
යන මගේ දිගට ම නො ගොස් අතුරු මංවලට හැරෙන්නට වීමෙන් ඇතැම් විට ගමනට බාධා ද ඇති විය හැකි යි; ගමන පමා ද විය හැකි යි. හරි වහරට ද වූයේ එ බඳු වැඩෙකි. ණ - න යෙදුමෙහි වෙසෙසි තැන් විමසමින් සිටිය දී ‘ලාංකේය‘ තතු විමසන්නට සිදු විය. එ සමඟ ඒ හා බැඳි තව ද කරුණු රැසක් ම විමසන්නට අවසරය පෑදිණ.
එ පමණකුදු නො වේ. ඊය, ඒය, ඉක ආදි තද්ධිත ප්‍රත්‍යය ගණනාවක් යෙදෙන සැටි පිළිබඳ වැ බොහෝ දෙනකු ගේ ගැටලු ද විමසා එහි නිවැරැදි යෙදුම් දක්වන්නට හැකි විය. යට කියැවුණු ප්‍රත්‍යය යෙදෙනුයේ සංස්කෘත භාෂාවෙහි පද සාධනයෙහි දී වුව ද එසේ සෑදෙන පද නූතන සිංහලයෙහි ද නිරතුරු වැ යෙදෙන හෙයින් එ ගැන කරන ලද විමැසුම බොහෝ දෙනකුට වැදගත් වූ බව ඉදිරිපත් කැරුණු ගැටලුවලින් පෙනී ගියේ ය.
හරි වහරින් ඉදිරිපත් කැරෙනුයේ හැමට ම වැදගත් වෙති යි සිතිය හැකි ගැටලුත් ඒ සඳහා සුදුසු පිළිතුරු පමණෙකි. මේ කඩදාසි හිඟ කාලයේ අමාරුවෙන් පළ කැරෙන පුවත්පතේ අගනා ඉඩ නිකම් ම මකා දැමිය හැකි නො වේ.
එක් භවතෙක් වැදගත් පැනයක් නඟයි. හේ නිවැරැදි බස් වහරට ම ළ - දුන් හෙළ බස් හිතැතියෙකි. බස පිළිබඳ වැ ගැටලුවක් මතු වූ කල්හි කෙසේ හෝ, කවරකු ගෙන් අසා හෝ නිවැරැදි පිළිතුර ලබාගන්නට ම තැත් දරන්නෙකි. ඔහුගේ ඒ බස් ළදියාවට ද බුහුමනක් ලෙස එ පැනය මෙහි ලා විමැසේ.
පැනය මෙ සේ ය. ‘ඉක‘ යන (තද්ධිත) ප්‍රත්‍යයය යම් නාම ප්‍රකෘතියක් හා එක් වීමේදී ඒ ප්රකෘතියේ මුලට ම ඇති ස්වරය වෘද්ධි වන බව ඉකුත් හරි වහරෙකින් කියැවිණ. පුද්ගල + ඉක = පෞද්ගලික ආදි උදාහරණ ද එහි ලා දක්වන ලදි. එ සේ නම් ‘සංස්කෘතික‘ යන වදනක් ‘සාංස්කෘතික‘ යැ යි, එ කියන රීතිය අනුව නිවැරැදි විය යුතු නො වේ ද?
හොඳ පැනයෙකි. සංස්කෘතික යනු අපි නිතර ම යොදමු. මෙ රට සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවක් මෙන් ම සංස්කෘතික අමාත්‍යාංශයක් ද වේ. සංස්කෘතික බල මණ්ඩල ද රට පුරා වේ. එ වුව ද වදන ගැන විමැසුමක් මෙතෙක් කරනු ලැබ ඇති සෙයක් නො පෙනේ. එ ගැන සැලැකිලිමත් වූවනුදු නො සිටිය හ යි දි කිය හැකි නො වේ. එක් ව්‍යක්ත, විනීත, විශාරද මහා නායක ස්ථවිර කෙනෙක්. ‘ඉක‘ ප්‍රත්‍යයය යෙදීමෙහි ලා යට කියන ලද රීතිය ම සැලැකිල්ලට ගනිමින් ‘ත්‍රිපිටකයේ සාංස්කෘතික ලක්ෂණ‘ යැයි මහා ග්රන්ථයකුදු ලියූ හ. එහෙත් ‘සාංස්කෘතික‘ යනු නිවැරැදි වදනෙකැ යි කිය හැකි නො වේ. විමසමු.
