දිගු ගමනක අවසානය | සිළුමිණ

දිගු ගමනක අවසානය

 

 දැනට අවුරුදු හතළිහකට පමණ පෙර ‘සිළුමිණ’පුවත්පතේ සේවය කළ අවධියේ මම රත්මලාන කඳවල වලව්වේ පදිංචිව සිටි සර්. ජෝන් කොතලාවල මුණ ගැසීමට ගියෙමි. එවකට ලේක්හවුසියේ කර්තෘ මාණ්ඩලිකයන්ට ගමන් බිමන් යාමට තිබුණේ තරමක පැරණි වෑන් රථ කීපයකි. එම වෑන් රථවලට ඇතුළුවූ පසු දොර වසා ගැනීමට සිදුවූයේ සරනේරු සහිත අගුල් හිරකර දැමීමෙනි.

මා සමඟ ගිය රියදුරු වෑන් රථය නතර කළේ කඳවල වලව්ව ඉදිරිපිට පෝටිකෝව යට ශබ්ද නඟා තිරිංග පාගමිනි. ඒ වනවිට ආලින්දයේ සනීප පුටුවක හිඳගෙන පුවත්පතක් බලා සිටි සර් ජෝන් තරමක තැති ගැන්මකින් සිටි අයුරු මම දුටුවෙමි. දෑසේ උපැස් යුවළක් පැලඳ සරමකින් හා කමිසයකින් සැරසී සිටි සර් ජෝන් හමුවට ගිය මම ‘සිළුමිණ’ පුවත්පතින් පැමිණි බව ප්‍රකාශ කළෙමි. අපගේ ඒ හමුවීම පුරා මාස හත අටක් එක දිගට සති පතාම පැවැත්විණි.

පළමු දිනයේ ම ඔහු හා මා අතර පැවැති සබඳතාව ඉතා සමීප විය. ඔහු කථා කළේ “උඹ - බාං - බොලන්” යන ආදරණීය වචනවලිනි. ළදරුවියේ සිට ඒ වනවිට අසූ තුන්වැනි විය දක්වා කාල පරාසය තුළ ඔහුගේ මතකය යළි යළි සිහි කරමින් ඔහු කළ කථා බහ විචිත්‍රවත් විය. ඔහු වලව්වේ ජීවත් වූයේ තනිව වුවත් කර්තේලිස්, මර්තේලිස් යන සේවකයන් දෙදෙනා සහ බණ්ඩා නමින් හැඳින්වූ රියදුරා ද ඒ නිවසේ වූහ. කාලයක් මුළුල්ලේ දියවැඩියා රෝගයෙන් පෙළුණු සර් ජෝන්ට ඒ සඳහා ප්‍රතිකාර වශයෙන් එන්නත් ලබාදුන්නේ කර්තේලිස් හා මර්තේලිස් ය. ආහාරපාන පිළියෙල කිරීමට වලව්ව පිටුපස පවුල් හයක් පදිංචි කර සිටියේය. සර් ජෝන් දවසේ කෑම වේල් තුන අතරින් වඩාත් ම සිත් ගෙන සිටියේ උදේ කෑම වේලට ය. කිරි පැණිවල සිට ආප්ප, පිට්ටු, ඉඳිආප්ප ඇතුළු කෑම වර්ග සහිතව මඟුල් මේසයක් සේ සරසා ඇති කෑම මේසයට හැම දිනකම තමන්ගේ ළබැඳි පිරිස් ගෙන්වා ගෙන සිටියහ.

වරක් සර් ජෝන් පැවසූ ආකාරයට එක් දිනෙක එහි පැමිණ ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. කොහෙන්දෝ ලද ආරංචියකට අනුව කඳවල වලව්වට නිතර යන එන පත්තර වාර්තාකරුවෙක් මේ ආරංචිය දැන, මැතිනියට සහ සර් ජෝන් කෑම ගන්නා ආකාරය ඡායාරූප ගත කර ඇත. ඔහුට සැර වැර කළ සර් ජෝන් දළ සේයා පටය රැගෙන දිග හැර විසි කොට ඇත. සර් ජෝන්ගේ පවුල් ජීවිතය ගැන ද මා දන්නා තරමට යමක් කිව යුතුව ඇත. ඔහු තනිකඩ ජීවිතයක් ගත කර නැත. සුප්‍රසිද්ධ කොරෙයා පෙළපතින් එන කාන්තාවක සමඟ විවාහ වී ඇත. මේ දෙදෙනාට දාව උපන් දියණියක් සිහි මඳ ගතියෙන් පසුවූවාය. ඉඳහිට ඇය තම පියාගේ දුක සැප බැලීමට පැමිණෙන අයුරු මා දැක ඇත.

