සිංහල අලුත් අවුරුද්දේ බඩු මිල නඟීද රිසි සේ? | සිළුමිණ

සිංහල අලුත් අවුරුද්දේ බඩු මිල නඟීද රිසි සේ?

කාකාරී නාගරික ජීවිතයට මොහොතකට හෝ සමුදී අවුරුදු සැමරීමට බොහෝදෙනා ගම්රටවල් බලා යාමට උත්සුක වන්නේ ඉන් ලැබෙන සැනසිල්ල ආස්වාදය මහත් අස්වැසිල්ලක් වන නිසාය.

දරුමල්ලන් කැටිව දෙමාපියන් නෑදෑයන් බලන්නට යන මේ ගමනේදී ඇඳුම් පැලඳුම්, නිලාකූරු, රතිඤ්ඤා, අහස්කූරු රැගෙන යාම සාමාන්‍ය සිරිතය. ගමට යන විට අවුරුදු කෑම මේසය මතක් වන විටත් කටට කෙළ උනන්නේ නිරායාසයෙනි. කැවුම්, කොකිස්, මුං අලුවා, අතිරස , ආස්මි, වැලිතලප, මුංකැවුම්, දොදොල්, අතිරහ මේ රස කැවිලි අතර ප්‍රධානය. ඉස්සර නම් ගම ගෙවල්වල අවුරුද්දට සතියක් පමණ තියා රස කැවිලි සෑදීම සාමාන්‍ය සිරිතය.

මේ කැවිලි අතර කොකිස්, ආස්මි වැනි කෑම අවසානයට සාදා ගනීම සාමාන්‍ය සිරිතය. ඒ නැවුම්ව තබා ගැනීමට අවැසි නිසාය. ගම ගෙවල්වල අම්මා ආත්තම්මා අතින් සැදූ මේ රස කැවිලි කුඩා අප අනුභව කරන්නේ අවුරුද්දට පෙරය. ඒ මේවා රස බලා ගුණ දොස් කීමට අප සැදී පැහැදී සිටින නිසාය.

එහෙත් කාර්යබහුල ජීවිතයකට පිවිසීමත් සමඟ මේ සියල්ල වෙළෙඳපොළෙන් මිලදී ගන්නා‌ තත්ත්වයට බොහෝදෙනා පත්ව සිටිති. අද මේ සඳහා පේවී කටයුතු කිරීමට වඩා වෙළෙඳ පොළෙන් මිලදී ගැනීම කාගෙත් පහසුවට හේතු වී තිබේ. අවුරුද්දටවත් නිදහසේ ඉන්න ඕනෑ යන්න සැමගෙ පැතුමය.

බණ්ඩාරගම වැල්මිල්ල ග්‍රාමයේ එම්. කේ. අයි. එස් සාගරිකා ළඟ එන අලුත් අවුරුද්දට කැවිලි සෑදීම දැනටමත් ආරම්භ කර ඇත. ඇය මේ ප්‍රදේශයේ අනෙක් ස්ථානවලට වඩා අඩු මිලට ගුණාත්මකව රස කැවිලි සෑදීමට නම් දරා සිටින තැනැත්තියකි.

සිළුමිණ වත්මන් තත්ත්වය හමුවේ කැවිලි වෙ‍ෙළදාම පිළිබඳව ඇගෙන් විමසීමක් කළෙමු.

