
- “රස්සාවක් නොකර මම ලක්ෂපතියෙක් වෙනවා”
- මම මගෙ ගේ සරසන්නේ වෙසක් එකට එළි දෙන්නේ විදුලි පහන් දල් වන්නේ ඉන්පසු මම සැන සෙන්නේ
කඹුරුපිටියෙන් කොළඹට ආ උපාලි තම වැඩිහිටි අක්කලා දෙන්නා වන අනෝජා හා කල්‍යාණි සමඟ මුලින්ම පාසල් අධ්‍යාපනය සඳහා ගියේ කොළඹ කාන්තා විද්‍යාලයකටය. කාන්තා විද්‍යාලය කාන්තාවන්ට පමණක් වෙන්වුවත් හෝඩිය පන්තියේ පිරිමි ළමුන් කිහිප දෙනෙක් ඉගෙනීම කළහ. ගැහැනුන් පමණක් සිටි ගෙදරක එකම පිරිමි ළමයා වූ උපාලිට කාන්තාවන් පමණක් සිටි පාසලකින් ලැබුණු අධ්‍යාපනය ද අමුතු ස්වරූපයක් ගත්තේය. සෙල්ලම් කරන්නට ගියත් සිටින්නේ ගැහැනු ළමයින්ය. උගන්වන්නට සිටින්නේ ද ගැහැනු අයය. නැටුම්, ගැයුම් වැනි දේල් වලදී ද ගැහැනු අයයි. ඒ සියලුම දේ අතරින් සිය සිත ගිය එකම දෙය වූයේ මැහුම් ගෙතුම් පාඩමය.
පන්තියේ මැහුම් ගෙතුම් ගුරුවරිය පුංචි උපාලිගේ සිත් ගත් ගුරුවරියක විය. ගෙතුම් කටුව හා වූල් කෙඳි ගෙන ගොතන්නට පුරුදු කරන අන්දම කදිම යැයි ඔහුට සිතිණ. ඔහුට අදහසක් පහළ විය. නිවාඩු දෙනතුරු ඔහු මඟ බලා සිටින්නේ කඹුරුපිටියට ගොස් ආත්තම්මා සමඟ එක්වීමටය. පාසල් දරුවකුට මෙන්ම ආත්තම්මාට ද පාසල් නිවාඩු දෙන දිනය හොඳින් මතකය. මුනුපුරාත් මිනිබිරියන් දෙන්නාත් රැගෙන ඒම තරම් විනෝදයක් හුරතලයක් තවත් නැත.
පන්තියේ මැහුම් ගෙතුම් පාඩම ඉගෙන ගනිද්දී උපාලිගේ සිත ගියේ ආත්තම්මාට ඇඳුමක් ගොතාගන යාමටය. ගෙදර සියලු දෙනාම වෙනත් වැඩක යෙදී සිටිද්දී පාසලින් උගත් ගෙතුම් වැඩට සිත යෙදූ ඔහු අත්තම්මාට ජර්සියක් ගෙතුවේය. පාසල් නිවාඩුවට තමන් කැටුව යාමට පැමිණි අත්තම්මාට තම අතින් නිමවූ ඇඳුම ඇන්දවූ අත්තම්මා බලා අපමණ සතුටක් වින්දේය. ආත්තම්මා පුංචි මුනුපුරාගේ හපන්කම් අසල්වැසි අය හා එක්ව කතා කළේ ආඩම්බරයකිනි.
කාන්තා විද්‍යාලයේ ඉගෙනුමට අමතරව දරුවන් තිදෙනාට හොඳින් සිංහල බස ඉගැන්විය යුතු බව විජයවර්ධන මාතාව කල්පනා කළාය. මේ කාලේ හොඳින් සිංහල ඉගැන්වීමට ප්‍රසිද්ධියට පත්වූ ඩී.එස්. ගුණසිංහ නම් ගුරු මහතකු බත්තරමුල්ලේ සිටින බව ආරංචි විය. ඔහු ඒ හැරෙන්නට සිංහල ගීත වෛද්‍ය ශාස්ත්‍රය ගැන පොත් ලියා පළකළ පුද්ගලයකු ද විය.
