
කොළඹ රාජකීය විදුහලෙන් අස්වී ලන්ඩනයේ උසස් අධ්‍යාපනය හදාරන්න ගිය දිනය උපාලිගේ ජීවිතයෙහි විශේෂ දිනයක් විය. අවුරුදු දහසයකුත් මාස කීපයක් වයසැති ඔහු තම නෑ හිත මිතුරන් හැර දමා වසර ගණනාවකට පිටරට යාම ඒ යුගයේ හැටියට බරපතළ සිද්ධියක් විය. එකක් පවුලේ අය සමඟ දැඩි සේ එක්වීමය. අනෙක ඔහු පවුලේ සිටි එකම පිරිමි දරුවා වීමය.
එදා එංගලන්තයට මුලින් ම යන දවසේ හැමදිනම පවුලේ නැකැත් වේලා බලන නැකත් ඇදුරා ලවා හොඳ වේලාවක් බලවාගෙන තිබුණි. එහෙත් රත්මලාන ගුවන් තොටුපළට ගුවන් යානය ඒමටත් පැය කීපයකටත් පෙර ගෙදරින් නික්ම යන වේලාව යෙදී තිබුණ. නැකත් වේලාවට ගෙදරින් පිටත්ව ගල්කිස්ස හෝටලයේ පැය දෙකක් බලා සිටීමට එනිසා සිදුවිය.
එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ පිහිටි සාන්ත ජෝන් ලෙදර් හෙඩ් පාසලට ඇතුළත් වූ උපාලිට එහිදී ශ්‍රී ලාංකික මිතුරන් රැසක් මුණ ගැසීමට අවස්ථාව ලැබිණ. කඹුරුපිටිය ගමත් කොළඹ යහළුවනුත් පිළිබඳ මතකය උපාලිගේ සිතේ බැඳී තිබුණි. හැම මොහොතකම ඔහුට සිහිපත් වූයේ ඒ ආදරණීය පිරිස පිළිබඳ මතක සටහන්ය. සැතපුම් දහස් ගණන් දුර ගෙවා තම හිතවතුන් සමඟ ගත කළ ජීවිතය කොතරම් අගේ දැයි වරෙක සිතුණි. එනිසාම ගම රට ගැන තිබූ ඇල්ම වඩ වඩා දැනෙන්නට විය.
මුලින්ම උපාලි එංගලන්තයේ සිට සිය මවට එවූ ලිපිය ඔහුගේ සොහොයුරිය කල්‍යාණි ආටිගලට තවම මතකය. “මල්ලි මුලින්ම ලියපු ලියුම් දැකල අපිට ඇඬුම් ආවා. ඒ ලියුම ලියා තිබුණෙත් ලොකු දුකකින්. ඒකට හේතුවක් තිබුණා. හරියටම ඒ ලියුම ලියල තිබුණෙ රෝයල් තෝමියන් මැච් එක දවසෙ. මල්ලි ලියලා තිබුණ අද දවසෙ රෝයල් තෝමියන් මැච් එකට මගේ යාළුවො එක්ක මම ගිය හැටි මැවිල පේනවා. වෙන අවුරුදුවලදී මම කොච්චර සතුටකින්ද අද වගේ දවසක් බලාපොරොත්තු වුණේ. ඒ වුණත් මම මේ සැතපුම් දහස් ගණනක දුර රටක තනිවෙලා හිරකාරයෙක් වගේ ජීවත් වෙනවා. මේ ලියන මොහොතේ මගේ ඇස් කඳුළින් තෙත් වෙනවා.”මේ වගේ කථාවකින් ලියුම පටන්ගෙන තිබුණෙ. අපි ලියුම කැඩුවෙ නම් සතුටකින්. එහෙත් ලියුම කියවල මමයි, නංගියි, අම්මයි හොඳටම ඇඬුවා. අපි ඔක්කොටම ලොකු දුකක් දැනුණා.”
