
- ජගත් කාන්තා දිනය දා හාලිඇළ 18 හැවිරිදි සිසුවිය ඝාතනය වූ හැටි
- ඝාතනය වූයේ හාලිඇළ දෙමළ මහා විද්‍යාලයේ සිසුවියක්
- ඝාතකයා සිසුවියගේ නිවෙසට යාබද තරුණයෙක්
ලෝක කාන්තා දිනය යෙදී තිබුණේ පසුගිය මාර්තු 08 වැනිදාටයි. එදින කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමාජීය වශයෙන් මුහුණ දෙන ගැටලු ආදී නොයෙක් දෑ ගැන බොහෝ සේ කතාබහට ලක්වූයේ විවිධ උත්සව ආදියද සංවිධානය කරමිනි.
එලෙස කාන්තා දිනය සැමරෙද්දී එදින යොවුන් වියට පා තබමින් සිටි යුවතියක කුරිරු ලෙස පොරෝ පහරකින් ඝාතනය කර තිබුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ පොලිස් වසමේ, උඩුවර වත්ත පහළ කොටසේදියි.
ඇය, 18 හැවිරිදි ධර්මරාජා ලිදියායි. දෙමෝදර, හතේ කණුව, උඩුවර වත්ත පහළ කොටස, ජන උදානගම ලයිම් නිවාසවල විසූ ලිදියා හාලිඇළ දෙමළ මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ සිප්සතර හදාරමින් සිටියාය. ඇය කාන්තා දිනයදාම අමානුෂික ලෙස ඝාතනය කර තිබුණේ තවත් අහස පොළොව නුහුළන අපරාධයක් සනිටුහන් කරමිනි. ලිදියාගේ ඝාතකයා ඇගේ නිවෙසට යාබද නිවෙස් දෙකකට එපිට නිවෙසක වාසය කළ 32 හැවිරිදි රාමයියා දිවාකරන් නමැත්තායි. ඔහු ලිදියා සමඟ ප්‍රේම සබඳතාවකට උත්සාහ කළත් ඊට ලිදියා සහ ඇයගේ පවුලේ උදවිය දැඩි ව විරෝධය පළ කළේ ලිදියා තවමත් අධ්‍යාපනය හදාරන පාසල් සිසුවියක්ව සිටි හෙයිනි.
ලිදියාගේ මව මුත්තුරාජ් මලර්ය. පියා 56 හැවිරිදි කරුපයියා ධර්මරාජාය. දෙදෙනාම උඩුවර වත්ත තේ ඉඩම්හි කම්කරුවන් ලෙස රැකියාවේ නියුතුව සිටියහ. ලිදියාට වැඩිමහල් සහෝදරයෙක් වේ. ඔහු බදුල්ල නගරයේ හෝටලයක රැකියාව කළේය. හාලිඇළ දෙමළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ලිදියා ඉගෙනීමටද හපන්කම් පෑවාය. ඊට අමතරව ඇය පාසලේ බාලිකා ශිෂ්‍ය භට කණ්ඩායම ද නියෝජනය කළ සිසුවියකි. 12 ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි ඇය ලබන වසරේ අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව සිටියාය. ඇයගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ උසස්පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් දිනා ගැනීම බව ඇයගේ දෙමාපියෝ හඬා වැටෙමින් පැවැසූහ.
පාසල් සිසුවියක වුවත් ලිදියාගේ රූ සපුව යෞවනත්වයේ පසුවන මනරම් යුවතියක් බඳුය. වැඩිදුර අධ්‍යාපනයක් නොලත් රාමයියා දිවාකරන් 32 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. ලිදියාගේ නිවෙසට යාබද නිවෙස් දෙකකට එපිටින් නිවෙසේ වූ දිවාකරන් හාලිඇළ, 7 කණුව හෝටලයක කම්කරුවකු ලෙස සේවය කළේය. ඔහුගේ දෙමාපියන්ද උඩුවර වත්තේ කම්කරුවන්ය. දිවාකරන්ට බාල සහෝදරයෙක්ද විය.
