
සොඳුරු බක්මහේ අවුරුදු මංගල්ලේ ළඟ ළඟම එන බව කොහා පැවසුවත්, සිරිලක් වාසීන්ට නම් මෙවර අවුරුදු සිරියක් නැත්තාක් මෙනි. රුදුරු කොරෝනාව පසුගිය වසරේ අවුරුදු සතුට උදුරාගත්තාටත් වඩා වැඩි වේගයකින් මෙවර අහස උසට නැඟි බඩු මිල හා අනවරත ජීවන ගැටලු හේතුවෙන් අවුරුදු හසරැලි කොයි කාගේ මුවේත් නැත්තාක් මෙනි.
අවුරුද්දට ලොකු පොඩි කාටත් සේම ගෙදර දොරේ කුදුමහත් හැමදේම ගන්නට කොළොම්පුරයට දිවයිනේ සතර දිග්භාගයෙන්ම ඇදී එන්නේ සුළුපටු ජන ගඟක් නම් නොවේ. ඒ නිසා අවුරුදු කාලෙට පිටකොටුවේ වෙළෙඳුන්ගේ කල්ලමරේය. මෙවර අගනුවර අවුරුදු වෙළෙඳාම ගැන විමසනු වස් පසුගියදා මා පිටකොටුවේ සැරිසැරුවෙමි.
සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුද්දට සතියකට පමණ පෙර සිටම අගනුවර ඇත්තේ පුදුමාකාර තදබදයකි. පසුගිය වසරවල කොරෝනා හේතුවෙන් අවුරුදු බිස්නස් යම් තරමකට පසුබෑවත් රට විවෘතව තබන මෙවර අවුරුද්දේ පිටකොටුවේ දක්නට ලැබුණේ, වෙනදාට යන එන පිරිසට වඩා වැඩිපුර සුළු පිරිසක් පමණි. විවිධ මෝස්තරවල කාන්තා පිරිමි ළමා ඇඳුම් අලෙවි කරන කොටුව දුම්රියපල සමීපයේ පිහිටි ඒෂියන් මාකට් සිසාරා මහදවල් වෙනදාක් මෙන් විදුලි පහන් දැල්වූයේ පාරිභෝගිකයන් සාදරයෙන් පිළිගන්නට වුවද එහි දක්නට ලැබුණේ රෙදිපිළි පමණි. ඕල්කට් මාවතට ද අවුරුදු නැතුවාක් මෙනි. මේ දිනවල කාට කාටත් අත්‍යවශ්‍ය වන මුව ආවරණ, සැනිටයිසර් මෙන්ම පුවත්පත් අලෙවිකරන මාතර එන්.කේ. කරුණාදාස (69) අවුරුදු වෙළෙඳාම ගැන මෙසේ පැවසීය.
“වෙන අවුරුදුවලත් මම මොනාහරි වික්කා. මෙතනින් යන්න එන්න පාරේ ඉඩමදි තරමට සෙනඟ මේ සැරේ කෝඩෙ. කොරෝනා තිබුණත් ගිය අවුරුද්දෙ මීට වඩා බිස්නස් තිබුණා. ඉදිරි දින කීපයෙත් බිස්නස් ගැන බලාපොරොත්තු තියන්න බෑ. උදේ 7 ½ ඉඳලා රාත්‍රී 9.00 වෙනකම් හිටියත් දවසකට රුපියල් පන්හය දාහකට වැඩිය විකිණෙන්නේ නෑ.
විදුලි බල්බ, ජංගම දුරකථන, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවි කරන මට්ටක්කුලියේ රෝයි ඇලෙක්සැන්ඩර් (42) සිළුමිණ හා එක්වූයේ මෙහෙමයි. “ගිය අවුරුද්දේ කොරෝනා හින්දා හරියට බිස්නස් එකක් කරන්න ලැබුණේ නෑ. මෙදා පාර ඊටත් අන්තයි. දවසකට රුපියල් තුන්දාහක්වත් හොයාගන්න බෑ. මිනිස්සු අතේ සල්ලිත් නෑ. බඩු ගන්න එනවට වඩා උද්ඝෝෂණවලට යනවා. අවුරුදු දවස් කිට්ටුවෙද්දිත් එයිද දන්නෙ නෑ, උදේ 9.00 ඉඳලා රෑ වෙනකම් හිටියත් සරුවක් නෑ.” වෙනදාට වසන්ත සමයේ පිටකොටුවේ ෆැන්සි භාණ්ඩ වලටත් සැලකිය යුතු අලෙවියක් තියනවා. සුවඳ විලවුන්, කාන්තා විසිතුරු අභරණ, අව් කණ්ණාඩි, ඉයර්ෆෝන් ඇතුළු විසිතුරු භාණ්ඩ අලෙවි කරන මාළිගාවත්තේ මොහොමඩ් අස්වින් (44) කටහඬ අවදි කළේ මෙලෙසින්.