පළමු දිනයේ ම අප දෙදෙනා කොතෙක් සමීපවීද යත් “උඹ එන දවස මට දන්නපන්. අද මෙහාට ආපු ඩක්කුවෙන් නම් එන්න එපා. ”යැයි කීවේය. ඊට පසු හැම දිනකම මා කඳවල වලව්වට ගියේ සර් ජෝන්ගේ 5 ශ්‍රී 1 වාහනයෙනි. ඔහුගේ පදිංචි නිවස පිළිබඳව ද අපූරු පුවතක් ඇත. රත්මලානේ අක්කර 85ක ඉඩමක් වෙන්දේසි කිරීම සඳහා පුවත්පතක දැන්වීමක් ප්‍රසිද්ධ කර තිබුණි. මෙතෙක් ඔහු පදිංචිව සිටියේ සිය ඥාති එෆ්.ආර්. සේනානායකගේ නිවසේ ය. තමා සතුව තිබූ මුළු ධනය වූ රුපියල් නම දහසක් සහිත චෙක්පතක් අතැතිව වෙන්දේසි පොළට ගිය ඔහු හා තරග කිරීමට සිටියේ මහ ධනවතුන් පිරිසකි. රුපියල් හතළිස් දහසකින් ඇරඹුණු වෙන්දේසිය ඉහළ ගොස් හැට නම දහසකට ඉල්ලූ කොතලාවලට ඉඩම අයිති විය. වෙන්දේසියේ සිදුවූ ඒකාධිකාරයට විරුද්ධව ඉදිරිපත් වූවන් වෙන්දේසිකරුවන් ඉදිරියේ අසරණයකුව ලජ්ජාවට පත්වූයෙන් ඔහු වට පිට බලා එතනින් පැන යාමට තැත් කළේය.

“ඒයි කොහේද පැනල යන්නෙ?” එක් වරම මුරකරු ඔහුගේ දෑත තරයේ අල්ලා වෙන්දේසිකරු වෙත රැගෙන ගියේය.

“ඔය ළමය නේද වෙන්දේසියෙන් ඉඩම ගත්තෙ.” දිගින් දිගටම වෙන්දේසිකරු ප්‍රශ්න කරද්දී කොතලාවලගෙන් කියවුණේ තමාගේ නම ජෝන් ලයනල් කොතලාවල බවත් තාත්තා ජෝන් කොතලාවල බවත් ය. මෙතෙක් වේලා නොදැක්වූ ගරු සරු බවකින් වෙන්දේසිකරු තමා ඉඳගෙන සිටි අසුන අසල වූ පුටුවක වාඩි කර සුහදව කරුණාවෙන් කතා කළේය.

“ජෝන් කොතලාවල මහත්තයා මගේ හොඳ යාළුවෙක්. මට ගොඩක් උපකාර කරල තියනව. සුළු ඇඩ්වාන්ස් එකක් දීල මේ ඉඩම ගන්න. මේක රත්තරන් වගේ වටිනවා. මම තවත් අඩු කරල දෙන්නම්.”

තමා සතුව තිබුණු රුපියල් නම දහස අත්තිකාරම් ලෙස ගෙවා ඉතිරි මුදල සොයා ගැන්මට ඔහු කෙළින්ම ගියේ ඩී.එස්. සේනානායක මුණ ගැසීමටය.

“ඇලිස් අක්කෙ, ලයනල් හොඳ ඉඩමක් අරගෙනනේ. මමත් ගියා ඉඩම බලන්න.” ඩී.එස්. ඇලිස් කොතලාවල ළමා තැනීට සියලු තොරතුරු කීවේය. ඉතිරි මුදල් හැට දහස එෆ්.ආර්. සේනානායක ඇප වී හෙට්ටියකුගෙන් ලබා ගති. අද ගාලු පාරේ සිට ගුවන්තොට භූමියත් සමඟ ඇති ඉඩම් යාය සර් ජෝන් සතු වූයේ ඒ ලෙසිනි.

