මොහාලි පරාජය සමඟ ටෙස්ට් තරප්පු පෙළෙන් පියවර තුනක් පසුපසට | Page 2 | සිළුමිණ

මොහාලි පරාජය සමඟ ටෙස්ට් තරප්පු පෙළෙන් පියවර තුනක් පසුපසට

- ලකුණු නොලබා දැවුණු ශ්‍රී ලංකා පිතිකරුවන් හයක් 
- ටෙස්ට් තරගයක් දින පහක් ක්‍රීඩා කළ නොහැකි ප්‍රවීණයන් ගැන අවධානය

ඉන්දියාවේ ටෙස්ට් තරග සංචාරයකට යනවා කියන්නේ ඉස්සරනම් විනිශ්චයේ දෝෂ හේතුවෙන් නියත පරාජයකට හිමිකම් කීමකැයි කිව හැකිය. එහෙත් දැන් එසේ නොවේ. එහෙත් ඉන්දීය ක්‍රීඩාංගණ සතු වාසිය ද උකහාගත් කල ඉන්දියාවේ දී ඉන්දියාව පරාජය කිරීම අසීරුය. එසේ කියා ඉන්දියාවේ දී ඉන්දියාව පරාජය කරන්නට ලොව ප්‍රබල ක්‍රිකට් රාජ්‍යයන් සැමවිටම අපොහොසත් වන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාව විෂයේ නම් කියන්නට ඇත්තේ ඊට වෙනස්ම කතාවකි. මෙවර ඉන්දීය ටෙස්ට් සංචාරයට දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම ගියේ ‘අමතක කරලමු පැරණි කතා‘ යැයි නොකියා පවසමිනි. එහෙත් දිමුත්ලා ගේ කණ්ඩායමට ද පළමු ටෙස්ට් තරගය අවසන් වනවිට සිදුවූයේ පැරණි කතාවලට ලජ්ජා සහගත ලෙස අවනත වන්නටය. ප්‍රවීණයන් කුමකට ද යන්න යළිත් මතු කළ තර්කයක් බවට පත්වූ මොහාලි ටෙස්ට් තරගය ගැන ය මේ. ‘

අවසානයේ සටහන් කිරීමට හැක්කේ පැරණි කතාව ම ය . ඒ අතීතයේ සිදු වූ අයුරෙන්ම පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වීමටත් පෙර ශ්‍රී ලංකාව මොහාලි හි දී ඉනිමකින් පරාජය වූ බවය. මෙම පරාජයත් සමගින් ජගත් ටෙස්ට් ශුරතා ලකුණු සටහනේ ආරම්භයේ දී ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකාව තෙවැනි පඩිය දක්වා පසු බැස්සේ ය. එහි ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයටත් පාකිස්තානය දෙවැනි ස්ථානයටත් ශ්‍රේණිගතව ඇත.

ඇරඹුමේ වැරදීම

මොහාලි ටෙස්ට් තරගයට අප කණ්ඩායමක් ලෙස අවතීර්ණ වූයේ නම් දැරූ වේග පන්දු යවන්නන් තිදෙනෙකු හා එකම එක නිත්‍ය දඟ පන්දු යවන්නෙකු ද සමඟිනි. ඒ අනුව අපි ආරම්භයේ දී ම මොහාලි තණතීරුව කියැවීමට අපොහොසත් වූ බව පැහැදිලිය. එය එසේ නිවැරදිව කියැවූවා නම් අප තවත් නම් දෑරු දඟ පන්දු යවන්නකු ගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගන්නේ ය.

තරගයේ දී වේග පන්දු යවන ළහිරු කුමාර ආබාධයට ලක්විනි. ඉන්දියාවේ මැද පෙළ හා පසු පෙළ පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාලනය කිරීමට පටන් ගත් හ. එයින් තහවුරු වුණේ නම් දැරූ පන්දු යවන්නන් සිව් දෙනෙකු සමග පමණක් තරග වැදීමේ තීරණය නිවැරදි නොවන බව ය.

රවින්ද්‍ර ජඩේජා (නොදැවී ලකුණු 175), රවිචන්ද්‍රන් අශ්වින් 61, මොහොමඩ් සාමි (නොදැවී 20) ලෙස ඔවුන්ගේ අංක 07,08 හා 10 යන පිතිකරුවන් තරගය අත නොහැර ලකුණු අතරට පැමිණිය හ. ඒ අනුව 574/8 ක් ලෙස යෝධ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඉන්දියාව සමත් වූයේ ය.

