කලා ලොව වර්ණවත් කළ ලාංකේය සිත්තරු 5 ක් | සිළුමිණ

කලා ලොව වර්ණවත් කළ ලාංකේය සිත්තරු 5 ක්

කලා ලොව වර්ණවත් කළ ශ්‍රී ලාංකේය සිත්තරු ගණනාවකි. ලෝ පතළ සිත්තරුන්ගේ ආභාසය, ආලෝකය ලබා ඇතත් ඉන් බොහොමයක් දෙනා තමන්ට ආවේණික ශෛලීන් සිය සිතුවම් කලාව ඔස්සේ ප්‍රකට කර තිබේ. ඊටත් එපිට අතීතයේ දී සීගිරිය, දඹුලු ලෙන් විහාර සංකීර්ණය වැනි ලෝක උරුම අතර ද හෙළ කලාකරුවාගේ විස්කම් මහිමය සටහන්ව පවතී. විහාර බිතු සිතුවම් කලාව අප සතු මාහැඟි උරුමයකි. මෙහි දැක්වෙන්නේ ඉන් මෙපිට මෑත දශක කිහිපයක් තුළ සිය තෙලිතුඩෙන් මැවූ සිතුවම් මේ බිමෙන් එපිටට ද රැගෙන යමින් සිරිලකට කීර්තියක් රැගෙන ආ සිත්තරු පස් දෙනෙකි.

ජෝර්ජ් කීට්

(1902 - 1993)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ නූතන චිත්‍ර ශිල්පීන් අතර ඉහළ සම්භාවනාවට පාත්‍ර වූ ශිල්පියෙක් ලෙස ඉදිරියෙන් ම සිටින ජෝර්ජ් කීට් මහනුවර මල්වත්ත විහාරය ආසන්නයේ වාසය කරමින් තරුණ වියේදී බුදුසමයේ ආලෝකය ලැබී ය. ඔහුගේ මුල් නිර්මාණ බොහොමයක් සොබාදහමට නැඹුරු ය. ජ්‍යාමිතික රූ සටහන් කලාවේ පර්යේෂණාත්මකව ගැඹුරින් නියැළී ඔහු එය තමාගේ ශෛලියනට මතු කිරීමට සමත් වූ සිත්තරෙකි. හින්දු හෝ බෞද්ධ පුරාවෘත මෙන් ම ග්‍රාමීය ජන ජීවිතය ද ඇසුරු කරගනිමින් කළ නිර්මාණ අතර බොහෝවිට නිරුවත මතු විය. 1943 දී පිහිටුවාගත් 43‘ කණ්ඩායමේ ද ඔහු ප්‍රමුඛයෙකි. කීට්ගේ සිතුවම් කලාවේ සලකුණ මෙන් ම විශිෂ්ටත්වය බොරැල්ල, ගෝතමී විහාරයේ දී දැකගත හැකිය. එසේ ම ඔහුගේ නිර්මාණ ලෝ ප්‍රකට කලාගාර හා කෞතුකාගාරවල ප්‍රදර්ශනය කෙරෙන අතර පෞද්ගලික එකතූන්වලට ද ඇතුළත් ය. කීට්ගේ සිතුවම් බ්‍රිතාන්‍ය පවුම් 110,000 ක් පමණ මිලකට ද අලෙවි වී ඇත. ඇ.ඩොලර් 15,000 ට ආසන්න මුදලකට අලෙවි වූ නිර්මාණ ද තිබේ. සම්මාන රැසක් ලබා ඇති අතර 1950 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය‍ෙයන් ලැබූ සම්මානය ප්‍රතික්ෂේප කළේ ය. කීට් චිත්‍ර ශිල්පියෙක් මෙන් ම කවියෙක් ද වේ.


