
- දුප්පත් ගම් පියසකට නව ලෝකයක් උදාකරදීම හැරුණකොට දේශපාලන බලවතකු වීමට ඔහුට අවැසි නොවීය
- දශක දෙකක් වැනි සුළු කාලයක් තුළ දේශීය ප්‍රමුඛ ව්‍යාපාරිකයා ලෙස පෙරමුණට
- තමා සතු ධනයෙන් මතුව එන අනාගත නව යොවුන් පරපුරක් දැක ගැනීම ඔහුගේ අපේක්ෂාව විය
පුංචිම අවධියේ තමා නැළවුණු තම මවගේ ගම වූ කඹුරුපිටියට උපාලිගේ අවධානය යොමු විය. මෙයට මූලික වූයේ ද එවක ඇතිවූ දේශපාලන සංසිද්ධියකි.
කුඹුරුපිටිය ආසනයේ මන්ත්‍රීවරයා වූ මලවරආරච්චි එක් දිනක් උපාලි හමුවී කතා බහක යෙදුණි. රුහුණට වෙන්වූ විශ්වවිද්‍යාලයක් ඇති කර දෙන්නැයි ඔහු උපාලිගෙන් ඉල්ලා සිටියේය. එයට පසු දිනම එදවස ප්‍රකාශයට පත්වෙමින් තිබුණු ‘දවස’ පුවත්පතේ මේ පිළිබඳ මුල් පිටුවේම ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස සටහන්ව තිබිණ. මෙය රුහුණු ජනතාවගේ අතිශය ප්‍රීතියට හේතු වූවා පමණක් නොව මුළු මහත් දේශපාලන කරළියම දෙදරුම් කැවූ සිද්ධියක් විය. මලවරආරච්චි මන්ත්‍රීවරයාට පක්ෂය තුළ විනය කැඩීමක් මුල් කොටගෙන ඔහුගේ මන්ත්‍රී ධූරය එක්සත් ජාතික පක්ෂය මඟින් අහෝසි කරනු ලැබුවේය. ගාල්ලේ සිටි ඇල්බට් සිල්වා කඹුරුපිටියේ මන්ත්‍රීවරයා ලෙස තෝරා ගැනුණි. එහෙත් ඇල්බට් සිල්වාට කඹුරුපිටියට පැමිණීම තහනම් කරමින් කඹුරුපිටියේ ජනතාව මහ මග අවුරාගෙන සත්‍යග්‍රහයක් කළහ. “උපාලි අපිට අපි උපාලිට” යනුවෙන් මඟ දෙපස වූ තාප්පවල සටහන් තබන්නට ආසනේ සියලු වැසියෝම පෙළ ගැසුනහ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආරක්ෂක ඇමැති කර්නල් ධර්මපාලගේ මැදිහත්වීමෙන් පැවති සමුපකාර සංගමය සඳහා වූ ඡන්ද විමසීමේදී තරග වැදුණු උපාලිගේ මෙහෙයවීමෙන් ආරම්භ කළ රුහුණු උදාන අපේක්ෂකයෝ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවෝය.
කඹුරුපිටිය මුල් කරගන පොදුවේ රුහුණු ජනයාට සේවය කිරීමට උපාලි රුහුණු උදානය සංවිධානයට වෙනම අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර තිබිණ. කඹුරුපිටිය ආසනය තුළ වාසය කරන ශිෂ්‍ය ප්‍රජාවට නව රැකියා අවස්ථා ලබාදීම සඳහා ඉංග්‍රීසි පන්ති ස්ථාන පහළොවකදී පැවැත්විණ. ඉහළ වැටුප් ලබන ගුරු මණ්ඩල මේ සඳහා යොදාගෙන තිබිණ. එමෙන්ම රියදුරු පන්ති රැසක් ද පරිගණක අධ්‍යාපනයට වෙන්වූ පන්ති රැසක් ක්‍රියාත්මක විය.
ඇල්බට් සිල්වා මන්ත්‍රීවරයා කඹුරුපිටිය අසුනට පැමිණි දිනයේදී විරෝධය පෑමෙන් සහ තර්ජනය කිරීමෙන් නීති විරෝධී කටයුත්තක් කළේ යයි රුහුණු උදාන අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව නඩු පවරන ලදී.