නාය යාම ඇරඹෙයි

ශ්‍රී ලංකා මුල් ඉනිමේ ලකුණු රැස් කිරීම දෙස බලන විට නම් දැරූ පිතිකරුවන් වූ නායක දිමුත් 28, ළහිරු තිරිමාන්න 17, ඇන්ජලෝ මැතිව්ස් 22, චරිත් අසලංක 29 ක් රැස් කර තිබිණි. එහෙත් ඔවුන්ගේ ඉනිම් ටෙස්ට් තරගයකට කිසිසේත්ම ප්‍රමාණවත් නැත. එමෙන්ම මුලින්ම දැවී ගිය කඩුලු පහම පාදයෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාම අමතක කළ නොහැක.

සියලු පිතිකරුවන් අතර පැතුම් නිශ්ශංක ගේ ඉනිම අමතක නොකළ යුතු ය. මෙවර තම සුපුරුදු ආරම්භක ස්ථානයේ සිට අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි ඔහු තවත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීමට තමන් සූදානම් බව දක්වමින් තමා වටා සිටි සියලු පිතිකරුවන් දැවී යද්දී හුදෙකලා සටනක නිරතවෙමින් ලකුණු 61 ක් රැස් කළේ ය. ඒ සඳහා පසුපෙළ පිතිකරුවන්ගෙන් සහායක් නොලැබිණි.

ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන් හා ඉන්දීය පසු පෙළ පිතිකරුවන් අතර ඇති වෙනස මෙම තරගයේ දී හොඳින් දැක ගැනීමට ලැබිණි. කඩුල්ලේ රැඳී සිටිමින් තම කණ්ඩායමේ ලකුණු තත්ත්වය හැකිතාක් ඉහළට රැගෙන යනවා වෙනුවට ශ්‍රී ලංකාවේ පසු පෙළ පිතිකරුවන් තම කඩුලු විසි කරමින් ක්‍රීඩා කිරීම මෙහිදීත් කැපී පෙනිණි.

ලකුණු 174කට මුල් ඉනිම බිඳ වැටීමෙන් පසු ලකුණු 400 ක් පසුපසින් සිට තම දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල තෙවැනි දිනය නිමා වන්නටත් පෙර ලකුණු 178කට දැවී ගියේ තරගයේ තවත් දින දෙකකට වැඩි තරග කාලයක් ඉතිරිව තිබිය දී ය.

මෙවර රවිචන්ද්‍රන් අශ්වින් තවත් කඩුලු 04 ක් දවාලද්දී ය. “අශ්වින් මේ වනවිට සදාකාලික වීරයකු වී අවසන්. මේ වනවිට ඔහු ඉන්දියාව වෙනුවෙන් වසර ගණනක සිට ක්‍රීඩා කරනවා. ඔහු අවස්ථා කිහිපයක දී ම රටට ජයග්‍රහණ ලබා දී තිබෙනවා.” නායක රෝහිත් තරගයෙන් අනතුරුව තම දඟ පන්දු යවන්නාගේ දස්කම් අගය කළේ ය. මේ තරගයේ දී තම 436 වැනි ටෙස්ට් කඩුල්ල දවාලු අශ්වින් ඉන්දියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාලු පන්දු යවන්නන් අතර දෙවැනි තැනට පැමිණියේ ය. දැන් ඔහු සිටින්නේ කඩුලු 619 ක් ලබා සිටින අනිල් කුම්බ්ලේ ට පිටුපසිනි.

ශතකයක් හා කඩුලු නවයක්

ටෙස්ට් ඉනිමක ලකුණු සියයක් සමග එම තරගයේ දී කඩුලු නවයක් හෝ ඊට වැඩි ගණනක් දවාගත් ක්‍රීඩකයින් අතර මේ වනවිට ඉදිරියෙන්ම සිටිනුයේ සමස්ත තරගයේ 87/9 ලෙස කඩුලු දවාලූ රවින්ද්‍ර ජඩේජා ය. ඒ වැඩිම ලකුණු ගණන අතිනි. ෂකීබ් අල් හසන්, ඩැනියල් විටෝරි, ඇලන් ඩේවිඩ්සන්, රවිචන්ද්‍රන් අශ්වින්, ඉම්රාන් ඛාන්, ඉයන් බොතම් මෙම කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

මෙම පරාජය ද සමගින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී ටෙස්ට් තරග 21කට මුහුණ දී එකම ජයග්‍රහණයක් හෝ නොමැතිව ලැබූ පරාජයන් ගණන 12 දක්වා ඉහළ ගියේය. මෙම තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හය දෙනෙකු ලකුණු නොලබා දැවී ගිය අතර මුල් ඉනිමේ අංක 08,09,10,11 යන පිතිකරුවන් සිව් දෙනාම දැවී ගියේ ලකුණු නොලබා වීම විශේෂයකි.

Comments