පාපන්දු තරුව ජෙරාඩ් ෂකේ ගේ බිරිය ෂකීරා හා නඩාල් පෙම් සබැඳියාව | Page 2 | සිළුමිණ

පාපන්දු තරුව ජෙරාඩ් ෂකේ ගේ බිරිය ෂකීරා හා නඩාල් පෙම් සබැඳියාව

 

 

ෂකීරා යනු කොලොම්බියානු ජනප්‍රිය ගායිකාවකි. ඇය ඉංග්‍රීසි සහ ලතින් යන ද්විත්ව භාෂාවලින්ම ගීත ගායනා කරන්නීය. මෙම ගීත ශ්‍රී ලංකාව ඇතුළුව බොහෝ රටවල ජනප්‍රිය වූයේය. කොලොම්බියානු සංගීත ඉතිහාසයේ ජාත්‍යන්තරය ජයගත් ප්‍රධානතම ගායිකාව ලෙසටත් ඇය හඳුන්වා දිය හැකි ය.

ඇය දිගු කාලයක් තිස්සේ වාසය කරන්නේ ස්පාඤ්ඤයේ ය. ඒ ඇගේ පෞද්ගලික දිවිය නිසාවෙනි. ඇයගේ සහකරුවා වන්නේ ජෙරාඩ් පීකේය. හෙතෙම විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයෙකි. බාර්සිලෝනා වැනි ලෝ ප්‍රචලිත කණ්ඩායමකට ඔහු ක්‍රීඩා කළේය. ඒ ආරක්ෂක පෙළ ක්‍රීඩකයකු වශයෙනි.

මීට අමතරව ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමට ඔහු ක්‍රීඩා කළේ 2009 - 18 අතර කාලයේ දීය. එහි දී ජගත් තරග 102 කි. රැස් කළ ගෝල් ගණන 05 කි. 2010 ලෝක ශූරතාව සහ 2012 යුරෝ ශූරතාව හිමිකර ගත් කණ්ඩායම්වලටත් ඔහු ක්‍රීඩා කළේ ය. ෂකීරා - පීකේ යුවළට මේ වන විට දරුවන් දෙදෙනෙකු සිටිති.

රෆායල් නඩාල් ස්පාඤ්ඤ ක්‍රීඩා ඉතිහාසයේ සුපිරිත ම තරුව ලෙසට සලකනු ලබයි. ටෙනිස් ක්‍රීඩාවේ ප්‍රධානත ම ග්‍රෑන්ඩ් ස්ලෑම් වැඩිම කේවල ශූරතා ගණනක් හිමි කර ගත් ක්‍රීඩකයා වන්නේත් ඔහු ය. සිය 21 වැනි ශූරතාවය ඔහු හිමි කර ගත්තේ මේ වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ දී ය.

35 හැවිරිදි නඩාල් වෘත්තීයම ලෙසට ක්‍රීඩා කරන්නේ 2001 වසරේ සිට ය. ඔහු හිමි කර ගත් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා අතරම ඔස්ට්‍රේලියානු විවෘත 02, විම්බල්ඩන් 02, ප්‍රංශ විවෘත 13, ඇමෙරිකානු විවෘත 04 ලෙස ශූරතා අයත් වෙයි. මීට අමතරව ඔලිම්පික් රන් පදක්කම් ද්විත්වයකුත් හිමි ය. ඒ 2008 කේවල (තනි) සහ 2016 පිරිමි යුගල වශයෙනි.

ෂකීරා සහ නඩාල් සම්බන්ධයෙන් බොහෝ දෙන නොදත් කරුණක් ද වේ. එනම් ඔවුන් පෙම් යුවළක් ලෙසටත් සිටිය බවයි. නමුත් මෙය සිදු වූයේ සැබෑ දිවියේ දී නම් නොවේ. රංගනයක දී ය.

2009 වසරේ දී ෂකීරා ජිප්සි නමින් ගීතයක් ගායනා කළාය. එය ස්පාඤ්ඤ බසින් හැඳින්වූයේ ජිටානා නමිනි. මේ ගීතය වෙනුවෙන් මියුසික් වීඩියෝවක් නිකුත් කෙරිණි. එහි දී ෂකීරා ගේ පෙම්වතා ලෙස රඟපෑවේ නඩාල් ය.

“එය ඇත්තටම මට අපූරු එමෙන්ම අමතක නොවන අත්දැකීමක් වුණා.”. නඩාල් පසුව පැවසීය. මෙම ගීතය ෂකීරා සමඟ සිවු දෙනෙක්ම රචනා කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම එම ගීතයට වැඩි වශයෙන් ඉන්දීය භංග්‍රා සංගීතය උපයෝගී කර ගෙන තිබේ.

 

Comments