පය බරවායට පිටිකර බෙහෙත් දැමීම හෙවත් සමාජ මාධ්‍ය තහනම | සිළුමිණ

පය බරවායට පිටිකර බෙහෙත් දැමීම හෙවත් සමාජ මාධ්‍ය තහනම

වාරණය සහ නියාමනය යන සංකල්ප පටලවා නොගත යුතුයි 
- සන්නිවේදන විශේෂඥ නාලක ගුණවර්ධන

ජාතික ආරක්ෂාව සහ මහජන සාමය වැනි නිශ්චිත කාරණා සම්බන්ධයෙන් හා නිශ්චිත අරමුණු වෙනුවෙන්ම පමණක් මාධ්‍ය වාරණයේ නෛතික පදනම රජයට තිබෙනවා 
- ශ්‍රී ලංකා නීතිඥ සංමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස්

සමාජ මාධ්‍ය තාවකාලිකව වාරණය කළේ අතිශය නීත්‍යානුකූලවයි. එයින් සිදුවන්නට ගිය හානිය අවම වුණා 
- තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත ද සිල්වා

මේක හිතන්න එපා කියලා නීති දානවා වගේ වැඩක් 
- මහාචාර්ය චරිත හේරත්

ජය පසුගිය 3 වැනිදා අලුයම සිට පැය 15යි විනාඩි 30ක් සමාජ මාධ්‍ය වාරණය කළේය. නිමිත්ත ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට ගත් ක්‍රියාමාර්ගයකි. එදින ලංකාව තුළ Twitter, Facebook, WhatsApp, Viber, YouTube, Instagram, TikTok, Snapchat ඇතුළු තවත් සමාජ මාධ්‍ය අවහිර කරනු ලැබුවේය. ලංකාවේ වාර්තාගත දත්ත අනුව ජනගහනයෙන් 50% ප්‍රතිශතයක් අන්තර්ජාලය භාවිත කරන අතර මිලියන 7.2 ක් කුමන හෝ සමාජ මාධ්‍යයක් භාවිත කරන්නේය. අප්‍රේල් 03 දා රට තුළ සමාජ මාධ්‍ය වාරණය මේ සියයට 50ක ජනතාව විෂයයෙහි ඍජුවම බලපෑවේය. මෙම වාරණයත් සමඟ ශ්‍රී ලංකාව 2015 වසරේ සිට මහජන විරෝධතා නිමිති කරගෙන සමාජ මාධ්‍ය තහනම් කළ 11 වැනි ආසියානු රට බවට පත් විය.

මේ වන විට ලොව ප්‍රධාන වශයෙන්ම භාවිත කරන සමාජ මාධ්‍ය ජාලා 17කි. එයින් ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප් ප්‍රධානය. ෆේස්මෑෂ් නමින් 2003 ඔක්තොබර් 28 වැනි දින මාර්ක් සකබර්ග් ඇතුළු තිදෙනකු විසින් නිල වශයෙන් අරඹා පසුව 2004 දී ෆේස් බුක් වූ සමාජ ජාලයේ මේ වන විට ලොව පුරා බිලියන 2. 910 ග්‍රාහක සංඛ්‍යාවක් විසිර ඇත. එය වෙනම සන්නිවේදන ලෝකයකි.

2009 ජනවාරි හී බ්‍රයන් ඇක්ටන් සහ ජැන් කොවුම් (Brian Acton and Jan Koum) ආරම්භ කළ වට්ස්ඇප් හි වත්මන් ග්‍රාහක සංඛ්‍යාව බිලියන 2 කි. 2005 පෙබරවාරි 14 වැනි දින කැලිෆෝනියාවේදී Chad Hurley, Steve Chen, Jawed K යන තිදෙනා විසින් ලොවට හඳුන්වා දෙන යූ ටියුබ් හි වත්මන් ග්‍රහක සංඛ්‍යාව බිලියන 2.562 කි. 2006 මාර්තු 21 කැලිෆෝනියාවේදී Jack Dorsey, Noah Glass, Biz Stone, and Evan Williams අරඹන ට්විටර් වටා මේ වන විට ලොව පුරා ග්‍රහකයන් මිලියන 443 සිටිති. 

