ලංකා - බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනයයි. ඒ මැයි මස 27 වැනි දාය. තරගය පැවැත්වුයේ මිර්පූර් (ඩකා) නුවර ශියර් බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදීය. තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් වන බව දක්නට ලැබුණි.
ඊට හේතුව වුයේ බංග්ලාදේශ දෙවන ඉනිම කිසියම් ස්ථාවර බවකින් ඉදිරියට යැමයි. ඒ වන විට වමත් පිතිකරු ෂකිබ් අල් හසන් සහ දකුණත් පිතිකරු ලිටන් දාස් අතර 06 වැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවයක් හට ගෙන තිබුණාහ. ඔවුන් දෙදෙනාම අර්ධ ශතක රැස් කර ගෙන සිටියහ. සැබැවින්ම ඔවුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වී තිබිණි.
මේ අවස්ථාවේ දී පන්දු යැවිමේ වගකීම පැවරී තිබුණේ දකුණතින් මද වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුටය. ඔහු තවත් පන්දුවක් යැවිය. ඊට පිතිකරු වු දාස් පහරක් එල්ල කළේය. එය උඩපන්දුවක් ලෙසින් අසිත වෙතට ආවේය. එය ඉතා විශිෂ්ට ලෙස රැක ගැනීමට ඔහු සමත් වුයේය.
තවත් සුළු මොහොතක් ගත විය. අසිත කෙටි පන්දුවක් ෂකිබ් වෙත යොමු කළේය. එය සාර්ථක විය. තවත් උඩපන්දුවකි. මෙවර කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල එය සුරැකිව රැක ගත්තේය. පන්දු දෙකක් තුළ ඉනිම බිඳ වැටුණි. තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10 ක පහසු ජයකි. මුළු තරගයේදීම ලකුණු 144ට කඩුලු 10ක් දවා ගත් අසිත තරගයේ වීරයා විය.
“මගේ පන්දු යැවිම ගැන සතුටු වෙනවා. ඊටත් වැඩිය අපි තරගය ජය ගැනිම වටිනවා” ඊට කසුන් රාජිතගෙන් විශාල සහයක් ලැබුණා.“ අසිත පසුව පැවසුවේය. එහිදි පළමු ඉනිමේ දී ඔහු ලකුණු 93ට කඩුලු 4ක් දවාලුවේය. දෙවන ඉනිමේ ලකුණු 51ට කඩුලු 6කි. එය ඔහුගේ ටෙස්ට් ඉනිමක හොඳම පන්දු යැවිමත් විය.
මෙසේ ටෙස්ට් තරගයක දී කඩුලු 10ක් දවා ගැනීම ශ්‍රී ලංකාව වෙනුවෙන් දුලබ වාර්තාවකට දායක වීමකි. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගයක දී කඩුලු 10ක් දවා ගැනිමට සමත් වු දඟ පන්දු යවන්නකු නොවන දෙවැනි පන්දු යවන්නා බවට අසිත පත් වුයේය. එහි මුල් ස්ථානය සුපිරි චමින්ද වාස් සතුය.
වමතින් මද වේග පන්දු යැවු වාස් මෙම දස්කම දෙවතාවකදීම කළේය. මුල්ම වතාව 1995 වසරේදීය. නවසීලන්තයට එරෙහිව නේපියර් නුවර මැක්ලින් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැති ප්‍රථම ටෙස්ට් තරගයයි. තරගයෙන් ශ්‍රී ලංකාවට ජය අත් විය. එය විදේශයක දී ශ්‍රි ලංකාව හිමිකර ගත් ප්‍රථම ටෙස්ට් තරග ජයත් විය. තරගයේ වීරයා වුයේ වාස්ය. හෙතෙම මුළු තරගයේදීම කඩුලු 10ක් දවා ගත්තේය. ඒ ඉනිමක දී කඩුලු 05 බැගිනි.
දෙවන වතාව 2001 වසරේදීය. බටහිර ඉන්දීය කොදෙව් දූපත්ට එරෙහිව කොළඹ එස්.එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැති තෙවන තරගයේ දීය. එහිදී වාස් තරගයේදීම කඩුලු 14ක් දවා ගැනීමට සමත් විය. ඒ ඉනිමක දී කඩුලු 07 බැගිනි. එම තරගයත් ශ්‍රී ලංකාව ජය ගත්තේය.
මීට අමතරව තවත් පන්දු යවන්නන් දෙදෙනෙක් තරගයකදී කඩුලු 09 බැගින් දවා ගෙන සිටිති. ඒ රුමේෂ් රත්නායක සහ ලසිත් මාලිංගය. දකුණතින් මද වේග පන්දු යැවු රුමේෂ් 1985 වසරේදී ඒ දස්කම දැක්වුයේ ඉන්දියාවට එරෙහිවයි. කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැත්විණි. ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරග ජය ලැබුවේ එම තරගයේදීය.
දකුණතින් වේග පන්දු යැවු මාලිංග 2005 වසරේදී නවසීලන්තයට එරෙහිව පැවැති තරගයකදී කඩුලු 09ක් දවා ගත්තේය. එයත් වර්තා වුයේ නේපියර් නුවර මැක්ලින් පාර්ක් ක්‍රීඩාංගණයේදීය. එම ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. ලසිත් මාලිංග තරගයේ වීරයාය.
