විදුලිය පිරිමසිමින් ජාතික වගකීමට උර දෙමු | සිළුමිණ

විදුලිය පිරිමසිමින් ජාතික වගකීමට උර දෙමු

මේ දිනවල නිතර කරන ඉල්ලීමක් වන්නේ එක් විදුලි ලාම්පුවක් හෝ නිවා දමන ලෙසටයි. ජනයා නිවෙසේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්නේ විදුලි බිල වැඩි වන හෙයිනි. එහෙත් ඇතැම්හු නිවෙස ඉදිරිපිට විදුලි කනුවේ බල්බය නිවා නොදමන්නේ එය ද විදුලිබල මණ්ඩලයට අයත් කාර්යක් දැයි වැරදි වැටහීමකින් විය යුතුය. එහෙත් එම බල්බය අක්‍රිය වූ විට නිලධාරින්ට දොස් කියන්නටත් අමතක නොකරති.

සමහර උද්‍යානවල දහවල - රාත්‍රී වෙනසකින් තොරව විදුලි බල්බ දැල්වී ඇති අවස්ථාවන් කොතෙකුත් දැක ඇත. නගරබද මෙන්ම ගම්බදද විදුලි කනුවල දිවා රාත්‍රී අඛණ්ඩව විදුලි බල්බ දැල්වේ. එය මෙවැනි විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක පමණක් නොව සෑම විටෙකම ජාතික අපරාධයකි.

බොහෝ මහල් නිවාසයන්හි පවත්නා විදුලි සෝපාන එක් මහලකට යාමට ඒමට ද ඇතැම්හු භාවිත කරති. මෙවැනි අවස්ථාවක විදුලි සෝපානයන් අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණක් භාවිතයට ගෙන ශරීර සෞඛ්‍යයට ද හිතකර තරප්පු පෙළ වෙත යොමු වීම සැමගේ වගකීමයි. එසේම තම සේවා ස්ථානයන්ගෙන් බැහැරට යද්දී අවට විදුලි පහන්, වායු සමීකරණ යන්ත්‍ර, විදුලි පංකා විසන්ධි කර යාමට ද සැවොම වගබලා ගත යුතුම සමයකි.

මේ මොහොතේ සෑම පුද්ගලයෙකුම තම ජාතික වගකීම තේරුම්ගෙන රජයටත් වගකිවයුතු ආයතනවලටත් සවියක් වන ලෙස කටයුතු කළ යුතුම වේ. එසේම වගකිවයුත්තන් ද මේ දිනවල සිදුකරන විදුලි විසන්ධි කිරීම් වැනි දෑ ජනතාව අපහසුවට පත් නොවන ආකාරයෙන් නියමිත පරිදි දැනුම්වත්කොට සිදු කරනවා නම් මැනවි. ඇතැම් අවස්ථාවලදී දන්වා තිබෙන වේලාවට නොව වෙනත් වේලාවන්හිදී විදුලිය විසන්ධි කිරීම් නිසා ජනතාව විඳින දුක නම් අතිමහත්ය.

ඇන්. කේ. පී. ප්‍රේමදාස ප්‍රනාන්දු 
පයාගල

Comments