රුසියාව සහ යුක්රේනය අතර උණුසුම් තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. ගත වී යන මොහොතේ දී මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ මේ දෙරට වෙතය. පසුගිය බදාදා හෙවත් පෙබරවාරි 16වැනිදා රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට විශ්වාසනීය වාර්තා රාශියක් දක්නට ලැබිණි. යුක්රේන ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුමේද මේ බව සනාථ කරවන සුලු අදහසක් පළ කර තිබිණි. එහෙත් එදින රුසියානු පාර්ශ්වයේ හමුදා මෙහෙයවීමක් සිදු වූයේ නැත.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට දස අතින් අනුමාන පළ වෙමින් පවතිත්දී රුසියානු පාර්ශ්වයෙන් අසන්නට ලැබෙන්නේ එකිනෙකට පරස්පර ප්රකාශයන්ය.
පසුගිය සතියේ තමන් යුක්රේන දේශසීමාවෙන් හමුදා ඉවත් කර ගැනීම ඇරඹූ බව රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් පවසා තිබූ නමුත් සති අන්තය වන විට තවත් හත් දහසක අතිරේක හමුදා යුක්රේන දේශසීමාවට කැඳවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ වන විටත් එක් ලක්ෂ පනස් දහසක පමණ රුසියානු හමුදා යුක්රේන දේශසීමාවේ රඳවා තිබෙන බවට වාර්තා ලැබී තිබිණි.
කෙසේ වුවද තවත් අතිරේක 7000ක හමුදා රුසියාව විසින් යුක්රේන දේශසීමාවට එවනු ලැබූ බවට පවසා තිබුණේ වොෂිංටනය විසිනි. යුක්රේනය මැදි කර ගනිමින් සිදුවන මේ රුසියා සහ ඇමරිකා කඹ ඇදීම දැන් පවතින්නේ උච්චතම ස්ථානයක බව පැවසිය හැකිය.
මේ යුක්රේන අර්බුදයට ඇත්තේ තරමක් දීර්ඝ ඉතිහාසයකි. ඉතා සරල ලෙස පවසන්නේ නම් යුක්රේනය මැදි කර ගනිමින් මෙවැනි යුදමය වාතාවරණයක් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එරට තුළ රුසියානු හිතවාදී පාලනයක් නොපැවතීමය.
ස්වාධීන යුක්රේනය තමන්ට නතු කර ගැනීමට යුරෝපා රටවල් සහ ඇමරිකාව වෙර දරන විට, ඊට සාපේක්ෂව තමන්ගේ පෙර පැවති හොඳම ආයුධ කම්හල් පිහිටා ඇති, එමෙන්ම ස්වභාවික සම්පතින් අනූන භූමි ප්‍රදේශය යළි තමන්ටම අත්පත් කර ගැනීමට රුසියාව දරන උත්සාහය තීව්ර කර තිබේ.
මේ අතරට යුක්රේනය තම නිදහස සහ ස්වාධීනත්වය පවත්වා ගැනීම වෙනුවෙන් දරන වෑයමද අමතක කළ නොහැකිය. සැබවින්ම එය ඛේදවාචකයක් වී තිබේ. මේ අවස්ථාවේදී යුක්රේන ජනාධීපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මුහුණ දෙමින් සිටින්නේ අතිශය බැරූරුම් වාතාවරණයකටය. ඔහුට රුසියාවට පක්ෂ වී ගැටලුව සමනය කර ගැනීමට කිසිඳු කැමැත්තක් නොදක්වන අතර නේටෝ සංවිධානය සහ ඇමරිකානු සහය පිළිබඳවද කිසියම් දෙගිඩියාවකින් පසුවන බවක්ද දැකගන්නට ලැබේ.
කෙසේ වුවද මීට පෙර දේශපාලන අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු ලෙස සොලෙන්ස්කි මේ අවස්ථාවට මුහුණ දෙන අන්දම ප්‍රශංසනීය බව පැවසිය යුතුය. ඔහු දේශපාලනයට පැමිණි ප්‍රථම අවස්ථාවේදීම එරට ජනතාව ඔහුව ජනාධිපති ධූරය දක්වාම ඔසවා තැබූහ. ඔහු ජනාධිපති වීමට පෙර කටයුතු කර සිටියේ ප්‍රහසන නළුවකු වශයෙනි.
එම ප්‍රහසනයේදී ඔහු දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව කටයුතු කරන ගුරුවරයකුගේ චරිතය රඟදැක්වූ අතර එම කතාමාලාවේ අවසානයේදීද ඔහුට රටේ නායකයා වීමට අවස්ථාව හිමි වේ.
මේ කතා මාලාවේ රඟපෑමෙන් පසු ලැබුණු ජනප්‍රියත්වය මත දේශපාලනයට පැමිණි සොලෙන්ස්කිට සැබෑ ලෝකයේදීද ජනතා කැමැත්ත හිමි වූ බැවින් ඔහුට අහසින් පාත් වූවා මෙන් යුක්රේන නායකත්වය හිමි විය. දැන් යුක්රේනය ලෝකයේ වැඩිම අර්බුදයට ලක්ව තිබෙන බිම්කඩ බවට පත්ව තිබේ. එමෙන්ම එය සමස්්ත ලෝකයේ බල අරගලය වෙනුවෙන් දෙපසට ඇදෙන කඹයේ සිරවී ඉතා බැරූරුම් අවස්ථාවකට මුහුණ දෙමින් සිටී. විදෙස් මාධ්‍ය දක්වන අන්දමට යුක්රේනයට සහයෝගය දැක්වීම නේටෝ සංවිධානයේ සාමාජික බටහිර රටවල් රැසක් ඉදිරිපත් වී තිබේ. මේ අතරින් ඇතැම් රටවල් යුදමය ආධාර පවා සැපයීමට සූදානමින් පසුවෙති.
