![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/04/01/2.jpg?itok=q-RchuPz)
අනූ හතර වන ක්ලයිඩ් ලිට්ල්ෆීල්ඩ් ටෙක්සාස් රිලේස් තරගාවලිය සඳහා සහභාගී වූ ලාංකේය උස පැනීමේ ශූර උෂාන් තිවංක සහ දුර පැනීමේ ශූර ධනුෂ්ක සඳරුවන් එහි දී කැපී පෙනෙන දස්කම් දක්වා තිබේ. අමෙරිකාවේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරගාවලියේ උස පැනීම ඉසව්ව සඳහා ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වැදුණු උෂාන් එහි දී මීටර් 2.27 ක දස්කමක් දැක්වීමට සමත් විය.
එකී දස්කමත් සමඟින් උෂාන් තිවංක ඉසව්වේ දෙවැනි තැන දිනා ගැනීමට සමත් වූ අතර එහි පළමු ස්ථානය හිමි වුණේ මීටර් 2.30 ක දස්කමක් දැක් වූ අමෙරිකානු ක්‍රීඩක වර්නන් ටර්නර් ට ය.
උෂාන් එහි දී දැක් වූ දස්කම මෙවර තරග වාරයේ දී ඔහු දැක් වූ හොඳම දස්කම සහ 2022 තරග වාරයේ ලොව මෙතෙක් වාර්තා වූ දෙවැනි හොඳම දස්කම ලෙස පිළිගැනේ. ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබා යළි ක්‍රීඩා පිටියට එක් වූ උෂාන් මෙයට පෙර ඔහු ගෘහස්ථ තරගාවලියක දී මීටර් 2.25 ක දස්කමක් දැක්වීය.
ඇමරිකාවේ වාසය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වන උෂාන් පසුගිය වසරේ දී උස පැනීම ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහු මීටර් 2.30ක දස්කමක් පෙන්නුම් කරමින් එහි ජාතික වාර්තාව බිඳ හෙළීමට ද සමත්විය.
2020 දී ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලබා විදේශගත වූ උෂාන් ටෙක්සාස් හි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.
ඔහු පසුගිය වසරේ මාර්තු මාසයේ දී එවකට මෙරට උස පැනීමේ ශූරයා වන මංජුල කුමාර විජේසේකර විසින් 2004 වසරේ දී පිහිටුවා තිබූ මීටර් 2.27 ක උස පැනීමේ දිගුකාලීන ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැම්මේය.
උස මදිවට දුරත්
උෂාන්ට අමතරව එම තරගාවලියේ ‘ඒ‘ කාණ්ඩයේ දුර පැනීමේ අවසන් තරගයට සහභාගී වූ ධනුෂ්ක සඳරුවන් මීටර් 8.10 ක කැපී පෙනෙන දස්කමක් දක්වමින් එහි තෙවැනි ස්ථානය දිනා ගත්තේ ය.
තරගය පැවති අවස්ථාවේ වාර්තා වූ සුළඟේ වේගය +3.4 ක් ලෙස දිස්වීම නිසාවෙන් එය වාර්තාවක් ලෙස සැලකීමට නොහැකි වූවත්, ආසියානු ක්‍රීඩා උළෙල සඳහා අවශ්‍ය පරිසාධන සුදුසුකම් සපුරාලීමට ධනුෂ්කට හැකි වීම විශේෂත්වයකි.
අමෙරිකාවේ දී ම ඔහු විසින් දුර පැනීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළීමට මීට පෙර සමත් විය. ඒ මීටර් 7.82 ක දුරක් වාර්තා කරමිනි. එහිදී ඔහු විසින් බිඳ හෙළීමට සමත් වූයේ වසර 27 කට පෙර එනම් 1995 වසරේ දී අමෙරිකාවේ දී ම බෙනිල්ඩස් ප්‍රනාන්දු පිහිටුවා තිබූ මීටර් 7.75 ක දස්කමයි. එය එකල සැලකුණේ ශ්‍රී ලංකාවේ ගෘහස්ථ දුර පැනීම ජාතික වාර්තාව ලෙසය.
අමෙරිකාවේ ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් සරසවිය නියෝජනය කරමින් තරග වදින ධනුෂ්ක පසුගිය වසරේ ද දුර පැනීම ඉසව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. ඒ අතර ඔහු 2021 වසරේ දී මීටර් 7.84 ක දස්කමක් දක්වමින් එරට දී රන් පදක්කමක් දිනා ගත්තේ ය.