මං කැවිලි හදන්න අරන් මේ ගෙවෙන්නේ හය වැනි අවුරුද්ද. මේ කාලය තුළ අපේ කැවිලිවල ඉල්ලුම වැඩි වුණා. ගොඩක් අය කිව්වේ ඔයාගේ කෑම හරිම රහයි. ලබන පාරත් අපි ඔයාගෙන්ම තමයි කැවිලි ගන්නේ. ඉතින් මට හරි සතුටුයි. මිනිස්සුන්ට හොඳ විදියට ආහාරයක් දීලා ඒ ලැබෙන පිළිගැනීමට. ඒත් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේ හදා ගත්ත කැවිලි ටික විකුණ ගන්න පුළුවන් වෙයිද කියන දෙගිඩියාවෙන් ඉන්නේ. මොකද හැමදේම ගණන් ගිහින්. ගෑස් ගන්න දවස් ගණන් පෝලිමේ ඉන්න ඕන. ගිය අවුරුද්දේ දීපු ගානට මේ අවුරුද්දෙ දෙන්න බැහැ. අපි කැවුමක් ගිය අවුරුද්දේ දුන්නේ රුපියල් 20ත් 25ත් අතර මිලකට. මේ අවුරුද්දේ රුපියල් 50ත් ගන්න ඕන. මුං කැවුමක් විකුණුවේ රුපියල් 25ට. මේ අවුරුද්දේ රුපියල් 50යි. අළුවා කැල්ලක් විකුණුවේ රුපියල් 20ට. මේ පාර රුපියල් 45යි. පොඩි ආස්මි රුපියල් 35යි. නමුත් මේ ගමන රුපියල් 65යි.

හාල් පිටි කිලෝ එකක් දැන් රුපියල් 180 ක් වෙනවා. පසුගිය වසරේ අපි හාල් පිටි කිලෝවක් ගත්තේ රුපියල් 65-75 අතර මිලකට. 375ට 400ට ගත්ත පොල්තෙල් බෝතලේ රුපියල් 680ක්. රුපියල් 120ත් 130ත් අතර මිලකට තිබුණු සීනි කිලෝ එක රුපියල් 250ක් 270ත් අතර මිලයි. රුපියල් 1493ට තිබ්බ ගෑස් මිල රුපියල් 2675යි. සාමාන්‍යයෙන් පිටි කිලෝ 15කින් පොඩි ආස්මි 800ක් විතර හදන්න පුළුවන්. පිටි කිලෝ එකකින් කැවුම් 65ක් හදන්න පුළුවන්.

අපි කෙසෙල් කැන් ගේන්නේ ඇඹිලිපිටියෙන්. වෙනදා රුපියල් 6000ක තෙල් ගහලා හැමතැනම ඇවිදලා බඩු ටික එකතු කරන් එනවා. අද ඒ ගමන යන්න රුපියල් 8600ක් යනවා. ඒත් ගේන බඩු වැඩි මිලට විකුණන්න බැහැ.

අපි තාම ඇඹුල් සහ සීනි කෙසෙල් කිලෝවක් දෙන්නේ රුපියල් 110ට, කෝලිකුට්ටු කිලොවක් රුපියල් 230ට, ඇම්බුන් කිලෝවක් රුපියල් 200ට. මෙතන බෙහෙත් ගහන්නේ නැහැ. ඒ නිසා හොඳ වෙළෙදාමක් තියෙනවා. ගොඩක් අය ඔෆිස් ඇරිලා යන ගමන් තමයි බඩු ගන්නේ. ඒත් දැන් කරන්ට් නැති නිසා ඒ අය මෙතෙන්ට එන්නේ නැහැ. කෙසෙල් කුණු වෙනවා. මේ ප්‍රශ්න නිසා අපට අපේ වෙළෙඳාම කරගන්න විදියක් නැහැ. ගොඩක් අමාරුවෙන් තමයි මේවා කරන්නේ.

අපි ආණ්ඩුවට බරක් වෙලා ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. ඒ නිසා අපට මේ රැකියාව කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් සකස් කරන්න කියල තමයි ඉල්ලන්නේ යැයි සාගරිකා කියා සිටියාය.

අවුරුදු කාලේ අමතක කරන්න බැරි දෙයක් වන්නේ ගිනිකෙළි ය. විශේෂයෙන් දරුවෝ අවුරුදු කියන්නේ ම මේ සැණකෙලි වලට ය.

