‘රණ්ඩු නැති පණ්ඩු’ ගජමුතු ජාවාරමට හසුවූ හැටි | සිළුමිණ

‘රණ්ඩු නැති පණ්ඩු’ ගජමුතු ජාවාරමට හසුවූ හැටි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩා­ර­නා­යක සහ අම්පා­රේදී අත්අ­ඩං­ගු­වට ගන්නා ලද ගජ­මුතු හා පාෂාණ

වාලම්පුරි හා ගජමුතු යනු වාසනාව උදා කරන අනර්ඝ වස්තූන් බව ජනතාවගේ විශ්වාසයේ පවතින්නේ කාලාන්තරයක් තිස්සේය. එහෙත් මේ වාසනාවන් උදා කර ගන්නට යන්නේ සත්ව කොටස් අනුසාරයෙන් බව ඔවුන්ට අමතක වී තිබේ. ලෝකයේ බොහෝ දෙනා මේ හා සමානම වටිනාකමක් ‘ඇම්බර් ග්‍රීස්’ හෙවත් තල්මසුන්ගේ වමනයට ද ලබා දී ඇත. තල්මස් වමනය කිලෝ එකක් රුපියල් කෝටි ගණනකකට අලෙවි වේ. ඒ සුපිරි සුවඳ විලවුන් නිෂ්පාදනයට ලබා ගන්නා හෙයිනි. ‘රණ්ඩු නැති පණ්ඩු’ යන පාඨය හිටපු මන්ත්‍රී පණ්ඩු බණ්ඩාරනායකගේ ඉකුත් මැතිවරණයේ ප්‍රබල සටන් පාඨය.

ඒ හා සමානම වටිනාකමක් ගජමුතු හා වාලම්පුරි වෙනුවෙන් ද හිමිවේ. ඇම්බර් ග්‍රීස් හා වාලම්පුරි මෙන් නොව ගජමුතු ලබා ගැනීමට ඇතුන් ඝාතනය කිරීම නිසා විශාල සත්ත්ව ඝාතනයන් ද සිදුව තිබේ. එය සැබැවින්ම කනගාටුදායකය. මේ නිසා ලෝකයේ බොහෝ රටවල ගජමුතු අලෙවිය තහනම් කර ඇත. ශ්‍රී ලංකාවේද අවසරයකින් තොරව ගජමුතු අලෙවිය තහනම්ය. එවන් ගජමුතු අලෙවි කරන්නන් වෙනුවෙන් නීති රීති හදන අයම එම ජාවාරම්හි නිරතව සිටින්නේ නම් එය වැටත් නියරත් ගොයම් කන අවස්ථාවේ ඒ ගැන කාට කියන්නේද? යන්න හා සමාන වන්නේය.

ඒ කරුණු කෙසේ වෙතත් ගජමුතු යනු මොනවාද? ඒවා මේතරම් වටින්නේ ඇයිද? යන්න ගැන කෙටියෙන් හෝ අප දැන ගත යුතුය. 

ගජමුතු ළඟ තබා ගැනීම වාසනාව උදාකරන බවට මිනිසුන් තුළ මතයක් පවතී. එය ඈත අතීතයේ සිටම පවත්නා විශ්වාසයකි. එසේ වාසනාව උදා කර ගැනීමට ගජමුතු නිතර නිතර පිරිමැදිය යුතු බවත් ජනතා විශ්වාසයයි. සිතුම් පැතුම් ඉටු කරන ගජමුතු හා බැඳුණු වත්පිළිවෙත් ඈත අතීතයේ සිටම පැවත එන්නේ ද එම නිසාය. තමන්ගේ ප්‍රාර්ථනය ඉටු වේවායි පවසමින් ගජමුතු පිරිමැදිය යුතු බවත් තමන්ට හැකි සෑම දිනයකදීම එය කහවතුරෙන් හා සුවඳ පැනින් සේදීම කළ යුතු බවත් අපේ පැරැන්නන්ගේ විශ්වාසය වේ. එමෙන්ම ගජමුතු තමන්ගේ හිමිකාරිත්වයේ තබාගතතොත් උසස් තනතුරු, ගරු බුහුමන් නම්බු නාම පවා ලැබෙන බවට ද ජනතාව අතරේ මතයක් පවතී. අතීතයේ මුතුන් මිත්තන්ගේ කතාවල සඳහන් වන්නේ ගජමුතු ලඟ තබාගැනීමෙන් හතරමහ නිධානය පහළවන බවයි.

