
- ලංකාවේ වයස්ගතම කාන්තාව ඇයයි
- දරුවන් 2යි, මුනුපුරු මිනිබිරියන් 24යි
- අවුරුදු කුමරි කිරුළ ද පැලඳි ඇය නැටුම, ගැයුමටත් හපනියක්
සියවසකටත් වඩා වැඩි ජීවිත කාලයක් ගෙවූ ඇය ඉකුත් මාර්තු 9 වැනිදා රාත්‍රියේ සිය ජීවන ගමනට සමු දුන්නාය. නමින් ඇය කංකානම් ගමගේ ඩිංගිහාමිය. මාතර අකුරැස්සේ අතුරලිය සුන්දර ගම්මානයේදී ඇය උපත ලැබුවේ 1906 ජනවාරි 11 වැනිදාය. මියෙන තුරුම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ ඩිංගිහාමි ජීවත් වූයේ වාහල කනංකේ, පාළුවත්ත ගම්මානයේ සිය බාල පුතුගේ නිවෙසේය.
වියපත් නමුදු නිතර සුන්දර, සුපසන් සිනාවකින් මුව සරසාගෙන සිටින පින්බර ආත්තම්මා කෙනෙකු වූ ඩිංගිඅම්මා මීට කලකට පෙර අපට හමු වූයේය. පුතුගේ නිෙවසේ මිදුලේ අඹ ගස් සෙවණේ එදා විවේකිව පුටුවක අසුන්ගෙන සිටි ඇය ස්නේහවන්ත සිනහවකින් අප පිළිගත් අයුරු අදටත් සිහිපත් වේ. දත් නැති මුව වටේ මෙන්ම රැළි වැටුණු සුදු වන් වු මුහුණේ තැනින්තැන දිගට දිගේ වැවුණු කෙස් ගස් නිසා ‘රැවුල් ආත්තම්මා’ලෙස කාගෙත් ආදරයට පාත්‍රව සිටි ඩිංගිහාමි ආත්තම්මා ගීතයක් සේ සුන්දර සිය ජීවිත කතාව එදා අප හමුවේ තැබුවේ සොම්නසින් යුතුවය.
“අම්මයි තාත්තයි එක්ක අපේ පවුලේ හත් දෙනෙක් හිටියා. අපේ පවුලේ සහෝදර සහෝදරියන් හතර දෙනෙක්. මමයි පවුලේ බාලයා. මගේ සහෝදර සහෝදරියෝ කවුරුවත්ම මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. ජීවතුන් අතර ඉන්නේ මම විතරයි. මම ඉපදුණ අතුරලිය ගම හරිම ලස්සනයි. ගහකොල සතා සීපාවා, දිය කඩිති, මහා ගස්වැල්වලින් ලස්සන වුණු ගමක්. ඒ කාලේ ගමේ තාර පාරවල් තිබුනේ නැහැ. සතියකට දෙකකට සැරයක් කරත්තයක් දෙකක් පාරේ ගියා මිසක් ගමේ මිනිස්සු වැඩි හරියක් ගියේ පයින් තමයි. ගම්මු කඳමළු අරගෙන ගියේ කර තියාගෙන. ගමන් බිමන් නෑගම් ගියෙත් එහෙමයි. ගම් පළාතේ වැඩිදෙනෙක් කළේ ගොවිතැන. ගමේ ඈතට වෙන්න කඩ මණ්ඩියක් තිබුණා මතකයි.”
පවුලේ බාල දරුවා වීම නිසා පවුලේ සියලු දෙනාගේ නොමඳ ආදරයට ලක්වූ ඩිංගි අම්මා පාසල් ගොස් ඇත්තේ අතුරලිය නාරංකැටිය පාසලටය. පාසල් ජීවිතයේ සොඳුරු මතක ඇය අප සමඟ කීවේ උද්යෝගයෙනි.
“ඒ කාලේ ගුරුවරු හරිම සැරයි. ඉස්කොලේ යන්නේ නැති ළමයි බලන්න ලොකු ගුරුතුමා ගෙවල්වලට එනවා. ඇවිත් නඩු දමනවා කියනවා ළමයි පාසල් එව්වේ නැතිනම්. ඒ නිසා කෑම නොකෑවා කෑවා කියලා බලන්නේ නැතුව, තියන ඇඳුමක් ඇඳගෙන අපිට ඉස්කෝලේ යන්න වුණා.”