එංගලන්තයේ ශාන්ත ජෝන් ලෙදර්හෙඩ් විද්‍යාලයේ ඉගෙන ගැනීමට ගිය උපාලි එහි ඉගෙනීම කරගෙන යද්දී සොහොයුරියක වන අනෝජාගේ විවාහ මංගල්‍යයට ගෙදර සියලු දෙනාම කටයුතු සූදානම් කළහ. මනාලයා වූයේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ය. මේ මඟුල් උත්සවය සඳහා නිවාඩු ලබා පැමිණෙන ලෙස උපාලිට දැන්වූවත් වාර මැදදී ශිෂ්‍යයකුට නිවාඩු දිය නොහැකි බව දැන්විණ. සිය හිතවතුන් සමඟ නැවත කලකට පසු උදාවන අවස්ථාව මග හැරුණ බව උපාලිට දැනුණි. කෙසේ හෝ සොහොයුරියගේ මංගල අවස්ථාවට සහභාගි විය යුතුය. එහෙත් ඊට ඉඩ නොලැබෙන බැවින් සියුම් උපායක් කල්පනා කළේය.
දින කීපයකින් උපාලිගේ මවගෙන් පන්තියේ ආචාර්යවරයාට ලිපියක් ලැබිණි. එහි සඳහන් වූයේ සිය පුත්‍රයාට කොළඹ ඒම සඳහා නිවාඩු ලබාදෙන ලෙසටය. ගෙදර සොහොයුරියගේ මංගල උත්සවය පැවැත්වෙන බවත් සිංහල චාරිත්‍ර අනුව මනමාලයාගේ පා සෝදා ඔහු පිළිගැනීම මනාලියගේ බාල සොහොයුරාගේ වගකීමක් බවත් මේ චාරිත්‍රය කැඩිය නොහැකි නිසා කෙසේ හෝ සිය පුතාට නිවාඩු දෙන ලෙසත් ලිපියේ සටහන් විය.
උත්සාහය සාර්ථක විය. උපාලි නිවාඩු ලබාගෙන කොළඹ පැමිණියේය. මඟුල් ගෙදරට සහභාගි වී ආපසු එංගලන්තයට යෑමට සූදානම් වෙද්දී ආරක්ෂාව සඳහා යන්ත්‍රයක් පැලඳවීමට මව තීරණය කළාය. ඇදුරකු ගෙදරට ගෙන්වා දින කීපයක් මන්ත්‍රය මතුරා පිළියෙල කළ රන් සුරයක් එංගලන්තයට ගොස් පැලඳවීමට පිළියෙල වුවත් කඩිමුඩියේ රත්මලාන ගුවන් තොටුපළට යද්දී එය ගෙන යාමට නොහැකි විය. උපාලිට වඩා මේ ගැන සිත් වේදනාවට පත්වූයේ ඔහුගේ මවය. ගුවන් යානය පිටත් වන්නට විනාඩි ගණනක් තිබුණ නිසා නැවත නිවෙසට ගොස් යන්ත්‍රය රැගෙන එන්න යයි රියදුරාට අණ දුනි.
යන්ත්‍රයක් රැගෙන එන රියදුරු දෙස පිරිස මඟ බලා සිටියත් ඔහු එන බවක් පෙනෙන්නට නොවීය. ගුවන් යානය පිටත් වීමට නියමිත වේලාව ද සමීප විය. පිරිස ගුවන් යානයට ඇතුළුවෙද්දී රියදුරු පැමිණියේය. ගුවන් මගීන් අතරින් රිංගාගන ආපසු දුව ආ උපාලි රත්රන් සුරය රැගෙන ආපසු ගුවන් යානයට රිංගා ගත්තේය.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඉගෙන ගන්නට ගිය උපාලි ඉතා සැලකිල්ලෙන් ඉගෙනීමේ වැඩවල නිරත විය. විනෝද වන විට විනෝදවීමත් ඉගෙන ගන්න ගිය විට ඉගෙනීමටත් තරග කරන්නට ගිය තැන තරගයක් ගැනත් හිත යෙදවූ ඔහු ඒ හැම දේකින් ම ජය ගත්තේ යම් අරමුණක දැඩිව පිහිටා වැඩ කිරීම ගැන පුංචි අවධියේ සිටම ප්‍රගුණ කළ හෙයිනි. ඔහු කළ හැම දෙයක් ම සාර්ථකත්වයකින් කෙළවර වූයේ එකී ගුණය ඔහුගේ ජීවිතය හා හැම අතින්ම බැඳී තිබුණ හෙයිනි. වරෙක මේ පිළිබඳ උපාලි මා සමඟ මෙසේ පැවසීය.
“මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දී කවදාවත් කිසිම දෙයක් ලියාගෙන නෑ. අපේ යාළුවො පොත් පුරවා සටහන් ලියද්දී මම ගුරුවරු කියා දෙන දේට හොඳින් කන් දුන්නා. මම ඒ වැදගත් හැම දෙයක්ම මතකයේ රඳවා ගත්තා. පාඩම් සටහන් ලිවීම තේරුමක් නැති දෙයක් කියල මම හිතුවෙ. විභාගය කිට්ටු වුණාම අපේ යාළුවො නිදි නැතිව සටහන් පොත් පාඩම් කරන හැටි මම සතුටකින් බලාගෙන හිටියා. මම මහන්සිවෙලා පාඩම් කළේ නෑ. අච්චු පොත්වල ඉරි ගහපු තැන් විතරක් මම බලාගත්තා. ඒ එකින් එක කියවන කොට උගන්නපු දේ මතක් වෙනවා. විභාගය ළඟ වුණාම යාළුවො ටික මම හොයාගෙන ඇවිත් මගේ පොත් බලලා විභාගයට සූදානම් වුණා.“
එංගලන්තයේ ඔහුගේ පාසල් මිත්‍රයකු මා සමඟ මෙසේ ප්‍රකාශ කළේය.
“මා මුලින්ම 15 හැවිරිදි උපාලි දුටුවේ 1939 තද ශීත ඍතුවේදීය. ඒ එක්සත් රාජධානියේ ලෙදර් හෙඩ්හි, සාන්ත ජෝන් පාසල තුළය. ඔහු ඇමතුවේ විජය යනුවෙනි. ඔහු නැණවත් ක්‍රියාශීලී ශිෂ්‍යයකු වූ හෙයින් කාර්ය මණ්ඩලයේත් පාසලේත් ජනප්‍රිය වී සිටියේය. 1956 ජූනි මස ඔහු පාසලින් අස් විය. ඔහු වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් පාසල් මිතුරන් පවත්වන ලදී. ඉක්බිති උපාලි ආර්ථික විද්‍යාව හැදෑරීමට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ අතර මම ස්වාභාවික විද්‍යාව හැදෑරීමට සාන්ත ජෝන් විදුහලට ගියෙමි. ආර්ථික විද්‍යාව ගැන උපාලිට දැඩි උනන්දුවක් තිබුණි. අප පාසල් ඉතිහාසයේ ආර්ථික විද්‍යාවට පිවිසි ප්‍රථම ශිෂ්‍යයා උපාලිය. මේ සඳහා විශේෂ ටියුෂන් ද ගත්තේය. විෂය ආඝ්‍රහණය සඳහා කල්තියා සූදානම් විය. පසුව විශ්වවිද්‍යාලයේ ආර්ථික සමාජයේ ලේකම් ධූරයට ද ඔහු පත් විය.
මම සිට්රෝස් වර්ගයේ පරණ කාරයක් ගත්තෙමි. 1957 දී අප එම රියෙන් එකට ඇංග්ලියාහි සංචාරයක යෙදුණි. එම ගමන දුෂ්කර වූයේ හිම නිසා ඉදිරිය නොපෙනුණ හෙයිනි. 1958 දී උපාලි ඇම්.ජී.ඒ. ක්වින් කෑම් ස්පෝට් කාරයක් ගති. උපාලිගේ සහෝදර රංජිත් ද එවැනිම කාරයක් මිලට ගත්තේ ය. මෙය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර කථාබහට ලක්වී තිබිණ.
රංජිත් හා උපාලි තම කාර් කේම්බ්‍රිජ් විද්‍යාලයේ තබා ගැනීමට අවසර ලබා ගැනීමට සමත් වූහ. අපේ කාලයේ මෙවැනි අවසර ලබාගත හැක්කේ කලාතුරකිනි. අප මෙම කාර්වලින් නොයෙක් ගමන් ගිය අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මිතුරන් ද දැකීමට ගියෙමු.