බත්තරමුල්ල පැලවත්ත හන්දියේ බෙහෙත් ශාලාවකට යාබද නිවෙසක පදිංචිව සිටි ඩී.එස්. මුණසිංහ හමුවීමට ගොස් ඒ අවධිය ගැන ද තොරතුරු විමසුවෙමු.
“මම ඒ දවස්වල පවුල් කීපයක දරුවන්ට සිංහල ඉගැන්නුවා. සේනානායක පවුල, ජයවර්ධන පවුල, අමරසූරිය පවුල ඉන් කීපයක්. දවසක් මට විජයවර්ධන මහත්තයගෙ ගෙදරිනුත් පණිවුඩයක් එවල තිබුණා. මම මුලින්ම ගිය දවසෙ ගෙදර ළමයි තුන්දෙනාටම සිංහල උගන්වන්න භාර දුන්නා. මුලින්ම මගේ අතට රුපියල් සියයේ කොළයක් දුන්න.
දරුවො තුන් දෙනාම ඉගෙන ගන්න දක්ෂයි. ඒ වුණත් උපාලි මහත්තය තරම් අක්කල දෙන්න දඟ නෑ. හැම වෙලාවෙම සෙල්ලමටමයි සිත. ඉඳල හිටල මගෙ කෝට් එකෙන් ඇදල සාක්කුවට අත දාල බලනව. ගෙදර ගිය හැටියෙ තේ දෙන එක ඒ ගෙදර පුරුද්දක්. උපාලි මහත්තය තමන්ගෙම අතින් මට තේ හදල දෙනවා. ගෙදර වැඩට ඉන්න අය ලවා තේ දෙන්න කවදාවත් උපාලි මහත්තය ඉඩ දෙන්නෙ නෑ.
මට මතකයි මම හදපු කවියක්. මම ඒක උපාලි මහත්තයටයි අක්කල දෙන්නටයි උගැන්නුවා. මම ඈත එනකොට උපාලි මහත්තය ඒ කවිය හයියෙන් කියවනවා.
පුංචි ඇටේ පැළ වෙතී
පුංචි පැළේ ගස වෙතී
පුංචි පුංචි නුවණැ තී
පුංචි ළමෝ පඬි වෙතී
මම දවසක් උපාලි මහත්තයගෙන් ඇහුව මේ කවිය ඉක්මනින්ම පාඩම් හිටියෙ කොහොමද කියලා.”
“මේක ඇත්ත කතාවක් නෙ. ඒකයි නිකම්ම පාඩම් හිටියෙ.” “උපාලි මහත්තය ඉගෙන ගන්න දක්ෂ වගේම දඟකාරකමත් තිබුණා. සමහරදාට පන්තියෙ වැඩ අතරමඟ නවත්තල සෙල්ලමට යනව. මම පස්සෙන් එනව දැක්කොත් තව හයියෙන් දුවනවා. කොහොම හරි අල්ලගෙන එනකොට කීකරු කමින් එනවා. කොච්චර හුරතල් දක්ෂ ළමයකු වුණත් මම ගිය අනෙක් පවුල්වල දරුවන්ට තිබුණු අහංකාරකම මේ දරුවො තුන්දෙනාගෙම දැක්කෙ නෑ.”
කාන්තා විද්‍යාලයේ ඉගෙනගත් යුගය අවසන් වී රාජකීය විද්‍යාලයට උපාලි ඇතුළත් කළේය. ප්‍රාථමික අධ්‍යාපනය විසින් මෙහෙයවූ ගති සිරිත් ජීවිතයේ තරුණ විය ඉක්මවෙද්දීත් ඔහු කෙරේ විද්‍යමාන විය. විශේෂයෙන් පිරිස් සමූහ එකතු වී පවත්වන ප්‍රිය සාද ප්‍රතික්ෂේප කිරීම ඉන් එක පුරුද්දකි.