ගජමුතු යනු ඇත් දළ තුළ පිහිටනු ලබන මැණික් විශේෂයකි. මුතු යන්නට ‘ගජ’ යන්න එකතු වී එය ගජමුතු යනුවෙන් හඳුන්වයි. එහෙත් සෑම ඇතෙකුටම ගජමුතු පිහිටීමක් සිදු වන්නේද නැත. ගජමුතු සහිත ඇතෙක් සෙමෙන් ගමන් කරද්දී ගජමුතුවලින් සීනු හඬක් පැන නඟින බවටද විශ්වාසයක් පවතී. එමෙන්ම ගජමුතු යනු දළ ඇතාගේ දළයෙන් ඇතුළත සුළු කොටසක් කැඩී එය කාලයක් තිස්සේ ඉහළ පහළ යාමෙන් පිරි මැදී කුඩා රවුම් හෝ බිත්තර හැඩය ගන්නා මුතු ඇටයක් බව ද විශ්වාස කෙරේ. ගජමුතු ලබා ගැනීම අතීතයේ සිදු වූයේ ඇතකු මරණයට පත් වීමෙන් පසුවය. එහෙත් පෙර කී ලෙස සියලු ඇතුන්ගේ ගජමුතු පිහිටන්නේද නැත. එමෙන්ම ගජමුතු අතර සත්‍ය ගජමුතු මෙන්ම ව්‍යාජ ගජමුතුද වන්නේය. ඇතැමුන් ව්‍යාජ ගජමුතු ලෙස හරක් අස්ථි ලබා දෙන්නේය. ඇතැම් හස්තීන්ගේ ගජමුතු වෙනුවට අස්ථි හා සමාන විශේෂයක්ද පිහිටන්නේය. ඒවාද අයත් වන්නේ ව්‍යාජ ගජමුතුවලටය. මේ නිසා ඇතකු වූ පමණින් එම සත්ත්වයාගේ කිසිදු විටක ගජමුතු ඇතැයි කිව නොහැකිය.

ඒ ගජමුතු ගැන වූ හැඳින්වීමයි.

දැන් අපේ කතාවට අවධානය යොමු කරමු.

අපේ කතා නායකයා වන්නේ හිටපු බුද්ධශාසන නියෝජ්‍ය ඇමැතිවරයෙකි. ඔහු පසුගිය මාර්තු 25 වෙනිදා අම්පාරේදී පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ගජමුතු ජාවාරමක් සම්බන්ධයෙනි. එය හිටපු බුද්ධශාසන නියෝජ්‍ය ඇමැතිවරයකු ගැන කතා කරන්නටත් ලැජ්ජා හිතෙන කතාවකි. එමෙන්ම ඔහු වංශවත් පරම්පරාගත බණ්ඩාරනායක කුල පරපුරකින් පැවත එන්නෙකි.