ජස්ටින් දැරණියගල (1903 - 1967)

ජෝර්ජ් කීට්, ලයනල් වෙන්ඩ්ට්, හැරල්ඩ් පීරිස් ආදීන් සමඟ එක්ව ‘43 කණ්ඩායම‘ බිහි කිරීමට මුල් වූ පුරෝගාමියෙකි. මුදලිඳු A.C.G.S. අමරසේකරගෙන් චිත්‍ර ශිල්පය හැදෑරීය. ජස්ටින් පීරිස් දැරණියගල මෙරට සිටි ප්‍රකට සිවිල් සේවකයෙක් මෙන් ම විද්‍යාර්ථිකයෙක් ද වන පෝල් ඊ. පීරිස්ගේ සහ හිල්ඩා ඔබේසේකරගේ පුතණුවන් ය. ලන්ඩනයේ හා පැරිසියේ අධ්‍යයන කටයුතුවල යෙදෙමින් පිකාසෝ, බ්‍රාන් වැනි ලෝ ප්‍රකට සිත්තරුන්ගේ ආභාසය ලැබී ය. විශේෂයෙන් ස්ත්‍රී ශරීරය සිතුවම් කිරීමේදී ඔහුට ආවේණික ශෛලිය කැපී පෙනේ. කලා විචාරකයෙක් වන ජෝන් බර්ගර්, දැරණියගල හඳුන්වන්නේ ‘දාර්ශනික චිත්‍ර ශිල්පියෙක්‘යනුවෙනි. ඔහුගේ සිතුවම්වලින් බොහෝදුරට ගැඹුරු මනුෂ්‍යත්වය ප්‍රකට වේ. රනිල් දැරණියගලගේ අධ්‍යයනය හැරුණු විට ජස්ටින් දැරණියගල ගේ නිර්මාණ පිළිබඳ වෙනත් ගැඹුරු අධ්‍යයනයක් සිදුව නැති තරම් ය.


සෝලියස් මැන්දිස්

(1895 - 1975)

නූතන චිත්‍ර ශිල්පීන්ගේත් චිත්‍ර ශිල්පියා ලෙස හා අද්විතීය චිත්‍ර ශිල්පියා ලෙස ද සෝලියස් මැන්දිස් හැඳින්වී තිබේ. මාදම්පේ ප්‍ර දේශයේ උපත ලැබූ නිර්ව්‍යාජ ගැමියෙක් වූ ඔහු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් වූ ආචාර්ය රාජා ද සිල්වා විසින් සීගිරි බිතු සිතුවම් සංරක්ෂණයට මෙහි පැමිණි ඉතාලි චිත්‍ර ශිල්පී ලුසියානෝ මරන්සිට හඳුන්වාදෙනු ලැබී ය. තමා මෙන් ම මේ සරල මිනිසා ද විහාර බිතු සිතුවම් කලාවේ ප්‍රවීණයෙක් බව මරන්සි හැඳින ගත්තේ ය. සෝලියස් මැන්දිස් සිත්තරාගේ විශිෂ්ටත්වය මනාව ප්‍රදර්ශනය වන්නේ කැලණි විහාරයේ නව විහාරයේ බිතු සිතුවම්වලිනි. දෙස් විදෙස් කලා රසිකයන්ගේ අවධානයට හා සම්භාවනාවට ද ලෝක වාසී බෞද්ධයන්ගේ බැතිබර ගෞරවයට ද පාත්‍ර වූ එම සිතුවම් මැවූ සිත්තරා තම නම සටහන් කර ඇත්තේ එක ම ස්ථානයක අප්‍රකට ලෙසිනි. මේ සිතුවම් වෙනුවෙන් ඔහු වසර ගණනාවක් වෙහෙස විය. අවසානයේ ප්‍රධාන බුදු මැදුරේ සිතුවම් නිම නොකර ඔහු කැලණි විහාරයෙන් නික්මුණේ කලකිරීමෙනි. ඒ පිළිබඳ මතිමතාන්තර තිබේ. සරල මිනිසෙක් ලෙස ඔහු අවසන් ගමන් ගියේ ද ගරු සම්මාන කිත් යසස්, පැසසුම් ඝෝෂාවලින් තොරවය.