මිනිසුන් ගැහැනුන් එකතු වී හිනාවෙන් කථාවෙන් ඇරඹී මත්පැනින්, උසුළු විසුළුවලින් හා නැටුම් ගැයුම්වලින් කෙළවර වන සාදයන්ට සහභාගි වීම තම කාලය තේරුමක් නැති වැඩකට සම්බන්ධවීමක් ලෙස උපාලි සැලකීය. මෙයට වඩාත් බලපෑවේ, ඔහු දැඩි ලෙස පිළිකුල් කරන මස් මාංශ සහ මත්පැන් ප්‍රිය සාදවල අනිවාර්ය අංගයන් වන හෙයින් විය යුතුය.
මේ ස්වභාවය ඔහුගේ චරිත ලක්ෂණ හා සම්බන්ධ වන්නට බලපෑ ප්‍රධාන සාධකයක් සේ මතුවන්නට වූයේ පුංචිම අවධියේ ඔහු හැදුණු පරිසරයයි. පියාගේ අභාවයෙන් පසු ගෙදර පාලනය ගෙන ගිය මවත් මාමලාත් ආත්තම්මාත් ආගමික භක්තිය විසින් හා පරිත්‍යාගශීලී ගුණයෙන් දැඩි සේ හික්මවනු ලැබූ පිරිසක් වූහ.
තර්ස්ටන් පාරේ නිවසේ සිට රාජකීය විදුහලට ඇත්තේ යාර කීපයක දුරකි. මේ ගමන කළේත් ගෙදර රියැදුරු රෙජිනෝල්ඩ් සමඟ 8679 ෆියට් කාරයෙනි. දහවල ලැබෙන විවේක කාලයේදී ළමයි සැම දෙනාම නිවසින් කිරි ගෙන ඒම පුරුද්දක් විය. එහෙත් මේ කිරි විවේකයේ අනික් මිතුරන්ගෙන් සිනාවෙන් ගැළවීමට ඔහු පාසලේ කොතැනක හෝ සැඟවී මගහරින්නට විය. මේ කුළෑටිකම පුංචිම කාලයේ ඔහුට දැඩිව බලපාන්නට වූ හෙයින් විදුහල්පති ජයවර්ධන නිතර නිතර උපාලිට අවවාද දෙන්නට විය. පාසලේ පැවති සාමාන්‍ය දැනීම තරගවලින් සැමදාම ජය ගන්නට උපාලි සමත් විය. නිතරම පාසල් පොතපතින් බැහැරව වෙනත් පොත පත කියවීමට පුරුදු වූ නිසා මෙසේ ජය ගන්නට ඔහු සමත් වූ අතර ඒ නිසාම තව තවත් පොතපත කියවන්නට උනන්දු විය.
පොතපත කියවමින් දවසම ගෙදරට වී සිටින පුතා දුටු මෑණියන්ට තම දරුවා විනෝද ක්‍රීඩාවල යෙදවීමට අවශ්‍ය විය. මුලින්ම බයිසිකලයක් ගෙන්වා දුන් මව උපාලිට එයත් රැගෙන පාසල් වත්තට යන්නැයි කීවේය. පාසල් වත්තේ බයිසිකල් පැදීම ටික දිනකින් ඔහුට ලොකු විනෝදයක් විය. බයිසිකල් පැදීමෙන් දැඩි වෙහෙසට පත්ව එන ඔහු හෙමින් සීරුවේ බයිසිකලය පිස දමයි. ලොකු ඕනෑකමකින් බයිසිකලය ළඟට වී පුංචි සහෝදරයා කරන මේ දෙය කුමක්දැයි අක්කලා දෙන්නා හොරෙන් බලා සිටියහ.