මේ කතාව දිග හැරෙන්නේ පසුගිය පෙබරවාරි මාසයේ සිටය. අපට වාර්තා වූ සිදුවීම් මාලාව අනුව මහර කඩවත ප්‍රදේශයේ කාන්තාවක් විසින් තමන් සතුව තිබෙන ගජමුතු අලෙවි කර ගැනීමට සහාය දෙන ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායකගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ කාන්තාව මැතිවරණ සමයේදී පණ්ඩු බණ්ඩාරනායක වෙනුවෙන් යහමින් මුදල් වැය කළ තැනැත්තියකි. එම නිසාත් ගජමුතු අලෙවියෙන් තමන්ට ද කොටසක් ලැබෙන නිසාත් එයට කැමැති වූ පණ්ඩු බණ්ඩාරනායක ඒ සඳහා තමන් දන්නා අඳුනන ව්‍යාපාරිකයන්ට සිදුවීම දැනුම් දී තිබේ. ඒ අනුව සති කිහිපයකින් පසුව හොඳ පිළිතුරක් ලැබුණේ අම්පාරෙනි. නිතරම නිධන් වස්තු පවා මිලදී ගන්නා ව්‍යාපාරිකයෙක් අම්පාරේ සිටින බවත් ඔහුට මේ ගජමුතු අලෙවි කිරීම පහසු වනු ඇති බවටත් පණ්ඩු බණ්ඩාරනායකට ලැබුණු තොරතුරු අනුව ඔවුහු ඉදිරි කටයුතු කළහ. ඒ සඳහාම වෙනම සිම්පත් ද ඔවුහු භාවිත කළහ.

එහෙත් මේ වන විට අදාළ තොරතුර නාවික හමුදා බුද්ධි අංශයට ලැබී තිබුණි. ඒ අනුව නාවික හමුදාව විසින් තොරතුරු අම්පාර විශේෂ කාර්ය බළකාය වෙත ලබා දී තිබුණි. අම්පාර පොලිසියේ ද ඇස ඒ වන විට යොමුව තිබුණි.

ගනුදෙනුකරුවන් සේ පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු පිරිසට කතා කළ උපාය දූතයන් රුපියල් කෝටියකට අදාළ ගජමුතු 3 ලබා ගැනීමට කැමැත්ත පළ කර තිබුණි. එමෙන්ම විකුණුම්කරුවන් සතුව ඇතැයි කියූ මැණික් පාෂාණයක්ද ඔවුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිලදී ගැන්මට කැමැත්ත පළ කර තිබුණි.

එසේ කතා කරගත් පරිදි පසුගිය මාර්තු මස 25 වෙනිදා පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු 5 දෙනෙක් ගජමුතු අලෙවි කිරීම පිණිස ගම්පහ සිට අම්පාර බලා පිටත් වූහ. ඒ පිරිස අතර අදාළ කාන්තාව හා පණ්ඩු බණ්ඩාරනායකත් අස්ගිරියේ හා ගම්පහ පණ්ඩුගේ ගජ මිතුරන් දෙදෙනකුත් එකතු වූහ. රියැදුරා ද සමඟ පිරිස 5කි.

ගජමුතු මිලදී ගැනීමට ඒමට පෙර අවස්ථා කිහිපයකදී හමුවන ස්ථානය හා ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කර ඇත. ඒ අනුව ගජමුතු අලෙවි කිරීම අම්පාර නවාතැන් පොළකදී සිදු කරන්නට කටයුතු යොදා ගෙන තිබේ.

ඒ අනුව ගම්පහ සිට අම්පාරට පැමිණෙන විටදී වරින් වර පිරිස ගැනුම්කරුවන් අමතා තමන් පැමිණෙන බවත් මුදල් සූදානම් කර ගන්නා ලෙසත් දැනුම් දී තිබේ. එමෙන්ම පිරිස පැමිණෙන්නේ මෝටර් රථයකින් බව ද ඔවුන් පවසා තිබුණි. උදෑසනින්ම ගම්පහින් පිටත් වූ පිරිස අම්පාරට පැමිණෙන්නේ දිවා ආහාරයෙන් ද පසුවය. ඔවුන් කිසිදු අවස්ථාවකදී තමන් සිටින ස්ථානය ගැනුම්කරුවන්ට නිසි පරිදි දන්වා තිබුණේ නැත. එහෙත් ඔවුන් නොදැන සිටියද ඒ වන විටත් විශේෂ කාර්ය බළකායේ පොලිස් දැල එළා තිබුණි. මෝටර් රථයකින් පැමිණෙන බව පැවසුවද ඔවුන් පැමිණියේ මොන්ටේරෝ වර්ගයේ සුපිරි ජීප් රථයකිනි.