උපාලි ඔහුගේ මෝටර් රථය පදවන්නට මට ඇරයුම් කළේය. ගියර් මාරු කිරීමේදී පටලැවීම් වූ නිසා ඔහුම රිය පැදවීම යෝග්‍ය යැයි තීරණය කළෙමි. එය අධික මිල මෝටර් රථයකි. එහි එවක තිබූ රථවල නොවූ ආරක්ෂක පටිය සවිකර තිබුණි. රිය පැදවීම බරපතළ ලෙස උපාලි සිතා මා මඟපෙන්වන්නා ලෙස තබා මොන්ටි කාලෝ රිය තරගයට සහභාගි වීමට දැඩි ආසාවක් දැක්වීය.
කෙමෙන් අපේ කේම්බ්‍රිජ් සමය නිමා විය. දැන් උපාලි ශ්‍රී ලංකාවට යන කාලයයි. මම කේම්බ්‍රිජ් විදුහලෙන් පිටව යනවා කියන්නේ රැකියාවක් සොයාගත යුතු බවයි. පළපුරුද්දක් නැති විද්‍යා ගුරු ඇබෑර්තු සෙව්වෙමි. ස්වේච්ඡා ආධාර ලබන ලන්ඩන් කාන්තා පාසලක ඇබෑර්තුවක් තිබුණි. මට එම රැකියාව ලැබුණ දිනයේම උපාලි මගේ මව සමඟ පාසලට පැමිණියේය. ඉන්පසු අපි තිදෙනාම මිතුරකුගේ නිෙවසට ගියෙමු. එංගලන්තයේ දී උපාලි සමඟ මා ගිය අවසන් ගමන එය විය. ඉන්පසු වෙන්ව ගියත් ලිපි හුවමාරු කළෙමු.”
උපාලි විජයවර්ධනගේ ඥාති සොහොයුරු හෙවත් මහප්පාගේ එකම පුතා වන රංජිත් විජයවර්ධන මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඔහුගේ සහායට සිටි එකම හිතවතා විය. රංජිත් විජයවර්ධන උපාලිගේ සරසවි ජීවිතය මෙබඳු අදහසක් පළ කරයි.
“ඒ 1956 ඉරිදාවකි. සීතල උදෑසන අපි නවාතැනේ බිම ඉඳගෙන ඉරිදා පුවත්පත් කියවමින් සිටියෙමු. නවාතැනේ පොළොව මිසක් වෙනත් පහසුකමක් නොවීය. පුංචි කාමරය උණුසුම් කරන ගෑස් උදුනේ උණුසුම දැනුණේ එතනට පමණි. උපාලි කියවමින් සිටියේ ගුවන් යානා අනතුරකින් ඛේදනීය ලෙස මිය ගිය අලිඛාන් කුමරු පිළිබඳ පුවතයි. “මටත් ඕන අන්න ඒ විදියට සමුගන්න”උපාලි එදා පැවසීය. උපාලි අපෙන් සමුගත්තේ ද ඒ අනුවය. එපරිද්දෙනි මලක්කා සමුද්‍ර සන්ධිය අසලදී උපාලි සමඟ අතුරුදන්වූ ලියර්ජෙට් යානය පිළිබඳ පුවත ඔහුගේම මිනිසුන් අතර අලිඛාන් කුමරුගේ පුවතට වඩා හොඳින් ප්‍රචලිත විය.
ඇත්තෙන්ම ඔහු ළඟ දඟකාර ගති නොවිණි. සිය වෙළෙඳ අධිරාජ්‍යයට අඩිතාලම සැලසුම් කිරීමට වඩා දිග නිවාඩුවක් ගත කිරීමට නිවහනට පැමිණීම තරම් ආශිර්වාදයක් අපට නොවීය. ව්‍යාපාරිකයකු ලෙස උපාලි ලබාගත් දියුණුවට ඔහුගේ හැකියාවන් මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ලැබූ අත්දැකීම් ද උදව් වූ බව කිව යුතුය. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ කියවන්නට තීරණය කළේ ඔහුගේ හිතු මනාපයටය. ආර්ථික විද්‍යාව ගැන ඔහුගේ ගුරුවරයා වූ ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයකු වූ හෝගන්බුච් සත්‍ය වශයෙන් ශිෂ්‍යයා හොඳින් හඳුනාගත්තේය. ඒ නිසාම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සංගමය වන ‘මාර්ෂල්‘ සමාජයේ ලේකම් ධූරයට උපාලි පත් කරගැනීමට අනුග්‍රහය දැක්වීය. කෝපි කෝප්පයක් තොල ගා සිගරට්ටුවක් උරමින් සති ගණන් වෙහෙසී කළ අධ්‍යයනවලින් අවසානයේ දෙවැනි පන්තියේ ගෞරව උපාධියක් ලබාගන්නට සමත් විය. ඔහුගේ සගයන් අතර ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් හා ඉංග්‍රීසි ජාතිකයකු ද විය.