හරිෂ් වීරතුංග ඇතුළු චූදිතයන් වෙනුවෙන් මාතර උසාවියට පැමිණි සුප්‍රකට නීතිඥයන් දෙපොළක් වන චොක්සි සහ අර්ඩ්ලි පෙරේරා යන අය මාතර උසාවියට පැමිණියේ කොළඹ සිට හෙලිකොප්ටර් දෙකකිනි. උපාලි රුහුණු උදානය සංවිධානය ඇති කළේ ඔහු දීර්ඝ කාලයක් මුළුල්ලේ තම සිත ගත් සුන්දර පරිසරයක් තම ආදරණීය මෑණියන්, මුත්තණුවන් සහ මිත්තණියන් විසින් සිය පෙදෙසට කර ඇති කාර්ය භාරය ඉතිරි කොටස තමා විසින් පරිපූර්ණ කළයුතු බවට වූ ස්ථිර අධිෂ්ඨානයකිනි.
ඈත දුෂ්කර එමෙන් ම අධ්‍යාපන පහසුකම්වලින් අඩු ගම්මානයක් වූ කඹුරුපිටිය ප්‍රදේශයේ ළමයින් තුන්දහසකට අධික ප්‍රමාණයකට නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය දෙනු ලැබීය. කඹුරුපිටිය ආසනයේ ප්‍රධාන පාසල වන මිද්දෙනිය මහා විද්‍යාලයේ ප්‍රයෝජනය සඳහා සම්මන්ත්‍රණ ශාලාවක් ඇති කළ යුතු යයි හැඟුණු ඔහු ඒ සඳහා එවකට ලක්ෂ විසි පහක පමණ වියදමක් දරා පාසලට ආසන්නයේ සම්මන්ත්‍රණ ශාලාවක් ඉදි කළේය. ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් එක් දහස් පන්සියයකටත් අධික පිරිසකට වසරකටත් අඩු කාල පරිච්ඡේදයකදී රැකියා අවස්ථා සපයා දීමට හැකි විය. අඩු අධ්‍යාපනයක් ලබා සිටි එහෙත් නිකරුණේ අපතේ යන තරුණ ජීවිතවලින් ජාතියට මෙහෙවරක් ලබාගත හැකි බව දුටු හෙතෙම රියදුරු පාඨමාලාවකට එම තරුණ පිරිස යොමු කළේය. මෙතෙර මෙන්ම එතෙර ද රැකියා සඳහා එම පිරිස යොමු වූහ.
නිදහස් වෙළෙඳ කලාපයේ රැකියා සඳහා තරුණයන් තුන් දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාසයෙන් යොමු කරවීමට උපාලිට හැකි විය. කඹුරුපිටිය මධ්‍යස්ථානය කරගනිමින් මුළු රුහුණම නව යුගයකට පත් කරලීම ඔහුගේ පරමාර්ථය විය. මෙම වැඩපිළිවෙළ ටික කලක් කරගෙන යත් ම බලලෝභී දේශපාලකයන් කල්පනා කළේ, ඔහු රුහුණේ ජාතික බලවතා ලෙස ඉදිරියේදී ඉස්මතුවීමේ අදහසකින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවකි.