එසේ පාසල් ගිය ඩිංගි හාමි අධ්‍යාපන කටයුතු මෙන්ම ගෙවතු වැඩ, අත්කම් වැඩ පමණක් නොව වගා කටයුතුවලද නිරත වූවාය.
“ අපි පාත්ති හදලා ලස්සනට මල් වැව්වා. ඒවාට පොහොර දාන්න අපි කෙල්ලෝ ටික කොළපොතක් අරගෙන පාසලේ ඉඳලා ගමේ කරත්ත පාරවල් දිගේ ගියා මට අද වගේ මතකයි. එදා වැඩිදුර අධ්‍යාපනය කරන්න පාසලට ගියේ අඩුවෙන්. වත්තේ කුඹුරේ ගෙදර වැඩ කරන්න තමයි අම්මලා අපිට ඉගැන්නුවේ. පොල් ලෙලි තැලුවා.වත්තේ පිටියේ වගා කළා. වී ගොවිතැන කළා. එව්වට මහ ඈයෝ එක්ක පිරිමි අපේ සහෝදරයන් එක්ක උදව් කළා. කෙල්ලො අපි මැහුම් ගෙතුම් කළා. බීරළු රේන්ද වියනවා. පැඳුරු වියනවා. මටත් අම්මා තමයි පැඳුරු වියන්න ඉගැන්නුවා. අපේ නැද්දටත් රටා දමලා ලස්සනට පන් මළු, පන් පැඳුරු වියන්න හැකියි”
සොඳුරු යෞවනය පිළිබඳ ඩිංගි හාමි අත්තම්මාගේ මතක ද බෙහෙවින් සුන්දරය. ඇය ඒ මතක අවදි කළේ කෝල සිනහවක් පාමිනි.
“මම ගැටිස්සි කාලයේ හරිම දඟයි කියලා අපේ අම්මයි, නැන්දලයි කියනවා. එදා අපේ ගමේ අවුරුදු කුමාරිය වුණෙත් මමයි. අවුරුදු කුමාරි වෙලා මම තෑගි දිනලා තියෙනවා” ඩිංගි හාමි අත්තම්මාගේ වත පුරා ඇති සුන්දරත්වය ඇය අතීතයේදී සුන්දර යුවතියකව සිටි බවට සාක්ෂි සපයයි. එමෙන්ම සියවසක් ඉක්මුවද අදටත් ඇය බොහෝ නිරෝගීය. ඒ නිරෝගී බවට හේතුව ආහාරපාන පුරුදු බව ද ඇය අපට කීවාය.
“ඒ කාලේ අපි වැඩිපුර කෑවේ කැකුළු හාල් බත් එක්ක අල, බතල, කොස්,දෙල්. මිරිදිය මාළු තමයි කෑවේ. කරවල හොඳි එක්ක කොස් කන්න මම අදත් කැමැතියි. ඉඳ හිට මස්, මාළු කනවා. අපි ඒ කාලේ නෑවේ වැවේ, ඇලේ දොලේ තමයි. ඒ කාලයේ එස්.ඒ වික්‍රමසිංහ මහත්තයා දේශපාලනය කරනවා මට මතකයි. ඒ මහත්තයා ගමේ මිනිස්සුන්ට හරියට උදවු කළා. අපේ ගෙදර සමඟ සමීප සම්බන්ධතාවයකුත් වික්‍රමසිංහ මහත්යාට තිබුණා.”
ඩිංගි හාමි ගේ විවාහය සිදු වන්නේ මවුපියන්ගේ පූර්ණ අනුදැනුම මත මඟුල් කපුවකු මාර්ගයෙනි. ඇයගේ අත ගත් ඔහු එම්.ජී ධනෝරිස් අප්පු ය.