“අද මගේ යාළුවට හොඳටම මහන්සි පාටයි. මම හෙට මෙච්චර වෙහෙසන්නෙ නෑ.” බයිසිකලය සමඟ කරන කථාව අක්කලාට ඇසුණි. ඔවුහු මහ හඬින් සිනාසුනහ.
නිවාඩු දිනවලත් සෑම ඉරිදා දිනකත් බම්බලපිටියේ වජිරාරාමයට යෑම උපාලි නොකඩවා කළ සිරිතකි. බොහෝ දිනවල අම්මා සමඟ මේ ගමන සිදුවිය. වජිරාරාමයේ මහානාම හිමියන්ගෙන් ධර්ම කාරණා ප්‍රගුණ කරගත් ඔහුගේ සිත බෞද්ධ සමාජ සේවා කටයුතුවලට යොමුවීය.
මේ අවධියේ වළානේ ශ්‍රී සුධර්මදාන සමිතියෙන් ජාත්‍යන්තර බෞද්ධ සඟරාවක් වූ ‘වෙසක් සිරි සර’ සංග්‍රහය නිකුත් කරමින් තිබිණ. සිංහල - ඉංග්‍රීසි - දෙමළ භාෂා තුනෙන් නිකුත් වූ මෙම බෞද්ධ සංග්‍රහයේ වටිනාකම ගැන සිත් යොමු කළ පුංචි උපාලි මෙයට තමාත් සහභාගි විය යුතු යැයි සිතුවේය. මුදලින් මෙයට ආධාර කරන්නට ඉදිරිපත් වුවත් අතේ මුදල් නැති විය. නෑදෑයන් හා හිතවතුන් සමඟ කථා කළ ඔහු 1948 දී රුපියල් විසිඅටක් එකතු කර දුන්නේය. තවද 1949 වර්ෂයේදී රුපියල් පනහකින් ආධාර කළේය. මෙය මේ සංග්‍රහයට කුඩා දරුවකු විසින් ලබා දුන් වැඩිම මුදල විය.
රාජකීය ප්‍රාථමික විද්‍යාලය පළකළ ‘ගේට් වේ’ නම් සංග්‍රහයේ 1948 කලාපයේ උපාලි විජයවර්ධන නමින් පළකොට ඇති කව් පෙළ නම් කර ඇත්තේ “මගේ සැනසීම” යනුවෙනි. දස හැවිරිදි වියේ දරුවකු ලෙස එදා ඔහුගේ සිතුවිලි කුමන ආකාරයක පැවතියේද යන්නට ඒ කව් පෙළ හොඳම උදාහරණයකි.
මම මගෙ ගේ සරසන්නේ
වෙසක් එකට එළි දෙන්නේ
විදුලි පහන් දල් වන්නේ
ඉන්පසු මම සැන සෙන්නේ
හැම අංශයකම විහිද පැතිර ගිය දක්ෂතා ඇති පුද්ගලයකු ලෙස අනෙක් මිතුරන් අතරත් උපාලි ගැන හැඟීමක් ඇති වන්නට විය. ඉගෙනීමට හා ක්‍රීඩාව, සංගීතය, ශාස්ත්‍රීය කටයුතු අතින් උපාලි කැපී පෙනෙන්නට විය. හැරල්ඩ් ජෝන් හා උපාලි අතර පැවති මල්ලව පොර තරගයේදී පාසලේ අනෙක් සගයන් විස්මයට පත් කරමින් උපාලි ජය ගත්තේය. ඒ වන විට හැරල්ඩ් ජෝන් හැඩි දැඩි පුද්ගලයකු මෙන්ම උපාලිට වඩා බරින් රාත්තල් විසි අටක් වැඩි වූවෙකි.
***************
ශ්‍රී ලංකාවට නිදහස ලබන මොහොතේදී රටේ හැම තැනකම උත්සව පැවැත්වුණි. පුවත්පත්වල නිදහස හා සම්බන්ධ විවිධ ලිපි ලේඛන පළ විය. 1948 වසරේදී උපාලිගේ පන්ති භාර ගුරුවරයා වූ දයා බණ්ඩාරනායකට හොඳ අදහසක් පහළ විය.
