අපි එයාට කියන්නෙ කොකෝ රජ්ජුරුවො කියලා | Page 2 | සිළුමිණ

අපි එයාට කියන්නෙ කොකෝ රජ්ජුරුවො කියලා

- මඩකලපුවෙන් සේදවත්තට ගෙනා සීනි බෝල මැෂිමේ කෙරුවාව
- රත්නපුරයෙන් දහසකට ගත් මැණික කොළඹදී පන්දහසකට අලෙවි කළ හැටි
- බ්ලූමැන්ඩල් කර්මාන්ත ශාලාව අසල ළිඳ දියවූ ටොපිවලින් පිරෙයි

සිරිමා බණ්ඩාරනායක රජය යටතේ පැවති ප්‍රතිපත්තිය තුළින් විදේශ විනිමය මෙරට එකතුවීමක් නොවන්නේ නම් විදේශීය වෙළඳපොළ ආක්‍රමණය කිරීමට මෙරට කිසිදු ව්‍යාපාරිකයකුට තහනමක් පැනවී තිබිණ. එය තේරුම් කර ගත් උපාලිට අලුත් වෙළෙඳ ව්‍යාපාරයක් කරන්නට සිතුවත් එය කුමන ආකාරයේ දෙයක්ද යන්න ගැන පැහැදිලි අදහසක් නොවීය. දෙමාපියන් සතු ඉඩකඩම් පාලනය වැනි දෙයකට කිසිදාක ඔහුගේ සිත ගියේ නැත. අනිත් අතින් විශාල ව්‍යාපාරයක් කරන්නට ලොකු මුදලක් ද තමා සතුව නැති බව උපාලිට කල්පනා විය.

රාජාරාම් පැමිණියේ මෙවන් කාලයකය. ඔහු ලීවර් සමාගමේ උපාලි ළඟ වැඩ කළ හිතවත් වූ සේවකයෙකි. ඔහු පැමිණ අලුත් යෝජනාවක් ඉදිරිපත් කළේය. “අපේ තාත්තට මඩකලපුවේ සීනිබෝල මැෂිමක් තියනවා. තාත්තා මේ දවස්වල බිස්නස් එක සවුත්තු වෙල ඉන්නවා. මැෂිම විකුණනව කිව්ව. අපි ඒක අරගන එමු.” රාජාරාම්ගේ අදහසට ඔහු කැමති විය. මඩකලපුවේ සිට සීනිබෝල මැෂිම ලොරික පටවාගන පැමිණ සේදවත්තේ එය සවි කළේය. සේදවත්තට ගෙන ආ සීනිබෝල මැෂිම අතින් වැඩ කළ කසි කබල් එකකි. අතින් සීනි බෝල හදනවිට ගතවන කාලය හා මහන්සිය ගියවිට යමක් ඉතිරි නොවන බව උපාලිට වැටහිණ.

ඊළඟට ඔහු කළේ ඉලෙක්ට්‍රොනික් වැඩ දන්නා බාස් කෙනෙකු කොළඹ අවට සිටිනවාදැයි සොයා බැලීමය. ඒ සෙවීම සාර්ථක විය. 505 ගැරේජ් එකේ වැඩ කළ අප්පුහාමි බාස්උන්නැහේ වැඩේට ගැළපෙන පුද්ගලයා විය. අත්මැෂිම විදුලි බලයෙන් ක්‍රියා කළ හැකිදැයි සොයා බැලීය. සීනි බෝල මැෂිමට මෝටරයක් සවි කිරීමෙන් මුලදීට වඩා විසි තිස් ගුණයක නිෂ්පාදනයක් කළ හැකි බව අවබෝධ විය. හිතුවාටත් වඩා ඉක්මනින් කටයුත්ත සාර්ථක විය. සේදවත්ත වලව්වෙන් එන මෝටරයේ හඬත් සමඟ අලුත් කර්මාන්තයක් ද ඇති විය. කිහිපදෙනකුට රැකියා ලැබිණ. දිනකට දෙතුන් ගමනක් සීනි ගෝනියක් දෙකක් පටවාගත් මෝටර් රථයක් සේදවත්ත වලව්ව දෙසට ගමන් ගනී. මුලදී මෙම ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම දුෂ්කර වූයේ මූලිකව මිල මුදල් අතින් වූ දුෂ්කරතාවයි. අනික් ප්‍රශ්නය සීනි බෝල කර්මාන්තය ගැන අත්දැකීමක් ද නොවීමය.