1948 දී කොතලාවල මහතා බුරුමයට ගිය වේලේ රැන්ගුන් ගුවන් විදුලියෙන් කළ කථාවේ හරය වූයේ ලෝක සාමය සඳහා ජාතීන් එකමුතුව වැඩ කළ යුතු බවය. ජාතීන් වශයෙන් බෙදී නොසිට පොදුවේ මුළු මහත් ජාතීන් එක්ව යුද්ධය නමැති රකුසා පලවා හළ යුතු බව එහිදී මොහු විග්‍රහ කොට දැක්වීය. එබඳු සමුළුවක් කැඳවීමට ඒ වනවිට ඔහුට බලයක් නොවීය. මෙහි ප්‍රතිඵල ලෙස කොළඹ සමුළුව ආරම්භ විය. පකිස්ථානය, බුරුමය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ ලංකාව යන රටවල් පහ මෙයට සහභාගි විය.

මේ සමුළුව දෙස මුළුමහත් ලෝකයාම ලොකු උනන්දුවකින් බලා සිටියහ. ඩියන්ඩියන් පූ බළකොටුව බිඳ වැටීම සමඟම ඉන්දු චීන යුද්ධය අලුත් විය. තවත් කල් ගත වූවොත් තුන්වැනි ලෝක යුද්ධයක ආරම්භය ද මෙය විය හැකිය. මෙවැනි තත්ත්වයකදී ආසියානු ජනතාවගේ අදහස මොන අන්දමේ දැයි දැනගැනීමට මේ සමුළුව වැදගත් විය. එසේම ජලකර බෝම්බ නිෂ්පාදනය, අධිරාජ්‍ය වාදය, වර්ණ භේදය, ජාත්‍යන්තර කොමියුනිස්ට් වාදය යන කාරණා ද මෙහිදී වූ රසවත් සිද්ධියක් සර් ජෝන් ට මතකය.

වාද විවාද කිරීම ජයට පැවැත්වෙමින් සිටිද්දී කවුරුත් වෙහෙසට පත්වූහ. දැඩි වෙහෙස ඉවසා ගත නොහැකි වූ බුරුම අගමැති ඌ නූ ඔළුවේ තුවායක් බැඳගෙන ආවේය. මේ දුටු කොතලාවල මහ හඬින් සිනාසුණි. “විදුලි පංකාවෙන් එන හුළඟට මම කැමැති නෑ. ඒකයි මෙහෙම කළේ ”යැයි ඌ නූ කීවේය.

සභාපති අසුනේ සිටියේ කොතලාවලය. “උඹ ඇමෙරිකාවට කත් අදින මිනිහෙක්“ එක් අයෙක් කීවේය. “උඹ රුසියාවට කත් අදින මිනිහෙක්” තවත් අයෙක් කීවේය. “දෙන්නම කට වහපල්ල, ඔබල දෙන්නම අගමැතිවරු. ඔහොමද කථා කරන්නේ?” යැයි කොතලාවල ඔවුන්ට කඩා පැන්නේය. අරගලය නතර විය. “මමත් අගමැති කෙනෙක්. මම කථා කළ හැටිත් වැරැදියි” කියා කොතලාවලට මතක් වූයේ පසුව ය. වාදය රාත්‍රී දොළහ පසුවන තුරු විය. හොඳට නිදිමත දැනුණ නිසා කොතලාවල හෙමින් සීරුවේ සභාපති අසුනින් බැස ගොස් නිදා ගති. රැස්වීමේ කලබල වැඩිවීමට මෙය ද හේතු විය. ටික වේලාවකින් කොතලාවලට පණිවුඩයක් ලැබිණ. කවුරුත් ඒකමතිකව තීරණ ගැනීමට පැමිණ අසුන් ගන්නා ලෙස එහි සඳහන් විය.