එනිසා අපි මීගමුව කිඹුලාපිටිය ගිනිකෙළි නිෂ්පාදන පිළිබඳව විපරම් කර බැලීමට ගියෙමු. එහිදී අපට හමු වූයේ, ගෝනා ලකුණ ගිනිකෙළි කර්මාන්ත ආයතනයේ හිමිකරු වයස අවුරුදු විසිපහක තරුණයකු වූ දිනේෂ් මධුසංඛය. “ ගෝනා ලකුණ රතිඤ්ඤා ව්‍යාපාරය පටන් ගත්තේ මගේ සීයා. අවුරුදු 47ක් විතර කාලයක පටන් සීයා මේ වැඩේ කරන් ආවා. තාත්තා නම් මේ වැඩේට එච්චර කැමැත්තක් දැක්කුවේ නැහැ. ඒත පුංචි කාලේ ඉඳලා ම මම සීයා එක්ක වැඩ කළා. ඒකෙන් මට මේ ව්‍යාපාරය ගැන හොඳ අවබෝධයක් ඇති වුණා.

සීයා හදිසියේ ලෙඩ වුණ නිසා ව්‍යාපාරයේ කටයුතු මගේ පිටට වැටුණා. මං රතිඤ්ඤා හදන්න පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මාරම කට්ටක් කෑවා ඒ අවුරුදු තුනේ. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ කොරෝනා ආවා; දැන් මේ ආර්ථික අර්බුදය. මේ අර්බුදය නිසා ව්‍යාපාරය කරන් යන්න වෙඩිබෙහෙත් නැහැ. මේ තමයි අපි කීයක් හරි හොයා ගන්න කාලේ. හොඳ ඉල්ලුමක් මේකාලේ වෙද්දි තියෙනවා. ඒත් ඒ ඉල්ලුමට දෙන්න නිෂ්පාදන අපි ළඟ නැහැ. මේ නිසා පාරිභෝගිකයන් නැති වෙනවා. ඒක ව්‍යාපාරය පැත්තෙන් ලොකු පාඩුවක්. ”

අවුරුද්ද පුරාම මොවුන් යැපෙන්නේ නත්තලට ජනේරුවට හා සිංහල හින්දු අලුත් අවුරුදු කාලවල උපයා ගන්නා ආදායමෙනි. සාමාන්‍යයෙන් ජනවාරි සිට මාර්තු දක්වා මාසකට කිලෝ සීයක් එකසිය පනහක් පමණ වෙඩිබෙහෙත් ලැබෙන අතර ඉන් නිෂ්පාදනය කරන නිලා, බඹරචක්‍ර, අහස්කූරු සහ රතිඤ්ඤා අවුරුද්දට රැස්කර තබා ගනී. නමුත් මේවනවිට මාස දෙකක් තිස්සේ මෙම ව්‍යාපාර සඳහා අවශ්‍ය වෙඩිබෙහෙත් ලැබී නැත.

පසුගිය දෙසැම්බර් මාසයේ රුපියල් තිහකට අලෙවි කළ පොඩි නිලා පෙට්ටියක් මේවනවිට රුපියල් අසූවකි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රු. 6/= පමණ ලැබුණු ඇසුරුම් රු. 25/= ක් දක්වා මිල ඉහළ යෑමය. නිලාකූරු සෑදීමට යොදා ගන්නා බයින්ඩින් කම්බි රෝලක් කලින් රු. 11,000/=කි. මේවනවිට එය රු. 17,500/=කි. කලින් රු. 2.50/= පමණ වූ රතිඤ්ඤා කරලක් මේවනවිට රුපියල් 5/=කි. මීට ප්‍රථම රු. 36,000/= ට තිබූ ඇළුමිනියම් පවුඩර් . දැන් රු. 60,000/= කි. රතිඤ්ඤාවලට අවශ්‍ය කඩදාසි කිලෝවක පෙර මිල රු. 40/= කි. දැන් එය රු. 125/= ක් පමණ වී තිබේ. එහෙත් මේවනවිට ඒ ගණනට හෝ මිලදී ගැනීමට කොළ නොමැති තත්ත්වයක් උද්ගතව තිබේ.