“ලක්ෂ 1 ½ක බඩු ගෙනත් දාලා දවසකට රුපියල් දෙදාහක්වත් හොයාගන්න බෑ. වෙනදට රුපියල් දහයකට විකුණූ පනාවක් දැන් රුපියල් තිහයි. මේ වගේ හැම අයිටම් එකකම මිල වැඩිවෙලා නිසා මිනිස්සු ගණන් අහලා යනවා මිසක් බඩු ගන්නෙ නෑ.”
අලුත් අවුරුදු කෑම මේසෙට නැතුවම බැරි කැවුම්, කොකිස්, අතිරහ, අලුවා, තලගුලි, ආස්මී, පැණිවළලු ගම්ගෙවල්වල පිළියෙල කරගත්තත් කොළොම්පුරයේ ජනතාවගෙන් අති බහුතරයක් ඒවාද මිලට ගන්නේ වෙළෙඳපළෙනි. වෙනදා රුපියල් තිහට තිබූ කැවුම් ගෙඩිය දැන් රුපියල් සීයකි. අනිත් හැම රසකැවිලි වර්ගයක්ම ඊට සමීප මිලකි. පිටකොටුවේ රස කැවිලි අලෙවි කරන බොහෝ වෙළෙඳුන් සේම, ගිනිගත්හේන එන්. මෝගන් (35) කීවේද බිස්නස් අන්තිම බවයි.
“වෙනකක් තියා රුපියල් සීයට විකුණපු කඩල, මුරුක්කු, රටකජුත් රුපියල් 150යි. ඒ නිසා ග්‍රෑම් 100ක් වෙනුවට ග්‍රෑම් 50 විකිණෙන්නේ. බිස්නස් හරිම සවුත්තුයි. කොහොම අවුරුදු කන්නද මන්දා?”
මේ අවුරුදු වෙළෙඳාම් ගැන ග්‍රෑන්ඩ්පාස්හි ජෙබ්බාර් මොහොමඩ් නසීර් (59) කියන කතාවයි. “රටේ දැනට උද්ගත වෙලා තියන බඩු මිල ඉහළ යාම හා භාණ්ඩ හිඟය උද්ඝෝෂණ නිසා අපිටත් බිස්නස් නෑ. ලයිට් බිල් වතුර බිල් කඩකුලිය ගෙවා ගන්නත් බෑ. කඩ ඇරගෙන ඉන්න එකත් පාඩුයි. වෙනදා දවසට රුපියල් 5000 විතර හෙව්වත් දැන් දාහක් හොයා ගන්නෙත් අමාරුවෙන්. අපිට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. අවුරුදු ගන්න නෙමෙයි.” මහ දවාලේ ගිනි කාෂ්ඨක අව්වේ අවුරුදු සවාරියේ යෙදෙන කොයි කාගේත් දාහය නිවන මට්ටක්කුලියේ සෙයියදි ලමීර්ගේ (62) නැවුම් පලතුරු බීම අලෙවිහලට ඇදී එන අය ඊට වඩා වැඩි වේගයෙන් ආපසු හැරෙන්නේ බීම වීදුරුවක මිල රුපියල් 100 බව ඇසීමෙනි.
“පැෂන්, අඹ, දිවුල්, අලිපේර, ෆලුඩා, අනෝදා හැම පලතුරු බීම වර්ගයක්ම තියනවා. සාමාන්‍ය වෙළෙඳාමක් තමයි තියෙන්නේ. සීනි, අයිස්කැට, කඩකුලිය, ගෑස්, ජල, විදුලිය හැම දෙයක්ම ගණන් ගියානේ. ඉස්සර වගේ බීම වීදුරුවක් රුපියල් තිහට හතළිහට දෙන්න බෑ දැන්.” සපත්තු, සෙරෙප්පු වෙළෙඳාමට නම් දරාපු මල්වත්ත පාරේ කඩපිලෙත් අවුරුදු සිරියක් නොවීය. බොහෝ පාවහන් අලෙවිසැල්වල දක්නට ලැබුණේ මුදලාලි හා ගෝලයා පමණි. මේ ක්ලැසික් ෂු පැලස් අධිපති එම්. ආර්. එම්. රාසික්ගේ හඬ. “ඉස්සර රුපියල් 500 සපත්තු කුට්ටම දැන් 1000ක්. 1000 හේ සපත්තු ජෝඩුවක් රුපියල් 2000යි. මිනිස්සු එනවා තියා කඩදිහා හැරිලවත් බලන්නෙ නෑ. අපිට හතේ හත වැදිලා ඉන්නේ. කඩ ඇරගෙන ඉන්නවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ.”
