
ඇඟිල්ලේ තරමට ඉදිමීම කෝකටත් හොඳය. ඇඟිලි කකුල් තරම් ඉදිමෙන්නට ගියහොත් සිදුවන්නේ ඒවාට තමන්ගේ යුතුකම හා වගකීම අමතක වීමයි. එවිට ඇඟිලි පමණක් නොව ඒ ඇඟිලි දරණ අතම පසෙකින් තබාගෙන සිටින්නට සිදුවේ. බරවා වැනි නූතන වෛද්‍ය විද්‍යාවෙන් පවා සුවකළ නොහැකි ඇතැම් රෝග වැළඳුණ හොත් මිස මෙවැනි අස්වාභාවික තත්ත්වයක් ඇති වූ සැණින් වෙදැදුරන් කරන්නේ ශල්‍යකර්මයක් මගින් ඉදිමී ප්‍රදාහයට පත්වූ ඇඟිලි යථාතත්ත්වයට පත්කිරීමයි. එසේ සුව කළ නොහැකි නම් අත වුවද ඉවත්කර පුද්ගලයාගේ ජීවිතය ගලවා ගන්නට වෛද්‍යවරුන් පසුබට වන්නේ නැත. මන්දයත් ඇඟිලි කොතරම් වැදගත් වුවද ඇඟිලි වලට සාපේක්ෂව වඩා වැදගත් වන්නේ එම ඇඟිලි සහිත අත දරණ පුද්ගලයා බව දන්නා හෙයිනි.
එය මිනිස් අතක ඇඟිලි අරභයා පමණක් නොව ඕනෑම ක්ෂේත්රයක් පිළිබඳ සලකන කල්හි ද සාධාරණ ය. වෙසෙසින් එය ක්‍රීඩාවට ද අදාළ වන තත්ත්වයකි. පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් පරාජිත ඉන්දීය ක්‍රිකට් සංචාරයක් නිමවා සියරට එද්දී උද්ගත වූ තත්ත්වය තුළ ද මෙම ඉදිමීමේ සංකූලතාවය දක්නට ලැබුණේ ය.
එලෙස කටුනායක ගුවන් තොටට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දැක දැඩි ලෙස උරණ වූ ප්‍රේක්ෂකයෙක්, ක්‍රීඩකයන්ට දෝෂාරෝපණය කිරීමත් සමඟ යම් උණුසුම් සහගත තත්ත්වයක් ගොඩනැගුණු බව පැවසිණි. එම සිද්ධිය වෘත්තීය භාවය ගිලිහී යාම නිසා ඇතිවූ තත්ත්වයක් ලෙස හඳුනාගත හැකිය. ජාතියක අභිමානනීය නියෝජනය වශයෙන් සලකන ක්‍රීඩකයනට තම ප්‍රේක්ෂකයන්ගේ සජීවී වාග් ප්‍රතිචාර ඉදිරියේ සංයමය ආරක්ෂා කරගැනීමට නොහැකිවීම අර්බුදයකි. සිදුවිය යුතුව තිබුණේ ඊට ප්‍රතිචාර දැක්වීම පිටියේ දී සිදුකිරීමට ඉඩතබා කිසිවක් නොපවසා එතැනින් නික්ම යාමය. එහෙත් සිදුවූයේ වෘත්තීය යැයි පිළිගන්නා ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ වෘත්තීය දුර්වලතාවයන් තවදුරටත් ඉස්මතු වීමය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වෘත්තීය භාවය නිර්මාණය කිරීමේ පූර්ණ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටය. වාර්ෂික තරග කොන්ත්‍රාත්තු අත්සන් කිරීම, සෞඛ්‍ය පහසුකම්, පුහුණු පහසුව සැලසීමට පමණක් දැන් ඔවුන් සිය වගකීම් හකුලාගෙන ඇති බවක් දිස්වේ. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නොවන බව තේරුම් ගන්නට මෙය කදිම අවස්ථාවක් සැපයූ බව ද කිවයුතුය. ඔවුහු වහා වෘත්තීයමය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පොදු හැසිරීම් විධිමත් හා ක්‍රමවත් කිරීම වෙනුවෙන් වැඩසටහන් සම්පාදනය කළ යුතුව ඇත. එය කඩිනමින් ඇරැඹිය යුතු බව මෙම සිදුවීම මගින් පැහැදිලි කෙරුණේය.
එසේ ක්‍රියා නොකොට, ක්‍රිකට් ක්‍රීඩා පුහුණුව අරභයා කොතෙක් යටිතල පහසුකම් ගොඩනගන්නට උත්සුක වුවත් වැඩක් නැත. ක්‍රීඩකයන්ගේ සිරුර හුරු කරවන ලෙසටම ඔවුන්ගේ සමාජ වගකීම නොපිරිහෙලා ඉටුකිරීම පිණිස මනස ගොඩනැංවිය යුතුව ඇත. තමන්ගේ වගකීම හා යුතුකම මෙන්ම ප්‍රසිද්ධියේ හැසිරිය යුතු ආකාරය ගැන නොදන්නා වෘත්තීය භාවයෙන් දුර්වල පෞරුෂ බිහිවීමය. ඉන් යම් ක්ෂේත්රයක වෘත්තීය අභිමානය බිඳ වැටී එකී ක්ෂේත්රය කඩා වැටීම සිදුවෙයි.
එම තත්ත්වය ක්‍රිකට් ක්‍රීඩකයන්ට පමණක් නොව සමස්ත ක්‍රීඩාව මතුනොව සෑම ක්ෂේත්රයකම නියැලෙන්නන්ට ලබාදිය යුතුව ඇති පුහුණුවකි. වෘත්තීය භාවය කුමක් ද? තමුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් මොනවා ද? එම යුතුකම් ඉටුකිරීමේදී රාජකාරිමය වශයෙන් හැසිරිය යුතුව ඇත්තේ කෙලෙසින් ද? යන්න ගැන එවැනි දුහුනන්ට දැනුමක් ලබාදිය යුතුය. යම් ක්ෂේත්රයක් තුළ අභිමානනීය ආකාරයෙන් කටයුතු කළ යුතුව ඇත්තේ එලෙසය. අප කියන්නේ දේශීය ක්‍රීඩාවේ නියැලි සියලු ක්‍රීඩක, ක්‍රීඩිකාවනට තමන් කවුරුන් ද හා තම සමාජ වගකීම කුමක් ද යන්න ගැන නිශ්චිත දැනුවත් භාවයක් ඇතිකිරීමට දැන් කාලය එළඹ ඇති බවය.