“කසාද බැඳලා මම උන්දෑ එක්ක කනංකේ පාළුවත්ත ගමට ආවා. අපිට දරුවන් තුනක් හිටියා. කොල්ලෝ දෙන්නයි එක දුවයි. දුව පුංචි කාලයේදිම මිය ගියා. පසුව පුතාලා දෙන්න හදාගෙන අපි මෙහෙ හිටයා. මගේ එක්කෙනා කුළී වැඩ කළා. මමත් තේ දළු කැඩුවා. කුරුඳු ඉඩම් උදළු ගෑවා.”
මීට වසර 44කට පෙර ඩිංගි හාමිගේ සැමියා ජීවිතයෙන් සමුගත්තේය. ඔහු පැලඳවූ මංගල මුදුව මියෙනතුරුම ඇයගේ වෙඳැගිල්ල සැරසුවේය. දෙදරු මවක වන ඩිංගි හාමිගේ ලොකු පුතු එම්.ජී පියදාස (83) වන අතර බාල පුතු එම්.ජී සිරිසේන (79)ය. ඩිංගි හාමිට මුනුපුරු මිනිබිරියන් 24 දෙනෙකි. ඒ සියලු දෙනා සමඟ ඇය සිය ජීවිතයේ සැදෑ සමය ගත කළේ ඉතා සතුටිනි. ගීත,සිංදු, කවි, සී පද කියන්නට මනා හැකියාවක් තිබූ ඩිංගිහාමි ආත්තම්මා රබන් වැයීමටත් පැල් කවි,පතල් කවි සහ නෙළුම් කවි කියන්නට ද හපනියකි. ආගම දහමටද ඇල්මක් ඇති ඇය තුන් සරණ කවි කියන්නේ ඉතා මිහිරිවය.
දිනපතා මල්පහන් පුදා බුදුන් වඳින ඇය ජ්‍යේෂ්ඨ පුරුවැසියකු ලෙස විවිධ ඇගයීම්වලටද ලක්වූවාය. එසේ ඇය ලැබූ තිළිණ, සහතික ඇය අපට පෙන්වූයේ සතුටිනි. වැලිගම වැලිවිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්, එහි නිලධාරින් මෙන්ම,දකුණු පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ ලේකම් තුමා ද ඩිංගිහාමිගේ දුක සැප නිරතුරුවම සොයා බැලූ බව ද අපට දැනගන්නට ලැබිණි.
එහෙත් ජීවිත ගමන යනු ආවොත් යළි යා යුතුම ගමනක් බව පසක් කරමින් ඉකුත් 09 වැනිදා ඩිංගි හාමි ද දිවි ගමන හැරගියාය. ජීවිත ගමනෙන් සමුගන්නා තුරුම ඩිංගිහාමි ආත්තම්මා රැකබලා ගත්තේ ඇයගේ බාල පුතු සහ ඔහුගේ බිරිය කේ. වී. කරුණාවතී(73)ය. සිය මවට මෙන්ම ඩිංගි හාමි අම්මාට සෙනෙහස පෑ කරුණාවතී ඩිංගිහාමිගේ වියෝවින් තැවෙන්නීය.
“මම මගේ නැන්දාම්මාට මගේ අම්මට වගේ සැලකුවේ. මගේ අම්මා වසර කිහිපයකුට පෙර මිය ගියා. ඉතින් මම මගේ අම්මා කියලා හිතාගෙක නැන්දම්මාට සැලකුවා. රෑ දෙගොඩ හරියේත් දුව දුව කියලා අම්මා කතා කරනවා. අම්මට සලකන එක වදයක් කියලා මම හීනෙන්වත් හිතුවේ නැහැ. ඒ නිසාම අම්මා පාළුව අපට හැමදාමත් දැනෙයි.”
මෙරට වයස්ගතම කාන්තාව වූ ඩිංගි හාමි ආත්තම්මා දැන් අප අතර නැත. එහෙත් වයස අවුරුදු 116ක් තරම් දිගු ආයු කාලයක් ගෙවන්නට පින් කළ ඇය සිය සමීපතමයන් අතර ඉතිරි කර ගිය මතක සදාදරණීයය.
ඡායාරූප සහ පසුබිම් තොරතුරු- හබරාදුව නිමල් අල්ගෙවත්ත