මෙම ප්‍රධාන මාධ්‍ය ජලා 17න් බොහොමයක් මේ වනවිට අප රට තුළ ද භාවිත වේ. 2022 වන විට ලොව පුරා සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස බිලියන 4.62 ක් විය. එය ලෝක ජනගහනයෙන් 58% - 75% අතර වූයේය.

සමස්තයක් වශයෙන්, ආසියාවේ පමණක් රටවල් 30 ක් සමාජ මාධ්‍ය තහනම විවිධ අරමුණු සඳහා භාවිත කර තිබිණි. එයින් ආසියාතික රටවල් 6 මුළුමනින්ම සමාජ මාධ්‍යය තහනම් කළේය. ඉන්දියාව, වියට්නාමය, ආර්මේනියාව, බංග්ලාදේශය, මියන්මාරය සහ ඉරානයේ දෙවරක් වශයෙන් මෙම වාරණය ක්‍රියාත්මක වී තිබිණි.

පසුගිය 03 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට මෙරට සමාජ මාධ්‍ය අවහිර වීම ගැන රට පුරා මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක් විය. විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වැඩි අගයක් දී වාර්තා කළේය. එවැනි පසුබිමක නූතන සමාජය තුළ සමාජ මාධ්‍ය තහනම පිළිබඳ රටේ විද්වත් පර්ෂදයේ අදහස කුමක් යන්න පිළිබඳ යම් සංවාදයක් ඇති කිරීමේ අභිලාෂයෙන් යුතුව මේ ලිපිය ගොනු කරමු.

මුලින්ම අප හා සංවාදයට එක් වන්නේ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සහ ශ්‍රී ලංකාවේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත ද සිල්වා ය.

අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව මෙම තීන්දුවට පදනම ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණාවකි. රාජ්‍ය බුද්ධි සේවය විසින් තහවුරු කර ලබා දුන් බුද්ධි තොරතුරු මත පිහිටා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා තමන් වෙත ලබා දුන් නිර්දේශය ජනාධිපතිවරයා වෙත යොමු කර ඒ අනුමැතිය මත මෙම සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීම සිදු කරනු ලැබුවේ අතිශය නීත්‍යානුකූල ආකාරයට බව පෙන්වා දෙන්නේය. මෙම තීන්දුව හේතුවෙන් සිදුවන්නට ගිය මහජන දේපළ හා ජීවිත විනාශ වැළකී ගිය බවත් ඔහු අවධාරණය කරන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් විද්වත් වෘත්තිකයෙකි, එමෙන්ම රජය නියෝජනය කරන දේශපාලඥයෙකි. සමාජ මාධ්‍යය වාරණය කිරීමට රජය ගත් තීන්දුව පිළිබඳ ඔහුට ශාස්ත්‍රීය පදනමක් සහිත ප්‍රබුද්ධ කියැවීමක් තිබේ.

“ මේක හිතන්න එපා කියලා නීති දානවා වගේ වැඩක්. සමාජ මාධ්‍යවලින් යම් බලපෑමක් ඇති වෙන බව මමත් පිළිගන්නවා. නමුත් ඒ බලපෑම සමහන් කළ යුත්තේ කෙසේද යන්නට පුළුල් තේරුම් ගැනීමක් අවශ්‍යයයි. එහෙම නැතිව ස්වීච් එකක් ඕෆ් කරනවා වගේ සමාජ මාධ්‍ය වාරණය කිරීම කිසිසේත්ම බුද්ධිගෝචර නැහැ.