ඇතැම් දිනක බෝතලයට දැමූ සීනිබෝල මුළුමනින්ම දියවිය. බෝතලය ප්‍රවේශම් කොට දියවූ ඒවා ඉවත් කිරීම ද දුෂ්කර විය. ඇතැම් කඩකාරයන් මේ තත්වය නිසා සීනිබෝල ගැනීමට ද අදි මදි කළහ. එහෙත් පටන්ගත් දෙයක් අත් හැරීම උපාලිගේ සිරිත නොවීය.

සීනිබෝල කර්මාන්තය මුලින් කළ රාජාරාම්ගේ නමින්ම එය ලියාපදිංචි විය. රාජාරාම් සීනි බෝල ගැන මේ වන විට ඇතැම් වෙළෙඳුන් ද දැන සිටි නිසා ව්‍යාපාරය අපහසුවෙන් වුවද පාඩු නොවී කරගත හැකි විය. ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට මුදල් අවශ්‍ය විය. එහෙත් බැංකු කටයුතු ගැන මේ වන විට උපාලිට අවබෝධයක් නොවීය. මහජන බැංකුවේ සෙලමන්ස් නමැති මහතකු මේ කාලයේ මුණගැසුණි. ඔහු මහජන බැංකුවෙන් ණය මුදලක් ගන්නා හැටි පැහැදිලි කර දුන්නේය. මහජන බැංකුවත් පටන්ගත් අලුතම නිසා බැංකුවට ද ව්‍යාපාරය තුළින් වාසි විය. මේ සමඟම ගොඩනැඟිලි කොන්ත්‍රාත් සමාගමක අයිතිකරු වන තුඩාව මහතා ද උපාලි සමඟ මිත්‍ර විය. තුඩාවගේ මිත්‍රත්වය නිසා අලුත් ව්‍යාපාරික ස්ථානයක් ගොඩනැඟීම පිළිබඳ ගැටලු රාශියක් විසඳුණි.

පුංචි කාලයේ සිටම උපාලිට උදව් වූ අත්තම්මා මේ වෙලාවේත් පිහිට විය. අත්තම්මාගෙන් උපාලි විජයවර්ධන මහතාට ලැබුණු ඉඩම් කීපයක් සහ පෙට්‍රල් ෂෙඩ් එක විකුණා ලැබූ මුදල් ද යොදවා අලුතෙන් ටොපි ව්‍යාපාරය ආරම්භ කිරීමට තීරණ කළේය. සේදවත්තේ රාජරාම් සීනි බෝල ව්‍යාපාරය තිබියදීම බ්ලුමැන්ඩල් පාරේ ඩෙල්ටා ටොපි ව්‍යාපාරය ඇරඹීය. ටිකෙන් ටික ප්‍රචලිතව තිබුණු සීනි බෝල ව්‍යාපාරය මේ වන විට ඉහළ මට්ටමක විය. විශේෂයෙන් ගම්බද පළාත්වලට සීනිබෝල හොඳින් අල්ලා තිබිණ. එය නතර නොකළ උපාලි නගරබද පළාත්වලට ඩෙල්ටා ටොපි හඳුන්වා දෙන්නට විය. සීනිබෝල මැෂිමට වූ දෙයම මුලදී ඩෙල්ටා ටොපියටත් විය. පදම හරියන තුරු නිෂ්පාදන අපතේ ගියේය. ඩෙල්ටා ටොපි මුලදී දියවන්නට විය. වෙළෙඳ සේවකයන්ට කඩකාරයන් හමුවීමට යාම පවා එපාවන තරමට අලුත් නිෂ්පාදනයේ අඩුපාඩු විය. බ්ලූමැන්ඩල් පාරේ කර්මාන්ත ශාලාව අසල වූ ළිඳ මේ දියවූ ටොපි වලින් පිරවීය. මාසයක් පමණ ගතවුවත් බලාපොරොත්තුව ලෙසට සාර්ථක නොවීය. උදෑසනින්ම ගෙදරින් පිටව එන උපාලිගේ මෝටර් රථයේ ඩිකිය පිරී තිබුණේ ටොපි නිපදවීම් ගැන ලියැවුණු පොත් පත් වලින්ය. කම්හලේ තිබුණේ එකම එක ඇලුමිනියම් පුටුවකි. ඒ පුටුව මැෂිම ළඟ තබාගෙන පොත්පත් කියවමින් සේවකයන්ට උපදෙස් දෙයි. සේවකයෝ කියන දේ කරති. මසක් පමණ යත්ම ප්‍රතිඵලය සාර්ථක විය. මුලින්ම නිපදවූ ඩෙල්ටා ටොපිය දුටු උපාලිගේ ප්‍රීතිය නිම්හිම් නැති විය.

