
- සාමකාමීව විරෝධතා දැක්වීමේ පුරවැසි අයිතිය තහවුරු කළ යුතුයි
- වහාම විමර්ශන පවත්වා ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමත් අවශ්‍යයි
- ජනතාවගේ දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කටයුතු කළ මාධ්‍යවේදීන්ට පහර දුන්නේ කවුද?
- වින්දිත මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු වන්නේ පහර දුන් පිරිස් හඳුනාගෙන ඔවුන් නීතිය ඉදිරියට පමුණුවීමෙන්
ජනමාධ්‍ය යනු ලෝකයේ ඕනෑම අවස්ථාවක ඕනෑම තැනක සිදුවූ සිදුවීමක උණුසුම එසැණින් ජනතාවට දැනගත හැකි ක්රමවේදයයි. විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ ජනතා අභිලාශ හඳුනාගෙන ඒ පිළිබඳ සැබෑ උත්තේජනයක් ලබා දිය හැකි සංවිධාන බලගැන්වීමේ සමාජ වගකීම ඉටුකිරීමේ බලය ද ජනමාධ්‍ය සතු වේ. එසේ වුවද ඒ වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් ඇගයුමට ලක්වන අවස්ථා විරල වුවද ඔවුනට එල්ල වන ගල්මුල් ප්‍රහාර නම් දුලභ නැත. ඉකුත් අප්‍රේල් 1 වැනිදා මිරිහාන, පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ නිවෙස අසල පැවති මහජන විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිපදෙනකුට එල්ල වූ ප්‍රහාරය බොහෝ දෙනාගේ හෙළා දැකීමටත් සමස්ත මාධ්‍යවේදීන්ගේ සංවේගයටත් හේතු විය. ඩේලිමිරර් පුවත්පතේ වරුණ වන්නිආරච්චි සහ නිසල් බදුගේ, හිරු මාධ්‍ය ජාලයේ සංජීව ගාල්ලගේ, සිරස ආයතනයේ සිරස නිව්ස් ෆස්ට් වෙනුවෙන් අවංක කුමාර, දෙරණ මාධ්‍ය ජාලයේ නිශ්ශංක වේරපිටිය සහ ප්‍රදීප් වික්‍රමසිංහ, ලේක්හවුස් ආයතනයේ සුලෝචන ගමගේ එකී සිදුවීමට මුහුණ පෑ ඡායාරූප මාධ්‍යවේදීන්ය.
දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රදීප් වික්‍රමසිංහ තමා මුහුණ පෑ සිදුවීම අප හා පැවසුවේ තවමත් පහ නොවූ කම්පනයෙනි. “එදා මම සහෝදර මාධ්‍ය සගයන් දෙදෙනෙක් සමඟ එම විරෝධතාව ආවරණය කිරීමට අදාළ ස්ථානයට ගියා. විරෝධතාකරුවන්ට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයට මමත් හසුවුණා. ඇස්වල නිල්පාට දුමක් වැදීමත් එක්ක හුස්ම ගන්න ලොකු අපහසුවකුත් දැනුණා. මිනිස්සු සී සී කඩ දුවන්න ගත්තා. එහෙම දුවපු මිනිස්සු අතුරුපාරවල්වල ඉඳගෙන ආරක්ෂක අංශ සාමාජිකයන්ට ගල් ගහන්න පටන්ගත්තා. විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් මිනිස්සු හිටපු පැත්තට එද්දි මමත් හිටියේ එතැන. මම මීඩියා කියලා කියන්න කියන්න ඔවුන් මට පහර දුන්නා. මාධ්‍ය හැඳුනුම්පත පෙන්නුවට පස්සේ උඹලා තමයි සේරම කරන්නේ කියලා නැවතත් පහර දුන්නා.”
ඔහු සමඟ එදා මාධ්‍ය ආවරණයේ නියැළුණු මාධ්‍යෙව්දී නිශ්ශංක වේරපිටියගේ අත්දැකීම ද ඊට සමාන එකකි. විරෝධතාව ඡායාරූප ගතකරමින් සිටි තමා වෙත පැමිණි පොලිස් නිලධාරීන් කිසිත් නොවිමසා තමාට පහර දුන් බව ඔහු පැවසුවේය.
