
ආතර් යූ.අමරසේන
“බයිස්කෝප් ගැන බහු බූත ලිය ලියා පරණ පත්තර කෑලි එකතු කර කර ගෙදර සත්තු බෝ නොකර වැඩකට ඇති වැඩක් කරපං“ පාසල් යන ගැටවරයකුට තාත්තා මෙසේ කීවේ වරක් දෙවරක් නොවේ.වැඩිහිටියන්ගේ කීම තුට්ටුවකවත් මායිම් නොකළ ඔහු ‘සිළුමිණ‘ පත්‍රයේ කමලා සමාජයටත්, ‘ඉරිදා ලංකාදීප‘ පත්‍රයේ ‘බිංදුගේ ළමා‘ පිටුවලටත් දිගටම ලිව්වේ ය. එදා මහනුවර කටුගස්තොට කිට්ටුව පිහිටි හමංගොඩ නම් ගමේ හැදුණු වැඩුණු ඔහු කටුගස්තොට රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ ය.
“පුංචි කාලේ ඉඳලම මම පත්තර බලන්න ආසයි. ‘සිළුමිණේ‘ කමලා සමාජයට මා යැවූ ලිපි පළ වුණා. මම ‘සිළුමිණ‘ පත්‍ර දෙකක් ගන්නවා. එකක් ගෙදරට. අනික් එක මට සිංහල සාහිත්‍යය ඉගැන්වූ ගුරුතුමියට දෙන්න. පත්‍රය දුටු ගුරුතුමිය අනාවැකියක් කීවාය.
“ආතර් මම අනාවැකියක් කියන්නම්. ඔයා කවදා හරි පත්තර කර්තෘ කෙනෙක් වෙනවා වෙනවාම යි.“
ගුරුතුමිය වගේ ම මගේ පන්තියේ හිටිය රන්කොත්ගේ නම් මිත්‍රයා මම ලියන දේ බලලා මාව උනන්දු කළා. අපිට ඉහළ පන්තියක හිටියා නිශ්ශංක කියල වැඩිහිටි මිත්‍රයෙක්. එයත් ඒ කාලේ ‘සිළුමිණ‘ පත්‍රයට ලිපි ලිව්වා. රන්කොත්ගේ මිත්‍රයා අපි දෙන්න ඉන්න තැනක මෙහෙම කිව්වා.
“අමරෙයි, නිශ්ශංකයි දෙන්නම පත්‍ර ලෝකය බබළවනවා.
කාලයාගේ ඇවෑමෙන් මම පත්‍ර කතුවරයෙක් වුණා.
මගේ පියා (උස්මීයගේ චාල්ස් පෙරේරා) වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. අම්මා ප්‍රීති ෆ්‍රැන්සි ද සිල්වා. මම උපන්නේ 1938 මාර්තු 30 වැනිදා. මට බාල සොහොයුරන් වූයේ විජේසේන, පියසේන හා මර්වින්. තාත්තාට ඕනෑ වුණේ මාව උගන්වලා දුම්රිය දෙපාර්තමේන්තුවේ උප නියාමක තනතුරකට පත් කිරීමට. ස්ටේෂන් මාස්ටර් කෙනෙකු කිරීමට තාත්තා සිහින මැව්වා. ඒත් මගේ හිත ගියේ පත්‍ර කලාවට එක් වීමට.