ඔවුන් ඒ බව දැනුම් දුන්නේ පිරිස අම්පාර නගරයට ආසන්නයටම එනම් උහන නගරය ද පසු කළ පසුය. ඒ අවස්ථාවේදී ඔවුන් තම වාහනයේ අංකය ඇතුළු විස්තර ගැනුම්කරුවන්ට දැනුම් දුන්නේ විශ්වාසය තහවුරු වී තිබුණු නිසාය. එහෙත් ඒ තොරතුරු ලබා දෙන්නේ විශේෂ කාර්ය බළකායට බව ඔවුන් දැන සිටියේ නැත. නිදහස් පරිසරියක පිහිටි අම්පාරේ නවාතැන්පොළට මොන්ටේරෝ රථය පැමිණියේය. ඒ වන විටත් පිරිස බලාපොරොත්තුවෙන් සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් නවාතැන්පොළේ සිටි අතර විශේෂ කාර්ය බළකා නිලධාරීන් රැසක් ද එහි විය. රථය එහි පැමිණෙනවාත් සමඟ එම නිලධාරී පිරිස ක්ෂණිකව රථය වට කිරීමට කටයුතු කළහ. එහිදී රථය පරීක්ෂාවට ලක් කිරීමට සූදානම් වනවාත් සමඟ රථයේ පසු අසුනකින් බැසගත් පිරිමි දෙදෙනා ගනුදෙනුකරුවන් හා කතාවට පැටළුණහ. ඒ සමඟම රථයේ ඉදිරිපස දොර ඇරගෙන එළියට පැමිණි රැවුල වවාගත් පුද්ගලයා තමන් නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක බව පැවසුවේය. ඔහු හඳුනා ගත් පසුව විශේෂ කාර්ය බලකාය දිගටම සිය මෙහෙයුම සිදු කරන්නට විය. එහිදී රථයේ සිටි පිරිසත් ඔවුන් සතු වූ සියලු භාණ්ඩත් පරීක්ෂාවට ලක් කෙරිණි. කාන්තාව පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් වූ හෙයින් අම්පාර පොලිසියේ කාන්තා නිලධාරිනියන් ගෙන්වීමට කටයුතු කරන ලදී.

ඒ අතර ඇයගේ අතේ තිබූ බෑගය පරීක්ෂා කිරීමේදී අදාළ ගජමුතු සහ ප්‍රවේශමෙන් ඔතා තිබූ පාෂාණයක් ද හමු විය. ගජමුතු හමුවීමෙන් පසුව අදාළ මොන්ටෙරෝ රථය පූර්ණ පරීක්ෂාවකට ලක් කළ අතර රථයේ ඉදිරිපස කැබි ලාච්චුවේ තිබී පිස්තෝලයක් ද හමු විය. එය CS 85 වර්ගයේ පිස්තෝලයකි. ඒ සම්බන්ධව විමසූ විට ඇමැතිවරයා පවසා තිබුණේ එය තමාට නීත්‍යානුකූලව අයත් එකක් බවයි. පසුව කළ සොයා බැලීම්වලදී එය නීත්‍යානුකූලව පණ්ඩු බණ්ඩාරකායක හිටපු ඇමැතිවරයාට අයත් එකක් බව තහවුරු වී ඇත.

ගමන් බෑගයේ ගජමුතු සඟවා ගෙන සිටි කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ දෙහිවල පදිංචි මුස්ලිම් ව්‍යාපාරිකයකු විසින් ගජමුතු හා පාෂාණය විකුණා දෙන ලෙස ඉල්ලීමක් කළ බවත් තමන්ට ද යම් මුදලක් ලැබෙන හෙයින් මේ සඳහා මූලිකව කටයුතු කළ බවය. මෙම කාන්තාව හා සෙසු පිරිමි තිදෙනාම හිටපු ඇමැති පණ්ඩු බණ්ඩාරනායකගේ මැතිවරණ කටයුතු සඳහා මුල් වී කටයුතු කළ පිරිසකි. ගජමුතු ජාවාරම සිදුකිරීම සඳහා ඒවා ගම්පහ සිට අම්පාර දක්වා ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා මෙම කාන්තාව හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් සහාය ඉල්ලා ඇත. ඒ අනුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා මොන්ටෙරෝ රථය සමඟ ඔහු ද එක්ව තිබුණි. එම මෝටර් රථය හිටපු ඇමැතිවරයාගේ බිරියට අයත් එකකි. පණ්ඩු බණ්ඩාරනායක සමඟ අත්අඩංගුවට පත් පිරිස අම්පාර පොලිසිය වෙත බාර කෙරිණි.