රූමත් පෙනුමකින් යුත් ලිදියා දකින වාරයක් පාසා දිවාකරන් සිතුවේ ඇය හා ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගැනීමටයි. ඒ සඳහා මීට වසරක පමණ කලෙක සිටම දිවාකරන් නොගත් උත්සාහයක් නොමැත. ඊට දෙදෙනා අතර වූ අවුරුදු 15ක පමණ තරම් වූ වයස් පරතරය ගැන ද දිවාකරන් නොසිතුවේය. එහෙත් ඊට ලිදියාගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. ඇය දිවාකරන්ට කිසිදු කැමැත්තක් නොදැක්වූවාය. ඒ නිසාවෙන්ම අසල්වාසි නිවෙස්හි වාසය කළත් ලිදියාට, දිවාකරන් වහකදුරු මෙන් විය.
දිනක් ලිදියා, ඇය සමඟ දිවාකරන් ප්‍රේම සබඳතාවකට උත්සාහ කරන බව සිය දෙමාපියන්ටද පැවැසුවාය.
“අම්මේ මට දිවාගෙන් බේරෙන්න බෑ. ඒකා මාත් එක්ක යාළු වෙන්න එනවා. මං යන හැමතැනම පස්සෙන් එනවා. මට ලැජ්ජාවේ බෑ. සමහරදාට ඉස්කෝලේ ගාවටත් එනවා.“
ඒත් සමඟ ලිදියාගේ දෙමාපියෝ ද දිවාකරන්ට දැඩි විරෝධයක් පාන්නට වූහ. විශේෂයෙන්ම ලිදියා තවම අධ්‍යාපනය ලබන දරුවකු හෙයින් එම විරෝධය තව තවත් තීව්‍ර විය.
2021 අගෝස්තු මාසයේ දිනක් ලිදියාගේ දෙමාපියන් සහ දිවාකරන් අතර ගැටුමක්ද හට ගැනිණි. ඒ දිවාකරන් ලිදියාගේ ‘පස්සෙන්‘ ඒමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එදින දිවා විසින් ලිදියාගේ පියාට සහ සහෝදරයාට පිහියකින්ද කෙටුවේය. ඒ පිළිබඳ හාලිඇළ පොලිස් පොතේද පැමිණිල්ලක් සටහන් විය. එම පැමිණිල්ල පිළිබඳව හාලිඇළ පොලිසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමත් සමඟ නඩු විභාගයක්ද සිදු විණි.
එම නඩු විභාගය පසුව හාලිඇළ සමථ මණ්ඩලයට යොමු කිරීමත් සමඟ සමථ මණ්ඩලයෙන් දෙපාර්ශ්වය සමතයකට පත්කොට රුපියල් 50,000ක වන්දි මුදලක් ලිදියාගේ පියාට සහ සහෝදරයාට ගෙවීමටද දිවාකරන්ට නියෝග කළේය. ඒ වාරික දෙකකිනි. එහි පළමු වාරිකය ගෙවීමට නියමිතව තිබී ඇත්තේ මේ මස 13 වැනි ඉරිදා දිනයි.
මේ අතරේ දිවාකරන් නිතර සැක කළේ ලිදියා පාසල් මිතුරකු හා ප්‍රේම සබඳතාවක් පවත්වන බවටයි. එම ප්‍රේමය ඔහුට ලිදියා සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගැනීමට තිබෙන ලොකුම බාධාවක් බව ඔහු සිතූ වාර අනන්ත බව දිවාකරන් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනාවරණය විය.
ඉකුත් මාර්තු 8 වැනිදායි. එදින ලිදියා පාන්දර 6.30ට පමණ නිවෙසෙන් පිටත් වූයේ නිවෙසේ සිට කිලෝමීටර් හයක පමණ දුරින් හාලිඇළ නගර මධ්‍යයේ වූ හාලිඇළ දෙමළ මහා විද්‍යාලය කරා යාමටයි. සවස 1.30ට පමණ පාසල නිම වීමෙන් පසු ලිදියා බදුල්ල - බණ්ඩාරවෙල බස් රථයකට නැඟුණේ නිවෙස කරා යාමටයි. ඇය සුපුරුදු පරිදි බස් රථයෙන් බැස්සෙ උඩුවර වත්ත, හතේ කණුව බස් නැවතුමෙනි.