අලුතින් ඩෙල්ටා ටොපි හඳුන්වාදීමේදී මතු වූ ප්‍රශ්නය ඒවා අලෙවි කිරීමය. අලුත් නමක් වූ පමණින් මෙතෙක් වෙළෙඳපොළ අල්ලා ගෙන සිටි අනිත් ටොපි සමඟ තරග කිරීම බරපතළ කරුණක් විය. මුලදී දිනකට විකුණාගත හැකි වූයේ එක් ටොපි පැකැට්ටුවකි. අලෙවිය කොපමණ වේදැයි බලන්නට සිය මෝටර් රථයෙන් පසුපස යන්නට උනන්දුවකින් හා කැපවීමකින් උපාලි කටයුතු කළේය. එදා වෙළෙඳපොළේ තැනක් ලබා තිබුණ ටොපි වර්ගවලට වඩා මේ නව නිෂ්පාදනයේ ටොපිවල මිල අධික විය. ජනප්‍රිය ටොපි සමඟ තරග කිරීමේදී මුලදී වූ ලොකුම බාධකය එය විය. එහෙත් ජනප්‍රිය කිරීමට තම නිෂ්පාදන තත්ත්වයන් බාලකොට මිල පහතට හෙළීම උපාලිගේ ප්‍රතිපත්තිය නොවීය. ටිකෙන් ටික වෙළෙඳ පොළට ඩෙල්ටා ටොපි ඇතුල්වීම සමඟ සීනිබෝල කර්මාන්තය නතර කළේය. වෙළෙඳ ලෝකයට රිංගාගත් අලුත් තරුණ ව්‍යාපාරිකයා ගැන කාගේත් අවධානය යොමුවීය.

පළමු මාස කීපයේ ටොපි නිෂ්පාදනයේ ආදායම මාසයකට රු. 5,000/= පමණ විය. එය දියුණු කිරීමට ප්‍රචාරණ කටයුතු අවශ්‍ය බව සිතූ උපාලි දැන්වීම් ආයතනයක් සමඟ සාකච්ඡා කොට තෑගි තරගයක් ද ඇරඹීය. ප්‍රචාරක වැඩවල වියදම ඇස්තමේන්තුව රුපියල් 40,000/= විය. පළමු තෑග්ග රුපියල් 5,000/= කි. දෙවන තුන්වන තෑගි ඇතුළු සාමාන්‍ය තෑගි සිය ගණනක් විය. තෑගි තරගය හිතුවාටත් වඩා ප්‍රතිඵල ගෙන දුන්නේය. තරගය නිමාවත්ම ටොපි බෑග් දසදහසක අලෙවි සීමාව ඉක්ම ගියේය. වසරක් ඉක්ම යන්නට පෙර වෙළෙඳ ලෝකයේ ඉහළ නමක් ගන්නට උපාලි සමත් විය. මේ සුළු කාල සීමාව ඔහු ලක්ෂපතියකු බවට පත්කළේය.