සමාජ මාධ්‍ය කියන්නෙ තවදුරටත් අපෙන් එළි‍ෙය තිබෙන දෙයක් නෙමෙයි. එය මිනිස්සු හිතනවා වගේ දෙයක්. මිනිසුන්ට එකිනෙකා සමඟ සම්බන්ධ වෙන්න, කතා කරන්න තිබෙන ආශාව ස්වභාවිකයි. එය වෙනම මානසික තත්ත්වයක්. ඒ වෙනුවෙන් තමයි මේ සමාජ මාධ්‍ය ආකෘතිය හැදිලා තියෙන්නෙ. අද වෙනකොට සම්බන්ධීකරණ ආශාව එක්ක මේ සමාජ මාධ්‍ය මිනිස්සු හිතන එක වගේ දෙයක් බවට පත්වෙනවා. ඒ නිසාම සමාජ මාධ්‍ය වාරණය කරන්න ගියාම එය සමාජමය ගැටලුවක් වගේම නෛතික ගැටලුවකුත් ඇති කරනවා. තව පැත්තක ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඇතුළෙත් විශාල අර්බුදයක් ඇති කරනවා. ආණ්ඩුවක් විදිහට මේ වගේ තීරණ ගන්න හොඳ නෑ.

ආරක්ෂක අමාත්‍යාංශය ඒ පියවර ගත්තා කියලා කිව්වා. නමුත් මෙහෙම තීරණ ගන්න හේතුවට පදනමක් තිබිය යුතුයි. මේක යම් නිරීක්ෂණයක් හදාගෙන පදනම්ව තමයි තීන්දු ගන්න ඕන. ඇත්තෙන්ම මේ වැහිල්ලෙන් වුණේ ඇති වෙන්න තිබුණු හානියට වඩා හානියක්. ආර්ථිකය, ජනමාධ්‍ය, විදේශ කටයුතු, කෘෂිකර්මය වැනි තාක්ෂණික විෂයයන් නිකම් හිතේ හෝදිසියට කරන්න ගියාම විශාල අවුල් වෙනවා. “

ශ්‍රී ලංකා නීතිඥ සංමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ය. ඔහු පවසන්නේ ජාතික ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම වැනි නිශ්චිත කාරණා සම්බන්ධයෙන් මාධ්‍ය වාරණය කිරීමේ නෛතික පදනමක් රජයක් සතුව ඇති බවය. නමුත් එම සීමා පැනවිය යුත්තේ නිශ්චිත අරමුණු වෙනුවෙන්ම බවය. ඒ, සමාජ මාධ්‍ය යනු නූතන මානව සමාජයේ භාෂණයේ ප්‍රමුඛම රූපණයක් බැවින් ව්‍යවස්ථානුකූලව පුද්ගලයෙක් ලබන භාෂණයේ නිදහස ඉන් සීමා වන බැවිනි.

“ ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා මූලික අයිතිවාසිකම්වලට තිබෙන සීමා ගැන. ඊට සීමා පැනවිය හැක්කේ නීති මඟින් විතරයි. ඒ වගේම නිශ්චිත අරමුණු සඳහා විතරයි. උදාහරණයක් ලෙස මහජන සාමය සහ රාජ්‍ය ආරක්ෂාව යන කාරණා ගන්න පුළුවන්.

රටේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් පැන නඟින අවස්ථාවක ශ්‍රී ලංකා රජය විසින් පනවන විධානවලට අනුව විදුලි සංදේශ නියාමන කොමිසමට පුළුවන් බලපත්‍රලාභීන්ට විධාන නිකුත් කරන්න. එතැනදි එක මතයක් තිබෙනවා සන්දේශ නියාමන කොමිසමට එම නියෝග දැනුම් දිය යුත්තේ අදාළ ඇමතිවරයා හෝ අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාය කියලා.“

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ අදහස වූයේ පසුගිය දා සිදුකළ සමාජ මාධ්‍ය වාරණය අර්ථ ශූන්‍ය ක්‍රියාවක් බවය.

