
සැකකරුගේ ඇපෑල මෙවරත් අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභයි
මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර හෙවත් මෙලිෂියා ගුණසේකර ඝාතනය වන්නේ 2014 පෙබරවාරි මස 2 වැනි ඉරු දින පෙරවරුවේ ය. තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල, සුභූතිපුර, ගැමුණු මාවතේ සිය දෙමහල් නිවෙසේ සිටියදී පිහි දෙකකින්ම ඇණ මෙල් ගුණසේකර අමානුෂික ලෙස ඝාතනය කර තිබුණේ පේන්ට් බාස් කෙනෙකු ලෙස කටයුතු කළ 42 හැවිරිදි අරුලාන්දු ඇන්තනි රැම්සන් ජෝර්ජ් නමැත්තා විසිනි.
පැය හතරක් වැනි කෙටි කාලයක් තුළදී විමර්ශන සිදු කළ තලංගම පොලිසිය සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් මෙල්ගේ ඝාතකයා හඳුනා ගැනීමට සමත් විය.
මෙරට පුවත්පත් ආයතනවල මෙන්ම විදෙස් මාධ්‍ය ආයතනවල ද සේවය කළ 40 හැවිරිදි අවිවාහක කාන්තාවක වූ මෙල් ගුණසේකර නමින් ප්රකටව සිටි ඇයගේ ඝාතනයෙන් වසර අටකට පමණ පසු නැවතත් ගෙවී ගිය සතියේ එකී ඝාතනය පිළිබඳ කරළියට පැමිණියේය.
ඇයගේ ඝාතනය පිළිබඳව ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැති වුවත් පරවේෂණීය සාක්ෂි මෙන්ම සීසීටීවී දසුන්හි වූ සාක්ෂි ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව දීර්ඝ නඩු විභාගයකින් පසු සැකකාර පේන්ට් බාස් ජෝර්ජ් හට 2017 ජූලි මස 05 වැනිදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 07 මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ විසින් මරණ දණ්ඩනය නියම කෙරිණි.
එහෙත් විත්ති කූඩුවේ සිට හඬා වැටුණු විත්තිකාර ජෝර්ජ් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. අනතුරුව ඔහුගේ නීතිඥයන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. ඉකුත් පෙබරවාරි 23 වැනි දින අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ ප්‍රභා කුමාරත්නම් විනිසුරු මඬුල්ල ඉදිරියේ එම ඇපෑල විභාගයට ගැනිණි.
එදින මුල් නඩු ගොනුව පරීක්ෂා කළ විනිසුරු මඬුල්ල 2017 ජූලි මස 05 වැනි දින මහාධිකරණ විනිසුරුවරයා විසින් නිසි ලෙස කටයුතු කරමින් දී ඇති දඬුවම තහවුරු කළේ විත්තිකාර පේන්ට් බාස් ජෝර්ජ් ඉදිරිපත් කර තිබූ ඇපෑල නිෂ්ප්‍රභ කරමිනි. ඒ අනුව ජෝර්ජ් හට මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරන ලද මරණ දඬුවම එලෙසම අනුමත කෙරිණි.
මෙල් ගුණසේකර මාධ්‍ය වෘත්තියට අමතරව පෞද්ගලික ආයතනයක ද විධායක නිලධාරිනියක ලෙස සේවය කළ තැනැත්තියකි. ඇය ජීවත් වූයේ සිය මවුපියන් සහ එකම බාල සොහොයුරා සමඟ බත්තරමුල්ල, සුභූතිපුර, දුටුගැමුණු මාවතේ දෙමහල් නිවෙසකය.