“නිදහස ගැන කියා දෙන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් ඇති කරන්න ළමයින්ට ඡන්ද ක්‍රමය උගන්වන්න ඕනෑ. අපි පන්තියේ ඡන්දයක් තියල මන්ත්‍රීවරයකු තෝරන්න ඕනෑ. මෙය පුංචි දරුවන්ට ලොකු විනෝදයක් ඇති කළ හැකියි. මන්ත්‍රීවරයා තෝරන්නේ දේශපාලන පක්ෂවලින්.”
අපේක්ෂකයෝ ඉදිරිපත් වූහ. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලෙස ඉදිරිපත් වූයේ උපාලි විජයවර්ධන ය. මන්ත්‍රී තෝරන්නේ රහස් ඡන්දයෙනි. ඡන්ද නිලධාරියා එකින් එක ගණන් කළේය. ප්‍රතිඵල ප්‍රකාශ විය. “උපාලි විජයවර්ධන එක්සත් ජාතික පක්ෂය, වැඩි ඡන්දයෙන් මන්ත්‍රී ධූරයට පත්වී තිබෙනවා.” සියලු දෙනාම අත්පොළසන් දී නව මන්ත්‍රීවරයා පිළිගත්හ. 1948 රාජකීය ප්‍රාථමික පාසලේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වූ උපාලි 1978 සිට 1983 කාලය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙතැයි බොහෝ දෙනා සිතූහ. සැක පහළ කළහ. බොහෝ දෙනා බියට පත්වූහ.
අකුරැස්ස ආසනයට තිබූ ඡන්ද විමසීමට දොස්තර වික්‍රමසිංහගේ බිරිය වූ ඩොරින් වික්‍රමසිංහ සමඟ උපාලිගේ මාමා වූ සරත් විජේසිංහ තරග වැදුණි.(දොස්තර වික්‍රමසිංහ සරත් විජේසිංහගේ මස්සිනා විය) මේ කාලයේ මිරිස්වත්ත වලව්ව ගම්වැසියන්ගෙන් පිරී යන්නට විය. ඡන්දය සමීපවත්ම මුළු දවස පුරාම හාල්ගෝනි කිහිපයක බත් මුට්ටි කුස්සියේ ඉදුණු හැටි උපාලිගේ සොහොයුරියන් දෙදෙනා සිහි කරන්නේ ලොකු විනෝදයකිනි.
මිරිස්වත්ත වලව්වේ මැද සාලේ ඇති දිග මේසය උදේ සිට සවස් වනතුරුම කෑම කන මිනිසුන්ගෙන් පිරී තිබිණ. කුස්සියේ වැඩ කිරීමට මිනිස්සු හතළිහක් පනහක් පමණ එක්වූහ. ගෙදරට පැමිණි ඡන්ද දායකයන්ගෙන් භාගයක් සරත් විජේසිංහ මහතාට ඡන්දය දුන්නේ නම් නිසැකවම ජයග්‍රහණය කරන්නට තිබුණි. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරද්දී උඩින් ඇඳගෙන සිටි කොළපාට කමිසය ගලවා යටින් වූ රතුපාට කමිසය මතුවූ අයුරු ඔවුන්ට තවම මතකය. ඡන්ද ප්‍රතිඵලවලින් නිසැකවම තම මාමා ජය ගනු ඇතැයි සිතූ උපාලි පන්තියේ මිතුරන් සමඟ නිතර කතා කළේය. එක් මිතුරෙක් සරත් විජේසිංහ මහතා පැරදුණු බව ස්ථිරව කීවේය.
“මොනවද ඔට්ටු අපේ මාමා දිනනවා.”
“රුපියල් දෙකක් ඔට්ටුයි. සරත් විජේසිංහ දිනන බවට උපාලි රුපියල් දෙකක ඔට්ටුවක් ඇල්ලුවේය.