සංස්කෘත භාෂාවෙහි ‘කෘ‘ යැයි ධාතුවක් ඇත. (ධාතුව නම් ක්‍රියා පදයෙක මුල රූපය බව ‘හරි වහර‘ කියවන්නෝ දනිති) මේ ධාතුවට ‘සං‘ යන උපසර්ගය එක් වන කල එයටත් ධාතුවටත් අතරට ‘ස්‘ යනු පැමිණ ‘සංස්කෘ‘ යනු ඇති වේ. අතීත කෘදන්ත ප්‍රත්‍යයය වන ‘ත‘ මෙයට එක් වූ කල ‘සංස්කෘත‘ යනු නිපැදේ. මනා වැ, හොඳින් කරන ලද, සංස්කරණය කරන ලද යනු එහි අර්ථය වේ. පසු වැ මේ (කෘදන්ත) පදයට ම ‘ඉ‘ යන ප්‍රත්‍යයය එක් වීමෙන් ‘සංස්කෘති‘ යන්න ඇති වේ. මෙහි ‘ඉ‘ ප්‍රත්‍යයයෙන් ‘සහිත‘ යන අරුත ලැබේ. බැලුව මැනැවි, ප්‍රීති + ඉ = ප්‍රීති වේ. ගත + ඉ = ගති වේ. එ මෙන් සංස්කෘත + ඉ = සංස්කෘති වේ. සිංහලයෙහි බෙහෙවින් යෙදෙන කෘති, ආකෘති, අනුකෘති ආදිය ද මෙ සේ ම නිපැදුණු සංස්කෘත තත්සම වේ.
දැන් ‘සංස්කෘති‘ යන්න නිපැදුණු අයුරු අපි දනිමු.
ධාතුවක් ක්‍රියා මූලයක් ඇසුරින් නිපැදුණු ද එය දැන් නාම ප්‍රකෘතියක් හෙවත් නාම මූලයක් මෙන් යෙදේ. ඉතින් මේ නාම මූලයට ‘ක‘ යන ප්‍රත්‍යයය එක් වූ කල අපට වුව මනා ‘සංස්කෘතික‘ යන තද්ධිතය ඇති වේ.
මෙහි යෙදුණු ‘ක‘ ප්‍රත්‍යයය නම් කිමෙක්ද? එ ද ඉක, ඊය ආදිය මෙන් තද්ධිත ප්රත්යයයෙකි. අස්ත්යර්ථයෙහි හෙවත් ‘ඇත‘ යන අරුතෙහි යෙදේ. සංස්කෘති බව ඇතියේ සංස්කෘතික යි. මෙහි විශේෂ කාරණය නම් ඉක, ඒය ආදි ප්‍රත්‍යය යෙදෙන කල මෙන් ‘ක‘ ප්‍රත්‍යයය යෙදෙන කල ඒ හා බැඳෙන නාම ප්රකෘතියේ මුල ඇති ස්වරය වෘද්ධි නොවීමයි.
ප්‍රථම + ක = ප්‍රථමක, රූප + ක = රූපක, නාම + ක = නාමක ආදිය විමැසීමෙන් එ බව තහවුරු වේ. මේ සාමාන්‍ය රීතිය යි. ඒ අනුව ‘සංස්කෘතික‘ යනු ද මුල ස්වරය වෘද්ධි නො වී යෙදේ. එ නම්, ‘සාංස්කෘතික‘ යැ යි නො යෙදේ.
පැනය නැඟූ භවතාණනට සුදුසු පිළිතුරු යට කැරුණු විමැසුමෙන් ලැබුණ හ යි සිතිය හැකි ය. මේ සංස්කෘති යනු හෝ සංස්කෘතික යනු හෝ පුරාතන ව්‍යවහාරයෙහි නො දැක්වුණු, මෑතෙක දී නිපදවා ගැනුණු වදන් බව ද මෙහි ලා දැක්විය යුතු යි. ඉංගිරිසියෙහි එන 'Culture' යන වදනෙහි අරුත දීම පිණිස ‘සංස්කෘති (ය) යනු ද 'Cultural' යන්නෙහි අරුත දීම පිණිස ‘සංස්කෘතික‘ යනු ද මෑත කලෙක සිටි වියතුන් විසින් නිපදවා ගැනුණු බව පෙනේ. දැන් නම් සිංහල ව්‍යවහාරයෙහි මෙ වදන් මුල් බැසගෙන ඇතැයි කිය යුතු ය.
වදන නිපැදුණු සැටි නො දැනීමෙන් දෝ ඇතැම්හු ‘සුනඛ සංස්කෘතිය‘, ‘අවලම් සංස්කෘතිය‘ වැනි යෙදුම් ද යොදති. අරුත අනුව ම බස යොදන්නන් මෙ කල ඉතා හිඟ වනුයෙන් එ ද පුදුමයක් නො වේ.
මේ සංස්කෘති, සංස්කෘතික ආදිය සංස්කෘත භාෂාවට අයත් වන බව යට දැක්විණ. ‘හැදියාව‘ යන හෙළ වදන එ අරුත සඳහා යෙදේ. ‘හැදුණු බව‘ යනු එහි අරුත යි.