ඒ කාලයේ ජනප්‍රිය චිත්‍රපට සඟරාවක් තිබුණා. ‘ලංකා චලන චිත්‍ර‘ කියලා මේ සඟරාවට මම සිනමා ලිපි, චිත්‍ර කතා තැපැල් කරලා යවනවා. කිසිම හැඳිනීමක් නැතිව සඟරාවේ ඒවා පළ කර තිබුණේ එහි කර්තෘ සෝමපාල රණවීර මහත්තයා. දවසක් සෝමපාල මහත්තයාගෙන් මට තැපැල් පතක් ලැබුණා. “ඔබගේ චිත්‍රත්, ලිපිත් රසවත්. කැමැති නැද්ද මගේ සහායකයා වෙලා වැඩ කරන්න.“
මම ඔහු හමුවෙන්න මරදානේ ගුණරත්න සමාගමේ මුද්‍රණාලයට ගියා. මම ඔහුගේ එකම සහායක වුණා. සඟරාවට ලිපි ලිව්වා. තැපෑලෙන් එන ලිපි නැවත සකස් කර ලිව්වා. චිත්‍රකතා ඇන්ද, සඟරාව මුද්‍රණය කරලා ආවාම ඒවා පාර්සල් කළා. ග්‍රාහකයන්ගේ සඟරා තැපැල් කළා. කඩවලට ගිහින් සඟරාවල සල්ලි එකතු කළා. මාසිකව මට රුපියල් පණහක් ලැබුණා. ඒ කාලේ (1958) ඒක ලොකු මුදලක්. කාලා බීලා කෝච්චියේ ගිහිල්ල යාළුවන්ට සංග්‍රහ කරලත් සල්ලිත් ඉතුරු වුණා. මේ හැම දේකින් ම මම ලොකු තෘප්තියක් ලැබුවා.“
අමරසේන කියන ආකාරයට ‘ලංකා චලන චිත්‍ර‘ සඟරාවට සම්බන්ධ වෙලා ටික කලක් යන කොට 1960 දී ඔහුට බොනිෆස් ජයවර්ධන නම් මිතුරෙක් හමු වෙනවා.
“අමරේ අපි චිත්‍රපටි සඟරාවක් පටන් ගමු ද? ඔයා පත්තරේ සංස්කරණය කරන්න.“
අමරසේනගේ සංස්කරණයෙන් 1960 වසරේ ‘චිත්‍රවාහිනි‘ සඟරාව බිහි වෙයි. එහි ඡායාරූප ශිල්පියා වූයේ එකල ‘ඥාණාර්ථ ප්‍රදීපය‘ පත්‍රයේ චිත්‍ර ශිල්පියෙකු හා කැමරා ශිල්පියකු වූ රැලෙක්ස් රණසිංහ. මේ කාලයේ අමරසේනට දුම්රියේදී අලුත් යාළුවෙක් හඳුනාගෙන තිබුණා. දෙදෙනාම පානදුරේ සිට කොටුවට එන්නේ එකම දුම්රියෙනි. ඔගස්ටස් විනායගරත්නම් නම් ඔහු දක්ෂ කෙටිකතාකරුවකු ලෙස ප්‍රකටව සිටියේ ය. පසුව සම්මානනීය ගීත රචකයෙක් විය. දිලිප් කුමාර් නම් ජනප්‍රිය හින්දි චිත්‍රපට නළුවා ලංකාවට එන්නේ ඔය කාලයේදී ය. අමරසේනත්, ඔගස්ටස් හා රැලෙක්ස් දිලිප් ගැන ලියූ විශේෂාංගය සම්බන්ධ වූහ. වසර දෙකක් ‘චිත්‍රවාහිනි‘ සඟරාව කළක් ආර්ථික ගැටලු නිසා නතර කිරීමට සිදුව විය. එතැනින් පසු යුගය ගැන ඔහු පවසන්නේ මේ කතාව ය.
“ඔය කාලේ ඒ කියන්නේ 1961 වසරේ ගුණසේන සමාගම ‘දවස‘ කියන පත්‍රය පටන් ගන්නවා කියලා ආරංචියක් ලැබිලා මම කෙළින් ම පත්‍රයේ කර්තෘ ඩී. බී. ධනපාල මහත්තය හම්බවෙන්න. මම ගියේ ‘චිත්‍රවාහිනි‘ සඟරා කීපයකුත් අරගෙන. “සර් මම ‘දවස‘ පත්‍රයට බැඳෙන්න ආසයි.“
මගේ සඟරා බලලා නිල් පාට පාට පැන්සලයෙන් මේසයට තට්ටු කළා.