කවුරුත් නොකරන අලුත් යමක් ශ්‍රී ලංකා වෙළෙඳ රටාවට එක්කළ යුතුයැයි උපාලි තුළ අදහසක් ආවේ ලීවර් සමාගමේ රැකියාව කරන කාලයේමය. අලුතින් මෙරටට ගුවන් විදුලි යන්ත්‍රයක් හඳුන්වා දිය යුතු යැයි උපාලි තුළ අදහසක් විය. මෙයට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ කලක් තිස්සේ රටපුරා ඇවිදීම තුළින් ලද අත්දැකීමකි. ලීවර් සමාගමේ සේවය කිරීමේදී කාර්යාල කටයුතුවලට විවිධ පළාත්වල, දුරබැහැර ප්‍රදේශවල ගමන් කළ අවස්ථාවල ගුවන් විදුලිය ඇසීමට ඉඩක් නොවීය. එයට හේතුව අද මෙන් ප්‍රාදේශීය විකාශන නොවූයෙන් කොළඹ අවට ප්‍රදේශවලට හැර දුර බැහැර ප්‍රදේශවල ජනතාවට ගුවන් විදුලිය ශ්‍රවණය කළ නොහැකි විය. කෘෂි වගා කටයුතු නිසා අත මිට සරුවූ අනුරාධපුර පොළොන්නරු වැනි ඈත ප්‍රදේශවල ජනතාවට ගුවන් විදුලිය ශ්‍රවණය කළ නොහැකි විය. ජපානයට ගිය උපාලි ලංකාවේ හැම පළාතකටම ශ්‍රවණය කළ හැකි ගුවන් විදුලි යන්ත්‍රයක් නිපදවීමට අවශ්‍ය කොටස් ගෙනාවේය. ජපානයෙන් ගෙන්වූ විවිධ මෝස්තරවල ගුවන් විදුලි යන්ත්‍ර රැගෙන ගම්බිම් බලා ගිය උපාලි කෙනකු යවා අසන පිළිතුරට වඩා සෑහීමකට පත්විය යුතු නිසා මෙසේ ඇවිද ගියේය.

එක් අතකින් පර්යේෂණයක් ලෙසත්, තවත් අතකින් විනෝදය සඳහාත් මෙසේ රට පුරා සැරි සැරූ ඔහු ලංකාවේ හැම පළාතකටම උචිත ගුවන් විදුලි යන්ත්‍රය ලෙස “යුනික් ගුවන් විදුලි යන්ත්‍රය” වෙළෙඳ පොළට හඳුන්වාදුනි. සුළු කලක් යත්ම ලංකාවේ සෑම පළාතකම එකසේ ජනප්‍රිය වූ ගුවන් විදුලි යන්ත්‍රය ‘යුනික්’ බවට පත්විය. හැමදාම තනි මතයට වැඩ කිරීම උපාලිගේ සිරිත විය. එය ඔහුගේ ව්‍යාපාර දියුණුවේ රහස ද විය. හැම දෙයක්ම තම අභිමතය අනුව සිදුවන හෙයින් හැම අංශයක්ම ගැන සැලකිලිමත් විය. වැරැද්ද ඇත්තේ කොතැනද දැන එය නිවැරැදි කර ගැනීමට එයින් පහසුවක් ලැබිණ. ආනයන සම්බාධක හමුවේ මෙරට ව්‍යාපාරිකයන්ට දැඩි අපහසුතාවනට මුහුණ දීමට වූ හෙයින් ඊළඟට උපාලිගේ සිත ගියේ මැණික් ව්‍යාපාරය පිළිබඳවය‍.