මුදලිඳු ඒ.සී.ජී.එස්. අමරසේකර

(1883 - 1983)

අතිදක්ෂ අලේඛ්‍ය චිත්‍ර ශිල්පියෙකි. හිටපු අගමැතිවරුන් වන එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක හා සර් ජෝන් කොතලාවල වැනි දේශපාලනඥයන්ගේ ආලේඛ්‍ය සිතුවම් ඒ අතරින් ප්‍රමුඛය. ලංකා කලා සංගමයේ සභාපතිත්වය ද ඉසිලී ය. දක්ෂ චිත්‍ර කලා ආචාර්යවරයෙක් ද වන ඔහු මැජික් ශිල්පියෙක් ලෙස ද ප්‍රකටය. මුදලිඳු අමරසේකරගේ තෙලිතුඩෙන් මැවෙන තුරු කිසිදු නායකයෙක් නායකයෙක් ලෙස පිළිනොගන්නාක් වැනි කාලයක් තිබිණි. එපමණටම ඔහු ආලේඛ්‍ය සිතුවම් කලාවේ විශිෂ්ටයෙක් වූ අතර ඔහු සිතුවම් නොකළ රාජ්‍ය නායකයෙක් නොවී ය. සර් ඩී.බී. ජයතිලක, සර් පොන්නම්බලම් රාවනාදන් වැනි ජාතික වීරයන් ද ඔහුගේ ආලේඛ්‍ය සිතුවම් එකතුවට ඇතුළත් ය. කොළඹ - 05 ඩෝසන් පෙදෙස අමරසේකර මාවත යනුවෙන් නම් කෙරුණේ මුදලිඳු අමරසේකරට ප්‍රණාම පිණිස ය.


ඩේවිඩ් පේන්ටර් (1900 - 1975)

ඩේවිඩ් සිලිංග්ෆෝර්ඩ් පේන්ටර් අන්තර්ජාතික කීර්තියක් දිනූ ලාංකේය සිත්තරෙකි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දේවස්ථානයේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේද පේන්ටර් ගේ නිර්මාණ විශිෂ්ටත්වය දැකගත හැකි ය. 1923 - 1940 කාල සීමාවේ ඔහුගේ සිතුවම් ලන්ඩනයේ රාජකීය ඇකඩමියේ හැම වසරකම ප්‍රදර්ශනය කෙරිණි. ඒ මුල් කාලීන නිර්මාණ බොහොමයක් ආගමික තේමා ඔස්සේ බිහිවූ ඒවා ය. කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ ලෙස ද කලක් කටයුතු කළේ ය. යුරෝපයේ කලා අධ්‍යාපනය ලැබූ පළමු ලාංකේය සිත්තරා ද පේන්ටර් ය. ඉන්දියාවේ උපත ලැබුව ද ළමා වියේදීම ඔහුගේ දෙමවුපියෝ දරුවන් ද සමඟ ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූහ. පේන්ටර්ගේ ඇතැම් විශිෂ්ට සිතුවම්වල උපත පාසල් නිවාඩු කාලවල දී තවත් ගුරු භවතුන් හා ශිෂ්‍යයන් ද සමඟ ඔහු සිදු කළ වනගත චාරිකා ය. නැඟෙනහිර වෙරළ ඔහු වඩාත් ප්‍රිය කළ ස්ථානයකි. ඔහු මැවූ රූ බොහොමයක් දුඹුරු - අළු පැහැයෙන් යුතුවූ අතර හැඟීම් ප්‍රකාශනයේදී දීප්තිමත් වර්ණ යොදාගෙන තිබේ. බයිබලයේ එන සිද්ධීන් හා ක්‍රිස්තු චරිතයේ අවස්ථා නිරූපණයේදී ද ඔහු ලාංකේය දර්ශන හා රූ උපයෝගී කර ගත්තේ ය. බ්‍රයිටන් කලාගාරයේ හා කෞතුකාගාරවලද පේන්ටර්ගේ සිතුවම් ප්‍රදර්ශනය කෙරේ. ඔහුගේ සොහොයුරිය විසින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කළ චිත්‍ර එකතුව කලක් අස්ථානගතව පැවැති අතර සොයා ගැනීමෙන් පසුව ජේ.ඩී.ඒ. පෙරේරා, කලාගාරයේ කොටසක පිහිටි වෙනම ගැලරියක ප්‍රදර්ශනයට තබා ඇත.

 

Comments