“බොහොමයක් වී.පී.එන් හරහා සමාජ මධ්‍ය ප්‍රවේශය ලබා ගන්නවා. අවහිර කළා කියලා ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ. ඒ වගේම මින් නූතන සමාජයේ අදහස් පළ කිරීමට ඇති මූලිකම අයිතිවාසිකමට බාධා පැමිණේවි. මා හිතන්නෙ මේ කළ සමාජ මාධ්‍යය වාරණය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට කළ බාධාවක්.

ජාතික ආරක්ෂාව උදෙසා යම් සීමා පනවන්න පුළුවන්. නමුත් ඒ මුවාවෙන් විසම්මුතියේ අයිතිය සීමා කරන්න බෑ. “ ඔහු දරන්නේ එවැනි අදහසකි.

නීතිඥ මේනකා හේරත් මානව හිමිකම් කොමිසමේ අධ්‍යාපන හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරියයි. ඇය පවසන්නේ මේ වාරණයට ප්‍රස්තුතය ලෙස රජයේ ප්‍රකාශය වූයේ ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණක් බැවින් මානව හිමිකම් කොමිසම ලෙස ඔවුන් යෝජනා කරනු ලැබුවේ ඒ නිශ්චිත තොරතුර හා එය සංසරණය වන ආකාරය විමර්ශනය කර තීරණයක් ගැනීම විනා සමස්ත මාධ්‍ය වේදිකාවන්ම අවහිර කිරීම උචිත නොවන බවය.

“මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයෙන් විස්තර කරනවා. එතැනදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියෙන් තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න තිබෙන අයිතිය පිළිබඳ කතා කරනවා. විටෙක සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් උල්ලංඝණය කරන්නෙ ඒ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියයි.

තොරතුරුවලට ප්‍රවේශවීමට පුරවැසියන්ට ඇති අයිතිය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපට ලැබුණු තවත් මූලික අයිතිවාසිකමක්. ඒ අනුව මේ සමාජ මාධ්‍ය වාරණයෙන් අප දුටුවා පුරවැසියන්ගේ භාෂණයේ අයිතිය මෙන්ම තොරතුරුවලට ළඟා වීමේ අයිතියත් උල්ලංඝනය ඇති බව.“

සමාජ මාධ්‍ය වාරණය දියුණු සමාජයක ලක්ෂණයක් ද යන්න අපි ඇයව විමසුවෙමු.

“ අප කැමති දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රකාශ තුළ වෛරී ස්වරූපයක් තිබේ නම්, එයින් ආගමික හෝ ජනවාර්ගික ගැටලුවක් ඇති වෙනවා නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14.1 (අ) ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත නිදහස සීමාවන අවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තියෙ දෙවැනි උප වගන්තියෙන් දක්වා තිබෙනවා. ඒ අනුව වාර්ගික සහ ආගමික සහයෝගීතාවට යම් ගැටලුවක් ඇතිවෙන, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කරන, අධිකරණයට අපහාස කිරීම් වැනි ගැටලු එනවා නම් ඒ සම්බන්ධව මෙම නීතිවලට සීමා පැනවෙනවා.“

ඇය පැවසුවේ මාධ්‍ය භාවිතයේ ඇති පුරවැසි වගකීම ගැනය. මිනිසුන්ගේ පෞද්ගලිකත්වය පවා අහිමි කිරීමට තරම් සාමාජය තුළට කිදා ගිය සමාජ මාධ්‍ය භාවිතයේ දී පුරවැසියන් සතුවිය යුතු විනය වගකීම සහ සංයමය ගැනය.

