
මලලසේකර නාමය නොදන්නා යමෙක් ලංකාවේ සිටිය නොහැකි තරමට ඒ නාමය දනන් අතර ප්‍රචලිත ය. එයට හේතුව වන්නේ මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය පරිහරණය නොකළ ශ්‍රී ලාංකිකයකු සොයා ගැනීම උගහට වීමයි. සිය නාමය සේම පර්යාය නාමයක් කෙනකුට මතක තිබෙන්නේ නම් ඒ මලලසේකර නාමය ය.
දෙස් විදෙස් සම්භාවනාවට ලක් වූ ගුණපාල මලලසේකරයන්ගේ කනිටු පුතු විජය මලලසේකර පසුගියදා මෙලොවින් සමුගත් කනගාටුදායක ප්‍රවෘත්තිය අප කන වැකෙන්නේ එකී පරම්පරාවක ගෞරවනීය මතකය යළි යළිත් අපට සපථ කරමිනි. මහාචාර්ය ගුණපාල මලලසේකර 1973 අප්‍රේල් 23 වැනි දින දිවි සැරිය නිමා කරද්දී 74 වැනි වියේ පසු වූ අතර; 1945 අගෝස්තු මස එකොළොස් වැනි දින උපන් ඔහුගේ කනිටු පුතණුවන් වන විජය ප්‍රසන්න මලලසේකර සිය දිවිසැරිය නිමා කරන විට 77 වැනි වියේ පසු විණි. 1972 අගෝස්තු 16 දා නිර්මලී සමඟ යුග දිවිය ආරම්භ කළ ඔහු සන්ජිව්, රජිව්, අශාන් සහ ප්‍රශාන් යන පුතුන් හතරදෙනකු ගේ ආදරණීය පියාණන් ය. හේ ටාල්යා, අන්යෙලා, ටරූන්, ටියන්, අරෙක්, ටායි නම් මුනුපුරු මිනිබිරියන් හයදෙනකු ගේ මුත්තණුවෙකි.
කීර්තිමත් මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ට දරුවන් හයදෙනෙකි. ඒ චිත්‍රා, අනෝමා, කාන්තා, ඉන්ද්‍රජිත්, අර්ජුන හා විජය ය. විජය බාලයා ය. විජය ඇතුළු පිරිමි දරුවන් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඒ පිළිබඳ වරක් සිළුමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් හේ පවසා ඇත්තේ මෙවැන්නකි.
‘" ඒ කාලේ ආනන්ද, නාලන්දා කියන්නේ පරම විඥානාර්ථ සංගමයෙන් පාලනය වූ පාසල්. මාස්පතා මුදල් ගෙවන්න ඕනෑ. තාත්තට අපි තුන් දෙනාම ආනන්දයට දාලා මුදල් ගෙවන්න තරම් ලොකු වත්කමක් නොතිබූ නිසයි අපිව රාජකීය විදුහලට ඇතුළත් කළේ. අපි ගෙදර ඉඳලා තුරඟ තරග පිට්ටනිය මැද්දෙන් පයින්ම ඉස්කෝලෙ ගියා. තාත්තා කවදත් කිව්වේ "කොල්ලන්ට කාර් ඕන නැහැ. කොල්ලන්ට ඇවිදින්න පුළුවන්" කියලා. අක්කලා නම් විශාඛා විද්‍යාලයට කාර් එකෙන් ගියා. "
විජය මලලසේකර කුඩා කාලයේ සිට ම ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කර තිබේ. ක්‍රිකට් ගැසීම පැත්තකට දමා පාඩම් වැඩට සිත යොදවන ලෙස වරක් මහාචාර්යවරයා තම බාල පුතු විජයට පවසා තිබේ. සිය පුතු වෛද්‍යවරයකු වනු දැකීම මහාචාර්යවරයා ප්‍රිය කළ ද; විජය මලලසේකර ලන්ඩන් කේම්බ්‍රිජ් සරසවියෙන් බැරිස්ටර් විභාගය සමත් වී නීතිඥවරයෙක් වූ පසු ඒ ගැන සිය පියා සතුටු වූ බැව් ඔහු වරක් පවසා තිබේ.