සර් ජෝන් කොතලාවල, ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රමුඛ පුද්ගලයකු වූවා එපමණක් නොව නොබැඳි ජාතීන්ගේ සමුළුවක අවශ්‍යතාව පෙන්වාදීමට ද මූලික වූවෙකි. 1954 වර්ෂයේ අවසාන කාලයේ හෙතෙම ලෝකය වටා සංචාරය කළේය. ඇමෙරිකන් ජනාධිපති අයිසන් හවර් විසින් ඇමෙරිකාවේ සංචාරය කිරීමට ලැබුණු ආරාධනයෙන් මෙය ඇරඹීය. ඒ සමඟම ඉතාලිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව, හොනලුලු, ජපානය, පිලිපීනය, ඉන්දුනීසියාව, මලයාව යන රටවලින් ද ආරාධනා ලැබුණි. ඉතාලියේ අගනුවර වන රෝමයට අවුරුදු 2000 ට පෙර සිටි ක්ලෝඩියස් අධිරාජයාගෙන් පසුව අමුත්තකු ලෙසට මෙන්ම රාජ්‍ය අමුත්තකු ලෙස ගියේ සර් ජෝන් කොතලාවල ය. ප්‍රංශය ඔහුට පුරුදු රටකි. කොලු ගැටයකුව සිටියදී ප්‍රංශයේ දී කළ වැඩ ගැන ඔහුට සිහි විය. කොතරම් පුරුදු තැනක් වුව ද වෙනදා මෙන් එහි ඇවිදින්නට ඔහුට ඉඩ ලැබුණේ නැත. රාජ්‍ය අමුත්තකු නිසා ආරක්ෂක විධි විධාන යොදා තිබුණි. මෙය ඔහුට හිසරදයක් විය. මින් ගැලවී යන්නට ඇත්නම් හොඳ යැයි කල්පනා විය. එහෙත් රාජ්‍ය නිලධාරින් තමන් වට කොට සිටී. කෙසේ හෝ එක් නිලධාරියකු සමඟ පමණක් වෙන්ව ඇවිදීමට ඔහුට හැකි විය. ඔහුගෙන් ගැලවී යාම අපහසු යයි වැටහිණ. “ඇවිදින්න යමු” යැයි කථිකා කරගෙන ඔහු සමඟ මහ මඟ ඇවිදගෙන ගියේය. අර නිලධාරියා පසු පසින් එයි. ඔහුට විහිළුවක් කළ යුතු යැයි සිතූ කොතලාවල එක් වරම මහ මඟ ගමන් කරමින් තිබූ දෙමහල් බස් රියක එල්ලුණි. ආරක්ෂක නිලධාරියාට කළ හැකි දෙයක් නොවීය. ඔහු බසය පසු පසින් හති දමා දුවන්නට විය. ඔහු දුවන අයුරු දුටු කොතලාවලට දුකක් දැනුණි. නිලධාරියා එක්වරම සර් අල්ලා ගති. කුලී රියක් නතර කොට එයට දමාගෙන ආපසු ගියෝය. මෙබඳු විනෝදමත් සිද්ධි රැසක් මේ ගමනේදී විය. ඒ කෙසේ වුවත් ලංකාව හා සමඟ පැවැති ජාත්‍යන්තර සබඳතා පුළුල් වීමට බලපෑ ප්‍රධාන සිද්ධි රැසක් මේ ගමනින් ඇති විය.

අහස් යානා පදවන්නකු ලෙස බලපත් ලැබූ දෙවැනි ලාංකිකයා සර් ජෝන් කොතලාවල ය. එහෙත් අහස් යානා අයිතිකරුවකු ලෙස සිටි පළමුවැන්නා ඔහු ය. කඳවල වත්තේම කොටසක අහස් යානා නතර කිරීමට කුඩා ගුවන් තොටුපළක් සෑදුවේ ය. හැමදාම සවසට අහස් යානයෙන් රට පුරා යාම ඔහුගේ විනෝදාංශය විය. හෙතෙම ප්‍රසිද්ධ වැඩ හා ගමනා ගමන ඇමැති ලෙස සිටිද්දී මෙහි සිටි යුද්ධ සේනාපති ලේටන් සාමි වරයාගේ මිතුරකු වූ වෙවල් ස්වාමිවරයාට ලංකාවට ඒමට පිළියෙල කරගත් අහස් යානය බැස්සවීමට තැනක් පිළියෙල කිරීම අවශ්‍ය විය. ඒ සඳහා ධාවන පථය අඩි හත්සියයක් දිගට සෑදීමට අවශ්‍ය විය. ගමනට ඇත්තේ ඉදිරියට දින දොළහකි.

