අර්ධ ශතකයෙන් ඉක්බිතිව හදිසියේ නික්ම ගිය සියවසේ පන්දුව | Page 2 | සිළුමිණ

අර්ධ ශතකයෙන් ඉක්බිතිව හදිසියේ නික්ම ගිය සියවසේ පන්දුව

පා දඟ පන්දුවේ කුමාරයාණෙනි, සුබ රාත්‍රියක්

‘විවියන් කියන්නේ ක්‍රිකට් පිටියේ පතාක යෝධයෙක්. අපට අනුව නම් අපි නොදැක්ක බ්‍රැඩ්මන්ටත් වඩා නූතනවාදී ක්‍රිකට් ක්‍රීඩකයා විවියන් රිචඩ්ස්. පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකර පිටිය සිසාරා පන්දුවට පහර දුන් මේ කළු රැවුල්කාරයා අපූරු චරිතයක්. සති හතක් පුරා ඔහුගේ ජීවිතය ගැන සංක්ෂිප්තව ලියන එක ලෙහෙසි නෑ. මේ ලියැවිල්ලට හසුකර ගත්තෙත් ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂී සංසිද්ධි කීපයක් පමණයි. මේ එහි අවසන් දිගහැරුම.’

පසුගිය සතිය ලොව පුරා ක්‍රිකට් රසිකයන් කම්පාවට පත් කළ සතියක්. ලෝකයේ බොහෝ ක්‍රිකට් රසිකයන්ටත් වඩා ඒ කම්පනය වඩාත් තදින් දැනුණේ ඕස්ට්‍රේලියානුවන්ට. ඕස්ට්‍රේලියාවෙන් බිහි වුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් වන රොඩ්නි මාෂ් සහ ෂේන් වෝන් දෙදෙනාගේ වියෝව ඒ කම්පනයට හේතු වුණා. ඒ අතරින් ෂේන් වෝන්ගේ හදිසි වියෝව ඕස්ට්‍රේලියානුවන් තරමට ම ශ්‍රී ලාංකිකයන් වුණු අපටත් දැනුණා. අවුරුදු 52 ක් කියන්නේ ජීවිතයෙන් සමුගන්න තරම් වයසක් නොවුණත් ෂේන් වෝන්ට ක්‍රිකට් ලෝකය වගේ ම සිය දිවි ගමන ද නිමා කරන්න සිදු

වුණේ හදිසියේ ඇති වූ හෘදයාබාධය-කින්.

2004 සුනාමි අවස්ථාවේ වෝන් ශ්‍රී ලාංකිකයන් ගේ හදවත හොඳින් ම දිනා ගත්තා. ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ දුන්නු වෙලාවේ ෂේන් වෝන්ගේ හදවත කොතරම් තෙත් වුණා ද කිව්වොත් සුනාමියෙන් අවතැන් වුණු අපේ රටේ සීනිගම ප්‍රදේශයේ දරු දැරියන් දහස් ගණනකට ඔහු ආධාර උපකාර කළා. සුනාමියෙන් වැනසුණු ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාං-ගණය පිළිසකර කරන ව්‍යාපෘතියටත් ඔහු මුදල් පරිත්‍යාග කළා කියන එක රහසක් නොවේ.

මානව හිතවාදී මිනිසෙක් විදියට වෝන් අපේ හදවත් තුළ රැඳී සිටියත් ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්නෙක් විදිහට ඔහු අපේ ප්‍රබල සතුරෙක්. 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය හැරුණා ම ඔහු විසින් ශ්‍රී ලංකා පිතිකරණ ඉනිම් සුණුවිසුණු කළ අවස්ථාවන්ට උදාහරණ රාශියක් ම තියෙනවා.

වෝන්, ලොව බිහි වූ හොඳම පා දඟ පන්දු යවන්නා ලෙස සැලකෙනවා. දඟ පන්දු යවන්නන් අතර ඔහු ලෝකයේ දෙවැනි වන්නේ මුරලිදරන්ට පමණයි. නමුත් පන්දුව දඟ කවලා කඩුලු ගන්න ඔහු ළඟ තිබුණු උපක්‍රමශීලිත්වය අතින් ඔහු මුරලිදරන්ට වඩා ඉදිරියෙන් සිටියා.

වෝන්ගේ පෞද්ගලික ජීවිතය කියන්නෙත් වෙනම ම මාතෘකාවක්. ඔහුගේ සමහර වැරදි හැසිරීම් නිසා ඔහුට ක්‍රිකට් ජීවිතයේ අහිමි වූ තැනුත් බොහෝම යි. වරෙක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායකයා බවට පත් වුණු ඔහුගේ උප නායකත්වය පවා අහිමි වන්නේ එවන් හැසිරීමක් නිසායි. කණ්-ඩායමේ නායකත්වයට පවා සුදුසු ක්‍රීඩකයෙක් වුවත් ඔහුට ඒ අවස්ථාව පවා නොලැබී යනවා. නමුත් 2007 පළමු අයි.පී.එල්. තරගාවලියේ ශුරතාව දිනා ගන්නේ වෝන් නායකත්වය ලබා දුන් රාජාස්තාන් රෝයල්ස් කණ්ඩායමයි.