බන්ධුල ජයමාන්න
----------------------------------
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ට ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය මට්ටු කරන්න හැකිවෙයි ද?
‘කැන්ගරු දේශයේ ක්‍රිකට් වීරයන් තවත් මාස දෙකකට පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ. මේ ඒ සම්බන්ධයෙන් තැබෙන සටහනකි.‘
පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ මෙරට සංචාරයෙන් පසු ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරගාලියක් සඳහා ලබන ජුනි මස 07 වැනි දා සිට මෙරට සංචාරය කිරීමට නියමිතය. එහි දී ටෙස්ට් තරග 02 ක්, එක්දින තරග 05 ක් හා විස්සයි විස්ස තරග 03 ක් සඳහා ඔවුන් තරග වදිනු ඇත.
“මෙම වසර මුල අපි හොඳ තරගකාරී විස්සයි විස්ස තරගාවලියකට ශ්‍රී ලංකාව එක්ක ක්‍රීඩා කළා. ඒ නිසා මේ සංචාරය අභියෝගාත්මක වේවි. ඒ ගැන අපිට සතුටුයි. කොටින්ම කියනවා නම් මේක විශිෂ්ට සුදු පන්දු හා ටෙස්ට් තරගාවලියක් බවට පත්වේවි.” ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි නික් හොක්ලේ පවසා තිබුණේ ය.
ආසියානු කලාපයේ පැවැති විස්සයි විස්ස ලෝක ශූරතාව මෙන්ම පාකිස්තානය සමඟ වූ ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. කෙසේ නමුත් ඔවුන් පවසන්නේ එසේ ජය ගැනීම පමණක් ශ්‍රී ලංකා සංචාරය සැහැල්ලු ලෙස සිතීමට හේතුවක් නොවන බවයි.
“ආසියාවේ තරග වැදීම තරම් අසීරු කාර්යයක් තවත් නෑ. මෙම සංචාරයේ දී අපට වැදගත් අත්දැකීම් ලබාගන්න හැකි වේවි.” යැයි පවසා තිබිණි. අවසන් වරට මෙරට ටෙස්ට් තරගාවලියේ අමිහිරි මතක සටහන් තවමත් ඔස්ට්‍රේලියානුවන්ට අමතක නැත. ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වය යටතේ එම ටෙස්ට් තරගාවලියම සත්කාරක ශ්‍රී ලංකාව ජය ලැබී ය. එවර රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා ගේ දඟ පන්දු ඉදිරියේ ඔවුහු අසරණ වූ හ. කෙසේ නමුත් එක්දින තරගාවලිය 4-1 ක් හා විස්සයි විස්ස තරගාවලිය 2-0 ක් ලෙස ජය අත් වූයේ ඔස්ට්‍රේලියාවට ය.
2000 වසරට පසු පැවැති එක්දින තරගාවලි සියල්ල සංචාරක ඔස්ට්‍රේලියා පිලල ජයගත් අතර (2004 (3-2), 2011 (3-2), 2016 (4-1) ක් ලෙස) ඊට පෙර 1982-83 (2-0) ,1992 (2-1) ලෙස ශ්‍රී ලංකාව ට ජය හිමි විණි. එසේම කණ්ඩායම් දෙකකට වඩා වැඩි ගණනක සහභාගිත්වයෙන් මෙරට පැවැති තරගමාලා වන සිංගර් සිවුකොන් තරගාවලිය 1994 , 1996,අයිවා තුන්කොන් තරගාවලිය 1999 වැනි තරගමාලා හි දී ද ඔස්ට්‍රේලියාව අභිභවා යෑමට ශ්‍රී ලංකා පිලට හැකි විණි.
මෙවර සංචාරයේ සියලු ටෙස්ට් තරග ගාල්ලේ පැවැත් වෙයි. එක් දින තරග පැවැත්විමට නියමිතව ඇත්තේ කොළඹ හා මහනුවර දී ය. විස්සයි විස්ස තරග තුනම කොළඹ දී පැවැත්වෙනු ඇත. ‘‘ ඔස්ට්‍රේලියාව සමඟ විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ලෝක කුසලාන සඳහා අපට හොඳ පෙරහුරුවක් ඒ වගේම ටෙස්ට් හා එක්දින තරගාවලියත් අපට වටිනාකමක් තිබෙන තරගමාලා දෙකක්.” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබිණි.
අනිල් වීරසිංහ