මෙය කළ යුතුම වූ වැඩකි. නිලධාරීන් කැඳවා සර් ජෝන් මේ ගැන සාකච්ඡා කළේය. නිලධාරීන් සියල්ලෝම කීවේ දින දොළහක් තුළ දී යාර සියයකට වඩා නිම කළ නොහැකි බවය. මෙයින් එක් කරුණක් වටහා ගත් සර් ජෝන් නිලධාරීන් වෙන වෙනම කැඳවා එක් අයකුට යාර සියය බැගින් තනා දෙන්නැයි කීවේ ය. දින දහයකින් ධාවන පථය පිළියෙල විය. අද අපට දැකිය හැකි රත්මලාන ගුවන් තොටුපළ ඉදිවූයේ ඒ අනුවය.

සර් ජෝන් සිටි භූමි භාගයේ ගාලු පාර අසල කොටස බාටා සමාගමට බද්දට ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස බාටා සමාගමින් නිපදවන අලුත් මෝස්තරයේ පාවහන් කට්ටල සර් ජෝන් කොතලාවලට පරිත්‍යාග කරන සිරිතක් විය. මෙතෙක් දියවැඩියා රෝගයෙන් පීඩා විඳි සර් ජෝන් අලුත් මෝස්තර පාවහන් පැලඳ ගමන් ගත්තත් ටික කලකින් තම දෙකකුලේ මාපට ඇඟිලි දෙකම කැපිය යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කළේ එවකට මෙරට වූ එකම ගෙවන වාට්ටුව වූ කොළඹ මහ රෝහලේ මර්චන්ටස් වාට්ටුවට ඇතුළු කිරීමෙනි. ඔහුගේ ජීවන තොරතුරු ගැන කථා කරන්නට මෙතෙක් කල් කඳවලට ගිය මට කොළඹ මහ රෝහලේ මර්චන්ට්ස් වාට්ටුවට යාමට සිදු විය. නිතරම ඔහු හමුවීමට දන්නා හඳුනන විශේෂ පුද්ගලයෝ පැමිණියහ. ඔවුන් සමඟ පැරණි හපන්කම් කියා විනෝදවීම සර් ජෝන් පුරුද්දක් කරගෙන සිටියේය. මාතර පළාතෙන් පැමිණි පැරණි හිතවතෙක් දිනක් පැමිණියේ දෑතක් බරට කළු දොදොල් පට්ටයක් රැගෙනය. ඔහු ගිය පසු සර් ජෝන් මට කීවේ, කාමරයට කිසිවකුට ඒමට නොහැකි සේ දොර වසන්නටය. “ගනින් බං ඔතනින් පිහියක්” සර් ජෝන් දොදොල් පට්ටය වටපිට බලමින් ඉක්මනට කාගෙන ගියේය.

සැත්කමට ගොදුරුවී සිටිය ද සර් ජෝන්ට එක තැනක විවේකීව සිටීම අපහසු කරුණක් වී තිබිණ. රෝද පුටුවෙන් තම මෝටර් රථයට ගොස් එතැනින් ගාලු මුවදොර පිට්ටනියේ අවට බැලීම ඔහුගේ දෛනික පුරුද්දක් විය. ඒ යන අතරමඟ එවකට යුනියන් පෙදෙසේ පිහිටා තිබූ එලිෆන්ට් හවුස් වෙත ගොස් අයිස් ක්‍රීම් කෑම ද සිරිතක් විය.

එක් දිනක් සර් ජෝන් මාලේවන හාමුදුරුවෝ වැඩ වසන තිඹිරිගස්යායේ බෙහෙත් හල වෙත ගමන් ගත්තේය.

හාමුදුරුවෝ ඉක්මණින් ඇවිත් සර් ජෝන්ගේ මෝටර් රථයට ළඟා විය. “හාමුදුරුවනේ මට උදව්වක් කරන්න ඕන. මේ මා එක්ක ඇවිත් ඉන්නෙ ‘සිළුමිණ’ ට මගේ කථාව ලියන මිනිහ. මේ කොල්ල එක්ක මම කියපු කරපු දේවල් ඔක්කොම කියන්න බැහැනේ. හෙට අනිද්ද මෙයා ඇවිත් විස්තර අහවි. එතකොට අර නොම්මර හතරෙ අරිෂ්ඨෙ ගැනත් කියන්න ඕන.”

