන බව ද මිනුවන්ගොඩ උග්ගල්බොඩ ජන ශක්ති කජු පිරිසැකසුම්කරුවන්ගේ සුභසාධන සමිතියේ අනුශාසක එච්.ඒ. සුගතපාල සඳහන් කළේය. කජු පිටරටින් ආනයනය කිරීමේදී කජු සංස්ථාව මැදිහත් වී කටයුතු කරන්නේ නම් අතරමැදියා අධික ලාභයක් ලැබීම වැළැක්වී කර්මාන්තකරුවාට එහි වාසිය ලැබෙන බවත් ඔහු පැවසීය.

“ කජු ඵලදාව වැඩි වී මිල පහළ මට්ටමක තිබෙන විට ලොකු ව්‍යාපාරිකයන් අඩු මිලට ගෙන ගබඩා කර තබාගෙන හිගයක් මවා පා මිල ඉහළ දමනවා. මේ මිල ඉහළ යාමට හේතුව එයයි. 2021 වසරේ ඵලදාවත් අඩුයි. අඩු කාලෙන් පූදින කජු ප්‍රභේද රටට හඳුන්වා දිය යුතුයි. කජු වගාව වැවිලි කර්මාන්තයක් වශයෙන් ව්‍යාප්ත කිරීමෙන් රටට හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්. අපේ ශ්‍රී ලංකාවේ කජු රසයෙන් ගුණයෙන් ඉහළයි. ඒ වගේම කජු ගෙඩිය ප්‍රමා‍ණයෙනුත් ලොකුයි. මේ නිසා දේශීය වෙළෙඳපොළේ මෙන්ම විදේශ වෙළෙඳපොළෙත් හොඳ ඉල්ලුමක් තියනවා. එමඟින් රටට හොඳ විදේශ විනිමයක් හොයාගන්න පුළුවන්.

අපි කථා කරන්නේ කජු මදය ගැන පමණයි. කජු ලෙල්ල කුරුට්ට කොච්චර වටිනවද? කජු ලෙල්ලෙන් කජු තෙල් නිෂ්පාදනය කළ හැකියි. කජු තෙල් නැව්වල කඹ (ලණුවල) ආලේප කිරීමට ගන්නවා. කෘමිනාශකයක් වශයෙන් ද භාවිත කළ හැකිය. කජු මදය වටා තිබෙන කුරුට්ට අප ඉවත දමනවා. එම කුරුට්ට කහටයි. එය සායම් නිෂ්පාදනයට යොදා ගත හැකියි. ඒ ගැන අවධානයක් නෑ. මේවා ගැන පරික්ෂණ කරලා අදාළ ආයතන ජනතාවට තොරතුරු ලබාදිය යුතුයි. අතුරු කර්මාන්ත රාශියක් ආරම්භ කරන්නත් පුළුවන්”

කජු කර්මාන්තය දියුණු කළ හැකි අංශ කිහිපයක් පිළිබඳ අවධානය යොමුකරමින් ඔහු කීවේය. කජු නිෂ්පාදනයේ නිරත වී සිටින කලුවැල්ගොඩ ඒ. නිලන්ති ද පැවසුවේ මිල ඉහළ යෑම කජු කර්මාන්තයට එල්ල කර ඇති අහිතකර බලපෑම ගැනයි.

“මේ වන විට ලෙලි පිටින් අමු කජු ගෙඩි කිලෝවක් රුපියල් 800 - 850ත් අතර මිලකට ඉහළ නැගලා. ඒ ගානට කජු කිලෝවක් අරගෙන මේ කර්මාන්තය කරගෙන යන්නෙ කොහොමද? අපට එච්චර වත්කමක් නැහැ. ලොකු මුදලාලිලා ව්‍යාපාරය කරන්නේ කජු ඵලදාව කාලෙට අඩු මිලට අරගෙන ස්ටොක් කරලා තියාගෙන හිග කාලයට අධික මිලට එළියට දැමීමයි.

කජු වගාවේ ඵලදාව ලැබෙන්නේ මාර්තු, අප්‍රේල්, මැයි මාසවලට. ලොකු ව්‍යාපාරිකයෝ හිඟ කාලෙට අධික මිලට කජු වෙළෙඳපොළට දැම්මට කජු කර්මාන්තයේ යෙදී සිටින සිටින බොහෝ දෙනෙක් ලොකු බිස්ක්‍නස්කාරයො නෙවෙයි. අධික මිලට කජු අරගෙන අපි කර්මාන්තය කරගෙන යන්නේ කොහොමද? මා යටතේ කාන්තාවන් 16 දෙනෙකු පමණ වැඩ කළා. ඒ අයට වැටුප් ගෙවන්න අපහසු නිසා මේ වන විට ඉන්නෙ දෙන්නයි. මේ වන විට කර්මාන්තය කඩා වැටෙන තත්වයකට පත් වෙලා. ”

අමු කජු ගෙඩි කිලෝව රුපියල් 850 දක්වා මිල ඉහළ යෑම නිසා වෙළෙඳපොළේ පිරිපහදු කළ අමු කජු ගෙඩි කිලෝව රුපියල් 4,200 දක්වා ද, පිරිපහදු කළ අමු කජු පියලි කිලෝව රුපියල් 4,100 දක්වා ද පිරිපහදු කළ කෑලි කජු කිලෝව රුපියල් 3,600 දක්වා ද අවන් කජු ගෙඩි කිලෝව රුපියල් 4,400 දක්වා ද, කෑලි කජු කිලෝව රුපියල් 3,700 දක්වා ද, බැදපු කජු කිලෝව රුපියල් 4,600 දක්වා ද මිල ඉහළ නැග ඇත.

දන් පිරිනැමීමේදී හා මංගල සාදවල බොජුන්පතේ ප්‍රසිද්ධ වෑංජනයක් වුවද මේ වන විට ඒ සඳහා කජු සොයාගැනීම ද ගැටලුවක් වී ඇත.

 එල්. ඩබ්ලිව්. ආරියරත්න (උඩුගම්පොළ)

 

Comments