එහෙත් ඔහු තුළ තිබුණේ තම දිවි දෙවැනි කොට ආදරය කරන මෑණියන් හා තම සෙවණැල්ල මෙන් සිට දුක සැප සොයා බලන සිය මිත්තණිය උපන් ගම වූ කඹුරුපිටියත් ඒ ඇසුරු කොට සිය මවු පස පරපුර සතු රුහුණත් දියුණු කිරීමෙන් තමා මවු ගුණ පිරි පුත්‍රයකු බව හෙළි කිරීම පමණි. තම නෑසියන් විඳින අතොරක් නැති දුක් කම්කටොලුවලට පිළිසරණක් වීමේ අහිංසක චේතනාවට වැඩි යමක් ඔහු තුළ නොවීය. එසේ වී නම් 1977 බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන සමඟ එක්වී එසේ කරන්නට ඔහුට ඉඩකඩ තිබුණි. කුඩා දරුවකුව සිටියදී තම පියා මිය ගිය පසු වැඩිමහල් සහෝදරයකු ලෙස ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූයේ තම නැන්දනියගේ පුතකු වන ජේ.ආර්. ජයවර්ධන සමඟය. ඒ ඥාතිත්වය නිසාම නොව 1977 වන විට ලංකාවේ ප්‍රධානතම සිංහල වෙළෙඳ ව්‍යාපාරිකයා බවට පත්ව සිටි උපාලිට 1977 දී මහ මැතිවරණයට ඉදිරිපත් වී පහසු ජයක් ලබාගෙන දේශපාලනයේ ඉහළම තැනකට පිවිසෙන්නට ඉඩ තිබුණි. රුහුණු උදානය අරඹා කඹුරුපිටියත් ඒ අවට ගම් වැසි අහිංසක තරුණ පිරිසට සේවයක් කරගෙන යත්ම වියරු වැටුණු දේශපාලන බල ලෝභියකු හැකිතාක් වැට කොටු බැඳ ඔහු අධෛර්යයට පත්කරන්ට මාන බැලුවේය. රුහුණු උදානයට සම්බන්ධ කීප දෙනකුගේ ජීවිත නැතිවීමත් විවිධ උවදුරු ඇති කිරීමත් තුළින් ඔවුහු එය ක්‍රියාත්මක කළහ. රුහුණු උදානයේ බලගතුම අවස්ථාව උදා වූයේ උපාලි විජයවර්ධන සම්මන්ත්‍රණ ශාලාවේ වැඩකටයුතු ආරම්භ කිරීමයි. ජනාකීර්ණ කොළඹ නගරය හැර එදා එබඳු අංගසම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවක් සහිතව පැවැති එකම නගරය කඹුරුපිටියයි. පළාතේ තරුණ තරුණියන්ගේ සම්මන්ත්‍රණ මඟුල් හා වෙනත් උත්සව සඳහා ඒ වනවිට මාතරින් එපිට එවැනි තැනක් නොවීමේ අඩුව ද මෙයින් සම්පූර්ණ විය. 1980 වර්ෂයේ ඇරැඹි රුහුණු උදාන ව්‍යාපාරය අද දක්වා සාර්ථකව ක්‍රියාත්මක වී නම් කඹුරුපිටිය ආශ්‍රිත මාතර දිස්ත්‍රික්කය පමණක් නොව රුහුණු පුරවරයම සශ්‍රික වනු නොඅනුමානය.
උපාලි මෙරට දේශපාලන කටයුතුවලට සම්බන්ධවීමට උනන්දුවක් නොවීය. ඔහු සිතුවේ දන්නා කියන වැඩි පිරිසකට රැකියා අවස්ථා ලබාදීම තමා විසින් කළ යුතු මෙහෙවරක් ලෙසිනි. 1977 දී කඹුරුපිටිය ආසනයට තේරී ආ මල්ලවආරච්චි, නිතර තම ගම් පළාත්වල අයට රැකියා ලබාදෙන ලෙස අතොරක් නොමැතිව ඉල්ලීම් ඉදිරිපත් කරන්නට විය. “මම හොඳ යෝජනාවක් කරන්නම්. ගමේ අයට ගමේම රස්සා ලැබුණොත් නේද වඩා හොඳ? ඒකට මම වැඩක් කරන්නම්. ඒකට අපි ඒ අයගෙ සුදුසුකම් සොයලා ඒ පැත්තෙම රස්සා හොයල දෙමු.”මන්ත්‍රීවරයා හොඳින් අසා සිටියේය. උපාලි තම වැඩපිළිවෙළ පැහැදිලි කළේය.