උපාලිගේ රාජකීය විද්‍යාලීය ජීවිතය පිළිබඳ අමුතු තොරතුරු රැසක් අභාවප්‍රාප්ත ජන නායකයකු වූ එසේම රාජකීය විද්‍යාලයේ උපාලි සමඟ ඇසුරු කළ මිතුරකු වූ ලලිත් ඇතුළත්මුදලි මා සමඟ ප්‍රකාශ කළේය.
“උපාලි මට අවවාද කරල ලියුමක් එවල තිබුණා”උපාලි ගැන ලලිත් ඇතුළත්මුදලි මුලින්ම කීවේ එයයි. “මම එංගලන්තයට ගියේ උපාලිට වැඩිය අවුරුදු දෙකක් පහුවෙලා. උපාලි 1953 දී ගියා මම ගියේ 1955 දී. මම එංගලන්තයට ඉගෙන ගන්න යන බව දැනගෙන මට උපාලි අවවාද කරල ලියුමක් එවල තිබුණා. එංගලන්තය මේ වගේ රටක්, ලංකාවේ ළමයින්ට එංගලන්තයේ මේ වගේ ප්‍රශ්න තිබෙනවා. මෙහේ ආවම ඉන්න ඕන මේ විදියට කියලා ලොකු අවවාද ගොඩක් ලියුමෙ තිබුණා. ඇත්තටම ඒ අවවාද මට ලොකු උපදේශයක් වුණා. නොදන්නා රටකට ගිහින් ඉන්න ඕන විදිය ලියමනේ තිබුණා. අදත් උපාලි දුන් අවවාදවල වටිනාකම මම සිහි කරනවා. ඒ කාලේ මට මේ තරම් උපදේශයක් දෙන්න තරමට උපාලියි මමයි හිතවත් වුණේ අපේ පුංචිම දවස්වල ඉඳලා.
උපාලිට වැඩිය මම පන්තියක් ඉහළින් හිටියත් අපි හැමදාම එකතු වුණා. මගේ ගේ තිබුණෙ ෆ්ලවර් ටෙරස්වල. උපාලිගෙ ගේ තර්ස්ටන් පාරෙ. මේ අතරෙ අද තියන පස්වන පටුමඟ එදා ගෙවල් නැති පාළු පැත්තක්. මෙතැන පිට්ටනියෙ තමයි අපි සෙල්ලම් කළේ. මම හැමදාම වැටෙන් පැනල එනතුරු උපාලි බලාගෙන ඉන්නවා. අපිට තවත් යාළුවො කීප දෙනෙක් හිටියා. කොච්චර සෙල්ලම සඳහා හිත ගියත් උපාලිට වැඩියෙන්ම හිත ගියේ අශ්වයන්ට. ඉඳල හිටල අපි එක්ක සෙල්ලම් කිරීම නවත්තල උපාලි රේස් කෝස් එකට දුවල යනවා.
“පුංචි කාලෙ අපි එක් එක්කෙනා ලොකු වුණාම කරන දේවල් ගැන කතා කළා. මම කිව්වා මම කවදහරි නීතිඥයෙක් වෙනව කියල. උපාලිගෙ වාරය ආවම උපාලි කල්පනා කරල කිව්ව, මම රස්සාවක් කරන්නෙ නෑ. මම ලක්ෂපතියෙක් වෙනවා.”