සමන් අතාවුදහෙට්ටි ප්‍රවීණ මාධ්‍යකරුවෙකි. රූපවාහිනී සන්නිවේදන කලාවේ පුරෝගාමී මෙහෙවරක් කළ ඔහු මේ වනවිට සමාජ මාධ්‍යකරුවෙක් ලෙස සක්‍රීයව හිඳී. ඔහුට අනුව මේ තාක්ෂණික ලෝකයේ සිදුවන කුමන ආකාරයේ මාධ්‍ය වාරණයක් වුවද අර්ථ ශූන්‍ය ක්‍රියාවකි.

“ දැන් තියෙන තාක්ෂණය අනුව මාධ්‍යයක් හෝ කලා කෘතියක් වාරණය කිරීම අර්ථ ශූන්‍ය මෙන්ම ප්‍රතිඵලදායක නොවන ක්‍රියාවක්. වාරණය කරපු සමාජ මාධ්‍ය ජාලාවලට අවතීර්ණ වෙන්න තාක්ෂණය විසින්ම දැන් ප්‍රවේශ සාදා දී තිබෙනවා.

චීනය වැනි ලෝකයේ සමහර රටවල් දීර්ඝ කාලයක් තමන්ගේ රටවල ගූගල් ෆේස්බුක් තහනම් කළා. නමුත් ටික කාලයක් යන කොට එය අර්ථ ශූන්‍ය වග තේරිලා නිදහස දුන්නා. මේ අවහිර කිරීම් අරුත් සුන් බවයි ලෝක යථාර්ථය.“

“මෙරට සමාජයට බලපැම් කළ හැකි සිවුවන බලමුළුව ලෙස සැලකෙන සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය නිදහස ලබා දිය යුතුයි“ බවට මෙරට සිටින ජ්‍යේෂ්ඨ සමාජ ක්‍රියාකාරිකයකු හා සර්වෝදය නිර්මාර්තෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මේ පිළිබඳ ඔහුගේ දැක්ම අප සමඟ බෙදා ගනිමින් පැවසුවේය. 

නාලක ගුණවර්ධන ප්‍රවීණ ලේඛකයෙකි. ඩිජිටල් මාධ්‍ය විශ්ලේෂකයෙකි. අප ඔහු සමඟ සංවාදයට එක් වන්නේ සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධව අපේ රටේ මීට පෙර ඇති අත්දැකීම සමඟිනි.

“2018 මාර්තුවේ නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය ඇවිළී ගිය අවස්ථාවේ දින අටක් පුරා සමාජ මාධ්‍ය සහ චැට් වේදිකා කිහිපයක් අවහිර කරනු ලැබුවා. 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට පසුව දින නමයක් මුළුල්ලේත්, 2019 මැයි මාසයේ දෙවතාවකුත් සමාජ මාධ්‍ය සහ චැට් වේදිකා ගණනාවක් තාවකාලිකව අවහිර කරනු ලැබුවා. ඒ අනුව 2022 අප්‍රේල් 3දා මැදියම් රැයේ ඇරඹී පස්වරු 3:30 දක්වා පැය 15ක් සහ විනාඩි 30ක් පමණ පැවැති අවහිරය, ඒ ආකාරයේ පස්වැන්නයි.

ඉතා පැහැදිලිව කිව යුත්තේ මෙයයි: එවර මෙන්ම මෙවරත් මෙය තාවකාලික අවහිරයක් (blocking) මිස කිසිසේත්ම තහනමක් (ban) නොවූ බවයි. මේ වන තුරු කිසිදු සමාජ මාධ්‍යයක්, චැට් සේවාවක් හෝ වෙබ් වේදිකාවක් ශ්‍රී ලංකාවේ නීතියේ තහනම් කර නැහැ.

ඕනෑම තහනමක් සඳහා නීතිමය රාමුවක් පැවතිය යුතුයි; නැතිනම් අලුත් නීති හෝ රෙගුලාසි ගැසට් කළ යුතුයි. එවැන්නක් මෙහිදී සිදු නොවූ අතර, තාක්ෂණික වශයෙන් අදාළ වෙබ් ජාලාවලට රට තුළ සිට පිවිසීම අවහිර කරනු ලැබුවා පමණයි.

