මම ධාවකයෙක් කොහොමත් ‘ක්‍රීඩා’ පාඨකයෙක් | Page 2 | සිළුමිණ

මම ධාවකයෙක් කොහොමත් ‘ක්‍රීඩා’ පාඨකයෙක්

 

‘මේ ගායකයකු නොවන ධාවකයකු වන සුනිල් ශාන්ත ය. දකුණෙන් ඉපිද වයස හා හරි හරියට දුවන සුනිල් රටක තාරුණ්‍යයට මෙන්ම වැඩිහිටියනට ද ආදර්ශයකි. මේ ඔහු ‘ක්‍රීඩා’ පුවත්පත හා පැවැත් වූ සුහද සංවාදයකි. ’

“මම යුද්ධය පැවැති කාලයේ ක්‍රියාන්විත රාජකාරියේ ඉන්නකොටත් මගේ පුහුණුවීම් අඩු කළේ නැහැ. දිගටම පුහුණුවීම් කළා. ඒ තුළින් මගේ ශාරීරික යෝග්‍යතාවය රැක ගැනීමට හැකි වුණා. ප්‍රවීන ක්‍රීඩක සුනිල් ශාන්ත මහතා ක්‍රීඩා හා සංවාදයට එළඹෙමින් පැවසුවේ ය.

“මම දැන් යුද හමුදා සේවයෙන් විශ්‍රාමිකයි. දැන් පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙනවා. මගේ නිවසේ ඉඳලා කිලෝමීටර් 5 ක් පමණ දුරකින් තමයි මම සේවය කරන ඩී.එස්.අයි. ආයතනය පිහිටලා තිබෙන්නේ. දැනුත් මම සේවා ස්ථානයට යන්නේ එන්නේ ඇවිදිමිනුයි. ඒ ශාරීරක යෝග්‍යතාව ආරක්ෂා කරගන්න.’ ඔහු කියන්නේ අද බස් නැවතුම් පොළවල් දෙකක් අතර පයින් ඇවිදීමට අකමැති තාරුණ්‍යයට ආදර්ශයක් සපයමිනි.

“ මට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. මගේ පොඩි දුව 2019 දී මිස් ශ්‍රී ලංකා වුණා. අනෙක් දුව උසස් පෙළ විභාගයට විද්‍යා අංශයෙන් පෙනී සිටියා. ඇය දැන් හෙද සේවයට එක්වන්න සූදානමින් සිටියත් මා සේවය කරන ආයතනයේම නිර්මාණ ශිල්පිනියක් ලෙස සේවය කරනවා. මගේ බිරිය, මගේ දියණියන් දෙදෙනා හැරණාම මා ආදරය කරන්නේ ක්‍රීඩාවට.‘ ඔහු කීවේ ය.

පාසල

මම ඉගෙන ගත්තේ මලිදූව සාරිපුත්ත විද්‍යාලයේ. පාසල් යන කාලයේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගවලින් එනම් ‘මීටර් 100,200, 400,800 යගුළිය විසි කිරීමට සහභාගි වුණා. ගමේ අවුරුදු උත්සව වල දී ත් ගම හරහා දිව්වා. මේ ක්‍රීඩා තරගවලින් කවදාවත් දෙවැනියා වෙලා නැහැ. හැමදාම 01 වැනියා තමයි වුණේ. ක්‍රීඩා සහතික එකසිය ගණනක් මා සතුව තියෙනවා.” සුනිල් ශාන්ත කියන්නේ අභිමානයෙනි.

‘1988 වසරේ දී මා ආධුනික සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණා. මගේ දක්ෂතා හඳුනාගත් එවක සිටි උසස් නිලධාරින් මා කාල තුවක්කු හමුදාවට එක් කළා. ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් මට ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත් වීමට හැකියාව ලැබුණේ නැහැ. 2010 වසරෙ දී ක්‍රියාන්විත රාජකාරියේ බලලත් නිලධාරී 01 තනතුරේ සේවය කරද්දී තමයි මම විශ්‍රාම ගියේ. දැන් මට වයස අවුරුදු 53 ක්. ඒත් මම ක්‍රීඩාව අත්හැර නැහැ. ඉදිරියටත් කරගෙන යනවා. ජීවිතයටම අරක්කු

දුම්වැටි නොගෙන සිටි මා අදටත් නිරෝගී සුවයෙන් ඉන්නවා.‘

‘කුඩා කාලයේ සිට ම මම පත පොත ඇසුරු කළ කෙනෙක්. හැබැයි පත්තරයක් ගත්තත් මුලින්ම බලන්නේ ක්‍රීඩා පිටුවයි. ක්‍රීඩා පත්තරය සෑම සති අන්තයේ දිනකම බලනවා. ක්‍රීඩා විස්තර කියැවීමෙන් මා අසීමිත සතුටක් ලබනවා. ක්‍රීඩා විස්තර එකතු කළ ලොකු පොතක් තමවත් මා සතුයි. මා සේවය කරන ඩි.එස්.අයි ආයතනයේ ක්‍රීඩා සම්බන්ධ කටයුතු භාරව සිටින්නේ මම” සුනිල් ශාන්ත පවසන්නේ ය.

“මා වයසට ගියා කියලා ක්‍රීඩාවෙන් සමුගන්න නම් හිතන්නෙවත් නැහැ. මේ වන විට ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරග වලිනුත් ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලබා තිබෙනවා. 1986,1987 වසර වල දී කළුතර හා ලේක්හවුස් අසලින් ආරම්භ කළ නෙස්ටමෝල්ට් මැරතන් තරග දෙකද මා සාර්ථකව අවසන් කළා. නමුත් මට ඒවායේ ස්ථාන ලැබුණේ නෑ. මම දුවන්නේ මගේම පුහුණුවෙන්. ක්‍රීඩාව කියන්නේ සතුටින් හා නිරෝගීව ජීවත් වෙන්න සුදුසු ක්‍රියාකාරකමක්. ජීවිතයේ ඇතිවන හැල හැප්පීම් වලට මුහුණ දී සාර්ථක අනාගතයකට පියමන් කළ හැක්කේ ක්‍රීඩාව තුළිනුයි.’

ඒ නිසා අනාගත දරුවන්ට කියන්නෙත් නිරෝගීකම මෙන්ම ඉවසීම ඇති කර ගැනීමට ක්‍රීඩාවේ නියැළෙන්න කියලයි’ ප්‍රවීණ ක්‍රීඩක සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.

 

Comments