“ළමයෝ අපි සිනමා පත්තරයක් ගහන්නේ නෑනේ. මේ ළමයා වාර්තාකරුවෙක් හැටියට වැඩ කරන්න කැමැතිද?“
“ඔව් සර්“
“මම ලියන ප්‍රවෘත්ති කොළමේ එක පේළියකට ශත 03 ගානේ ගෙව්වා. එතකොට ‘දවස‘ කර්තෘ මණ්ඩලයේ හිටියේ පස් දෙනයි. ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ගුණදාස ලියනගේ, සිරිල් ඒ. සීලවිමල, රෝහණ ගමගේ, රොබට් ජයවර්ධන. මම මුලින් ලියූ වාර්තා දැකල ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර කිව්වා.
“මොනවද උඹ ලියන වැල් වටාරම්. ප්‍රවෘත්තිය තියෙන්නෙ අඩියේනේ. ආපහු අලුතෙන් ලියපං අග මුලට අරං රහට.“
ප්‍රවෘත්ති ලියන හැටි, රස බරට ලියන හැටි සුරේන්ද්‍ර මට කියලා දුන්නා. දවල් කෑම වෙලාවේ සුරේන්ද්‍ර මා ළඟට ආවා.“
“වරෙං අමරේ එළියට යන්න බියර් වීදුරුවක් බොන්න.“
ඒ සුරේන්ද්‍රගේ හැටි. ගුණදාස ලියනගේ ඊට වෙනස්. මට ප්‍රවෘත්ති ලියන හැටි කියලා
“අමරේ, අපි එළියට ගිහිං කෑම ටිකක් කාලා එමු.“ කියනවා. සුරේන්ද්‍රයි, ලියනගේයි මගේ පත්‍ර කලාවේ ගුරුවරු.
1962 කුමන්ත්‍රණ නඩුව වාර්තා කළ ඔහු ‘දවස‘ හා ‘රිවිරැස‘ පත්‍රවල ‘රසදෝත‘ ‘කලා කෙත‘ සිනමා පිටු සම්පාදනය කළා.
අමරසේන ‘රිවිරැස‘ පත්‍ර යේ රසදෝතට ප්‍රවෘත්ති ලියන කාලයේ සිදුවූ රසවත් සිදුවීමක් අපට මෙසේ විස්තර කළේ ය.
‘රන්මුතුදූව‘ චිත්‍රපටය සාර්ථක තිරගත වූ පසු ඊළඟට ඒ චිත්‍රපට සමාගම නිෂ්පාදනය කරන ‘පුරන් අප්පු‘ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ටයිටස් තොටවත්ත එහි ප්‍රධාන චරිතයට ගාමිණී ෆොන්සේකාව තෝරා ගෙන හිටියේ ය. මම මේ ප්‍රවෘත්තිය කලා පිටුවේ ලොකුවට ලිව්වා. ‘පුරන් අප්පුට ගාමිණී‘ කියලා. දවසක් චිත්‍රපට අධ්‍යක්ෂ තොටවත්තත්, නිෂ්පාදක ශේෂා පලිහක්කාරත් මාව හොයාගෙන ආවා.
“අපි ගාමිණීව පුරන් අප්පුගෙන් අයින් කළා.“ ටයිටස් කිව්වා.
“මේක හොඳ ප්‍රවෘත්තියක්. පත්තරේ දාන්න ද?“
“උඹ දාපන් මම නේ කියන්නේ. ගාමිණී රන්මුතු දූවෙන් ජනප්‍රිය වෙලා අපිට දින දෙන්නේ නැහැ. ඕක ලොකු අකුරෙන් දාපං“ ටයිටස් කිව්වා.
මම ප්‍රවෘත්තිය ලියලා සුරේන්ද්‍ර ගාවට ගියා.
