සිනමාව වර්ණවත් කළ සිනමා ශාලා 5 ක් | Page 2 | සිළුමිණ

සිනමාව වර්ණවත් කළ සිනමා ශාලා 5 ක්

ශ්‍රී ලාංකේය සිනමාවේ ඉතිහාසය සියවසකුත් දශක දෙකක් ඈතට ගමන් කරන්නකි. මෙරටදී පළමු වරට සිනමාරූපී තිරගතවීමක් සිදුව ඇත්තේ වර්ෂ 1901 දී ය. වර්ෂ 1903 දී යාපනයේ; ඡායාරූප ශිල්පියෙක් වන ඒ.ඩබ්.ඒ. ඇන්ඩ්‍රි, "Covic Bioscope" නමින් පළමුවරට සිනමා සමාගමක් පිහිටුවා තිබේ. පිටරටින් ගෙන්වාගත් ප්‍රොජෙක්ටරයක් යොදා ගනිමින් ශාලාවක් තුළ යුරෝපයේ නිහඬ චිත්‍රපට තිරගත කිරීම එමඟින් සිදුවිය. පසුව, ඉන්දීය චිත්‍රපට හා නාට්‍ය නිෂ්පාදකයෙක් වූ ජේ.එෆ්. මාදන් සිය සිනමා සමාගම වූ Madan Theaters Ltd යටතේ පළමුවරට මෙරටේ සිනමා ශාලා පිහිටුවී ය.

එම පළමු සිනමා හල ‘මාදන් සිනමා ශාලාවය‘ මාදන් සිනමා සමාගම ප්‍රදර්ශනය කළේ, ඉන්දීය චිත්‍රපටය, ඔලිම්පියා සිනමා සමාගම බිහිවීමත් සමඟ ඊට තරගකාරිත්වයක් ඇති විය. ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රපටය ලෙස සැලකෙන්නේ 1925 දී නිෂ්පාදනය වූ ‘රාජකීය වික්‍රමය‘ යි. ආචාර්ය එන්.එම්. පෙරේරා ද එහි රඟපෑවේය.

1800 ගණන්වල මැද භාගයේ හයිඩ්පාර්ක් කෝනර් හි ස්ථාපිත වූ ‘පබ්ලික්හෝල්‘ සිනමා ශාලාව මෙරට පැරැණිම සිනමාහලකි. පසුකාලීනව එය ‘එම්පයර් සිනමා‘ බවට පත් කළේ මාදන් ය.

1900 ගණන්වල මුල් භාගයේ පටන් කොළඹ කොටුවේ පිහිටි බ්‍රිස්ටල් හෝටලයේ ද (වර්තමානයේ, පැගෝඩා අවන්හල් පරිශ්‍රය) කොළඹ වරායට මුහුණලා පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ද (GOH) චිත්‍රපට ප්‍රදර්ශනය කෙරිණි.

සිනමාව කෙරෙහි ඇතිවූ උනන්දුවත් සමඟ ‘ටවර් රඟහල‘ පවා සිනමා ශාලාවක් බවට පරිවර්තනය විය. ‘ගාමිණී‘ සිනමා ශාලාව සහ ‘සැපයර්‘ සිනමා ශාලාව 1983 ජූලි කලබලයේදී ගිනිබත් විය. අදට ද මෙම බස් නැවතුම් පොළවල් එනමින් ප්‍රකට ය.

මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය පරිච්ඡේද ලිවීමට දායක වූ සිනමාහල් 5 කි.

 

සැවෝයි සිනමා ශාලාව

The Jolson Story තිරගත කරමින් 1949 දී ආරම්භ කළ වැල්ලවත්තේ පිහිටි සැවෝයි සිනමා ශාලාව ද මෙරට සිනමා කර්මාන්තයේ වැදගත් තැනකි. එහි සිනමා තිර 2 කි. සැවෝයි 3D සිනමා සහ සැවෝයි 2 යනුවෙන් ඒවා ප්‍රකටය. EAP සිනමා යටතේ කළමනාකරණය වන අතර ඔවුන් සතු ය. සිංහල, ඉංග්‍රීසි, දෙමළ හා හින්දි චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. මෙම සිනමා ශාලාව මුලදී සී.වී. ද සිල්වා සතුව තිබිණි. ඔහු එය සැවෝයි රඟහලේ ආභාසය ලබමිනි. මුල් කාලයේදී සිනමා ශාලාව පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ කුඩා පොත්හලක් ද ඇඳුම් සාප්පුවක් ඇතුළු සාප්පු කිහිපයක් ද තිබිණි. අවන්හලක් සහ බාර් එකක් ද එහි පිහිටියේ ය.

සැවෝයි සිනමාහල අරඹා ඇත්තේ දෙවැනි ලෝක යුද සමයේ මෙහි සිටි විදෙස් හමුදා භටයන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් බව සඳහන්ව තිබේ. 1960 ගණන්වල අගදී ගැලරි ප්‍රවේශ පත්‍රයක් ශත 50 කි. දෙවැනි පන්තිය රුපියලක් ද, පළමු පන්තිය රුපියල් දෙකක් ද බැල්කනි ප්‍රවේශ පත්‍රයක් රුපියල් තුනක් ද විය.

 

ලිබර්ටි සිනමා ශාලාව

කොල්ලුපිටියේ පිහිටා ඇති ලිබර්ටි සිනමා ශාලාව 1955 දී විවෘත කරන ලද්දකි. බොහෝ විට සමකාලීන ඉංග්‍රීසි චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. රබීර් ඒ. නාදර් ස්කෝපි සිනමා සමාගමට අයත් සිනමාහලකි. 1994 දී ආරම්භ කළ එය ‘ජුරාසික් පාර්ක්‘ චිත්‍රපටය තිරගත වීම මෙම සිනමා ශාලාවේ සන්ධිස්ථානයක් බඳු ය. ඊට ගැළපෙන අයුරින් තාක්ෂණය ඇතුළු පහසුකම් පුළුල් වූ අතර මේ වනවිට දිවයිනේ හොඳම මට්ටමේ ශබ්ද පහසුකම් හා නවීන පහසුකම් සහිත සිනමාහලක් බවට පත්ව තිබේ.