රුසියානු හමුදා ආක්‍රමණයකට මුහුණ දීමට යුක්රේනයේ හමුදා පමණක් නොව වීරෝධාර සිවිල් ජනතාව පවා සූදානමින් පසුවන බව ජනාධීපති සොලෙන්ස්කි පසුගියදා පවසා සිටියේය.
ඒ අතරට හමුදා ආධාර ලබා දීමට බොහෝ බටහිර රටවල් සූදානමින් පසුවන බවට බටහිර මාධ්‍ය වාර්තා කර තිබිණි. නේටෝ සංවිධානය නියෝජනය කරමින් මේ වන විටත් අතිරේක භට පිරිස්, යුද ටැංකි සහ ප්‍රහාරක හෙලිකොප්ටර් සූදානමින් පවතින බවත්, අතිරේකව තවත් නේටෝ සාමාජික රටවලින් හමුදා කණ්ඩායම් යුක්රේනය වෙත එවීමට සූදානමින් පසුවන බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
ඇමරිකානු නාවික හමුදාවේ එච්රම්එස් ඩයමන්ඩ් නෞකාව ඇපාචි හෙලිකොප්ටර් සමඟ නැගෙනහිර යුරෝපයට ළඟා වීමට සූදානමින් පසුවනට වාර්තා ලැබී තිබේ. සයිප්‍රසය ටයිපූන් ආර්ඒඑෆ් වර්ගයේ ප්‍රහාරක යානා හතරක් සූදානමින් තබා ඇති අතර, එස්තෝනියාව සීරුවෙන් තබා ඇති හමුදා භටයින් සංඛ්‍යාව 850 සිට 1700 දක්වා වැඩි කර තිබේ. බ්‍රිතාන්‍යයද හමුදා ඛණ්ඩයක් සීරුවෙත් තබා ඇතැයි වාර්තා වුවද ඒ සම්බන්ධව පැහැදිලි සංඛ්‍යාත්මක වාර්තා දැක ගැනීමට හැකි වූයේ නැත. එහෙත් රාජකීය මැරීන් හමුදා භටයන් 350ක්, අතිරේක ඉංජිනේරුවන් 150ක් සමඟ පෝලන්තයට ගමන් කරමින් සිටින බවට පළ වූ වාර්තා දැක ගත හැකි විය.
මේ අතර යුක්රේනය සිටින විදෙස් ජාතිකයන් තම මවු රටවල් කරා යෑමට හැකිතාක් උත්සාහ දරමින් සිටින අතර පසුගිය දිනවල යුද අවධානම හේතුවෙන් යුක්රේනය කරා පියාසර කිරිම බොහෝ ගුවන් සේවා ප්‍රතික්ෂේප කළ බැවින් බොහෝ දෙනාට එරටින් පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
ශ්‍රී ලංකාවේ සිට අධ්‍යාපනය ලැබීමට යුක්රේනය බලා ගිය සිසුන් ඇතුළුව සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද තවමත් යුක්රේනය සිටින බවට වාර්තා ලැබී තිබේ.
කෙසේ වුවද තර්ජනය කළ පමණින් යුක්රේනය ආක්‍රමණය කිරිමට රුසියාව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. තවත් ලෝක යුද්ධයක් ඇතිවන දැකීමට අකමැති, යුද විරෝධී ලෝක ජනතාව ඒ සම්බන්ධව මහත් සැනසිල්ලට පත් වනු ඇත.
එහෙත් යුක්රේනය අතහැර අත පිසදා ගැනීමට නම් රුසියාව කිසිසේත් කැමැත්තක් නොදක්වනු ඇත. පුටින් පාලනය යටතේ අතීත සෝවියට් දේශය යළි ගොඩනැඟෙමින් පවතින අතර, බිඳී ගිය රටවල් අතරින් වඩාත් වටිනා බිම් කොටස වන යුක්රේනය තමාට හිතවාදී පාලනයක් ස්ථාපිත කර ගනිමින් යළි අත්පත් කර ගැනීමට පුටින් පාලනය කළ හැකි සියලු දේ කරනු ඇත. ඒ සඳහා යුක්රේනයේ වෙසෙන රුසියානු හිතවාදී ජනතාවගේ සහ කණ්ඩායම්වල සහයද හිමි වනු ඇති බව නිසැකය.
රුසියාවට මෙන්ම ඔවුන්ට හිතවාදී චීනයටද පාඩමක් ඉගැන්වීමට බලා සිටින ඇමරිකාව සහ යුරෝපා රටවල් යුක්රේන ගින්නට තෙල් වත්කරමින් තම බලය ප්‍රදර්ශනය කිරීමට දරන උත්සාහයද අත් නොහරින බවට සැකයක් නැත. එබැවින්ම තවමත් ගිනි අවි පත්තු නොවූවද යුක්රේනයේ වාතාවරණය දැඩි සේ අවිනිශ්චිත බව පැවසිය යුතුමය.