දෙස් විදෙස් පතළ ලංකාවේ කලාගාර 5ක් | සිළුමිණ

දෙස් විදෙස් පතළ ලංකාවේ කලාගාර 5ක්

කලාගාර යනු ලොව ඕනෑම රටක කලා උරුමය, සංස්කෘතිය සෙසු ලෝකයත් සමඟ බෙදාගන්නා පරිශ්‍ර වෙති. එක් රටක පමණක් නොව නොයෙක් රටවල් නිර්මාණ ඒවායේදී කලා රසිකයන්ට හමු වේ. පොහොසත් කලා සංස්කෘතික උරුමයකට හිමිකම් කියන ශ්‍රී ලංකවේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි දෙස් විදෙස් අවධානයට ලක්වූ මුල් පෙළේ කලාගාර කිහිපයක තතු මෙලෙස දක්වන්නේ ඒවායේ ඇසුර දියුණු ජීවිතයක් වෙනුවෙන් නිතැතින්ම ඉවහල් වන බව පැහැදිලි හෙයිනි.

 

ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය

කොළඹ 7, හෝර්ටන් පෙදෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි මෙම කලාගාරය මෙරට බිහිවූ අග්‍රගණ්‍ය අලේඛ්‍ය චිත්‍ර ශිල්පිනියක් ලෙස සැලකෙන ජේ.ඩී.ඒ. පෙරේරා වෙනුවෙන් ප්‍රණාම දැක්වීමකි. ජේ.ඩී.ඒ. ගේ සිතුවම් කලාවේ විශිෂ්ටත්වය සුප්‍රකට විදෙස් චිත්‍ර ශිල්පීන් පවා මවිතයට ලක්කරන සුළුය. 2010 වර්ෂයේදී දෙස් - විදෙස් කලා රසිකයන්ගේ අපේක්ෂා ඵල දරමින් විවෘත විය. මෙරටින් බිහිවූ තවත් අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියෙක් ලෙස පිළිගැනෙන ඩේවිඩ් පේන්ටර් ගේ අස්ථානගතව තිබූ චිත්‍ර එකතුව සොයා ගැනීමෙන් පසුව එ් චිත්‍ර ප්‍රදර්ශනයට තබා ඇත්තේ ද ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේම කොටසකය. එය පළමු මහලේ පිහිටා තිබේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ අධිපති ලෙස කලක් පේන්ටර් කටයුතු කර ඇත. ඔහුගේ මෙම වටිනා චිත්‍ර එකතුව ඊට පරිත්‍යාග කර ඇත්තේ අන්තිම කැමැති පත්‍රයට අනුව බව සඳහන් වේ. ඔහුගේ සොහොයුරිය විසින් ඒවා පරිත්‍යාග කිරීමෙන් පසුව කලක් අස්ථානගත ව තිබිණි.

 

පැරඩයිස් රෝඩ් ගැලරි කැෆේ

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා ගේ කාර්යාලය මෙලෙස කලාගාරයක් හා කැෆේ එකක් බවට පත්ව තිබේ. ඔහුගේ අභාවයට පෙර මෙය ඇති කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. කොළඹ - 3 ඇල්ෆ්‍රඩ්හවුස් ගාඩ්න්හි පිහිටා ඇති මෙය කලාකාමීන් අතර ජනප්‍රිය ස්ථානයකි. 1987 දී අරඹන ලදී. කලාගාරය ස්ථාපිත වූයේ 1998 දීය. 'PARADISE ROAD' යනු මේ වනවිට ප්‍රකට සන්නාමයකි. එය අන්තර්ජාතික අවධානයට ලක්ව ඇත. නිර්මාතෘ උදයශාන්ත ජේ. ෆර්නැන්ඩ ය. මෙම කලාගාරය සතුව විශිෂ්ට චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ එකතුවක් තිබේ. එහි චිත්‍ර ප්‍රදර්ශන ද පැවැත්වෙයි. විදේශීය සංචාරකයන්ගේ ද ආකර්ෂණයට ලක්වූ ස්ථානයකි.