නවීකරණයන්ගෙන් පසුව මුල්පෙළේ හොලිවුඩ් චිත්‍රපට බෙදාහරින ස්කයිලයින් එන්ටර්ටේන්මන්ට් සමාගම හා එක්ව King Arthur චිත්‍රපටය පළමුව තිරගත කළේ ඇමෙරිකාවේදී එය නිකුත්වීමටත් පැය 36 කට කලිනි.

චිත්‍රපටයක් අතරමැද විවේක කාලයක් නොතබා අඛණ්ඩව එය රස විඳීමට සැලැස්වීමට ස්කෝපි සමාගම වගබලා ගෙන ඇත. එබැවින් ස්නැක්ස් බීම වැනි දෑ චිත්‍රපට දර්ශනය ආරම්භයට පෙර ලබාගත යුතු ය.

 

එල්ෆින්ස්ටන්

1917 දී විවෘත වූ මරදානේ පිහිටි එල්ෆින්ස්ටන් රඟහල මෙරට දෙවැනි රංග ශාලාවය. එය ද ‘මාදන් තියටර්ස්‘ සතු විය. මුලදී ‘එල්ෆින්ස්ටන් පික්චර් පැලස්‘ යනුවෙන් හැඳින්විණි. 1925 දී මෙම ශාලාව ප්‍රතිසංස්කරණය ඇරැඹූ අතර 1930 දී යළි විවෘත කෙරිණි. නවීකරණය වූ රඟහල නාට්‍ය දර්ශන සංගීත ප්‍රසංග මෙන් ම සිනමා දර්ශන සඳහා ද යොදාගත හැකි නවීන රංග ශාලාවකින් හා සිනමා ශාලාවකින් සමන්විත විය.

රඟහලේ හිමිකාරිත්වය පසුකාලීනව ‘සිලෝන් තියේටර්ස්‘ සමාගම සතුවූ අතර 1980 ගණන්වලදී එය රජයට පවරා ගැනීම සිදු විය. ඉන්පසුව එය යළිත් ප්‍රතිසංස්කරණ හා නවීකරණයන්ට ලක්විය.

මෙම ගොඩනැඟිල්ල අධිරාජ්‍යවාදී යුගයේ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ පෙන්වයි. මෑත භාගයේදී ද එල්ෆින්ස්ටන් රඟහල නවීකරණයන්ට ලක්වීම සිදුවිය.

 

රීගල් සිනමා ශාලාව

“සිලෝන් තියටර්ස් ‘ජාලයේ‘ ප්‍රධාන කාර්යාලය මෙන් ම ඊට අයත් ප්‍රධාන සිනමා ශාලාව ද කොළඹ, කොම්පඤ්ඤවීදියේ, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ පිහිටි රීගල් සිනමා ශාලාවයි. 1930 දී විවෘතවූ එය මෙරට පළමු සිංහල සිනමා ශාලාව ද වේ. සර්. චිත්තම්පලම් ගාඩිනර් මෙය ප්‍රතිසංස්කරණය කළේ ය. උසස් තත්ත්වයේ ඇති සිනමා ශාලාවක් වන එය සතුව ඩොල්බි ඩිජිටල් ශබ්ද පහසුකම් තිබේ. බොහෝ චිත්‍රපටවල මංගල දර්ශන මෙන් ම සිනමා උලෙළ ද මෙහි පැවැත්වේ.

රීගල් සිනමා ශාලාව ඉදිව ඇත්තේ ඔපෙරා රඟහල් ආකෘතියට ය. දෙපසින් ද බැල්කනි පිහිටා ඇත.

 

ඔලිම්පියා සිනමාහල

ලන්ඩන් බයිස්කෝප් සමාගම පිහිටුවා චිත්‍රපට නිෂ්පාදනය හා බෙදාහැරීමට යොමුවූ ටී.ඒ.ජී. නූර්වායි, කොළඹ ක්‍රයිටීරියන් සිනමා හල ‘ඔලිම්පියා‘ යනුවෙන් නවීකරණය කර 1918 ජූලි මස සිට චිත්‍රපට ප්‍රදර්ශනය ඇරැඹීය. 1924 දක්වා ම එහි තිරගත වූයේ, ඉන්දීය හා බ්‍රිතාන්‍ය චිත්‍රපටය‍ දිනකට දර්ශන වාර 3 කි. පසුව, සර් චිත්තම්පලම් ඒබ්‍රහම් ගාඩිනර් විසින් තවත් සිනමා ශාලා 2 ක් ද සමඟ ඔලිම්පියා සිනමාහලද මිලට ගන්නා ලදී. නිව් ඔලිම්පියා සිනමා ශාලාව 1926 දී විවෘත විය. එය කොළඹ පිහිටි පැරැණිම සිනමා ශාලාවක් ලෙස සැලකේ. ලිබර්ටි සිනමා සමාගමේ සහාය ඇතිව එය කළමනාකරණය කෙරිණි. විවිධ වයස් මට්ටම්වලට හා රසඥතාවන්ට ගැළපෙන අයුරින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ගැන සැලකිලිමත් විය. මේ හේතුවෙන් පුළුල් සිනමා රසික පිරිසක් ඒ වටා රොක් වූහ.

මේ වනවිට මෙම සිනමා ශාලාව වසා දමා තිබේ.

 

Comments