මම පසු දිනක මාලේවන හිමිගෙන් දැන ගත්තේ නොම්මර හතරේ අරිෂ්ටය උන්වහන්සේ සර් ජෝන්ට විශේෂයෙන් හැදුවේ තරුණ කාලේ පුරුෂ ශක්තිය වැඩිවන අරිෂ්ටයක් ලෙස බවය.

එක් දිනක් සර් ජෝන් මර්චන්ට්ස් වාට්ටුවේ ප්‍රතිකාර ලබද්දී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආරක්ෂක ලේකම් කර්නල් සී.ඒ. ධර්මපාල, සර් ජෝන් බැලීමට ආවේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් හා හෙදියන් රැසක් ද සමඟය. කර්නල් ධර්මපාල මඳ වේලාවක් සර් ජෝන් දෙස බලා සිට “අපොයි වෙච්ච දෙයක්. මේ සිංහයෙක් වගේ සිටි මනුස්සයෙක් නේ. අද ඇඳටම වැටිල කර කියාගන්න දෙයක් නැතිව” යැයි කියත්ම ඔහුට පරුෂ වචනයෙන් බණින්නට පටන් ගත්තේය.

රෝහලට සර් ජෝන් එන විට නිවෙසින් ගෙනැවිත් තිබුණේ රුපියල් පහළොස් දහසකි. ඒවා සියල්ල තමා බලන්න ආ මිතුරියන් වෙත ලබාදුන් පසු ඔහුට තවත් මුදල් අවශ්‍ය විය. දිනක් ඔහු බලන්නට පැමිණි තම ඥාති පුත්‍ර ලලිත් කොතලාවලට මෙසේ කීය.

“කඳවල මගේ ගෙයි යකඩ සේප්පුවේ ඇති සල්ලිවලින් රුපියල් විසි පන්දාහක් අරන් වරෙන්. ඒක අරින හැටි මම මෙයාට කියලයි තියෙන්නෙ. හැබැයි උඩතට්ටුවේ ඇති අර පොතට අත තියන්න එපා”මම ලලිත් කොතලාවල සමඟ කඳවල වලව්වට ගියෙමි. සර් ජෝන් කියා දී ඇති අංක අනුව සේප්පුව ඇර ලලිත් කොතලාවල සමඟ මුදල් ගෙනවිත් සර් ජෝන්ට දුනිමි. අත තියන්න එපා කිවූ පොත කුමක්දැයි මම හෙමිහිට බලා ගතිමි.

එය ඩඩ්ලි අගමැති කිරීමට විරුද්ධව සර් ජෝන් ලියූ ‘අගමැති පොරය” යැයි සඳහන් වීය. දින දෙකකට පමණ පසු කඳවල වලව්වේ සර් ජෝන්ගේ රියදුරු බණ්ඩාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි.

“මහත්තයො අපේ සර්, ඉස්පිරිතාලෙන් ඇවිත් පැයක් යන්නත් කලින් අමාරුවෙලා ආයිම අරගෙන ගියා. පුදුමයක් කියන්නෙ ගෙට ගොඩ වදින තැන තිබුණු කිරිපලු ගහ එක පාරටම හුළඟක්වත් නැතිව කඩා වැටුණ. මහත්තයත් පුළුවන් නම් ඉස්පිරිතාලෙට යන්න. අපිත් දැන් පිටත් වෙනවා.”

ඒ වනවිට කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සර් ජෝන් රඳවාගෙන ප්‍රතිකාර ලබමින් සිටියත් මොහොතකින් දෙඇස් පියවිණ. එතුමාගේ අන්තිම කැමැති පත්‍රයේ සඳහන් වූයේ ජාතිය ආරක්ෂා කරන ආරක්ෂක හමුදාව වෙත තමන්ට ඉතිරිව ඇති එකම දේපළ වන කඳවල වලව්ව ඇතුළු භූමි භාගය ආරක්ෂක විද්‍යා පිඨයක් ලෙස ප්‍රදානය කරන වගයි.

නිමි.

 

 

Comments