“මම මාධ්‍යවේදියෙක් බව ඔප්පු කරන්න පුළුවන් හැමදේම පෙන්නුවා. ඒත් ඔවුන් දිගටම මට පහර දුන්නා. කැමරාවට ගහලා කැමරාවත් ගත්තා. අපිට තියෙන එකම ආයුධය කැමරාව. මම රෙකෝඩ් කරපු හැමදේම ඒ කැමරාවේ තියෙනවා. ඊට පහුවදා මම කැමරාව නැතිවීම ගැන පැමිණිල්ලක් කළා. සී.අයි.ඩීයෙන් ඇවිත් කටඋත්තරයක් ගත්තා. තවමත් ඒ ගැන පරීක්ෂණ කටයුතු ගැන පැහැදිලි පිළිතුරක් දුන්නෙ නැහැ. මට තියෙන ප්රශ්නය මාධ්‍යවේදීන් වූ අපිට ගැහුවේ ඇයි? එහෙම ගහන්න කාගේ හෝ බලයක් හෝ අණක් පොලිසියට තිබුණා විය හැකියි. එහෙම නම් ඒ කවුද කියලා අපි දැනගත යුතුයි. එක්කෙනෙකුට විතරක් ගැහුවා නම් ඒක අත්වැරදීමක් වෙන්න පුළුවන්. නමුත් හය හත් දෙනෙකුටම පහර දීම අත්වැරදීමක් වෙන්න බැහැ. ”
මාධ්‍ය ක්ෂේත්රයේ දස වසරකට වැඩි අත්දැකීම් සහිත ඔහු පැවසුවේ වේදනාවෙනි. වසර විසිපහකට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ නිරත වී සිටින ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු වන සුලෝචන ගමගේ ද ලේක්හවුස් ආයතනය නියෝජනය කරමින් එදා ඒ විරෝධතාව ආවරණය කිරීමට මිරිහානට ගියේය. එහිදී මුහුණ දීමට සිදුවූ සිදුවීම පිළිබඳව ඔහු අප සමඟ පැවසුවේ මෙලෙසිනි.
“එදා හවස ජුබිලි කණුව මංසන්ධියේ තිබුණු සාමකාමී මහජන උද්ඝෝෂණය ආවරණය කරලා මම නැවත කාර්යාලයට පැමිණෙන අතර දැනගන්න ලැබුණා මිරිහානේ ජනාධිපති නිවෙස අසල විරෝධතාවක් පැවැත්වෙන බව. ඒ අනුව එය ආවරණය කිරීමට මම එම ස්ථානයට ගියා. ඒ අවස්ථාවේ විශාල පිරිසක් විරෝධතා පුවරු ඇතැතිව එම ස්ථානයේ රැඳී සිටියා. මම, නිසල් බදුගේ, සංජීව චින්තක, පුෂ්පකුමාර යන ඡායාරූප මාධ්‍යෙව්දීන් එම ස්ථානයේ සිටියා. අපි ඡායාරූප ගැනීමට එතැන තිබූ තාප්පය මතට නැග්ගා. අපිට වම් පසින් ආරක්ෂක අංශත් දකුණු පසින් ජනතාවත් හිටියා. අපි හිටියේ මැද. විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ ජනතාව ජල බවුසරයට ගල් ගැසීමට පටන් ගත්තා. ඒ සමඟ අපිව ජනතාව සිටි පැත්තට වැටුණා. නැවත අපි ආරක්ෂක අංශ සිටි පැත්තට ආවා. ජනතාව දිගින් දිගටම ගල් ප්‍රහාර එල්ල කරන අතරේ මමත් මාධ්‍යවේදී නිසල් බදුගේත් ජනාධිපති ආරක්ෂක අංශ රැඳී සිටි ස්ථානයට ආවා. එතැන විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 10 දෙනකු පමණ සිටියා. ඔවුන්ට පවා පාලනය කළ නොහැකි ආකාරයට දරුණු ගල් ප්‍රහාරයක් එල්ල වෙමින් තිබුණා. ගලක් දණහිසේ වැදීමෙන් මම අඩි 5ක් පමණ පිටුපසට වැටුණා. ගල් වැදීමෙන් නිසල්ගේ හිසෙන් ද ලේ ගලනවා මා දුටුවා. කකුලේ වේදනාව තිබුණත් එම ස්ථානයෙන් පිටවීමට මට හැකියාවක් තිබුණේ නැහැ. අවසානගේ මම කල්පනා කළා කෙසේ හෝ මේ අවස්ථාව ඡායාරූප ගතකරනවා කියා. කලබලය දිගටම තිබුණා. මම කකුලේ වේදනාවත් දරාගෙන පැය 3ක් පමණ කාලයක් ඡායාරූප ගත්තා. අවසානයේ ආරක්ෂක අංශ විරෝධතාකරුවන් විසිරුවා යැවීමෙන් පසු හිතවත් මාධ්‍යවේදී චමිල කරුණාරත්න ඔහුගේ මෝටර් රථයෙන් මා එම ස්ථානයෙන් කැඳවාගෙන ආවා.”