“දැන් නිදහස් ආර්ථිකයක් ඇතිවෙලා. එන්න එන්නම රටට වාහන ගෙන්වනවා. රියදුරු ඇබෑර්තු වාහන අලුත්වැඩියා කරන තැන් වැඩි වෙනවා. මම දකුණේ රස්සා නැති අයට ඒවා පුහුණු කරන්න සූදානම්. ඒකට මම ‘රුහුණු උදානය’ නමින් මධ්‍යස්ථානයක් හදනවා. ගමේ අය එතෙන්ට එවන්න. තවත් එකක්, ගාල්ල මාතර වගේ පළාත්වල විශ්වවිද්‍යාලයට සමත් ශිෂ්‍යයන්ට දුර බැහැර කොළඹ, පේරාදෙණිය වැනි පළාත්වලට නොගොස් මේ පළාතෙම විශ්වවිද්‍යාලයක් මගේ තනි වියදමින් හදන්න මම තීරණය කළා. ඒකට ඕන කරන ඉඩ කඩම් මගේ අම්මගෙ පැත්තෙන් මට ලැබිල තියෙනවා.” මල්ලවආරච්චි මන්ත්‍රීවරයා සතුටින් ඉපිළ ගියේය. ඔහු ‘දවස’ පත්තර කන්තෝරුවට ගියේය. රුහුණු උදානයත් සමඟ රුහුණට විශ්වවිද්‍යාලයක් ඇති කරන බවට උපාලි ප්‍රකාශ කළේ යැයි කීවේය. පසුවදා එම පුවත දවස පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය විය.
රුහුණ පිළිබඳ එම පුවතින් දකුණේ දේශපාලකයෝ බියට පත්වූහ. ඉදිරියේදී මුළු රුහුණම උපාලිගේ නායකත්වය යටතේ නව දේශපාලන බලවේගයක් බවට පත්වේ යයි ඔවුහු තැති ගත්හ.
විදුලි පුවත් දහස් ගණන් එදා උපාලිගේ කාර්යාලයට ලැබී තිබිණ. මෙම අදහස කෙරෙහි ප්‍රසාදයට පත් රුහුණු ජනයාගේ ප්‍රතිචාරය එසේ දක්වද්දී දේශපාලකයෝ තම කුමන්ත්‍රණවල යෙදී සිටියහ.
ජනාධිපති ජයවර්ධන තම ඥාති සොහොයුරා වුව ද මෙම දේශපාලන කුමන්ත්‍රණය අබිබවා යාමට ඔහුටවත් නොහැකි විය. පෞද්ගලික අංශයේත් කිසිදු උදව්වක් අප රටේ අධ්‍යාපනයට අවශ්‍ය නැතැයි ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. එහෙත් රුහුණු උදානය තුළින් තම ගමේ ජනයාට කළ හැකි උපරිම සේවය කිරීමට උපාලි සිතා ගත්තේය. ඔහු ඒ අනුව ක්‍රමවත් සැලසුමක් ඇති වැඩපිළිවෙළක් ඇරඹුවේය.
මේ අතරතුර එවකට කඹුරුපිටිය ආසනයේ මන්ත්‍රීවරයාගේ අසුන අහිමි විය. ඒ සඳහා උපාලි පත් කරන්නැයි ජනතා රැල්ලක් නැඟී ආවේය. එහෙත් වෙනත් ආසනයකින් තරග කොට පරාජය වූ කෙනෙකු කඹුරුපිටියේ මන්ත්‍රීවරයා වශයෙන් නම් කෙරිණ. අලුතින් කඹුරුපිටියට තේරී පත්ව ආ මන්ත්‍රීවරයාට ජනතාව තුළ වූ අකමැත්ත කොතරම් ද යත් ඔහුට තම මන්ත්‍රී කොට්ඨාසය වූ කඹුරුපිටියට යෑම පවා අපහසු විය.
ඔහු එම පළාතට එන දිනය සැලවූ ගම් වැසියෝ මහ මඟ අවුරා සිටියහ. කඹුරුපිටිය නගරයේ මහමඟට ගස් ගල් පෙරළා තිබුණි. ප්‍රථම දිනය එලෙස විය. පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කරමින්, කඳුළු ගෑස් විහිදුවමින් මහජනතාව පලවා හැරියහ. එහිදී අසරණ තත්ත්වයට පත්වූ මන්ත්‍රීවරයා සිය ඡන්ද කොට්ඨාසයට ගියේ පොලිසිය ද කැටිවය.