අසිත මධුශංක ප්‍රනාන්දු 1997 වසරේ ජුලි මස 31වැනි දා උපත ලැබුවේ කටුනේරියේදීය. එය ධීවර ප්‍රජාව බහුලව වාසය කරන ප්‍ර දේශයකි. අසිත ද ධීවර පවුලක සාමාජිකයෙකි. මේ නිසාම ඔහුට මුහුදත්, රැල්ලත් වෙරළත් කිසි විටෙක ආධුනික වුයේ නැත. එමෙන්ම මේ දක්වා පැමිණි දිවි ගමනත් කිසි විටෙක සුව පහසු වුයේ නැත.
ඔහුගේ මුල්ම කැමැත්ත යොමු වුයේ පාපන්දුවටයි. ඒ නිසාම නිතරම ඔහු ලොව ලස්සනතම ක්‍රීඩාවේ නිරත විය. එසේ වුවත් හෙතෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේත් යෙදුණි. ඔහු අධ්‍යාපනය හැදැරුවේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේය.
ඇන්ටන් කොස්තා එම පාසලේ ක්‍රිකට් පුහුණුකරු වුයේය. දිනක් ඔහු අසිත සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරනු දුටුවේය. එය දැකිමෙන් පසුව ක්‍රිකට් පුහුණුවට පැමිණෙන ලෙසට අසිතට ආරාධනා කළේය.
එවකට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රිකට් කණ්ඩායම මෙරට පාසල් අතර ඉදිරිපෙළ කණ්ඩායමක් නොවීය. එමෙන්ම ක්‍රිකට් උපකරණත් බහුලව තිබුණේ නැත. අසිත හට පන්දු යැවීමට සිදු වුයේ පැරණි පන්දු යොදා ගනිමිනි. පැරණි පන්දුවෙන් පන්දු යැවිම වෙනම කලාවකි. අසිත අද ටෙස්ට් තරගවල දී වැඩි දස්කම් දක්වන්නේ පැරණි පන්දුවෙනි. එම දක්ෂතාවයේ අඩිතාලම ඔහුට පාසලින් ලැබුණාට සැකයක් නැත.
පාසල් තරගවලදී දැක්වු දස්කම් මත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ පිලේ එංගලන්ත සංචාරයටත් ඔහුව තෝරා ගත්තේය. එම කණ්ඩායමේ නායකයා වුයේ චාමික කරුණාරත්නය. අසිතගේ දක්ෂතා දැක අනෙක් පාසල් ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබා දීමට ඉදිරිපත් විය. ඒ පාසල් අතර මෙරට ප්‍රමුඛතම පාසලක්ද වුයේය. එහෙත් අසිතට ඇවැසි වුයේ සිය ගමේ පාසලේම සිටිමටයි. එසේ වුවත් ඔහුගේ ආර්ථික ගැටළු නම් අඩු නොවිය. ඔහුගේ ක්‍රිකට් දිවියට මොහාන් වික්‍රමසිංහ පාසල් විදුහල්පතිතුමාගෙන් විශාල සහායක් ලැබිණි. හෙතෙම ක්‍රිකට් විනිසුරුවරයෙක් ද විය.
අසිතගේ හැකියාවට විශාල වටිනාකමක් ලැබුණේ 2016 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී දැක්වු දස්කම් නිසාය. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. හිටපු කොදෙව් වේග පන්දු යවන්නකු මෙන්ම වත්මන දී රූපවාහිනි ක්‍රිකට් විචාරකයකු වන ඉයන් බිෂොප් අසිතගේ දස්කම් දැකීමෙන් එය අගය කළේය. එමෙන්ම අසිත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇති බවත් පැවසුවේය. එය අද සත්‍යයක් වී තිබේ.
එම යොවුන් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කිහිපදෙනකුම මේ වන විටත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත. චරිත් අසලංක (නායක) , ළහිරු කුමාර, අවිශ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස් සහ අසිත ඔවුහු වෙති.
අසිත එක්දින ජාත්‍යන්තර තරග වරම හිමිකර ගනු ලැබුවේ 2017 වසරේදිය. තවමත් ඔහු ක්‍රීඩා කර තිබෙන්නේ එක්දින තරග සතරකට පමණි. එහිදී දකුණත් පිතිහරඹයෙන් ලකුණක් රැස් කර ඇත. තවමත් කඩුල්ලක් දවා ගෙන නැත.
ඔහු මංගල ටෙස්ට් තරග වරම ලැබුවේ ගිය වසරේ දීය. දැනට තරග පහකට ක්‍රීඩා කර ඇත. රැස් කර ගත් ලකුණු ගණන 07කි. උඩපන්දුවක් රැක ගත්තේය. දවාගත් කඩුලු ගණන 17කි.
2016 වසරේදී යොවුන් ලෝක කුසලානයේ දී දැක් වු දස්කම් මත අසිතව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවුයේය. ඒ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. කැන්ගරු කණ්ඩායම අවසන් වරට මෙරටේ සංචාරය කළේත් එවරය.
එහිදී සම්පූර්ණ ටෙස්ට් තරගමාලාවම 3- 0 ක් ලෙසට ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අසිතට එක් තරගයකට හෝ ක්‍රීඩා කිරිමට අවස්ථාව ලැබුණේ නැත.
ඒ එදාය. ඔස්ට්‍රේලියාව මේ වන විට මෙරටට පැමිණ සිටියි. මෙවර තරගමාලාවට ටෙස්ට් තරග දෙකක් අයත්ය. අසිත නිසැකවම මෙම ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කරනු ඇත. තවදුරටත් සිය දස්කම් ඉදිරියට ගෙන යෑමට ඔහු සමත් වුවහොත් එය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දැඩි බාධාවක් වනු නියතය.