කතෝලික භක්තිකයන් වූ මෙල් ගුණසේකරගේ පවුලේ සැවොම සෑම ඉරු දිනකම උදෑසන රාජගිරියේ සිරිපොළ දෙව් මැදුරේ දේව මෙහෙයට සහභාගි වීම පුරුද්දක් කරගෙන සිටියහ. එහෙත් 2014 පෙබරවාරි මස 02 වැනි ඉරු දින පෙරවරු 6.50ට පමණ නිවෙසෙන් පිටවී දේව මෙහෙයට ගියේ මෙල් ගුණසේකරගේ මවුපියන් සහ සොහොයුරා පමණි. මෙල්, එදින දේව මෙහෙයට එක් නොවූයේ පෙර දින මාධ්‍ය චාරිකාවකට කොළඹින් පිට ගොස් අලුයම් කාලයේ නිවෙසට පැමිණීම නිසා වූ ගමන් විඩාව නිසාවෙනි.
මහල් නිවෙසක් වූ මෙල් ගුණසේකර විසූ නිවෙස වටා තාප්ප බැඳ ගේට්ටු දමා තිබූ අතර, ආරක්ෂාව සඳහා නිවෙසේ සුනඛයන් ද විය. දේව මෙහෙයට සහභාගි වූ පවුලේ උදවිය නිවෙසට පැමිණෙද්දී පෙරවරු 8.30 පසුවී තිබිණි. ඒ මොහොතේ නිවෙසට පැමිණි පිරිස දුටුවේ නිවෙසේ වූ සුනඛයන් නිවෙසට යන මාර්ගයේ සිටින ආකාරයකි. ගේට්ටුව ද හැර දමා තිබුණු අතර නිවෙසේ එක් දොරක් ද විවෘතව තිබිණි. ඉන් නිවෙසට ඇතුළු වූ නිවැසියන්ට නිවෙස තුළ අමුත්තක් දැනිණි. සෝදිසි කිරීමේදී මුළුතැන්ගෙය තුළ දුටු දසුනින් මෙල්ගේ මව විලාප දෙන්නට වූවාය.
මුළුතැන්ගෙය තුළ ලේ විලක් මැද වැටී සිටි මෙල් ගුණසේකර මරණයට පත්ව සිටියාය. ඇයගේ සිරුර පුරා පිහි පහරවල් රැසක්ම විය. උදරයේ එක් තැනෙක වූ පිහි පහරක් සමඟ කැඩුණු පිහි කැබැල්ලක් ද පෙනෙන්නට තිබිණි.
එම හද කම්පා කරවන දසුන දුටු නිවැසියන් සැණින් ඇමැතුවේ තලංගම පොලිස් ස්ථානයයි. තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින් දැනුවත් කිරීමත් සමඟ එවකට බස්නාහිර දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි සුමිත් එදිරිසිංහ විසින් තලංගම පොලිසියට අමතරව විමර්ශන සඳහා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ද කැඳවීය.
සැණින් ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරින් මෙල්ගේ ඝාතනයෙන් පැය හතරක් වැනි කෙටි කාලයකදී ඝාතකයා අනාවරණය කරගැනීමට සමත් විය. ඔහු මෙල් ගුණසේකරගේ නිවෙසේ නත්තලට පෙර තීන්ත ආලේප කිරීමට පැමිණි පේන්ට් බාස් ය.
වත්පොහොසත්කමින් හෙබි පවුලක් වූ මෙල්ගේ පියා විසින් සෑම නත්තලකටම පාහේ නිවෙසේ තීන්ත ආලේප කිරීම සිදු කෙරිණි. ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු ලෙස සේවය කළේය. මෙල්ගේ පියාට සිය නිවෙසේ තීන්ත ආලේප කිරීම සඳහා එවර පේන්ට් බාස් කෙනෙකු සොයා දී තිබුණේ ඔහු සේවය කළ ආයතනයේම කම්කරු සේවයෙහි නිරත කාන්තාවකි. ඒ ඇයගේ වැඩිමහල් සහෝදරයෙකි. එම කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා අරුලාන්දු ඇන්තනී රැම්සන් ජෝර්ජ්ය. දොම්පේ පදිංචිකරුවකු වූ ජෝර්ජ් තිදරු පියකු වන අතර, ඔහු මසකට ආසන්න කාලයක් මෙල්ගේ නිවෙසේ නතර වී තීන්ත ආලේප කළේය.