එහිදී ඔවුන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අම්පාර මහේස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. පසුව ඔවුන් විසින් මෝසමක් මඟින් කරන ලද ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව අදාළ සියලු දෙනාට ඇප නියම කරන ලදී.

ඒ අනුව ඇප හිමි වූයේ ගජමුතු අලෙවි කිරීමේ නියැළුණු පෞද්ගලික උපකාරක පංති ගුරුවරියක වූ මහර කඩවත දුලානි සමදරා ජීවරාණි ද මැල්, ගම්පහ අස්ගිරියේ එම්.ඒ. සජීව ප්‍රියන්ජන, එම්.ඒ. සමීර මුණසිංහ, එම්.ඒ. සමන්ත ප්‍රදීප් කුලරත්න සහ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාටය. 

පොලිස් විශේෂ කාර්ය බලකා අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත අම්පාර කලාප අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. සේනාධීර ගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකා ප්‍රාදේශීය අණ දෙන නිලධාරී අටවැනි සේනාංකය සහකාර පොලිස් අධිකාරී කේ.පී. නලින් පෙරේරා ගේ අධීක්ෂණයෙන් අම්පාර කඳවුරේ අණ දෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාරගේ මෙහෙයවීමෙන් මේ මෙහෙයුම සිදු කරන ලදී.

මීට පෙරද අවස්ථා ගණනාවකදී ඇතුන් ඝාතනය කර පවා ගජමුතු ලබාගත් බවට තොරතුරු වාර්තා විය. එයින් ප්‍රමුඛස්ථානයක් ගත්තේ ගල්ගමුවේ දළ පූට්ටූවා ඝාතනයයි. ඒ සඳහා වලාන දූෂණ මර්දන ඒකකය විශාල මෙහෙවරක් සිදු කරන ලදී. එමෙන්ම යාල ජාතික වන උද්‍යානයේ සිටි දැවැන්ත ඇතෙකු ඝාතනය කොට ඇතාගේ ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 70 කට අලෙවි කිරීම සඳහා දඹුල්ලට පැමිණි සිටි බුත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු දඹුල්ල පොලීසිය විසින් 2019 වසරේදී අත්අඩංගුවට ගත්තේද මේ අනුව යමිනි. ඒ

පොලිස් විශේෂ කාර්යාංශයේ දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතය.

එමෙන්ම 2020 වසරේදී රුපියල් කෝටි පහක මුදලකට ගජමුතු දෙකක් අලෙවි කිරීමට තැත් කළ ගොවිජන සේවා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියකු, යුද හමුදා සෙබළකු ඇතුළු පස් දෙනකු කැබ් රථයක් ද සමඟ අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ කැකිරාව පොලිස් වසමේ මරදන්කඩවල වනමල් උයන ප්‍රදේශයේදීය.

පසුගිය වසර දෙක තුන තුළදී අධිකම වටිනාකමකට අලෙවි කිරීමට තැත් කළ ගජමුතු දෙක එය වේ. ගජමුතු කතාවේ අලුත්ම කතා නායකයා වන පණ්ඩු බණ්ඩාරනායකගෙන් පසුව හෝ මේ වංචාවන් නවතාලන්නට හැකි නම් එය අප පමණක් නොව වනයේ ඇතුන් පවා ලබා ගන්නා ජයග්‍රහණයක් වන්නේය.

Comments