විරෝධතාවට මැදිවී තමා අනාරක්ෂිත තත්ත්වයට පත්වූ බව දැනගත් අවස්ථාවේ සිට තමාගේ සුවදුක් විමසමින් නිරන්තරයෙන් අවධානයෙන් සිටි ලේක්හවුස් ප්රවෘත්ති කර්තෘ විමල් කරුණාරත්න ඇතුළු ඡායාරූප දෙපාර්තමේන්තුවේ සියලු සගයන්ටත් ලේක්හවුස් අධ්යක්ෂ මණ්ඩලයටත් සුලෝචන ගමගේ සිය කෘතඥතාව පළ කළේය. සුලෝචන ගමගේ සමඟ සිටි ඩේලිමිරර් පුවත්පතේ ඡායාරූප මාධ්‍යෙව්දී නිසල් බදුගේ තුවාල ලබා ඇත්තේ ද විරෝධතාකරුවන්ගේ ගල් ප්‍රහාර හේතුවෙනි.
“තුවාල ලැබූ මම එතැනින් පිටවෙන්න විදිහක් නැතිව එදා රෑ 12,1 වෙනකම් එතැනම රැඳිලා හිටියා. පසුව එතැනට ආව පොලිසියේ කණ්ඩායමක් මට එතැනින් එළියට යන්න උදව් කළා. පැඟිරිවත්ත පාර ඉස්සරහ තිබුණු ගෙදරකට මම ගියා. එතැන තුවාල ලැබූ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ප්‍රථමාධාර ලබාදෙමින් තිබුණා. ඔවුන් මගේ තුවාලවලටත් බෙහෙත් දාලා වේදනානාශක බෙහෙත් බොන්න දීලා කෑමත් දීලා හොඳින් මාව බලාගත්තා. පසුව විශේෂ කාර්ය බලකායේ වාහනයකින්ම මම දෙල්කඳ හන්දිය දක්වා පැමිණියා”ඒ මාධ්‍යවේදී නිසල් ගේ අත්දැකීමයි.
සිරස නිවුස් ෆස්ට් මාධ්‍යෙව්දී අවංක කුමාර පැවසුවේ මිරිහානේ විරෝධතාව ආවරණය කිරීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව එන මොහොතේ විරෝධතාකරුවන් හඹා ආ විශේෂ කාර්ය බලකායේ හා පොලිසියේ නිලධාරින් කිහිපදෙනකු තමාට පහර දුන් බවයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය ආවරණයේ යෙදුණු තමා මුහුණ දුන් ඒ සිදුවීම පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය. ඩේලිමිරර් පුවත්පතේ මාධ්‍යවේදී වරුණ වන්නිආරච්චි පැවසුවේ විරෝධතාව වාර්තා කරමින් සිටි තමාට විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් කිහිපදෙනකු පහර දුන් බවත් විරෝධතාවට එක්ව සිටි තරුණයන් දෙදෙනකු තුවාල ලැබූ තමා රෝහලට ඇතුළත් කළ බවත්ය. පහරදීම් නිසා සිදුවූ තුවාල හේතුවෙන් තම හිසට මැහුම් 6ක් දමන්නට සිදුවූ බවත් ඔහු කීවේය. මාධ්‍යෙව්දී සංජීව ගාල්ලගේ ද පැවසුවේ නිල ඇඳුමින් සැරසුණු කිහිපදෙනකු වටකරගෙන තමාට පහර දුන් බවයි. මේ අතර ඉකුත් 4 වැනිදා බණ්ඩාරවෙල නගරයේ පැවති මහජන විරෝධතාවක් ආවරණය කරමින් සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදී විරාජ් ප්‍රනාන්දු ද යම් සිදුවීමකට මුහුණ පා තිබුණි. ඔහු පැවසුවේ මහමඟ ගමන් කරන පුද්ගලයන්ට සහ වාහනවලට හිරිහැර වන පරිදි විරෝධතාවයේ යෙදී සිටි පිරිසක් විසින් සිය කැමරාවට පහර දී හානි සිදු කළ බවයි.