“අපි මැණික් ගරන්න ඕන මෙතෙක් කලක් කිසිම කෙනෙක් මැණික් නොලැබූ පැත්තකින්. අපි කඹුරුපිටියෙන් වැඩ පටන් ගනිමු.” කඹුරුපිටිය මැණික් ඇති පෙදෙසක් යැයි එදා කිසිවකු නොසිතුවත්, තමාට පුරුදු පරිසරයේ ඔහු මැණික් පතලක් කැපීය. මාස දෙක තුනක් එක දිගටම මැණික් ගැරීම කළේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කුඩා මැණික් කැට දෙකක් ලබා ගැනීමය. පළමු මැණික් කැටය කැලණි රජ මහා විහාරයට පූජා කළ උපාලි දෙවන මැණික් කැටය තම මුද්දකට අල්ලන්න සිතුවේය. ඒ අනුව ඔහුගේ හිතවතා වූ ධර්මසේන අතපත්තු සමඟ රත්නපුරයට ගොස් එහි ප්‍රසිද්ධ මැණික් කැපුම් කරුවකු හා ඔප දමන්නකු ළඟට වී දෙදිනක් ගත කළේය. මැණික් කැටය කපද්දී ඔහු සමඟ දිගින් දිගටම කතාවට වැටුණු උපාලි මැණික් කර්මාන්තය ගැනත් ඒ හා බැඳුණු ව්‍යාපාරය ගැනත් පූර්ණ අවබෝධයක් ලැබීය.

“අපි මැණික් ගැරුවා ඇති. ටික දවසක් රත්නපුර ගිහින් මැණික් මිලට ගනිමු.” රත්නපුරයෙන් රුපියල් දහසකට ගත් මැණිකක් සමඟ කොළඹට පැමිණි උපාලි එය කොළඹදී රුපියල් පන්දහසකට අලෙවි කළේය. ක්‍රමයෙන් මැණික් අපනයන කිරීමේ අංශයට යොමුවී උපාලි 1973 දී ලංකාවේ වැඩිම මැණික් අපනයන ආයතනය ලෙසට උපාලි සමූහ ආයතනය පත්කළේය. මැණික් අපනයනයෙන් ලැබුණ විදේශ විනිමය යොදවා ගුවන් විදුලි යන්ත්‍ර අමතර කොටස් ගෙන්වා ගුවන් විදුලි යන්ත්‍ර නිපදවීම ද ආරම්භ කළේය. මෙරටට අවශ්‍ය ගුවන් විදුලි යන්ත්‍ර ප්‍රමාණය තමාගෙන්ම බලාපොරොත්තු වන්නේ යයි විජයවර්ධන මහතා කල්පනා කළේය. එහෙත් සිය ශක්ති ප්‍රමාණයෙන් උපරිම නිෂ්පාදන ධාරිතාව යෙදුවද නිෂ්පාදනය කළ හැක්කේ ඉන් 25%ක් පමණ වූ ප්‍රමාණයකි. කෙසේ නමුත් තම පාරිභෝගිකයන්ගේ විශ්වාසය තවදුරටත් තමා වෙත තබා ගනිමින් එම නිෂ්පාදනවල අගය බිඳකුදු අඩුවක් නොකර එම නිෂ්පාදන දිගටම කරගෙන යාමට ඔහුට හැකි විය.

මෙය උපාලි ගිය පෙර මඟෙහි එක්තරා සන්ධිස්ථානයක් පමණි. අහම්බෙන් අත ගැසූ මැණික් ව්‍යාපාරය තුළින් නිත්‍යානුකූලව ලද හැකි විදේශ විනිමය ප්‍රමාණය අනුව තව අලුත් කර්මාන්තයක් සඳහා ඔහුගේ සිත ගියේය. මේ යුගය වන විට නවීන තාක්ෂණය විසින් මුළු ලොවම හොල්ලන්නට තරම් ශක්තියක් තිබුණු ලෝකයේ එකම රට වූයේ ජපානයයි. කලක් වෙ‍ළෙඳ ගනුදෙනු කිරීමෙන් ලැබූ දැනුම් සම්භාරය හා හිතවත්කම යටතේ ඉන් උපරිම ප්‍රයෝජන ගෙන ලංකාවට අවශ්‍ය මෝටර් රථ නිපදවීම ගැන උපාලිගේ සිත තුළ මේ වන විට අදහසක් මතු වී තිබිණ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මැණික් අපනයන ආයතනය ලෙසින් කීර්ති නාමයක් දිනා ගත් උපාලි සමූහ ආයතනය එමඟින් ලැබූ ආයතන පහසුකම් යටතේ නව නිෂ්පාදනයක් ලෙස මෝටර් රථ නිපදවීමට අදහසක් ඉදිරිපත් විණි. මේ වන විට රජය මඟින් පනවා තිබූ විදේශ විනිමය තහංචි මත මෝටර් රථ විදේශ වලින් ගෙන්වීම තහනම් වී තිබිණි. මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ මෝටර් රථ නිෂ්පාදනයක් ඇති කළ හැකි නම් එයට හොඳ ඉල්ලුමක් ඇති වනු නියතයයි මේ අර්ථශාස්ත්‍රඥයාට වැටහුණි.