මෙල්ගේ ඝාතනයෙන් කෙටි කාලයක් තුළදී පොලිස් විමර්ශන නිලධාරින් ඇයගේ ඝාතකයා හඳුනා ගත්තේ නිවෙසට යාබදව පිහිටි නිවෙස වූ වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයකු වන ප්‍රියත් බන්දුගේ නිවෙසේ වූ සීසීටීවී කැමරා පරීක්ෂාවෙනි. එම සීසීටීවී කැමරාවෙහි මෙල්ගේ මවුපියන් පල්ලියට ගොස් සිටි කාලය තුළදී එනම්, එදින පෙරවරු 7.25ට පමණ කහ පැහැති ටී ෂර්ටයක් සහ නිල් පැහැති ඩෙනිම් කලිසමක් ඇඳගත් පුද්ගලයෙක් මෙල්ගේ නිවෙස දෙසට එන ආකාරයක් දිස්විණි. අනතුරුව පෙරවරු 7.39ට පමණ එම පුද්ගලයා නිල් පැහැති අත්කොට කමිසයකින් සහ කළු පැහැති දිග කලිසමක් ඇඳ නැවත යන ආකාරයක් ද සටහන් වී තිබිණි. එසේම එම පුද්ගලයා අතෙහි මුලින් නොතිබූ නිල් ඉරි සහිත ඉටි බෑගයක් ද විය. එම සීසීටීවී දසුන් දුටු මෙල් ගුණසේකරගේ මවුපියන් සහ සහෝදරයා ක්ෂණයෙන් එම පුද්ගලයා හඳුනාගත්තේ නිවෙසේ තීන්ත ආලේප කිරීමට පැමිණි පුද්ගලයා ඔහු බව පවසමිනි. එසේම මෙල්ගේ සහෝදරයා විසින් එම පුද්ගලයා දෙවැනි වර සීසීටීවී දසුන්හි ඇඳ සිටි ඇඳුම් තමා පෙර දින ඇඳ සිටි ඇඳුම් බව ද පොලිසියට පැවසීය.
ඒ වන විට නිවැසියන් සතුව පේන්ට් බාස්, ජෝර්ජ් ගේ දුරකථන අංකයට ඇමතූ පොලිස් නිලධාරින්ට දැනගන්නට ලැබුණේ එය විසන්ධි කර ඇති බවකි. ඒ අතරේ විමර්ශන නිලධාරියකුට එදිනම තොරතුරුකරුවකුගෙන් තොරතුරක් ලැබී තිබුණේ එකී පේන්ට් බාස් ,දොම්පේ, දෙල්ගොඩ ප්‍ර දේශයේ මාර්ගයක් යාබද නිවෙසක කුලියට සිටිනා බවය.
ක්ෂණිකවම ක්‍රියාත්මක වූ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශ නිලධාරිහු එම නිවෙස අවට රැකවල්ලා සිටියහ. මාධ්‍යවේදිනී මෙල් ඝාතනය කිරීමෙන් පසු මත්පැන් පානය කිරීමෙන් අනතුරුව නිවෙසට පැමිණෙමින් සිටි පේන්ට් බාස් ජෝර්ජ් පොලිස් නිලධාරින් විසින් කොටුකර ගත්තේය.
ඒ වන විටත් ඔහු ඇඳ සිටි ඇඳුම වූයේ සීසීටීවී කැමරාවේ සටහන්ව තිබූ ඇඳුමම ය. එසේම එහි දක්නට වූ ඔහුගේ අතේ වූ බැගය ද විය. එම බෑගය සෝදිසි කළ පොලිස් නිලධාරින්ට දක්නට ලැබුණේ ඔහු නිවෙසට යන විටදී ඇඳ සිටි ඇඳුම් ය. එසේම එම ඇඳුම්වල සෑම තැනෙකම ලේ පැල්ලම් ද දක්නට ලැබිණි. ඒ අතරේ ඔහු සන්තකයේ ඉහළ වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් ද තිබී හමු විණි. එම දුරකථනය මෙල් ගුණසේකරගේ බ්ලැක් බෙරි ජංගම දුරකථනය බව පොලිසිය හඳුනා ගත්තේය.
