වේගයෙන් ලොව සසල කළ නවසීලන්තයේ අකුණු සර | Page 4 | සිළුමිණ

වේගයෙන් ලොව සසල කළ නවසීලන්තයේ අකුණු සර

 

ශ්‍රීමත්වරු සීමිත ය. බ්‍රිතාන්‍ය මහ රැජින විසින් ලබා දෙන මෙම ගරු සම්මානය හැඳින්වෙන්නේ නයිට් පදවියක් ලෙසිනි. නයිට් පදවි ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයෝ ද සීමාසහිත ය. නවසීලන්තයෙන් ලෝක ක්‍රිකට් අධිරාජ්‍යය ආක්‍රමණය කළ ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් සැලකිය හැකි රිචඩ් හැඩ්ලි එවැන්නෙකි. මේ ඔහුගේ ක්‍රිකට් ජීවිතය හා වර්තමාන තත්ත්වය සලකා බැලීමකි.’

පසුගිය කාලයේ රිචඩ් හැඩ්ලි ගැන අසුබවාදී ප්‍රවෘත්තියක් වාර්තා විණි. ඒ ඔහු උදරගත පිළිකා තත්ත්වයකට ලක්ව ඇති බව ය. ඊට පෙර පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් සුපිරි නවසීලන්ත පිතිකරුවකු වූ මාටින් ක්‍රෝ ජීවිතයෙන් සමුගෙන නොබෝ කලකින්ම ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිගේ නම ද පිළිකාව හා ඈඳීම ක්‍රිකට් ලෝලීන් තුළ ඇති කළේ කනගාටුවකි. එහෙත් දැන් එරටින් ලැබෙන ආරංචි සඳහන් කරන්නේ කුමක් ද යන්න සොයා බලමින් ඔහුගේ අතීත ක්‍රිකට් විජයග්‍රහණ සිහිපත් කිරීම මෙම ලිපිය මගින් සිදු කරන බව පළමු කොටම කිව යුතු ය.

විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයා

නවසීලන්තය බිහි කළ සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වශයෙන් ඔහු සැලකිය හැකි ය. 1951 වසරේ ජූලි මස 3 වැනි දා උපන් රිචඩ් හැඩ්ලි කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට පෙම් බැන්දෙකි. 1973 වසරේ දී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් ජීවිතය ආරම්භ කළ ඔහු දක්ෂ වේග පන්දු යවන්නෙක් මෙන් ම ලොව බිහි වූ විශිෂ්ට ගණයේ සුපිරි තුන් ඉරියව් සුරුවෙක් ද විය. එකල හැඩ්ලිගේ වේග පන්දුවට සමාන කළ හැකි වේගයක් ලොව කිසිදු පන්දු යවන්නකුගෙන් දැක ගත නොහැකි විණි. ඔහුගේ වේග පන්දුවට පහර දෙන්නට නොහැකි වන ප්‍රතිවාදී පිතිකරුවන් එම පන්දු වලින් ගැලවෙන්නට දරණ උත්සාහය ඇතැම් විට හාස්‍යජනක එකකැයි කිව හැකි ය. 1986 වසරේ දී එංගලන්ත පිතිකරු බෲස් ෆ්‍රෙන්ච් හට, හැඩ්ලි යැවූ පන්දුවක් හිසේ වැදී රෝහල්ගත වන්නට සිදු වූවා පමණක් නොව සැත්කමකට ද භාජනය වන්නට සිදු විය.

ඔහුගේ පන්දු යවන වේගය ලොව අති දක්ෂ පිතිකරුවන්ගේ කඩුලු පවා බි‍‍ඳී යන තරමට ප්‍රබල වූයේ යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. 1976 වසරේ ඉන්දීය කණ්ඩාය-මට එරෙහි ටෙස්ට් තරගයක දී ඉන්දීය ඉනිම් ද්විත්වය හැඩ්ලි විසින් සුණු විසුණු කළේ තරගය පුරා කඩුලු 11 ක් දවා ගනිමිනි. ඒ ඔහුගේ කඩුලු දඩයම් ගැන එක් උදාහරණයක් පමණි.

1980 වසරේ දී බ්‍රිතාන්‍ය රැජිනගේ උපන්දින උපහාර උත්සවයේ දී ‘ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් කිංඩම්’ හි සාමාජිකත්වය හැඩ්ලි හට පිරිනැමුණි. 1990 වසරේ දී ඔහු ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා කළ සේවාව අගයනු පිණිස බ්‍රිතාන්‍යය විසින් පිරිනමනු ලබන නයිට් පදවියෙන් ද පිදුම් ලැබී ය. 1980 සහ 1986 වසරවල දී හේ වසරේ නවසීලන්ත ක්‍රීඩකයා යන සම්මානයෙන් මෙන් ම 1982 වසරේ දී විස්ඩන් වසරේ ක්‍රීඩකයා සම්මානයෙන් ද පිදුම් ලැබී ය.