උපාලිගේ ව්‍යාපාර ගමන් මඟ දේශපාලන ගමන් මඟකට යොමුවීමට මෙම කරුණ දැඩි සේ බලපෑවේය. තමා සතු ධනය තුළින් මතුව එන අනාගත නව යොවුන් පරපුරක් දැක ගැන්මට ඔහුට අපේක්ෂාවක් පැවතිණ. රුහුණේ දරු දැරියන් මුළු රටම පුබුදුවන මහා බලවේගයක්ව ඉදිරියට නැඟී එන අයුරු ඔහු කලක සිට දැක තිබූ සිහිනයකි. ඒ සිහිනය සැබෑ කරන්නට තැත් දැරුවද එයට දේශපාලන හවුල්කරුවන් සෑම උපක්‍රම තුළින් ඉදිරියේදී මෙරට ජන සමාජය අවිනිශ්චිත තත්ත්වයකට එතැයි ඔහු තුළ දැඩි සංවේගයක් පහළ විය.
හැමදාම වාගේ උපාලි තුළ වූ පුරුද්දක් වූයේ මිනිසුන් ඉදිරියේ කැපී පෙනී ඉස්මතු වීමට වඩා විහිළුවක් කොට ඔවුන් හිනස්සා ආස්වාද විඳීමය. උපාලිගේ දේශපාලන ගමන් මඟ ආරම්භ වූයේ ද එක් විනෝදාස්වාදයක් මුල් කොට ගෙනය. මේ වනවිට කලවාන ආසනයට තේරී පත්ව සිටි මන්ත්‍රීවරයා වූ අබේරත්න පිලපිටියට ඡන්ද පෙත්සමකින් අසුන අහිමි විය. කලවාන උපාලිට ඒ තරම් සමීප ප්‍රදේශයක් නොවූවත් ඔහු සතුව තිබූ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ෆැමිලි සමාගමට අයත් පීන්කන්ද වතු යාය ද එම ප්‍රදේශයේ පිහිටා තිබුණි.
උපාලි මේ අතරතුර එක්තරා අන්දමක මිනිසුන් තිගස්සවන වැඩපිළිවෙළක් සූදානම් කළේය. තම ඥාති සොහොයුරු රංජිත් විජයවර්ධනගේ සහාය ලැබ ඔහු සතු විජය පුවත්පත් සමාගමින් “උපාලි අපිට අපි උපාලිට” යන පාඨය සඳහන් විශාල පෝස්ටරයක අනුරුවක් ගෙන්වා ගත්තේය. උපාලිට අයත් හෝමාගම ගලවිලවත්තේ ඉදිකොට තිබූ නවතම පුවත්පත් මුද්‍රණාලයට එය රැගෙන ගියේ එදිනම සවස්වරුවේය. උපාලි, ධර්මසේන අතපත්තු, පේලි මුහන්දිරම් යන අය කැටුව මම ද එම ගමනට එක්වීමි.
ගලවිලවත්තේ පුවත්පත් මුද්‍රණ කරන අංශය උපාලි පිළිගත්තේ දැඩි ගෞරවයකිනි. ඔවුනට මෙතෙක් කලක් මුද්‍රණාලයේ කටයුතු ආරම්භ කිරීමක් නොවූ හෙයින් පෝස්ටරය මුද්‍රණය කිරීම සඳහා පැය කීපයක් ගත කිරීමට සිදු විය. එදා මා සේවය කරමින් සිටි ලේක්හවුස් ආයතනයේ ප්‍රමාණයෙන් අටෙන් එකකටත් වඩා අඩු වපසරියක මුද්‍රණාලය සවිකර තිබිණි. සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා තුනෙන්ම පුවත්පත් මුද්‍රණය වන නිසා ලේක්හවුසියේ ඒ සඳහා වෙන්වූ ‘ලයිනෝ ටයිප් මැෂින්’ පණහක් හැටක් පමණ විය. පුවත්පත්වල අකුරු ඇමිණීමේ ‘ශීර්ෂපාඨ’ යෙදීමේ සිට මුද්‍රණයෙන් නිමා කරන අති දැවැන්ත රොටරිය දක්වා සියල්ල ඊයම් සමඟ කරන ගනුදෙනුවක් විය. එහෙත් උපාලි මුද්‍රණාලය නවතම ‘ලිතෝ’ ක්‍රමය යටතේ මුද්‍රණය වන්නකි.