මෙකී අවහිර කිරීම් එකක්වත් සාර්ථක වූයේ නැහැ. 2022 අප්‍රේල් තුන් වැනිදා උදේ වරුවේ ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ පණිවිඩයක් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ කියා සිටියේ මෙම සමාජ මාධ්‍ය අවහිරය තේරුමක් නැති ක්‍රියාවක් බවත්, තමන් ද එය පවතිද්දී VPN හරහා අවහිර කළ සේවා භාවිත කරන බවයි. රජයේ ඩිජිටල් අමාත්‍යවරයාම ප්‍රසිද්ධියේ එසේ පැවසූ විට සමාජ මාධ්‍ය අවහිරය කෙතරම් අමනෝඥ වැඩක්දැයි එයින් පෙනී යනවා“

සමාජ මාධ්‍ය හෝ වෙන කිසිම මාධ්‍යයක් වාරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවලට නොගැළපෙන බව නාලක ගුණවර්ධනගේ මතයි. නමුත් සියලු ජනමාධ්‍යවලට සහ වෙබ්ගත සන්නිවේදනවලට ද යම් මට්ටමක නියාමනයක් අවශ්‍ය බවත් නියාමනය (regulation) සහ වාරණය (censorship) යන සංකල්ප දෙක පටලවා ගත නොගත යුතු බවත් කියන ඔහු නිසි නියාමනය යනු වාරණය කිරීමක් නොවන බව අවධාරණය කරයි.

“ මුළුමනින් ඉන්ටනෙට් වසා දැමීම හෝ තෝරා ගත් සමාජ මාධ්‍ය සේවා කිහිපයක් අවහිර කිරීම ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලින් විටින් විට වාර්තා වනවා. Access Now නමැති විද්වත් ආයතනය සොයා ගෙන ඇත්තේ සැබැවින්ම ජාතික ආරක්ෂාව හෝ මහජන සුබ සිද්ධිය සඳහා නොව බලයේ සිටින රජය දැඩි ලෙස විවේචනයට ලක්වීම වැළැක්වීමටත්, මහජනයා සාමකාමී ලෙස සමාජයට එරෙහිව උද්ඝෝෂණ කිරීම ආදිය දුර්මුඛ කිරීමටත් මෙබඳු අවහිර කිරීම් යොදා ගැනීමෙන් සිදුවන බවයි.

ඔවුන් කියන්නේ බොහෝ රටවල ඉන්ටර්නෙට් සීමා කිරීමට යොදා ගන්නේ පොලිස් බලතල හෝ හදිසි නීති යටතේ රජයට ලැබෙන බලතලවලින් බවයි. “

සමාජ මාධ්‍යය වාරණය කිරීම ඔහු විස්තර කරන්නේ දැනෙන උදාහරණයක් සමඟිනි.

“ අපි භෞතික ලෝකයෙන් උපමිතියක් ගනිමු. මහ පාරේ ගමන් කරන පදිකයන් සහ රියදුරන් මිලියන් ගණනක් අතරින් අති බහුතරයක් ආරක්ෂිතව තමන්ගේ ගමනාන්ත කරා ළඟා වෙද්දී, අවාසනාවන්ත ටික දෙනකු මාර්ග අනතුරුවලට ලක් වෙනවා. එයට නොසැලකිල්ල, විඩාපත් බව හෝ බීමත් බව වැනි විවිධ සාධක මුල් විය හැකියි. මාර්ග අනතුරු සිදු වූ පමණට මහාමාර්ග මුළුමනින් වසා දමන්නේ නැහැනේ. සමාජ මාධ්‍ය අවභාවිතය යම් පමණකට සිදු වන නමුත් සමස්ත සේවා තාවකාලිකව හෝ අවහිර කිරීම පිළිගත හැකි ප්‍රතිචාරයක් නොවෙයි.

Comments