
බේරුවල මැතිවරණ කොට්ඨාසයේ පයාගල, ගොරකදෙනිය, 733/බී, මැහිමුල්ල ග්‍රාමසේවක වසමේ මා පදිංචි ඉඩම ඇතුළු තවත් ඉඩම් කීපයක මැනුම් 2017 වසරේ නොවැම්බර් මස 07 වැනිදා සිදු කෙරිණි. ඒ 2017 වසරේ ජුනි මස 04 වැනි ඉරිදා සිළුමිණ පුවත්පතේ ජනපිට තීරයේ මා නමින් පළකර තිබූ ‘අනවසර පදිංචි අපට ඉඩම් නැද්ද‘ ලිපියට බලධාරින්ගේ අවධානය යොමු වූ නිසා විය යුතුය.
2020 සැප්තැම්බර් මාසයේ දිනෙක බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියන් පැමිණ ඉඩම් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කළාය. ඒ අතරේ වරින්වර බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයෙන් ඉඩම් අයිතිය වෙනුවෙන් අප වෙත ලිපි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි සෑම අවස්ථාවකම අපද ලිපි ඉදිරිපත් කළෙමු. එහෙත් තවමත් විසඳුමක්නම් නැත. වසමේ ග්‍රාම නිලධාරි මහතා මෙම ඉඩම රජයේ රක්ෂිතයට අයත් නියමානුකූල හැකි ඉඩමක් බව බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කර ඇත.
අප මේ පිළිබඳව 1994 වසරේ සිට වරින්වර හිටපු ජනාධිපති, අගමැතිතුමන් ඇතුළු බලධාරින් දැනුවත් කර ඇත. ඉඩමට ආසන්න මාර්ගය කොන්ක්‍රිට් කර ඇත. ප්‍රධාන මාර්ගයක සේ වාහන නිතරම ගමන් කරති. නිවාසවලට මෙන්ම මාර්ගයටද විදුලිය ලබා දී ඇත. දුරකථන රැහැන් ඇද පහසුකම් ලබා දී ඇත. මෑතකදී ජලනළ අතුරන බවත් දැනගන්නට තිබේ. මේ ඉඩම්වල පදිංචිකරුවන් හට උපදින දරුවනට නිදහස් අධ්‍යාපනයේ පල ලබා ගන්නටද නොහැකි වී ඇත්තේ පාසල් සඳහා ඉඩම් ඔප්පුව ඉල්ලා සිටින බැවිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම තුළින් සැමට ඉඩමක අයිතිය ලබා දීමට කටයුතු කරන ආකාරය පසුගිය දිනවල රූපවාහිනී තිරය තුළින් දැකගන්නට ලැබිණි.
ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ සැම ජනතාවගේ බදු මුදලින් පෝෂණය වන බව අමතක නොකරන්න. ජනතාවගේ දුකට පිහිට වෙමින් යුතුකම් ඉටු කරමින් අප වැනි ජනයා පීඩා විඳින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
ඇන්. කේ. පී. ප්‍රේමදාස ප්‍රනාන්දු
ගොරකදෙණිය - පයාගල