ව්‍යාපාරිකයකු වීමේ අභිලාෂය සඳහා උපාලි මුලින්ම සාක්ෂියක් ඉදිරිපත් වුණේ ලන්ඩනයෙන් බැහැර ඇති කම්හලකට දුම්රියෙන් මා සමඟ ගිය ගමනයි. එතරම් සිත් නොගත් ප්‍රදේශයක පිහිටි අපිරිසිදු කම්හලක් වුවද එය විකිණී හමාරයයි පැවසූ පසුවද ඉන් ඉවත්ව යන කළමනාකරු සමඟ ඉතා දිගු සාකච්ඡාවක යෙදෙන්නට ඔහු අමතක නොකළේය. ආපසු ඒමේදී එක වචනයක් හෝ කථා නොකළ ඔහුගේ නිහැඬියාව ඇදහිය නොහැකි විය.
කේම්බ්‍රිජ් විභාගයෙන් හොඳින් සමත් වූවොත් අලුත් කාර් එකක් දෙන බවට අම්මා පොරොන්දු වී තිබිණ. ඒ අනුව කැමති වර්ගයේ මෝටර් රථයක් ගැනීමට අවසර ලැබී තිබිණ. ඒ අනුව ඔහු තෝරා ගත්තේ එම්.ජී. වර්ගයේ රේසින් කාර් එකකි. එය ත්‍රිකුණාමල වරායට එන නැවක එවා තිබිණ.
අලුත් මෝටර් රථය ලබාගෙන එන ගමනේදී මාගස්තොටදී කාර් රේස් එකක් තිබෙන බවට ආරංචියක් ලැබිණ. ඒ අනුව උපාලි එහි ගියේය. ප්‍රසිද්ධ රේස් කරුවන් රාශියක් හා තරග වැදුණු ඔහුට කාර් රේස් තරගයෙන් දෙවැනි තැන හිමි වුණි. ගෙදර උදවිය ලන්ඩනයෙන් ගෙන ආ අලුත් කාර් එක දකින තුරු බලා සිටිද්දී ඔහු පැමිණියේ තරගයෙන් හිමි කරගත් තෑගි ගොඩක් ද අරගෙනය.
මීළඟට කළුතර කටුකුරුන්දේ කාර් රේස් තරගයක් විය. ඒ සඳහා ද උපාලි තම එම්.ජී. රථයෙන් ගියේය. එහිදී ද දෙවැනි තැන හිමි විය. ඊළඟ වාරයේ තරගයට කලකට ඉහතදී මව විසින් ගෙන්වා දුන් ඕපල් කපිතාන් කාරය ද ගෙන ගියේය. මේ හැම තරගයකින්ම දෙවැනි තැන හිමිකර ගත් අතර විශේෂත්වයක් වූයේ හැමදාම තරගය හමාරවී මෝටර් රථය කඩාගෙන ගෙදර ඒමය.
මෝටර් රථ තරගවලට සම්බන්ධ වෙමින් මිතුරන් සමඟ කල්ගත කළ උපාලිට දේපොළ රැකීම වැනි බරපතළ වැඩ භාර නොදිය යුතු යැයි මව තුළ හැඟීමක් විය. අනෙක් අතට ඔහු ද දේපොළ පාලනයට වැඩි කැමැත්තක් නොවීය.
“මම රස්සාවකට යනවා” දවසක් උපාලි මව සමඟ කීවේය.
“කොතනටද යන්නෙ?”
“කීප තැනකට ඉල්ලුම් කළා. මුලින්ම ලැබෙන එකකට යනවා.”