“මරු නිව්ස් එක. මචං මේක ලීඩ් කරලා දාපන්.“
සුරේන්ද්‍රත් බලං ඉන්නේ ඔය වගේ නිව්ස්වලට.
ඉරිදා 'රිවිරැස' පත්‍රයේ පළ වුණා. අඟහරුවාදා ගාමිණී නීතිඥයකුගේ මාර්ගයෙන් පත්තරේට එන්තර වාසියක් එවල තිබුණා. තමාට මේ ප්‍රවෘත්තියෙන් අපහාසයකුත්, චරිත ඝාතනයක් වුණා කියලා. මම ධනපාල මහත්තයාගේ කාමරයට ගියා. සුරේන්ද්‍රත් හිටියා. ධනපාල මහතාට ප්‍රශ්නයක් ආවාම අතේ තියෙන රතු සහ නිල් සහිත ලොකු පැන්සල දෙතොල මත රඳවා ගන්නවා.
"අමරසේන, මෙන්න ගාමිණී ලක්ෂ තුනක් ඉල්ලල තියෙනවා. තමුසෙගේ නිව්ස් එකට වන්දි ඉල්ලා. තමුසෙට ගෙවන්න පුළුවන්ද? කවුද මේ නිව්ස් එක අමරසේනට දුන්නෙ."
"සර්, මේ නිව්ස් එක දුන්නෙ ටයිටස් තොටවත්තයි, ශේෂා පලිහක්කාරයි."
"හරි, ඒ දෙන්නගෙන් මේ ප්‍රවෘත්ති ඒ අයයි දුන්නේ කියලා ලියුමක් අරං එන්න පුළුවන් ද?"
"පුළුවන් සර්"
මමයි, ඡායාරූප ශිල්පී අනුර ගුණසේකරයි ටයිටස්, ශේෂා හමුවෙන්න ගිහින් පින්තූරයක් අරං ප්‍රවෘත්තියේ වගකීම භාර ගන්නා බව කියලා ලිපියක් ලියලා දුන්නා. අනුර පින්තූර ගත්තා. අපි ලියුමක් අරං ලොක්කා ගාවට ගියා.
"එයාට නඩු දාල බලන්න කියමු." ලොක්කා කිව්වා.
ධනපාල මහත්තයා කිසිවෙකුට ප්‍රචාරය නොදෙන්න එපා කියලා කෙළින් කියන්නෙ නෑ.
"තමුසෙලා එක එක අය බොරුවට පත්තරෙන් පුම්බනවා. මීට පස්සේ කල්පනාවෙන් මිනිස්සුන්ට ප්‍රචාරය දෙන්නේ."
ගාමිණීට මාස ගණනක් අපේ පත්‍රවලින් ප්‍රචාරය ලැබුණේ නැහැ. 'පරසතු මල්' ප්‍රදර්ශන කරන කොට නිෂ්පාදක චිත්‍රා බාලසූරිය ඇවිත් ගාමිණීගේ පින්තූර දීලා ප්‍රචාරය දෙන්න කියලා ඉල්ලුවා. මම ලොක්කාට කියලා තහනම් නියෝගය ඉවත් කර ගත්තා.
" අමරසේන අතීත කතාව අපට කීවේය.
"රිවිරැස පත්‍රය ආරම්භ කරලා මංගල යෝජනා' තීරයක් ආරම්භ කරලා ධනපාල මහතා අවිවාහකයන්ව සිටි සුරේන්ද්‍රටත්, මටත් අපූරු යෝජනාවක් ගෙනාවේ ය.