අත්අඩංගුවට පත් සැකකාර ජෝර්ජ්ගෙන් පොලිස් නිලධාරින් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිස් නිලධාරින් ඉදිරියේ පවසන්නට වූයේ,
මට දවස් කීපයකින් වැඩක් හම්බ වුණෙත් නෑ. ගෙදර අගහිඟකම් වැඩිවුණා. ගෙවල් කුලියත් ගෙවාගන්න බැරුවයි හිටියේ. සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක් කල්පනා කරනකොටයි ඔය ගෙදර මතක් වුණේ... මං දැනගෙන හිටියේ ඒ අය හැම ඉරිදාම උදේට පල්ලි යන බව. මං වැඩ කරන කාලේ කෑම දීපු නිසා ගෙදර සුනඛයොත් මට හිලෑයි.
එදා උදේ පාන්දරම මං ගෙදරින් ගියේ වැඩකට යනවා කියලා. යනකොට ඉස්කුරුප්පු නියනකුත් අරන් ගියා. උදේ 6.45 වෙද්දි නිවෙස ආසන්නයට ගිහින් ඒ ගෙදරට කෝල් එකක් ගත්තා. ෆෝන් එක ඉස්සුවා. මම යන්න ගියා. ආයෙත් විනාඩි ගාණකට පස්සෙ ඇවිත් කෝල් කළා. ඒ වෙලාවේ ඉස්සුවේ නෑ. මං හිතුවේ සියලු දෙනාම පල්ලි ගිහින් කියලා. පස්සෙ තමයි ජනේලයක් කඩලා ග්‍රිල් එක ගලවලා නිවෙසට ඇතුළට ගියේ. කාමරේට ගිහින් අල්මාරිය කඩද්දි තමයි මෙල් නෝනාගේ සද්දයක් ඇහුණේ සාලය පැත්තෙන්. නෝනා මාව දැකලා අඳුරගත්තා.
නෝනා මට කිව්වා, “ඕන දෙයක් අරගෙන මට කරදර නොකර යන්න” කියලා. එයා කාටවත් කියන්නෙ නෑ කිව්වා. මං ගෙදරින් එළියට ගිහින් යන්න ගියා. මට හිතුණා නෝනා පොලිසියට කියයි කියලා. ඒ නිසා මම ආයෙත් ආවා... ගේ ඇතුළට යද්දි නෝනා කුස්සියේ. ආයෙත් නෝනා මට යන්න කිව්වා. මට නෝනා විශ්වාස නැතිවුණා.”
සැණින් මුළුතැන්ගෙයි වූ පිහියක් ගෙන එම පාපතරයා විසින් මෙල් ගුණසේකරගේ උදරය දෙසට අනිද්දී එම පිහිය කැඩි ගොස් කොටසක් උදරයේම හිරවිණි. ඔහු පොලිසියට පාපෝච්චාරණය කළේ,
“කුස්සියේ තිබුණ තව පිහියක් අරන් බෙල්ලට ඇන්නා. මගේ ඇඟේ හැමතැනම ලේ... නාන කාමරේට ගිහින් ඇඟපත හෝදගෙන නෝනගේ මල්ලිගේ ඇඳුමක් ඇඳගත්තා. මේසේ උඩ තිබුණු නෝනගේ ෆෝන් එක ගත්තා. පර්ස් එකේ සල්ලි වගයක් තිබුණා, ඒ ටිකත් ගත්තා. මං ඇඳගෙන ආපු ඇඳුම් ටික බෑගයකට දාගෙන යන්න ගියා...”
ඔහුගේ ඒ පාපෝච්චාරණයෙන් මාධ්‍යවේදිනියක වූ මෙල් ගුණසේකරගේ ඝාතනයේ සියලු තතු හෙළිදරව් කරගැනීමට හැකි විය.