අනතුරුව ඇය ගමන් කරන්නට වූයේ නිවස කරා යාමට තිබෙන කඳුකර මාර්ගයක් වූ වලස්බැද්ද මාර්ගයේ පා ගමනිනි. බස් රථයෙන් බැස නිවෙසට කිලෝමීටරයක පමණ දුරක් යා යුතුය. එදින ඇගේ අවාසනාවේ මහිමය නම් බස් රථයෙන් බැස එම මාර්ගයේ ගමන් කිරීමට සිටියේ ඇය පමණක් වීමයි. මාර්ගය දෙපස තේ පඳුරුවලින් ගහණ තේ වත්තයි. ලිදියාට ගමන් කරන්නට හැකි වූයේ මීටර් 400ක් පමණ දුරකි.
සිත්පිත් නැති මාරයා ලිදියා ඩැහැගැනීමට මඟ රැක සිටියේය. තේ පඳුරු අස්සේ සැඟව සිටි එකී මාරයා වෙනකකු නොව දිවාකරන්ය. ඔහු එක්වරම ලිදියා වෙත කඩා පැන්නේ අත් පොරොවක්ද අතැතිව මාරාවේශයෙනි. ඒ සමඟම දෙදෙනා අතර බහින්බස් වීමක්ද සිදුවී තිබිණි. එය දුරදිග යාමත් සමඟ දිවාකරන් හිත්පිත් නැත්තෙකු සේ ක්‍රියාත්මක වූයේ අතෙහි වූ පොරොවෙන් ලිදියාගේ හිස දෙබෑ වෙන්නට පහරක් ගසමිනි. පාසල් නිල ඇඳුමින් සිටි ඇය ඇද වැටුණේ කුඩා කල සිට ආගිය මාර්ගය රුධිරයෙන් නහවමිනි. ඇයගේ ගෙළ ප්‍රදේශයට සහ හිසට පොරෝ පහර දුන් ඝාතකයා පොරොව තේ වත්තට විසිකොට පැන දිව්වේය.
සවස 2.30ට පමණ එම ස්ථානයෙන් දහවල් ආහාරය සඳහා ගමන් කරමින් සිටියේ උඩුවර වත්ත ලයිම් අංක 13හි කංකානම වන වේළු පෙරියසාමියි. ඔහු දුටු දෙයින් තුෂ්ණිම්භුත වී ගියේය. ලේ ගංගාවක් මැද වැටි සිටි ලිදියා අසලට ළංවූ පෙරියසාමිට ඇයව හඳුනා ගැනීමට ඒහැටි වෙලාවක් නොගියේ ලිදියා උඩුවර වත්තේ කා අතරත් හොඳ හිත දිනාගත් පාසල් සිසුවියක ලෙස ප්‍රචලිතව සිටි හෙයිනි.
“අනේ දෙවියනේ... මේ කරුපයියගේ දුවනේ...“ ඔහුට කියැවුණේ එපමණකි. වේළුසාමි ක්ෂණිකවම ලිදියාගේ මරණය සැල කර සිටියේ ලිදියාගේ පියා කරුපයියා සමඟ එක්ව සේවය කරන කරුපයියාගේ මිතුරකුටයි.
උඩුවර වත්ත පහළ කොටස මාර්ගයේ පාසල් සිසුවියක වන ලිදියා පාසල් නිල ඇඳුමෙන්ම ඝාතනය කොට සිටින වග අවට ගම් සිසාරා ලැව්ගින්නක් සේ පැතිර යන්නට ගත වූයේ නිමේෂයකි. මිනිත්තු ගණනක් ගතවෙද්දී ලිදියාගේ මළසිරුර වූ ස්ථානයට උඩුවර වත්තේ පමණක් නොව අවට ගම්වාසි සිය ගණනක් දෙනා රැස්වන්නට වූයේ ‘අනේ අපොයි‘ යැයි විස්සෝප වෙමිනි.