හිතු මනාපයට වැඩ කිරීම උපාලිගේ පුරුද්දක් වී තිබුණි. ඒ අනුව අලුත් මෝටර් රථයක් තවත් මාස තුනකින් නිපදවන බවත් එහි වටිනාකමට රුපියල් විසි දහසක් තැන්පත් කරන්නැයි පුවත්පත්වල දැන්වීම් පළකරන්නට විය. පුවත් දැන්වීම් පළවී දින කිහිපයක් යන්නට පෙර විශාල පිරිසකගෙන් ඇණවුම් හා අත්තිකාරම් මුදල් ලැබෙන්නට විය. මේ වන විට මෝටර් රථ නිෂ්පාදනය සඳහා සැලසුම් සූදානම් නොවීය. අඩුම තරමින් කම්හලක් හෝ කම්හලකට භූමියක්වත් සකස් නොවීය.

මාස තුනකින් මෝටර් රථ ලබා ගන්නට පිරිසක් බලා සිටියදී එහි තනි වගකීම තමා පිට පැටවී තිබියදී ජපානයේ සතියක සංචාරයකින් පසු ලංකාවට පැමිණියේය. අවශ්‍ය වන්නේ ඉඩමක් විතරයි. කැනඩාව ගොඩනැඟිල්ල හදනව. ජපානය අමතර කොටස් දෙනව. ඉතිරි ටික මට පුළුවන් යැයි උපාලි සැහැල්ලු සිතකින් කීවේය.

හෝමාගම ගලවිල වත්තේ ඉඩම් යායක් හදිසි වෙනසකට බඳුන් විය. නවීන යන්ත්‍ර සූත්‍ර මඟින් කඳු බෑවුම් හදා බිම හෙළි පෙහෙළි කර සකසන්නට විය. එය සිදුවූයේ පවුලේ දෛවඥයා විසින් සකස් කළ නැකැත් වේලාව අනුවය.

මේ ඉඩම සකස්කොට හෙළි පෙහෙළි කළේ ඉඩම් හිමියාගේ අවසරයෙන් නොවේ. පිරිස මෙහෙය වූයේ උපාලි විජයවර්ධනය. ඈත සිට දිවඑන ඉඩම් හිමියා විජයවර්ධන මහතා ළඟ නතර විය.

“මම බලාගෙන හිටිය නැකත් වෙලාව පහු වෙන හින්ද මම වැඩ පටන්ගත්ත. ඇයි ප්‍රමාද වුණේ.”

“වැඩ පටන්ගත්තට කමක් නෑ. මම හිතුවෙ ඔප්පුව කොළඹ කන්තෝරුවෙ ලියයි කියල. ඒකයි පොඩ්ඩක් පරක්කු වුණේ. මේ වැඩ ඉවර වෙලාව ඔප්පුව ලියමු.”

ගලවිල වත්තේ අද උපාලි පුවත්පත් සමාගමේ මුද්‍රණාලය පිහිටා ඇති ගොඩනැඟිල්ල එදා මෝටර් රථ නිෂ්පාදනාගාරය ලෙස සකස් වූයේ හදිසි කටයුත්තක් ලෙසිනි.

මෝටර් රථ නිෂ්පාදන සඳහා අවශ්‍ය වූ ගොඩනැඟිලි සකස් කරන්න, යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට පුහුණු ශ්‍රමිකයන් සොයා කාර්ය භාරයන් පැවරීමටත් නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමටත් තිබූ කාල සීමාව දින හැටක පමණ වූ සුළු කාලයකි.