හිටපු ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මිරිහානේ පැවති විරෝධතාවේදී මාධ්‍යවේදීන්ට එල්ල වූ පහරදීම තරයේ හෙළා දකින බව පැවසීය. සාමකාමීව විරෝධතා දැක්වීමේ පුරවැසි අයිතිය තහවුරු කළ යුතු බවත් විරෝධතාකරුවන් ද ප්‍රචණ්ඩත්වයට සහ පොදු දේපළවලට හානි කිරීමට නොයා යුතු බවත් හෙතෙම සඳහන් කළේය. මේ පිළිබඳ කළ විමසීමේදී යුනෙස්කෝ සංවිධානයේ හිටපු සන්නිවේදන ප්‍රධානී, විජයානන්ද ජයවීර පැවසුවේ මෙවැන්නකි.
“මානව අයිතිවාසිකම් ප්රකාශනයට අනුව ඕනෑම මාධ්‍යයකින් තොරතුරු ලබාගැනීමේ නිදහස සෑම පුද්ගලයකුටම තිබෙනවා. නමුත් ජනතාවට සෑම ස්ථානයකටම ගොස් තොරතුරු ලබාගත නොහැකියි. නිවැරැදි තොරතුරු නැතිව ජනසමාජයට පැවතෙන්නට බැහැ. ඒ සඳහා වෘත්තිමය හැකියාවක් සහිත ජනමාධ්‍යවේදීන් අවශ්‍යයි. නිරවද්‍ය සහ සත්‍ය තොරතුරු ජනතාවට ලබාදීම ජනමාධ්‍යවේදීන්ගේ වගකීමයි. ඒ සඳහා ජනමාධ්‍යවේදීන් සිදුවීම් සිදුවන ස්ථානවලට යා යුතුයි. එක් අතකින් එය ඔවුන්ගේ රැකියාව, අනෙක් පැත්තෙන් එය සමාජය ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ. එවැනි තැන්වලට යන ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂාව සැලසීම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල වගකීමක්. මේ ප්‍රහාරය ඒ පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයන් විසින් සිදුකළ සමාජ විරෝධී ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ. සාමාන්‍ය පුද්ගලයකුට පහරදීමත් අපරාධ චෝදනාවක් එල්ල විය හැකි ක්‍රියාවක්, එසේ නම් මෙය ඊටත් වඩා බරපතළ සමාජ අපරාධයක්”
ෙජ්‍යෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණාගම සඳහන් කළේ මාධ්‍යවේදීන්ට පහරදීමේ සිදුවීම සම්පූර්ණයෙන්ම මානව හිමිකම් කඩවීමක් බවයි. අදාළ පහරදීම සිදුකළ වූවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද හෙතෙම මතු කළේය.
මානව හිමිකම් පිළිබඳ ෙජ්‍යෂ්ඨ නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම පැවසුවේ ද තොරතුරු ලබාගැනීම සම්බන්ධයෙන් වැඩි අයිතියක් තිබෙන ජනමාධ්‍යවේදීන් ලෝකයේ ඉතාම සුරක්ෂිත ස්ථානයක් දරන කණ්ඩායමක් බවයි. එබැවින් ජනමාධ්‍යවේදීන්ගේ ප්රකාශනයේ සහ භාෂණයේ අයිතිය රැකීමට සියලු දෙනා බැඳී සිටින බවත් ඔවුන් පොලිස් නිලධාරින්ගේ වදහිංසාවලට ලක්වීම නීතියට පටහැණි බවත් ඇය පැවසුවාය. හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වෙමින් තිබෙන අවස්ථාවකදී වුවත් එවැනි වදහිංසා සිදු කිරීම ජාත්‍යන්තරවත් මෙරට ව්‍යවස්ථාව අනුවත් මහජන ආරක්ෂක පනත යටතේවත් කිසිසේත් අනුමත කළ නොහැක්කක් බවත් පැවසූ ජ්‍යේෂ්ඨ නීතිඥවරිය, මේ සිදුවීම් සම්බන්ධයෙන් වහාම විමර්ශන පැවැත්විය යුතු බවත් එම විමර්ශන අවසන්වන තුරු අදාළ නිලධාරින්ගේ සේවය අත්හිටුවිය යුතු බවත් සඳහන් කළාය. එමෙන්ම එම විමර්ශන අවසන් වූ පසු ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන මහජනතාව දැනුම්වත් කිරීම අවශ්‍ය බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා ද මෙම ප්‍රහාරය හෙළා දකිමින් අදහස් දැක්වීය.
