මහනුවර අපරාජිතව ඉදිරියට | Page 2 | සිළුමිණ

මහනුවර අපරාජිතව ඉදිරියට

නිපෝන් පේන්ට් අභියෝග කුසලාන රග්බි තරගාවලිය

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක "නිපෝන් පේන්ට් අභියෝග කුසලාන" අන්තර් ක්‍රීඩා සමාජයීය ප්‍රමුඛ පෙළ ලීග් රග්බි පාපන්දු ශූරතාවයේ සුපිරි වටය ආරම්භ කරමින් පැවති මුල් සතියේ දී ද සුපුරුදු දක්ෂතා අතර රැඳී සිටිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි විය. ඒ තරග 08 ක් තුළ ප්‍රසාද ලකුණු 45 ක් රැස් කර ගනිමිනි.

මෙවර තරගාවලියට එක් වෙමින් මුහුණ දුන් තරග සියල්ලම ජය ගනිමින් තම ලකුණු එකතුව සටහන් කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටීම විශේෂත්වයකි.

ප්‍රතිවාදී කණ්ඩායම් 08 ක් පරාජය කරමින් ලබා ගත් ලකුණු 40 ට අමතරව අතිරේක ප්‍රසාද ලකුණු 05 කට හිමිකම් කියන්නට ද ඔවුන්ට හැකියාව ලැබිණි. මූලික වටයේ දී මෙන්ම සුපිරි වටයේ දී ද ප්‍රතිවාදී පොලිසිය පරාජය කිරීමට ඔවුන්ට හැකි වීම ද කැපී පෙණුනි.

මහනුවර ක්‍රීඩා සමාජයට ප්‍රබල තර්ජනයක් වී සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට දෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු වී තිබේ. ප්‍රසාද ලකුණු 40 ක් සමඟින් දෙවැනි ස්ථානයේ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ පසු වන්නේ තරග 08 කට මුහුණ දීමෙන් ලත් ජයග්‍රහණ 07 ක් සමඟිනි.

මෙවර "කුසලාන" අංශයේ තෙවැනි ස්ථානය සී.එච් ඇන්ඩ් එෆ්.සී. පිල තහවුරු කර ගෙන ඇති අතර වාරයේ පොලීසිය ට සිව් වැනි ස්ථානයේ පසු වන්නට සිදුවී තිබේ.

සී.එච් ඇන්ඩ් එෆ්.සී පිල තරග 04 කින් ද පොලිසිය තරග 03 කින් ද මූලික වටයේ දී ජය ගෙන තිබේ.

කුසලාන සටන

ඒ අනුව මහනුවර, හැව්ලොක්ස්, සී.එච් සහ පොලීසිය මෙවර "කුසලාන ශූරතාව" දිනා ගැනීම උදෙසා පසු ගිය 26 සිට ලබන අප්‍රේල් 10 දක්වා තරග වැදීමට නියමිතය. මෙම තරග සියල්ලම අගනුවර දී පැවැත්වීමට පියවර ගෙන තිබීම ද විශේෂත්වයකි.

මෙවර කුසලාන ශූරතාව තහවුරු කර ගැනීම සඳහා මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතරේ හට ගෙන ඇත්තේ අතිශය තියුණු සටනකි.

එමෙන්ම පොලිසිය සහ සී එච් ඇන්ඩ් එෆ්.සී යන දෙපිලටම මෙවර කුසලාන දිනා ගැනීම සිහිනයක් බවට පත්ව තිබෙන්නේ මහනුවර සහ හැව්ලොක්ස් පිලට වඩා ප්‍රසාද ලකුණු පූරුවේ පහළ ස්ථානයක් හිමි කර ගෙන තිබීම හේතුවෙනි.

මෙවර දෙවැනි වටය හෙවත් කුසලාන වටය ආරම්භ කරමින් පැවති ආරම්භක සතියේ දී සී.එච් පිල මෙන්ම පොලිසිය ද පරාජයට පත්වීම හේතුවෙන් කුසලාන ජයග්‍රහණය සිහිනයක්ම බවට පත්විණි.

දෙවැනි වටයේ ආරම්භක තරගයේ දී හැව්ලොක්ස් පිල හමුවේ ලකුණු 38 - 15 ක් ලෙස පරාජය අත් විඳීමට සී.එච්. පිලට සිදු වූ අතර මහනුවර පිල හමුවේ ලකුණු 21 - 07 ක් ලෙස පරාජය වැළඳ ගැනීමට පොලීසියට සිදු විය.

මෙතෙක් මුහුණ දුන් තරග ආශ්‍රිතව

මහනුවර පිල ගෝල් දිනුම් 26 , උත්සාහක දිනුම් 10 සහ දඬුවම් පහර 07 ක් මගින් තම ලකුණු එකතුව සටහන් කර ගන්නා අතරවාරයේ හැව්ලොක්ස් පිල ගෝල් දිනුම් 24 උත්සාහක දිනුම් 10 සහ දඬුවම් පහර 04 ආශ්‍රිතව තම ලකුණු එකතුව වාර්තා කර ගෙන තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට අතිරේක ප්‍රසාද ලකුණු 05 ක් හිමි වන අතර වාරයේ මහනුවරට ලැබී ඇති අතිරේක ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 05 කි. සී.එච් ඇන්ඩ් එෆ්.සී පිල හිමි කර ගත් අතිරේක ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ද 06 කි.

මෙවර "පළඟ" ශූරතාව තහවුරු කර ගැනීම සඳහා යන ගමනේ දී ගුවන් හමුදාව පෙරමුණ ගෙන සිටින අතර නාවික හමුදාව එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි. සී.ආර් ඇන්ඩ් එෆ්. සී. පිල තෙවැනි ස්ථානයේ පසුවන අතර සිව් වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට යුද හමුදාව ට සිදුවී තිබේ.

 

 

Comments