"තමුසෙලාගේ සුදුසුකම් ලියලා, වෙන නම්වලින් 'දවස බාරේ' යෝජනා කරල යවනවා" කියා ය. තව කිහිප දෙනෙක්ම මේ සඳහා උනන්දු වූහ. මම යැවූ විවාහ යෝජනාවට විවාහ යෝජනා 300 ක් ආවා. ඒ ලිපි අතර සුරූපී ගැහැනු ළමයෙක් පින්තූරයක් දෙස කාගෙත් හිත ගියා. අමරසේන ඒ යුවතියගේ පියාට පිළිතුරු යැව්වේ නිකමට වගේ ය. ඇගේ නම ශ්‍රියානි වීරකෝන් ය. මම මගේ කළණ මිතුරෙකු වූ ඔගස්ටස් සමඟ ඇය බැලීමට ගොස් ඇත්තේ 'සිල්වා' හා 'පෙරේරා' නම් වලිනි. මගේ හිත ඇය වෙත ඇදී ගියා. ඇය මගේ බිරිය වීමට වැඩි කල් ගියේ නෑ.
ඇය සම්මානනීය රංගන ශිල්පිනියක වූ ශ්‍රියානි අමරසේන ය.
ධනපාල මහතා අමරසේන යුවළගේ මංගල උත්සවයේදී කියා සිටියේ 'මංගල යෝජනාවෙන් හරි ගියේ අපේ අමරසේන' ට කියා ය.
දිනක් 'රිවිරැස' කර්තෘ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර අමරසේනට කතා කළේ ය.
"අමරේ උඹට ලොක්කා කතා කරනවා."
අමරසේන ඩී. බී. ධනපාල මහතාගේ කාමරයට ගියේ එක්තරා බිය මුසු හැඟීමෙනි.
"අමරසේන, තමුසේ සිනමාකාරයානේ. ඔන්න අපි සිනමා පත්තරයක් පටන් ගන්න තීරණය කළා." ධනපාල මහතා කීවේය. ඒ සමඟම සුරේන්ද්‍රත්, උප කර්තෘවරයෙකු වූ විමලේන්ද්‍ර වතුරේගමත් කාමරයට ආහ.
"මම කිව්වා අමරසේන පත්‍රය කරන්න කියලා" කී ධනපාල මහතා ඒ චිත්‍රපට පත්‍රයට 'විචිත්‍ර' නම යෝජනා කළේ ය.
"නෑ සර් 'විචිත්‍ර' කිව්වාම නම කටට අමාරුයි" විමලේන්ද්‍ර වතුරේගම කීවේය.
"එහෙම නෙවෙයි අපි 'විසිතුරු' කියලා දාමු දැයි" ධනපාල මහතා කියා ඇත.
"විසිතුරු නෙවෙයි 'විසිතුර' කියලා දාමු" වතුරේගම කීවිට සුරේන්ද්‍රත් අනුමත කළේ ය.
ආතර් යූ. අමරසේන නම් පත්‍ර කලාවේදියා පසුව 'සුරතුර', 'සිත්සර', 'පියකරු', 'මැද පෙරදිග', 'ලියතඹරා' ආදී පුවත්පත් සංස්කරණය කළේ ය. 'සිංහල සිනමා වංශය', 'වංහුං', 'සිංහලේ', 'මහා මහා සිනමා වංශය', '60 වසරක සිංහල ප්‍රකාශන' ඔහු රචනා කළ කෘතිය. නව පරපුරට අත හිත දුන් ඔහු ඒ අය අගය කොට සම්මාන පිදූ නිහතමානී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. වරක් 'සරසවිය' පුවත්පතින් අමරසේන මහතා හඳුන්වා තිබුණේ 'සිනමා පුවත්පත් කලාවේ ලොකු තාත්තා' ලෙස ය.
අමරසේන හා ශ්‍රියානි යුවළගේ වැඩිමහල් දියණිය ඉනෝකා නිල්මිණි අමරසේන ද සම්මානනීය රංගන ශිල්පිනියකි. පුතා සම්පත් චන්දන අමරසේන ඇමසන් තේ සමාගමේ සාමාන්‍යාධිකාරි ලෙස සේවය කරයි.
ඒ.ඩී. රන්ජිත් කුමාර