පිරිමින්ටත් අභියෝග කරන යකඩ ගෑනු | සිළුමිණ

පිරිමින්ටත් අභියෝග කරන යකඩ ගෑනු

ඉස්සරම රැකියාවල නිරත වුණේ පිරිමි විතරයි. කාන්තාවන් ගෙදරදොර කටයුතු බලාගෙන උන්නා. ඒත් ජීවන බර වැඩිවෙද්දී මුදල් සොයන්නට නිවෙසින් පිට වෙන්න කාන්තාවන්ටත් සිදු වුණා. ඒත් මුල්කාලයේදී කාන­්තාවන් නිරත වුණේ එතරම් අපහසු නොවන, කාන්තාවන්ටම සුවිශේෂ වුණු වෘත්තීන්වල තමයි. හෙද වෘත්තිය, ගුරු වෘත්තිය ඒ අතරින් ප්‍රධානයි. ඒත් පසුකාලීනව කාන්තාවන් බොහොමයක් පිරිමින්ටත් අභියෝග කරමින් බොහෝ අසීරු වෘත්තීන්ටත් යොමු වුණා. ඒ විතරක් නෙමෙයි පිරිමින්ටත් වඩා හොඳින් ඒ වෘත්තීන් හි නිරත වුණා.

ට්‍රක් රථ රියදුරුවරියන් කියන්නෙත් අන්න ඒ වගේ පිරිමින්ට අභියෝගයක් වුණු කාන්තාවන්ට. ට්‍රක් රථ ධාවනය ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. විශේෂයෙන් ම විදේශ රටවල. වර්ග ප්‍රමාණයෙන් කුඩා අපේ රටේ පැය කිහිපයක් ඇතුළත ඒ කෙළවරේ ඉඳන් මේ කෙළවරට ගමන් කළ හැකි වුණත් බොහෝ රටවල එහෙම නැහැ. ඇමෙරිකාව වගේ රටවල් ගත්තොත් එක් ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට යන්න ම දින කිහිපයක් ගත වෙනවා. ගුවනින් භාණ්ඩ ප්‍රවාහනය ඉතා මිල අධික වන නිසාම බොහෝ රටවල් භාණ්ඩ ප්‍රවාහයට යොදා ගන්නේ ට්‍රක් රථ. මේ ඇතැම් ට්‍රක් රථවල ගමනාන්ත රටවල් කිහිපයක් හරහා වැටී තිබෙනවා. ඇතැම් ගමනාන්තවලට ළඟාවන විට මාස ගණන් ගත වී යනවා. ඉතින් මේ වෘත්තිය ඉතා කටුකයි. තමන්ගේ නිවහන වෙන්නේ ට්‍රක් රථය. ඒ වගේම මේ ට්‍රක් රථ හැසිරවීම සාමාන්‍ය වාහන ධාවනයට වඩා ඉතා අසීරුයි; වෙහෙසකරයි. සමහරවිට දින ගණනාවක් එක දිගට ධාවනයේ යෙදෙන්න සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි රෝද දහයකටත් වඩා අධික ඇතැම් ට්‍රක් රථ පසුපසට පැදවීම වගේම හැරවීමත් ඉතා ම අසීරුයි. ඉතින් ට්‍රක් රථ ධාවනය වසර ගණනාවක් තිස්සේ පිරිමින්ට පමණක් ම උරුම රැකියාවක් වුණා.

ඒත් දැන් තත්ත්වය වෙනස්. මේ අසීරු රැකියාවේ නිතර වන කාන්තාවන් රාශියක්ම ලොව පුරා පැතිරී ඉන්නවා. දැන් ට්‍රක් රථ රියදුරුවරියන් කියන්නේ කාන්තාවන් නිරත වන තවත් එක් සාමාන්‍ය රැකියාවක් පමණයි. ඒ මදිවට මේ අසීරු අසාමාන්‍ය වෘත්තියේ නිතර වන කාන්තාවන් ගැන විශේෂ ඇගයීම් දක්නට ලැබෙනවා. ඒ ඔවුන් පිරිමින්ටත් අභියෝගයක් වන නිසා.