ඒ අතරේ 119 පොලිස් හදිසි ඇමැතුම් අංකය ඔස්සේ හාලිඇළ පොලිසියටද ලිදියාගේ ඝාතනය සැලවිණි. එසැණින් හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලකගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. දයානන්ද ප්‍රමුඛ නිලධාරින් එම ස්ථානය කරා ගොස් විමර්ශන ආරම්භ කෙරිණි. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බදුල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලද දැනුවත්කොට ඔහුගේ උපදෙස් මත ඝාතකයා සොයා පුළුල් විමර්ශනයක් ඇරැඹෙද්දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ලිදියාගේ ඝාතනය පිළිබඳව විමර්ශන සඳහා සොකො නිලධාරින් ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම යෙදවීමටද උපදෙස් දුන්හ. ලිදියා ඝාතනය දිවාකරන් විසින් සිදුකළ බව පොලිස් නිලධාරින් අනාවරණය කර ගැනීමත් සමඟ ඔහු සැඟව සිටි ස්ථාන සොයා පොලිස් නිලධාරින් පුළුල් මෙහෙයුම් සිදු කළේය. අවට සෝදිසියේදී ඝාතනයට යොදාගත් අත්පොරොවද තේ වත්තේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත් වූහ.
ඒ අතරේ ඝාතනයට පසුදින එනම් 9 වැනිදා පෙරවරුවේ ඝාතකයා බදුල්ල - කොළඹ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටින බවට පොලිසියට සැල වී තිබිණි. ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ක්‍රියාත්මක වෙමින් සිටියදී හාලිඇළ පොලිස් ස්ථානයට පැමිණි ලිදියාගේ ඝාතකයා පොලිසියට බාර වන්නට වූයේ ඔහුට වෙනත් ගැලවීමක් නොමැති වග දත් හෙයිනි.
“මං කෝචිචියට බෙල්ල තියන්න හැදුවේ සර්. ඒත් පස්සෙ හිතුණා පොලිසියට ගිහිල්ලා බාර වෙනවා කියලා. “
ලිදියාගේ ඝාතකයා පොලිසියට බාර වෙමින් පාපෝච්චාරණය කරන්නට වූයේ එවැන්නකි. හාලිඇළ පොලිස් අත්අඩංගුවට පත් සැකකාර දිවාකරන්ගෙන් පොලිස් නිලධාරින් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූයේ නිරපරාදේ ලිදියා ඝාතනය කළේ කුමක් නිසාද යන්න විමසමිනි.
“සර්... මට ලිදියත් එක්ක යාළු වෙන්න ඕන වුණා. එයාට නිතරම කිව්වා මට කැමැති වෙන්න කියලා. ඒත් ලිදියා මට කැමැති වුණේම නෑ. එයා මට අකැමැති නිසා මං පහුගිය ටිකේම හැසිරුණේ පිස්සෙක් වගේ සර්. මට ඇය නැතිවුණොත් කියලා ඉවසුම් නැතුව හිටියේ. ඒකයි සර් මගේ අතින් මේ දේ වුණේ. “
ලිදියාගේ ඝාතනයේ සැකකාර දිවාකරන් අත්අඩංගුවට පත් දිනම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට හාලිඇළ පොලිස් නිලධාරිහු කටයුතු කළහ. ඒ අනුව බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ රොනාලි අබේවික්‍රම විසින් සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළාය. පාසල් ශිෂ්‍යාවක වන ලිදියාගේ ඝාතනයට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය හාලිඇළ නගරයේදී ඉකුත් බ්‍රහස්පතින්දා දින විරෝධතාවකද නිරත වූහ.
අනාගතය ජයගන්නට වෙර වීර්යයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි ලිදියාගේ ඉරණම් ගමන කාන්තා දිනයද සමරන දින අවසන් වූයේ ඉතාම අවාසනාවන්ත ලෙසිනි. මිනිස් සමාජයේ මෙවැනි පාපතරයන් නිසා තරුණ දරුවන්ට අත්වන ශෝචනීය ඉරණම ඛේදනීයය.
මේ පිළිබඳ විමර්ශන බදුල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලකගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. දයානන්ද ඇතුළු පොලිස් සැරයන්වරුන් වන 1477 ජයසිංහ, 19803 රත්නපාල, 59200 ජයප්‍රකාශ්, 54262 කසිර්, පොලිස් කොස්තාපල්වරුන් වන 40922 එදිරිසිංහ, 74708 ඒකනායක සහ 78779 රාජපක්ෂ යන නිලධාරිහු සිදු කළහ.
ඡායාරූප - ආර්.එම්. විජේරත්න - හාලිඇළ සමූහ