
රටවල් දෙකක් අතර යුද්ධයක් ඇතිවුවහොත් එය දෙරටේම ජනතාවට එකසේ බලපෑම් කරන බව අමුතුවෙන් කිය යුතු නැත. එසේම එම යුද්ධය අදාළ දෙරටට මෙන්ම අසල්වැසි රටවලට ද ඇතිකරන බලපෑම සුළුපටු නැත. උදාහරණයක් ලෙස සිරියාවේ යුද ගැටුම් ඇතිවන විට අසල්වැසි තුර්කිය මුහුණ දුන් දුෂ්කර අවස්ථා දැක්විය හැකිය. මායිමේ ඇවිළෙන යුද ගිනිදැල්වල ආසන්න පසුවිපාකවලට අමතරව දේශපාලන වශයෙන් ඉතා සීරුවෙන් සමබරව කටයුතු කිරීමට ද තුර්කියට සිදුවිය. තුර්කිය එම අවස්ථාවේදී ඇඟ බේරා ගත්තේ එලෙස ඉතා ඉවසිල්ලෙන්, සීරුවෙන් කටයුතු කිරීම හේතුවෙනි. එම තත්ත්වයට මේ වන ඉතා අවාසනාවන්ත ලෙස යුක්රේනය අවට රටවල් මුහුණ දෙමින් සිටී.
රුසියානු හමුදා ප්‍රහාර එල්ල කිරීමත් සමඟ යුක්රේන ජනතාව විශාල වශයෙන් අසල්වැසි රටවලට පලා යන්නට විය. ඒ අතරින්ද ඔවුන්ගේ ප්‍රධාන ගමනාන්තය ලෙස වැඩිදෙනෙක් තෝරා ගත්තේ යුක්රේනයට බටහිරින් පිහිටි පෝලන්තයයි. පෝලන්තය යුක්රේනයේ සෙසු අසල්වැසි රටවලට සාපේක්ෂව ධනවත් රටක් වන අතර නැඟෙනහිර යුරෝපයට අයත් නේටෝ සාමාජික රටක් ද වේ. නේටෝ හමුදාවන්ගේ රුසියාවට ආසන්නතම කඳවුර පිහිටා ඇත්තේ ද පෝලන්තයේය. කෙසේ වුවද යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ රටින් ඉවතට පලා ගිය යුක්රේන ජාතිකයන් අතරින් බහුතරය තෝරාගෙන තිබුණේ පෝලන්තයයි. ලක්ෂ හතකට ආසන්න සංඛ්‍යාවක් පෝලන්තය වෙත පලා ගිය අතර, පැය 72කට අධික කාලයක් ඇතැම් සරණාගතයන් පෝලන්තයට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් පෝලන්ත දේශසීමාවේ රැඳී සිටි බව වාර්තා විය. දුම්රිය මඟින් පෝලන්තයට ඇතුළු වන ජනතාව සඳහා ළදරු කරත්ත දුම්රිය පොළවල තැබීමට ඇතැම් පෝලන්ත ජනතාව කාරුණික වූහ. මේ අතර පෝලන්තයට සෙසු යුරෝපා රටවල බලපෑම ද එල්ල වූ අතර, නේටෝ හමුදා ක්‍රියාත්මක වීමක් සිදු වුවහොත් ඒ පෝලන්තයේ සිට බැවින් පෝලනත්යට රුසියානු හමුදාවේ අවධානය ද විශේෂයෙන් හිමි විය. එක් අවස්ථාවකදී තමන් යුක්රේනයට අවි ලබා දෙන බව පෝලන්තය පැවසූ බැවින් තමන් ඍජුවම පෝලන්තයට පහර දෙන බවට රුසියාව ද තර්ජනය කර සිටියේය. එහෙත් වාසනාවකට මෙන් මේ කිසිවක් ගැටුමක් දක්වා දුර දිග ගියේ නැත.
මේ අතර පෝලන්තය මෙන්ම යුක්රේන අසල්වැසියන් වන රුමානියාව ද, මොල්දෝවා ද යුක්රේන සරණාගතයන් හේතුවෙන් අලුත්ම ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටී. විශේෂයෙන්ම කුඩා ජනගහණයක් සහිත කුඩා රටක් වන මොල්දෝවාවට පලා එන සරණාගතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන්නට වූ බැවින් බස් සේවාවක් යොදමින් ඔවුන් වඩා විශාල, වඩා ධනවත් රට වන රුමානියාව වෙත යැවීමට මොල්දෝවා බලධාරීන් කටයුතු යෙදූහ. ඔවුන්ට ඒ සඳහා පහසුකම් සැපයූවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ නියෝජිත ආයතනයයි. මේ වන විට යුක්රේන සරණාගතයන් ලක්ෂ හතරක පමණ පිරිසක් රුමානියාවට ඇතුළු වී ඇති බවට ගණන් බලා ඇති අතර මොල්දෝවාවට ඇතුළු වී ඇති සරණාගතයන් සංඛ්‍යාව ලක්ෂ තුනක් බව පැවසේ.