මෙවර පිටකොටුවේ අවුරුදු සමයේ වැඩිම අලෙවිය තිබුණේ රතිඤ්ඤා, අහස්කූරු, බඹර චක්‍ර, මල් වෙඩිවලටය. ගිනිකෙළි අලෙවිහල් කීපදෙනෙකුම පැවසුවේ රතිඤ්ඤා වැඩිපුරම මිලට ගත්තේ දේශපාලන රැස්වීම්, උද්ඝෝෂණ වලට මිසක් නිවෙස් හිමියන් නොවන බවයි. ඒ නිසාම දැන් රතිඤ්ඤා හිඟවී ඇත. අලුත් අවුරුද්දට මොනවා නැතත් අලුත් ඇඳුමකින් සැරසෙන්නට කොයි කවුරුත් ප්‍රිය කරති. පිටකොටුවේ සාප්පු සවාරියේ යෙදුණු මට පසක් වූයේ සියලුම ලොකු කුඩා කාන්තා පිරිමි ඇඳුම් මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. ටිකක් හෝ අඩු මිලට රෙදි පෙරෙදි මිලට ගත හැක්කේ බෝධිරාජ මාවතේ අඩි 100 පාරේ ස්වයං රැකියා වෙළෙඳසැලේ හා දෙවෙනි හරස් වීදියේ පදික රෙදි කුටිවල පමණි.
දෙවෙනි හරස් වීදියේ ඇඳුම් වෙළෙඳාමේ යෙදෙන බෙලිඅත්තේ එල්.එම්. නිමල් (49) “කෑල්ලක් පන්සීයයි. කෑල්ලක් පන්සීයයි.” කෑගසමින් පුටුවක් මත නැඟී වෙළෙඳාමේ යෙදෙන අයුරු දක්නට ලැබුණි. එලෙස සහන මිලට නිමි ඇඳුම් අලෙවි කරන දෙතුන් තැනක පමණක් කාන්තා, පිරිමින් පොරකනු දක්නට ලැබුණි. මේ ඔහුගේ හඬයි.
“බ්ලවුස්, ටොප්, ෂර්ට් තොගයට අරන් අපි පාරේ තියාගන ටිකක් අඩුවට දෙන නිසා වෙළෙඳාමක් තියනවා දෙයියනේ කියලා. අපිට කඩකුලිය, ජල, විදුලි බිල් නෑනේ. සල්ලි තියන අයට නම් ෂොප්වල වැඩි මිලට ඕනේ තරම් ඇඳුම්. ඒත් සාමාන්‍ය ජනතාව ඇඳුම් ගන්න එන්නෙ අපි ළඟට.” ඇඳුම් පැලඳුම් අලෙවි කරන මරදානේ එස්. එච්. එම්. රම්සාගෙන් ද එල්ල වූයේ දෝස් මුරයකි. “මේ සැරේ බිස්නස් ගන්න දෙයක් නෑ. මස්ත බාල්දුයි. ගිය සැරෙත් කොරෝනා. මිනිස්සුන්ට වහ කාලා මැරෙන්න වෙලා තියෙන්නේ.”
අලුත් අවුරුද්දේ පිටකොටුවේ එළවළු, පලතුරු අලෙවිය ගැන සිළුමිණට අදහස් දැක්වූ 5 වන හරස් වීදියේ එළවළු අලෙවි කාරියක වන දිනූෂා ගුරුගේ කීවේ ද මිල ඉහළ ගොස් ඇති නිසා අලෙවිය පහළ ගොස් ඇති බවයි. “දැන් කොළඹ කැලෑ පොළ හැරුනාම මේ මාකට් එක තමයි ජනතාවට එළවළු, පලතුරු ඇතුළු කුදු මහත් අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකක් හරි අඩුවෙක් ගත හැක්කේ. මැනින් මාකට් එක පෑලියගොඩ ගියාට පස්සේ. මම නම් පුළුවන් තරම් සහන මිලට එළවළු විකුණන්නේ.”
අවුරුදු හා නත්තල් සැරසිලි භාණ්ඩ විකුණන චයිනා වීදියෙත් සිටියේ වෙනදා සිටින ජනතාව පමණකි. එහි සැරසිලි භාණ්ඩ අලෙවිකරුවෙක් පැවසුවේ දැන් ජීවත් වුණා ඇති කියා සිතෙන බවයි. තොග හා සිල්ලරට දොඩම්, ඇපල් ඇතුළු පලතුරු රැගෙන යන්නට බොහෝදෙනා පැමිණෙන්නේ පිටකොටුවටය. නමුත් පැනවූ බද්ද හේතුවෙන් ඒවායේ මිල ද දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර වසර ගණනාවක් පලතුරු අලෙවි කළ වෙළෙඳුන්ටත් දැන් හතේ හත වැදිලාය. පලතුරු අලෙවිකරන තරුණයෙක් පැවසුවේ කම්කරු රැකියාවකට හෝ රටහැර යන්නට ඉඩක් ලැබෙන්නේ නම් ඒ ගැන දෙවරක් නොහිතන බවයි. සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ මෙවර මිල ඉහළ යාම නිසා රසකැවිලි අලෙවිය 25%ත්, නිමි ඇඳුම් අලෙවිය 30%ත් අඩුවී ඇති බවයි. එය යථාර්ථයක් බව පිටකොටුව හා කොටුවේ බොහෝ හරස්වීදි සිසාරා ඔබමොබ විපරම් කළ මට ද පසක් වූ සත්‍යයකි.