1984 වසරේ දී රිචඩ් හැඩ්ලි අයි.සී.සී. ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්වුණේ ය. 1987 වසරේ දී ඔහු ශ්‍රී ලංකාවේ දී බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන්නේ ය. ඒ ඔහු ඇතුළු නවසීලන්ත කණ්ඩා-

යම ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටිය දී එල්ල වූ බෝම්බ ප්‍රහාර හේතුවෙනි. එය ඔවුන් ඉලක්ක කර නොගත්ත ද එය කොළඹ දී පුපුරා යාම ඔවුන් තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් සැක සංකා පහළ කරවූයේ ය.

එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී හැඩ්ලි තම කණ්ඩායම ‍වෙනුවෙන් නොදැවී ලකුණු 151 ක් ලබා ගත්තේ ය. පළමු තරගය නිමා කළ ඔවුහු කොළඹ නගරයේ හෝටලය වෙත පැමිණියේ දෙවැනි තරගය පිළිබඳව සැලසුම් සකස් කරන අටියෙනි. එදින සන්ධ්‍යාවේ හෝටලය අසල ත්‍රස්තවාදීන් විසින් ඇටවූ බෝම්බයක් පුපුරා ගියේ කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි ය. එම සිද්ධියෙන් නවසීලන්ත ක්‍රිකට් බලධාරිහු බියට පත් වූ හ.

තරග තුනකින් සමන්විත සංචාරය අවලංගු කරන්නට ඔවුහු තීරණය කළ හ. පළමු තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ ලකුණු 151 ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව විය.

ඉන්දීය සංචාරය

1988 වසරේ නොවැම්බර් මස සිදු කළ ඉන්දීය ටෙස්ට් තරග සංචාරය ද හැඩ්ලිගේ අමතක නොවන මතක රැඳි තරග සංචාරයකි. එහි දී ඔහු සිය 374 වැනි ටෙස්ට් කඩුල්ල බිඳ දැමූ අතර ඒ වන විට ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවට හිමි කම් කියූ ඉයන් බොතම්ගේ වාර් තාව එයින් බිඳ වැටුණි. 1990 පෙබරවාරි 4 වැනි දින හැඩ්ලි සිය 400 වැනි ටෙස්ට් කඩුල්ලට හිමිකම් කීවේ ටෙස්ට් කඩුලු 400 ක් දවාගත් ලොව ප්‍රථම ක්‍රීඩකයා ලෙස අබිසෙස් ලබමිනි.

1990 වසරේ ජූලි මාසයේ දී හැඩ්ලි ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 431කට හිමිකම් කීවේ ය. එසේම පිතිකරුවකු වශයෙන් ඔහු ටෙස්ට් ලකුණු 3124කට හිමිකම් කියයි. එක්දින තරග 115 ක දී ඔහු ලකුණු 1751ක් සහ කඩුලු 158කට හිමිකම් කියා ඇත.

ක්‍රීඩා‍වෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව හැඩ්ලි විසින් ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි ක්‍රීඩා භාරය නමින් යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරවන ආයතනයක් පිහිටුවා ගත්තේ ය.

සර්වකාලීන දෙවැනියා

2002 වසරේ දී විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් ලොව සෑම කාලයකම ‍දෙවැනි විශිෂ්ටතම ‍ටෙස්ට් පන්දු යවන්නා ලෙස නම් කළේ ද ඔහු ය. 2009 වසරේ දී අයි.සී.සී. ක්‍රිකට් හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට ද ඔහුව ඇතුළත් කෙරිණි. ඊට සමගාමීව ක්‍රයිස්ට්චර්ච් කලා මධ්‍යස්ථානය මගින් හැඩ්ලිගේ ලෝකඩ පිළිරුවක් ස්ථාපනය කෙරුණේ ය. කලක් ඔහු නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේ ය.

2018 වසරේ දී හේ උදරගත පිළිකාවකින් පෙළෙන බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු විය. ඒ අනුව සිදු කළ සැත්කමකින් පසු පිළිකා ගෙඩි කීපයක් ඉවත් කෙරිණි.

70 වන වියෙහි පසුවන හැඩ්ලි, කැරන් මාර්ෂ් නම් වන සිය බිරියගෙන් වෙන්ව සිටී. කැරන් මාර්ෂ් ද නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි.

 

 

Comments