 

ලයනල් වෙන්ඩ්ට් කලාගාරය

1930 සහ 1940 ගණන්වලදී මෙරට අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක්, මෙන්ම පියානෝ වාදකයෙක් සහ කලා උපදේශකයෙක් වූ ලයනල් වෙන්ඩ්ට් සිහි කරමින් මෙම කලාගාරය 1953 ස්ථාපිත කර තිබේ. දෘශ්‍ය මෙන්ම ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රය වෙනුවෙන් එය ඉටු කරමින් ඇති මෙහවෙර විසල්ය. මෙම පරිශ්‍රය හැරල්ඩ් පීරිස් කලාගාරය, ලයනල් වෙන්ඩ්ට් රඟහල හා ලයනල් වෙන්ඩ්ට් කලාගාරය එක්ව ගත්විට එය හැඳින්වෙන්නේ මෙලෙසිනි. කොළඹ පිහිටි එකම බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානය ද මෙයයි. පෙරදිග හා අපරදිග සම්මුඛ වන ස්ථානය ලෙස ද එය ප්‍රකටය. රංග ශාලාවේ එකවර 600 දෙනෙකුට ආසන පහසුකම් පවතී.

 

ජාතික කලාභවන

රාජ්‍ය අනුග්‍රහය සහිතව ඇතිවූ පළමු කලාගාරය ජාතික කලාභවනයි. ලංකා කලා සංගමයේ සහ ලංකා කලා මණ්ඩලයේ මූලිකත්වයෙන් 1932 දී පළමු ව ස්ථාපිත වූ එය 1950 සිට ජාතික කලාභවන බවට පත්විය. කොළඹ කෞතුකාගාරයට යාබදව පිහිටි ඒ ගොඩනැඟිල්ල ගෘහ නිර්මාණ ශිල්පී මුදලිඳු ඒ.සී.ජී.එස්. අමරසේකරගේ නිර්මාණයකි. එය ඍජුකෝණාශ්‍රාකාර ගොඩනැඟිලි 2කින් සමන්විත ය. ඉන් එක් ගොඩනැඟිල්ලක කලාභවන සතු ස්ථිර නිර්මාණ එකතුව ප්‍රදර්ශනය කෙරේ. අනෙක් ගොඩනැඟිල්ල වෙන්කර ඇත්තේ චිත්‍ර - මූර්ති ප්‍රදර්ශන ආදිය සඳහා ය. කලාභවන සතු අගනා නිර්මාණ විධිමත් ලෙස ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාව කලක පටන් අවධානයට ලක්ව ඇති කාරණයකි. නවීකරණ කටයුතු සඳහා වසර ගණනාවක් තිස්සේ වසා දමා තිබේ. නෙළුම් පොකුණ රඟහල, විහාරමහාදේවි උද්‍යානය වැනි ස්ථාන ආශ්‍රිතව දැකුම්කලු පරිසරයක මෙම පරිශ්‍රය පිහිටා තිබේ.

 

බෙයාර්ෆුට් ගැලරි

කොළඹ කොල්ලුපිටියේ පිහිටි මෙම කලාගාරය චිත්‍ර ශිල්පීන්, සංගීතඥයන්, කවීන්, සිනමාකරුවන්, ඡායාරූප ශිල්පීන්, විවිධ කලාකරුවන් සිය නිර්මාණ කටයුතුවලදී යොදාගන්නා ස්ථානයකි. විදේශීය නිර්මාණකරුවන් ද ඒ අතර වෙති. කලාගාරයට අමතරව කැෆේ එකක් ද පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ වාණිජ මට්ටමේ පළමු කලාගාරය ලෙස මෙය සඳහන්ය. මුලදී ගැලරි 706 ලෙස හැඳින්විණ. 1999 වර්ෂයේ සිට බෙයාර්ෆුට් යනුවෙන් නම් විය. දිවයිනේ ප්‍රකට චිත්‍ර ශිල්පීන් ගණනාවක් මෙහි ප්‍රදර්ශන පවත්වා ඇත.

Comments