“ටැක්ස් එක්ක වෙඩි බෙහෙත් සඳහා මුදල් ගෙවලා තියෙද්දිත් මේ වනතෙක් වෙඩි බෙහෙත් කිලෝ එකක්වත් ලැබිලා නැහැ. අවුරුද්දේ නිෂ්පාදනය එහෙමම නතරවෙලා. මේ කාලෙට වැඩියෙන් ම විකිණෙන්නේ නිලා, බඹර චක්‍ර සහ රතිඤ්ඤා. මේ ප්‍රශ්නය නිසා නිලා බඹර චක්‍ර නිෂ්පාදනය එහෙන්පිටින්ම ඇන හිටලා. අමුද්‍රව්‍ය තියෙද්දි මේකාලේ වෙනකොට හොඳ ස්ටොක් එකක් අපි ගාව තියෙනවා. සාමාන්‍යයෙන් වෙන කාලවල මේ වෙද්දි වෙඩි බෙහෙත් කිලෝ පන්සීයක විතර නිෂ්පාදන කරනවා. නමුත් අහස් කූරු, බඹර චක්‍ර, රෝල් නම් අවුරුද්දක් විතර තියාගන්න පුළුවන්. ඒත් නිලාකූරු, ටින් වගේ දේවල් තියාගන්න බැහැ. ඒත් මේ වෙද්දි කිසිම නිෂ්පාදනයක් කරගන්න විදියක් නැහැ. මට විතරක් නෙමෛයි මේ ව්‍යාපාරයේ නියැළෙන හැමෝටම මේ ප්‍රශ්නය තියෙනවා. මං ළඟ ඍජුව සේවකයන් හයදෙනකුත් වක්‍රව සේවකයන් තිහක් පමණ වැඩ කරනවා. ඒ අයට අවුරුද්දට ගම්වලට යන්න පඩිගෙවාගන්න විදියක් නැතැයි” දිනේෂ් මධුසංඛ පෙන්වා දෙයි.

මෙහිදී සිළුමිණ සමඟ අදහස් පළ කළ මුවා ලකුණ ගිනිකෙළි ආයතනයේ හිමිකරු සුරින් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ “ පසුගිය නත්තලට ජනේරුවට නිෂ්පාදනවලින් සියයට පනහක් පමණ අලෙවි වුණා. වෙන කාලවලට නම් නම් කෑම ගන්නවත් වෙලාවක් නැහැ. රටේ හැම තැනින් ම ඇවිත් බඩු අරන් යනවා. හලාවත ඉඳලා අලුත්ගමට යනකන් වැඩි හරියක් තියෙන්නේ අපේ නිෂ්පාදන. ඒත් මේදා පාර බඩු ගෙනියන්න ආවේ නැහැ. රතිඤ්ඤාවලට වියදම් කරන්න මිනිසුන්ට සල්ලි නැහැ. අපි අවුරුද්ද පුරාම බිස්නස් කරන අය. නත්තල්, අවුරුදු හැර දීපවාලී, සංගීත සන්දර්ශන, පෙරහර, කඨින පින්කම් වගේ උත්සව නිසා අවුරුද්ද පුරාම බිස්නස් තිබුණා. ඊට අමතරව ගොවියනුත් ගොවිතැන් සතුන්ගෙන් ආරක්ෂා කර ගන්න අපෙන් රතිඤ්ඤා ගෙනියනවා. දැන් ගොවියන් ගොවිතැන් අත්හැරලා නිසා අපිට ඒ බිස්නස් එකත් නැහැ. මා ළඟ පූර්ණකාලීනව වැඩ කරන අය 15 දෙනෙක් විතර ඉන්නවා. උප කොන්ත්‍රාත් විදිහට වැඩ කරන අය පනහක් විතර ඉන්නවා. බිස්නස් එක පාඩු වුණත් මේ අයව රැකගන්න ඕනෑ. මොකද මේ වැඩේට අලුත් අය අරගෙන පුහුණු කරලා ගන්න බැහැ. අතේ හුරුවෙන් වේගවත්ව වැඩ කිරීම තමයි මේ වැඩේට අවශ්‍ය වෙන්නේ. හතර දෙනෙක් දවසකට අහස් කූරු 8000 ක් හදනවා. රතිඤ්ඤා කරල් 30,000 ක් හදනවා. අලුත් අයට ඒ වේගයට වැඩ කළ නොහැකි බව” හෙතෙම පෙන්වා දෙයි. 