“මේ ප්‍රහාරය මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් කුමන පාර්ශ්වයකින් එල්ල වුණාද යන්න අපි දන්නේ නැහැ. ගැටුමට මැදිවූ මාධ්‍යවේදීන් තෝරාබේරාගෙන ම ආරක්ෂක අංශ විසින් මේ පහරදීම කළා නම් එය ඉතාම බරපතළ තත්ත්වයක්. රජය සිවිල් අරගල සමහන් කිරීමට ආරක්ෂක අංශ යොදවන විට ඔවුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කළ යුතුව තිබුණා. මෙවැනි අවස්ථාවලට මාධ්‍යවේදීන් ප්රවිශ්ට නොවූ විට ව්‍යාජ ප්රවෘත්ති සමාජය ඉදිරියට පැමිණෙන බව හැමවිටම මතක තබාගත යුතුයි. ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ද පහුගිය දිනකදී උද්ඝෝෂකයන්ගේ ප්‍රහාරයට ලක්වී තිබුණා. අපේ මාධ්‍යවේදී සහෝදරයන් මහජන උද්ඝෝෂණ, විරෝධතා ආවරණය කිරීමේදී තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෘත්තීය පළපුරුද්ද ඇතුළත තිබෙන අත්දැකීම් භාවිත කරනවා නම් හොඳයි මාධ්‍යවේදීන්ට සිදුවූ පහරදීම සහ ඔවුන්ගේ කැමරා උපකරණවලට සිදුවූ හානි සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගවීම ප්‍රදර්ශනය කරනවා නම් මේ ගැන වඩා විධිමත් ආකාරයට විමර්ශනය කිරීමට විමර්ශන කමිටුවක් පත්කළ හැකියි. ඒ හරහා ජනමාධ්‍යෙව්දීන්ට සිදුවූ හානි පූර්ණය කළ හැකියි. ඒ වගේම වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අය ඒ සඳහා යොමුකළ හැකියි. නමුත් එයින් පමණක් ආණ්ඩුවේ වගවීම සම්පූර්ණ වන්නේ නැහැ. අවසාන වශයෙන් ආණ්ඩුව වින්දිත මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකළා වෙන්නේ, පහර දුන් පිරිස් හඳුනාගෙන ඔවුන් නීතිය ඉදිරියට පමුණුවීමෙන්”
දිවයින පුරා විසිරී සිටින සියලු ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාතික එකමුතුවේ ජාතික සංවිධායක, කාංචන කුමාර ආරියදාස ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. රටේ පවතින නියම ජනමතය සහ ජනතාව පත්ව ඇති බරපතළ අර්බුදයට විසඳුම් සෙවීම රජයේ බලධාරීන්ගේ වගකීමක් බවත් එකී සිදුවීම් වාර්තා කිරීමට යන මාධ්‍යෙව්දීන්ට අඩන්තේට්ටම් කොට එය වළක්වා ගැනීමට උත්සාහ කිරීම ප්‍රායෝගික නොවන බවත් ඔහු පැවසීය.
ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ පැවසුවේ ජනමාධ්‍ය හැඳුනුම්පත ප්‍රදර්ශනය කරමින් තමන් මාධ්‍යවේදියකු බව ප්‍රකාශ කර සිටියදී එම මාධ්‍යවේදීන්ට පහර දීම තුළ සැඟවුණු න්‍යාය පත්‍රය කුමක්ද යන්න ප්‍රශ්නයක් බවයි. මෙම කරුණ හරහා පැහැදිලි වන්නේ, නූතන ලෝකයේ ජනමාධ්‍ය ප්රවණතා පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව සතු දැනුම ඉතා අල්ප බවත් පැවසූ හෙතෙම, MOJO යනුවෙන් ලෝකයේ ප්‍රචලිතව ඇත්තේ මෙම ජංගම දුරකථන ජනමාධ්‍යවේදය බව සඳහන් කළේය. ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කොට ඇති ජනමාධ්‍යවේදීන්ට පමණක් උද්ඝෝෂණ , විරෝධතා හා ගැටුම්කාරී අවස්ථා ආවරණය කරන අවස්ථාවලදී පැලඳීමට මාධ්‍යවේදී හැඳුනුම් කබා (press jacket ) ලබාදීමට කටයුතු කළ යුතු බවද ඔහු යෝජනා කළේය. මේ අතර මිරිහානේ උද්ඝෝෂණය හා ඉන්පසුව ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ඉකුත් 4 වැනිදා පැවති අතර, එහිදී අත්අඩංගුවේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාකරන ආකාරය පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බව එම කොමිසම නිවේදනය කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක ඉකුත් 6 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.