![]() |
වමේ සිට - දරුවන් වන ප්‍රශාන්, අශාන්, රජිව්, සන්ජීව් සහ බිරිය නිර්මලී සමඟ විජය 1993 දී |
මහාචාර්ය මලලසේකරයන් කළ මෙහෙය අනාගත පරපුර වෙත ගෙන යෑමට ක්‍රියා කරන මලලසේකර පරම්පරාවේ විජය දැවැන්තයෙකි. කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ විජය මලලසේකර පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට අමතරව ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇත. 1967 වසරේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවා ලෙස ඔහු සහභාගී වී තිබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන ලද පළමු ආසියාතිකයා බවට පත්වූ විජය මලලසේකර ඒ විශ්වවිද්‍යාල කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් තරග 27 කට සහභාගී වී ලංකා නාමය කීර්තිමත් කළේ ය.
සිය උපාධිය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි විජය මලලසේකර එන්.සී.සී. කණ්ඩායම යටතේ සරා කුසලාන තරගාවලි කීපයක් වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නේ ය. ඉන් අනතුරුව ඩේලි නිවුස් කුසලාන තරගාවලියේදී කොළඹ සී. සී. සී. කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අතුරු කමිටු සභාපතිවරයා ලෙස පත් කරන ලදී. මයිකල් තිසේරා, සිදත් වෙත්තමුණි සහ කුෂිල් ගුණසේකර යන අය ඒ කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩ ව ටෙස්ට් තරග 10 ක් ජය ගනු ලැබුවේ ද විජය මලලසේකර සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද කාලසීමාවේදී ය. එය මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට ම වැඩි ම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන ලද වකවානුව ලෙසින් ද සටහන් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන විජය මලලසේකර ක්‍රිකට් සභාපතිවරයාට අමතරව පරිපාලකයකු, නීතීඥයකු සහ ඉහළ පෙළේ ආයතනික විධායකයකු විණි.
සිය පියාගේ අඩිපාරේ යමින් දේශීය සංස්කෘතියට, බෞද්ධාගමට බෙහෙවින් ඇලුම් කළ විජය මලලසේකර සිය පියා සේම ලංකාව කීර්තිමත් කරන්නට ක්‍රීඩා ක්ෂේත්රයෙන් බරසාර වටිනා මෙහෙවරක් ඉටු කළේ ය. කොළඹ හතේ මලලසේකර මාවතේ පිහිටි නිවෙසේ සරල, චාම් හා සන්සුන් දිවියක් ගත කළ හේ හෙළ සිරිතට සහ බෞද්ධ ආගමික පරිසරයට මුල් තැන දුන්නේ ය. සිය පියා සමඟ වෙසක් පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වීමට ගිය විජය මලලසේකර එකී පුරුද්ද හා මතකය හේතුවෙන් බෞද්ධාගමික ඌරුවක් සිය නිවෙසේ ඇති කරන්නට පසුබට වූයේ නැත. ඒ අනුව සිය පියාගේ අඩිපාරේ යමින් ඔහුගේ පුතණුවන් සිවුදෙනා ද සිය මුත්තණුවන්ගේ උරුමය අනාගතයට දායාද කරන්නට වෙහෙසෙති.
නොමැකෙන නාමයක් ලාංකේය ධරණීතලයේ ඉතිරි කරමින් දිවිසැරිය නිම කළ විජය මලලසේකර සිය පියාණන් සේම කීර්තිමත් ජීවිතයක් ගත කෙරූවෙකි. රට දැය වෙනුවෙන් බොහෝ දෑ ඉටු කෙරූවෙකි. විසල් මෙහෙවරක් නිහඬ ව ම කර හේ පසුගිය පෙබරවාරි 5 වැනිදා නිහඬ ව ම සමු ගත්තේ ය. මලලසේකර නාමය දනන් මුවඟ නැවත නැවතත් රාව ප්රතිරාව නැංවූ ඔහු පරපුරක් ජීවමාන කළ වර්තමානිකයා ය.
![]() |
විජය මලලසේකර සිය බාල මුනුපුරු ටායි සමඟ වසර 2021 දී |
![]() |
විජය සිය බිරිය නිර්මලී සමඟ 2021 දී |