ඒ කතාවට අපි ඔක්කොම හිනා වුණා. අපේ මිත්‍රයෙක් ඇහුවා වයස කීයෙදිද කියලා. අවුරුදු විසිහය වෙනකොට මම ලක්ෂපතියෙක් වෙනව කියලා උපාලි කිව්වා. ඒ අනාවැකිය හරියටම හරි ගියේය. එහෙත් වයස් සීමාව වසර කීපයකින් වෙනස් විය. අපේ යාළුකම මම හිතන්නෙත් උපාලි අපේ තාත්ත එක්ක තිබුණ හිතවත්කමයි. හැමදාම වගේ උපාලි අපේ ගෙදර එනවා - තාත්තත් එක්ක කථා කර කර ඉන්නවා. දවසක් උපාලි අපේ තාත්තට කිව්වා, රෝයල් එකෙන් අස්වෙලා ලන්ඩන් යන ගමනට අම්මා ටිකක් අදිමදි කරනව කියලා. උපාලිගෙ අම්මා උපාලිට හරි ආදරෙයි. පුංචි වැඩි නිසා එංගලන්තයට යවන්න බයක් තිබුණා. අපේ තාත්ත කිව්වා මම අම්ම එක්ක කථා කරන්නම් කියල. ඉන් පස්සෙ උපාලිට එංගලන්තයට යන්න ලැබුණා.
උපාලි පුංචි කාලෙ සෙල්ලමට වගේ යාළුවො එක්ක ඉන්නත් හරි කැමැත්තක් දැක්වූවා. ඒ වුණත් කවදාවත් ඉදිරියට ගිහින් කැපිල පේන්න මතුවෙලා ඉන්න ආසාවක් තිබුණෙ නෑ. තමන්ගෙ පාඩුවෙ හෙමින් හෙමින් වැඩ කිරීම එයාට පුරුදු වූ ගතියක්. පසු කාලයේ උපාලි දේශපාලනයට එනව කියල ආරංචිය ලැබුණා. මම පුදුම වුණා.
ඉස්කෝලෙ සමිති සමාගම්වලට බැඳිල වැඩ කරන්නවත් ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ. ලොකු උනන්දුවක් තිබුණෙ ඡායාරූප සංගමයට. එතැනදි මමත් එයාට උදව් කළා. මම ඉදිරිපත්වූ හැම විටකම උපාලි මට උදව් කළා.” ලලිත් ඇතුළත්මුදලි තම පැරැණි හිතවතා ගැන දැඩි ඇල්මකින් කතා කළේය.
රාජකීය විදුහලේ ඉගෙන ගනිද්දී උපාලිගේ සිත තදින්ම බැඳගත් දෙයකි අශ්වයන් බැලීම. පාසලට අල්ලපු වත්තේ පිහිටි රේස් කෝස් එකේ දුවන අසුන් බලා සතුටට පත් නොවූ ඔහු වාර්ෂිකව ගාල්ලේ බූස්සේ රේස් බලන්නට ද ගියේ ය. එක් වරක් මිතුරන් ද පිරිවරා ගෙන බූස්සේ ගිය උපාලි රේස් නිමවූ විට අවට පළාත්වල ඇවිදීමට ගියේය. මේ කාලයේ සුදු ජාතිකයන්ට අයිති වූ නාකියාදෙනිය වත්ත මේ පිරිසගේ සිත තදින්ම ඇද බැඳගත් දර්ශනයක් විය.
පිළිවෙළකට වගා කළ නාකියාදෙනිය වත්ත අක්කර දහ අටදාහක් පමණ විය. ගාලු පළාතේ තිබූ හොඳම දර්ශනයක් වූ මෙය ලංකාවේ හොඳම වතු අතර මුල් තැනක් හිමිකර ගත්තක් විය. මෙය නැරඹීමෙන් ලොකු සතුටක් විඳි ඔවුහු එහි දිනක් ගත කළහ.
“මොකද බර කල්පනාවක වගේ.”
නාකියාදෙනිය වත්තේ හැඩ වැඩ බලමින් සිටි උපාලිගෙන් එක් මිතුරෙක් ඇසීය.
“මම කවද හරි මේ වත්ත සල්ලිවලට ගන්නවා. ඒකයි මම කල්පනා කළේ.” මිතුරෝ හඬ නඟා සිනාසුනහ.
එහෙත් එදායින් අවුරුදු විස්සක් යන්නට පෙර උපාලි නාකියාදෙනිය වත්තේ අයිතිකරු විය.
තවත් කොටසක් ලබන සතියේ