මෙම විචිත්‍ර කටයුතු බලමින් මම අසීමිත වින්දනයක් ලැබීමි. උපාලිගෙන් මුද්‍රණාලයේ සිටි හිතවත් සේවක පිරිස අසා සිටියේ “කවදද ඉක්මනට අපෙන් අලුත් පත්තරයක් පටන් ගන්නෙ”කියා. “ඒක දන්නෙ මා නොවෙයි. මෙන්න මෙයා ”යැයි උපාලි කියත්ම නොබෝ දිනකින්ම ලේක්හවුසිය හැරදමා යාමට සිදුවනු ඇතැයි මම දැඩි සතුටට පත්වීමි.
හෙමි හෙමින් මහ රැය ගෙවී ගොස් හිරු නැඟෙත්ම අලුතෙන් මුද්‍රණය කළ පෝස්ටරයේ සිහිවටන පිටපතක් ද රැගෙන මම නිවසට පැමිණියෙමි.
පසුවදා කලවාන ආසනය සමඟ දැඩි සබඳතාවක් පැවැත්වූ එවකට රත්නපුර නගරාධිපති ලෙස කටයුතු කළ අසෝක ජයවර්ධන හමුවීමට මම එහි ගියෙමි. අපේ කථාබහ යොමු වුණේ කලවාන අසුනට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් කවුද යන්නය. ඒ වනවිට පළාතට විශාල සමාජ සේවයක් කළ දේශීය වෛද්‍යවරයකු ඇතුළු ප්‍රභූවරු අට දෙනෙක් පමණ කලවාන නගරයත් ඒ ආශ්‍රිතවත් එක්සත් ජාතික පක්ෂයෙන් අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමට පක්ෂ මූලස්ථානය වන සිරිකොත මැදුරට ඉල්ලුම්පත් ඉදිරිපත් කොට තිබිණ. අසෝක ජයවර්ධනගේ කරුණු පැහැදිලි කිරීම කොතරම් දුරට සාර්ථකද යත් පසු දිනම එම කණ්ඩායමේ සියලු දෙනාම එක් වෑන් රථයකට නංවාගෙන තර්ස්ටන් පාරේ උපාලිගේ නිවෙසට ගෙන ඒමට හැකි විය. එදිනම හවස පේලිමුහන්දිරම්, කලවානේ පින්කන්ද වතුයායේ අධිකාරිවරයාට දැන්වූයේ මැතිවරණ කටයුතු සඳහා විශේෂ බංගලාවක් කඩිනමින් නිමකරන ලෙසය. උපාලි තමන්ගේ හෙලිකොප්ටර් යානයෙන් කලවාන නගරය දැක බලාගන්නට දිනක් දෙකක් ගමන් කරත් ම උපාලිගේ කලවාන ආගමනය නිශ්චිතවම සිදුවන්නේ යැයි ප්‍රදේශවාසීහු සතුටින් බලා සිටියහ.
රුහුණු උදානය අතරමඟ නතර කර දමන්නට රුහුණේම දේශපාලකයෝ කටයුතු කළ ආකාරයෙන් ඔවුහු යළිත් මෙහිදී ද උපාලිට විරුද්ධව පක්ෂ නායකත්වයට කුමන්ත්‍රණ කළහ. මේ සියල්ල උපාලි බලා සිටියේ උපේක්ෂා සහගතවය. නාම යෝජනා බාරදෙන දිනය උදාවිය. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අබේරත්න පිළපිටිය සිය නාමයෝජනා ඉදිරිපත් කොට උදෙන්ම පැමිණියේ උපාලිගේ නිවෙසටය. කිසිවක් නොදන්නා කෙනකු ලෙසින් ඔහු උපාලි සමඟ රටේ විස්තර කථා කරමින් කාලය ගත කළේ, උපාලි වැරදිලාවත් නාම යෝජනා ලබා දෙන්නට පිටතට යා හැකි දැයි නිශ්චිතව දැන ගැනීමටය. ඔහු අබේරත්න පිළපිටියට අභියෝගයක් කළේ ය. “අපි ඡන්ද ඔට්ටුවක් අල්ලමුද?”