අද කියන්න යන්නෙත් එවන් විශේෂ කාන්තාවන් පිරිසක් ගැන. මේ ට්‍රක් රථ රියැදුරුවරියන් යම් යම් විශේෂතා නිසාම ‘thething.com‘ වෙබ් අඩවියේ අවධානයට ලක්ව තිබෙනවා. ඔවුන් පසුගියදා ලෝකයේ විශිෂ්ටතම ට්‍රක් රථ රියදුරුවරියන් 20දෙනා සම්බන්ධව ලිපියක් පළ කළා. මේ ඒ අතරින් කිහිප දෙනෙක්.

ලුසී මහා බ්‍රිතානයේ ට්‍රක් රථ ධාවනයේ යෙදෙන රියදුරුවරියක්. බ්‍රෙක්සිට් නිසාම අවට රටවලින් බ්‍රිතාන්‍යයේ සේවයට පැමිණෙන පිරිස් අඩු වූ නිසා රියදුරන්ගේ විශාල අඩුවක් ඇති වුවා. ඒ අඩුව පුරවන්න එකතු වූ පිරිස අතර ලුසීත් සිටියා ඇයගේ විශේෂත්වය ඇය තවමත් 18 හැවිරිදි වියේ පසුවීමයි. ඒ වගේම ඇය තෝරාගත් වෘත්තිය ඉතා දුෂ්කර එකක් වුවත් ඇය ඉතා ම සතුටෙන්.

මාරියා, ඇය මවක්. ඒත් ඇය තම රූ සපුව ගැන මනා සේ සැලකිලිමත්. දින ගණනාවක් තම ට්‍රක් රථයේ ගත කළත් ඇය තම ජිවිතය කෙසේ හෝ සමබර කරගන්න සමත්, දක්ෂ කාන්තාවක්.

සාරා ඇය අප්‍රිකාවේ සිට යුරෝපයට සංක්‍රමණය වූ කාන්තාවක්. ඇය ට්‍රක් රථ රියැදුරුවරියක් පමණක් නොවෙයි, ගෙයින් ගෙට භාණ්ඩ ප්‍රවාහනය කරන්නියක්. ඇය කියන්නේ තමා නිවෙසක දොරටුව ඉදිරිපිට රැඳී සිටීම බොහෝ නිවෙසියන්ගේ මුහුණේ පුදුමය සටහන් කරන දර්ශනයක් බවයි. ඒත් මම බොහෝ සතුටෙන් මේ වෘත්තියේ නිරත වනවා. ඇය පසුවෙනවා. නිකල්ස්; ඇය රූ රැජිනක් තරමට රූමත්. ඇයගේ වෘත්තියේ හැටියට රූපය ගැන සිතීමට ඇයට කාලය තිබෙනවා ද සැකයි. ඒත් ඇය සාර්ථකයි. ස්ටෙප්; ඇය අයිස්ලන්තයේ ඉතා අසීරු මාර්ගවල ධාවනයේ යෙදන්නියක්. අවම තරමේ ඇය තම රියදුරු අසුනටවත් උස නැහැ. ඒත් ඇය ආරක්ෂිත ව රිය පැවීමට සමත් විශ්වාසය දිනාගත් දක්ෂ කාන්තාවක්. තායිලන්තයේ රෝ වෙං පවසන්නේ ඇයට ට්‍රක් රථ ධාවනය ක්‍රිඩාවක් තරමට ආශ්වාදජනක බවයි. නැඟෙනහිර යුරෝපය පුරා දින ගණනාවක් එකදිගට ධාවනය කරන ඩුබේ ඉතා ශක්තිමත් කාන්තාවක්. බව අමුතුවෙන් කිව යුතු නැහැ.

 

Comments