වෝන්ගේ හදිසි මරණය වෙනුවෙන් එංගලන්ත ජාතික කණ්ඩායම මිනිත්තු 2 ක නිශ්-ශබ්දතාවයක් පැවැත් වූවා. ඒ ඔහුට ගරු බුහුමන් කිරීමක් ලෙසයි. පසුගිය දා නිමා වුණු ඕස්ට්‍රේලියානු පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දවසෙහි රාවල්පිණ්ඩි ක්‍රීඩා පිටිය වෝන් වෙනුවෙන් සරසලා තිබුණා. ක්‍රීඩකයන් වගේ ම ‍ප්‍රේක්ෂකයොත් දෙවැනි දව-සට තරගය ආරම්භ කරන්නට පෙර සුළු මොහොතකට නිහඬ වෙලා වෝන්ව සිහිපත් කළා. ඒ වගේ ම ක්‍රිකට් ලොව දස දිගින් ම ඔහුගේ හදිසි

වියෝව වෙනුවෙන් ශෝක පණිවිඩ ගලා ආවා. ඒ අතර වෝන්ගේ ක්‍රිකට් දිවියේ ප්‍රබලම තරගකරුවා වූ මුත්තයියා මුරලිදරන් ද සිටියා.

“වසර ගණනාවක් ක්‍රිකට් ක්‍රීඩාවෙ මා සමඟ ඇසුරු කළ ෂේන් වෝන් මෙතරම් අඩු වයසක දී අප අතරින් සමු ගැනීම මාගේ බලවත් කම්පාවට හේතුවක්. පා දඟ පන්දු යැවීමේ කලාව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඔහු ගත් උත්සාහය මා බෙහෙවින් අගය කරනවා. සුනාමියෙන් පසු සීනිගම ගම්මානය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු මා හට කළ උපකාර අමතක කළ නොහැකි ය” යනු‍වෙන් මුරලි සිය ශෝකය ප්‍රකාශ කර තිබුණා.

වෝන් සාමාන්‍යයෙන් දඩබ්බර විනෝදකාමී ජීවිතයක් ගත කළ අයෙක් ලෙස ප්‍රසිද්ධයි. විනෝදකාමීත්වය, සෙල්ලක්කාරකම් නිසා ඔහුට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට හැකි වුණේ නැහැ. සිමොන් කැලහන් නම් වෝන්ගේ පළමු බිරිය ඔහුගෙන් වෙන් වන්නේ එක්තරා කාන්තාවකට වෝන් යැවූ ආදර පණිවිඩයක් වැරදීමකින් බිරියට යොමු වූ නිසා යි. ඉන්පසු ව ඔහු එංගලන්තයේ සුරූපි නිළියක් වන එලිසබත් හර්ලි සමඟ නැවත විවාහ වුණත් ඒ සම්බන්ධතාවත් වෝන්ගේ වැරදි හැසිරීමක් නිසා අහවර වෙනවා. අධික ලෙස ආහාර ගැනීම, දුම්වැටිය, මත්පැන්වලට ලොල් වූ දිවි-යක් ගත කිරීම වෝන්ගේ දිවියේ ප්‍රසිද්ධ වැරදි පුරුදු. වෝන් ක්‍රීඩා කරන කාලයේත් ආහාරවලට වැඩි වශයෙන් ඇබ්බැහි වී සිටීම, ඔහුගේ ශාරිරික යෝග්‍යතාවයට බාධාවක් ව පැවතුණා.

කෙසේ නමුත් වෝන් කියන්නේ සියවසක් ගත වුවත් ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන පුරාවෘත්තයක්. 1993 වසරේ වෝන් විසින් එංගලන්ත නායක මයික් ගැටිංව දවාගත් දඟ පන්දුව සියවසේ පන්දුව ලෙස අභිෂේක ලැබීම ඒ බව මනාව පසක් කරවනවා. 2006 ක්‍රිකට් පිටියෙන් සමුගත් ඔහු මිය යන තුරුත් ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කළා.

වෝන් හදිසියේ මිය යන්නේ තායිලන්තයේ දී යි. ඔහු මිය යන්නට පැය කිහිපයකට පෙර රොඩ්නි මාෂ්ගේ හදිසි අභාවය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙහි සංවේගය පළ කරන්නට ද කටයුතු කර තිබුණා. එපමණක් නොව ඔහු ගත කළ අවසන් රාත්‍රියේ ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සුබ රාත්‍රියක් යනුවෙන් සටහන් කර තිබුණා. අපිටත් ෂේන් වෝන්ට කියන්න තියෙන්නේ,

‘රන්වන් කෙස් සහිත සොඳුරු මායාකාරයාණෙනි, ඔබටත් සුබ රාත්‍රියක්.’

Comments