“මේ පාර කලවානෙන් සරත් දිනනවා” කියා වටපිට බැලූ පිළපිටිය, “මම ගිහින් එන්නන්”යැයි කීවේ දැඩි බයාදු ගතියකිනි. එක්සත් ජාතික පක්ෂය කලවාන අසුන පරාජය වී කොමියුනිස්ට් පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ සරත් මුත්තෙට්ටුවේගම එම ආසනයේ මන්ත්‍රීවරයා බවට පත් විය. ඉන් අනතුරුව බද්දේගම ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයේදී ද උපාලි තරග කරන බවට ජනතාව තුළ බලාපොරොත්තුවක් තිබුණද උපාලි තුළ ඇත්ත වශයෙන්ම දේශපාලන නායකයකු වීමට කිසි දිනක හෝ කැමැත්තක් නොවීය.
ව්‍යාපාරික ලෝකය ජය ගත් උපාලිට අවශ්‍ය වූයේ දුප්පත් ගම් පියසකට නව ලෝකයක් උදාකරදීමය. ඒ හැරුණකොට දේශපාලන බලවතකු වීමට ඔහුට අවශ්‍ය නොවීය. එහෙත් විවිධ උපක්‍රම මඟින් දේශපාලන ලෝකයට ඔහුට ඒමට කිසියම් පිරිසක් ගත් සංවිධාන වූ ව්‍යාපාරයක අනිටු ප්‍රතිඵල විඳීමට සිදුවිය. අවංකකම තම එකම දර්ශනය කොටගෙන සිය දිවි ගමන ඇරඹූ උපාලි ඉතා චාම් දිවි පැවැත්මක් ගෙන ගිය පුද්ගලයෙකි. තමා ජන්මයෙන් ලද උත්සාහවන්ත බව තුළින් සිංහල දේශයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයා බව පත්වීමට ඔහුට ගත වූයේ දශක දෙකක් පමණ වූ සුළු කාල වකවානුවකි. තමා ලද අත්දැකීම් සමුදාය මුළු දේශය පුරා ප්‍රචලිත කිරීම තුළින් නව යුගයකට ගැළපෙන නව සමාජයක් බිහි වෙතැයි ඔහු තුළ දැඩි අධිෂ්ඨානයක් විය. එහෙත් තම ප්‍රාර්ථනා ඉටු නොවන සමාජයක් බිහිව ඇතැයි ඔහුට දැනුණි. යළි යළිත් ඔහු සිය යටගියාව සිහිපත් කළේ ය. පවත්නා සමාජය තුළ තමා පතන නව ලෝකයේ දොරටු නොහැර ඇති බව ඔහුට පසක් විණි. ඉදිරියට යන නව සමාජය දැනුම්වත් කළහොත් තමා සතු අදහස් ක්‍රියාත්මක කළ හැකි යයි ඔහු සිතා ගත්තේය. දේශපාලනය සඳහා ගෙවුණු මුදල්, ගතවුණු කාලය පිළිබඳව ඔහු පසුතැවිලි නොවීය. එහෙත් මෙම ක්‍රියාදාමය දිගින් දිගටම පැවැත්විය යුතු නැතැයි ඔහු සිහිපත් කළේය.
මුළුමහත් ප්‍රජාවම දැනුම්වත් කොටගෙන තමා බලාපොරොත්තු වන නව මඟට පිවිසීම උපාලිගේ අදහස විය. විවිධ බලවේග තුළින් දූෂණයට ලක්ව ඇති මෙරට සමාජ ක්‍රමය වෙනස් කොට ජාතියට හිතකාමී පරිසරයක් ගොඩ නැඟීමට ඔහු ගත් පියවර වූයේ ජාතික පුවත්පත් ආයතනයක් බිහි කරලීමය.
ලබන සතියේ අවසාන කොටස...
ඔහු විශ්වකර්ම මිනිසෙකි. දකුණු ලක උපන් හෙතෙම අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඩෙල්ටා ටොෆියෙන් ඇරඹි ව්‍යාපාර මෝටර් රථ නිෂ්පාදනය දක්වා උපාලි රැගෙන ගියේය. මැලේසියානුවන් චොකලට් රජ්ජුරුවෝ ලෙසද හැඳින්වූයේ ඔහුය. මේ, ඔහුගේ දිවි සැරියෙන් දිය දෝතකි.මෙවර පළ වන්නේ ඒ සංක්ෂිප්ත කතා මාලාවේ
හයවැනිි කොටසයි.
නන්දසේන සූරියආරච්චි ලියයි