මේ මාස දෙක තුළ වෙඩිබෙහෙත් සහ කොළ ප්‍රශ්නය විසඳුණේ නැති නම් තම ව්‍යාපාරය තවදුරටත් කරගෙනයා නොහැකි බව ගිනිකෙළි නිෂ්පාදකයන් පෙන්වා දෙයි.

මීළඟට සිළුමිණ කතා කළේ අලුත් අවුරුදු චාරිත්‍රවලට නැතිවම බැරි කිරි උතුරන මුට්ටි හා ලිප් තනන මිනුවන්ගොඩ පොල්වත්ත ශිල්ප සමිතියේ සභාපති ඉඳුරගේ නීල් ප්‍රේමසිරි සමඟය.

“අපට මේවෙද්දි මැටි ටිකක් හොයා ගන්න අමාරුයි. අමාරුවෙන් මැටි හොයාගෙන මුට්ටි, ලිප් හැදුවත් ඒවා පුච්චගන්න දර, පොල්ලෙලි හොයා ගැනීම හරිම දුෂ්කරයි. ඒවයේ මිලත් ඉහළ ගිහින්. ගෑස් ප්‍රශ්නය නිසා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල හෝටල්වලට, ෆැක්ට්‍රිවලට ටිපර්වලින් දර ප්‍රවාහනය කරනවා. ඊට අමතරව ගොඩක් අය දර පාවිච්චියට යොමුවෙලා. මේ නිසා දර හිඟයකුත් තියෙනවා. රස්සාව කෙරුවට වැඩක් නැහැ. අතට මුදලක් එන්නෙ නැහැ.

නිෂ්පාදනය කරන්න යන වියදම වගේ මුදලක් අතට ලැබෙන්නේ. අපි කිරි මුට්ටියක් දෙන්නේ රු. 22/=ට. ඒකට හදන ලිපක් දෙන්නෙත් ර. 22/=ට. මේ දෙකම විකුණුවත්, රු. 50/= ක් ලැබෙන්නෙ නැහැ. මැටි, දර, භූමිතෙල්,පොල්තෙල් සහ වැඩ කරන අයට පඩිනඩි ගෙව්වම අතේ මුදලක් ඉතිරි වෙයිද? අපි මේ ලිප් හදන්නේ අච්චුවකින්. අච්චුවට මැටි යොදන හැම අවස්ථාවකම භූමිතෙල් පොල්තෙල් කලවම් කරලා අච්චුවේ ගාන්න ඕන. නැත්තම් ගැලවෙන්නේ නැහැ. දැන් භූමිතෙලුත් ගණන් ගිහින්. ඒත් ගන්න තෙල් නැහැ.

දවස් ගණන් පෝලිම්වල ඉඳල තමයි ඒකත් ගන්න වෙලා තියෙන්නේ. පහන් පොල්තෙල් ලීටර් පහේ කෑන් අපි ගන්නේ ඒකත් දැන් ගණන් ගිහින්. අපි පස්දෙනෙක් දවසකට මුට්ටි ලිප් 600ක් විතර හදනවා. මේ දවස්වල කිරිමුට්ටියටයි ලිපටයි හොඳ ඉල්ලුමක් තියෙනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ ලබන ජනවාරි වෙනකම් වෙළෙඳාමක් නැහැ. අතර මැදියෙක් නැතිව මේවා අපිටම අලෙවි කරගන්න වෙළෙඳපොළක් හදල දුන්න නම් ගොඩක් වටිනවා.”

Comments