දිවා රෑ නොබලා වැඩ කළ උපාලි සගයෝ සිය ස්වාමියාගේ අදහස් අනුව නියමිත දිනයටම එළියට එවූ මෝටර් රථය “උපාලි මැස්ඩා” නම් විය. එය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම මෝටර් රථය වන්නේය.

පළමු මෝටර් රථයේ නැගුණ උපාලි කෙළින්ම ගියේ තම පියාගේත් මිත්තණියගේත් පරම ගෞරවාදරයට පත්වූ කැලණි රජ මහා විහාරයටය. විහාරාධිපති තලේවෙල විජිත ධම්ම රක්ඛිත හිමි වෙත ගිය විජයවර්ධන මහතා තමා පූජා භාණ්ඩයක් රැගෙන ආ බව පැවසීය.

නාහිමි කැඳවා ගෙන මෝටර් රථය වෙත ගිය විජයවර්ධන මහතා මේක විහරස්ථානයේ ප්‍රයෝජනයට ගන්නැයි කියා මෝටර් රථයේ යතුර භාර දුන්නේය. නියමිත දිනට නිකුත් වූ උපාලි මැස්ඩා රථය සුළු කලක් යාමට පෙර ජනප්‍රිය විය. ඉල්ලුම ද වැඩි වන්නට විය. එහෙත් මෙවැනි බරක් තනි කෙනකු කෙසේ නම් දරා සිටින්නද?

උපාලි මැස්ඩා මෝටර් රථය කෙරේ පැවති ජනතා ඉල්ලුම වැඩි වෙමින් තිබියදීම උපාලි තම ආයතනය සමඟම තරගයට ෆියට් රථයක් ද වෙළෙඳ පොළට හඳුන්වා දුනි. මැස්ඩා මෝටර් රථයට වඩා ප්‍රමාණයෙන් හුරුබුහුටි උපාලි ෆියට් මෝටර් රථය තරුණ ආකර්ෂණයට වඩාත් යොමු විය.

කාලය මෙසේ ගතවෙද්දී දිනක් ප්‍රිය සම්භාෂණයකට සහභාගිවීමට උපාලිට ආරාධනයක් ලැබිණ. කිසිඳු ප්‍රිය සම්භාෂණයකට යාම ප්‍රතික්ෂේප කර තිබූ උපාලි මෙයට එකඟවුණේ තමා සමීපව ඇසුරු කළ ෂෝවොලස් කොම්පැණියේ සේවක මහතකුගේ ඉවත්වීමක් නිසා එදින ගියේය. වෙනදා නොදකින එක්තරා කල්පනාකාරී සිතිවිල්ලක සිටින උපාලි දුටු සමීප සගයා වන ධර්මසේන අතපත්තු එසේ වූයේ ඇයිදැයි ඔහුගෙන් විමසීය.

“අර බෙරෙන්ජරයා මගෙන් ඩෙල්ට එක ඉල්ලුවා. මම දෙනව ඒ මිනිහට ඩෙල්ට ටොෆියක්.”

එදා උපාලි කීවේ එපමණකි. ඩෙරෙන්ජර් යනු එවකට කැන්ඩෝස් සමාගම අයිතිව සිටි තැනැත්තාය. කැන්ඩෝස් සමාගමේ කොටස් මිලට ගත් උපාලි 51% දක්වා කොටස් ප්‍රමාණයක අයිතිකරු විය. අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්විය. එහි සභාපති වූයේ ද උපාලි විජයවර්ධනය. රටේ අභ්‍යන්තර වියවුල් ඇතිවීම නිසා ඇඳිරි නීතිය ද පැනවින. කාලය අපතේ යන සැටි ඔහු දිටීය. සවස තුන පමණ විට ඇඳිරි නීතිය නිසා කඩසාප්පු වැසී නගරය නිසල විය. කොළඹ කොටුවේ ගුවන් ගමන් කවුළුවක් වෙත ගොස් පැමිණ, “මම දැන් සිංගප්පූරු යනවා”යි කීවේය. උපාලි සතියකින් ලංකාවට ආවේ මැලේසියාවේ කැන්ඩෝස් කර්මාන්තයට ඉඩමක් ද තෝරාගෙනය.

ලබන සතියේ තවත් කොටසක්

Comments