“ඉස්සර වෙලා ලැබෙන එකකට නෙමෙයි. හොඳ රස්සාවකට යන්න”මවගේ අවවාදය විය.
මෙකල උපාලි ඉල්ලුම්පත් දැමූ ආයතන අතර ලීවර් සහෝදර සමාගම ද විය. එවකට එම සමාගම පිහිටියේ ඛනිජ තෙල් සංස්ථාව පිහිටි භූමියේය. ලිවර් සහෝදර සමාගමේ රැකියාවට ගිය පසු මුලින්ම ඉල්ලුම් කළ ආයතන රැසකින් තෝරාගත් බව දන්වා ලියුම් ලැබිණ. ෂෝවොලස් සමාගම ඉන් එකකි. එහි ගෙවන වැටුප ලීවර් සමාගම ගෙවන වැටුපට වඩා වැඩි වුවත් මුලින් ලද රැකියාවම තෝරා ගත්තේය.
මේ කාලයේ කඩිසරකමින් රැකියාවේ නිරතවූ උපාලිට මුල් කාලවල මෙන් මිතුරන් සමඟ එක්වී විනෝදවන්නට ඉඩ නොලැබුණි. නිතර නිතර කොළඹින් බැහැරව යන්නට විය. ඇතැම් දිනක මහියංගණයේ ගතකළ ඔහු ඊළඟ දින මහනුවර ගත කළේය. ධීවර සහෝදර සමාගම අලුතින් වෙළෙඳපොළට හඳුන්වා දුන් “ඕ මෝ” රට තුළ ප්රචාරක වැඩ බහුලව තිබිණ. කොළඹින් පිට නිතර යතත් හැම දිනම සිය ඇඳුම් පැලඳුම් ගෙන ගියේ නැත.
මෙසේ කඩිසරව වැඩ කරද්දී තම සහායක හැටියට බණ්ඩාර නම් තරුණයකු හා පීටර් නමින් හිතවතකු සමීපයේ රඳවාගෙන සිටියේය. සේවක පිරිස සමඟ පැවති සමීප ඇසුර නිසා ලීවර් සහෝදර සමාගමේ සේවකයන් තුළ අන් අයට වඩා උපාලි කෙරෙහි විශේෂ හිතවත්කමක් ඇති විය. එය ඇතැම් ප්‍රධානීන්ගේ සිත් වේදනාවට ද හේතු විය. බොහෝ ප්‍රධානීන් තුළ උපාලි කෙරේ පැවැතියේ තමාට කිසියම් දිනක මේ පුද්ගලයා අභියෝගයක් විය හැකි බවය. මේ අතරතුර මෙරටට අලුතින් කර්මාන්තයක් ලෙස ඉලෙක්ට්‍රොනික් කර්මාන්තය හඳුන්වා දිය යුතු යයි උපාලි තුළ අදහසක් ඇති විය.
ජපානයේ එන්.ඊ.සී. සමාගම සමඟ එක්ව ගුවන් විදුලි යන්ත්‍ර නිපදවීම කාලයේ හැටියට හොඳ දෙයක් යයි උපාලි සිතුවේය. කාර්යාලයෙන් නිවාඩු ලබා ජපානයට ගොස් ආපසු පැමිණියේ කෙසේ හෝ මුදල් ටිකක් ලැබුණ දිනක ජපානය සමඟ එකතුවී නව නිෂ්පාදන පෙළක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටය.
එක් සුදු ජාතිකයකු සමඟ ඇතිවූ සිත් අමනාපයක් නිසා ලීවර් සමාගමේ රැකියාව උපාලි විසින් හැර දමා ගෙදර පැමිණියේය. වැඩ කළ අවසන් මාසයේ වැටුප ද මේසය මත දමා පැමිණි උපාලි නැවත වරක් එහි සේවයට නොයන්නෙමැයි තීරණ කළේය. අවුරුදු දෙකකින් රැකියාව කෙළවර විය. “මින් මත්තේ මම කවුරුවත් යටතේ රස්සාව කරන්නේ නෑ” යැයි ස්ථිර අධිෂ්ඨානයක පිහිටි අතර තමන්ගේම දෙයක් අලුතින් ඇතිකර ගත යුතු යැයි සිතක් පහළ විය.
තවත් කොටසක් ලබන සතියේ