
ඔහු ධනවතකුව ඉපිද දුප්පතුන් වෙනුවෙන් ජීවත් වූ යුග පුරුෂයෙකි. නමින් සර් ජෝන් කොතලාවල ය. සිය ඇවතුමෙන් පැවතුමෙන් සහ ප්‍රතිපත්තිගරුක ජීවිත ආදර්ශයෙන් ජන හදවත් දිනූවෙකි. ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ ජීවන චරිතය පිළිබඳ සිළුමිණෙහි පළවන සංක්ෂිප්ත කතා මාලාවක දෙවැනි කොටසයි මේ.
- රාජකීය විද්‍යාල කැඩේට් භට හමුදාවට බැඳී ප්රමුඛ නමක් ගත් කොතලාවල අසුන් පිට යෑමේ දක්ෂයකු බවට රාවයක් පැතිර ගොස් තිබිණ.
- “මම යනව නම් යන්නෙ යුරෝපයට. ඕස්ට්‍රේලියාවට මාව යවන්න එපා.“ කොතලාවලගේ ඒ් තීරණය අවසාන තීරණය විය
- ජර්මන් හමුදා පැරිසිය අසල යුද්ධ කරමින් සිටියදී ජෝන් කොතලාවල සිය ඥාතියා සමඟ ඒ ගමන ගියේ ජීවිතය පරදුවට තබාය
දෙවැනි ලෝක යුද්ධ කාලයේ මහරගම පිහිටුවූ අත්‍යවශ්‍ය සේවා හමුදාව භාරව සිටියේ කොතලාවල මහතාය. එම හමුදාව ප්‍රමාණයෙන් පහළොස් දහසකි. කම්කරු හමුදාවට බැඳී සිටි කිසිවකුට අධ්‍යාපනයක් හෝ හමුදා පුහුණුවක් නොවීය. මේ පිරිස අතරේ නිතර නිතර හොරකම් අඬ දබර කෝලාහල පැවතිණ. මොන විධියෙන් අවවාද කළත් පිරිස අතරේ සිදුවන දබර අඩු නොවන බව පෙනිණ. කොතලාවල මහතාට කල්පනාවක් පහළ විය. තමා පාසල් සමයේ උගත් බොක්සිං ක්‍රීඩාව මේ අයට ද පුරුදු කළොත් මේ කරදර ඉවර වෙතැයි සිතිණ. ඉස්සර වෙලා දෙතුන් දෙනකුට බොක්සිං ක්‍රීඩාව පුරුදු කොට ටිකෙන් ටික මුළු පිරිසටම බොක්සිං ක්‍රීඩා පුරුදු කරන්නට අදහස් විය. මෙය මිනිසුන්ට මහා කරදරයක් විය.
“අනේ බුදු රත්තරන් මහත්තයො මාව මේකෙන් බේරා දෙන්න“ කියා සමහරු වැඳ වැටී ඉල්ලා සිටියේ බොක්සිං ක්‍රීඩාවට තමන් නොගන්නා ලෙසය. එහෙත් තමාගේ අදහස වෙනස් නොකළ කොතලාවල මහතා සුළු කලෙකින් මුළු කම්කරු හමුදාවටම බොක්සිං ක්‍රීඩාව පුහුණු කළේය. මෙතෙක් කලක් තිබූ අඬ දබර, කෝලාහල, සොරකම්, කුණුහරුප කීම් සියල්ල නැතිව ගොස් විනය ගරුක පිරිසක් ඇති විය.
රාජකීය විද්‍යාලයේ ඉගෙනගත් කාලය පිළිබඳ රසවත් සිද්ධි එදා සර් ජෝන් කොතලාවල සිහි කළේ දැඩි ප්රීතියකිනි. රෝයල් තෝමියන් ක්‍රිකට් මැච් එක එනතුරු මේ විද්‍යාල දෙකේම ශිෂ්‍යයන් බලා සිටින්නේ දැඩි බලාපොරොත්තුවෙනි. එදා මෙදා තරම් ශිෂ්‍යයන් විනෝදයට පත්වන වෙන එක් දිනයක්වත් නැත. වරක් රෝයල් තෝමියන් මැච් එක අවසන් වී විද්‍යාල දෙකේ ම යහළුවන් හත් අට දෙනෙකු සමඟ කොතලාවල ගියේ කා බී ප්‍රීති වීමටය. දවස මුළුල්ලේ දැඩි සේ මහන්සිව සිටි නිසා බොම්බෙ හෝටලයට ගිය පසු ලොකු නිදහසක් දැනුණි. විහිළු තහළු කරමින් කමින් බොමින් සිසු පිරිස ප්‍රීති වූහ. පරණ සින්දු හත අටක් ගායනා වුණි. සින්දුවලට වාද්‍ය භාණ්ඩ වූයේ පුටු මේසය. හෝටලය මහ කලබගෑනියක ස්වරූප ගත්තේ ය. හෝටලයට පැමිණි අන් අයට මෙය රිස්සුම් නොදෙන කාරියක් විය. රැවිල්ලෙන් බැලිල්ලෙන් පටන් ගත් නොරිස්සුම් අැනුම් බැණුම්වලට ද ගුටි කෙළිවලට ද හැරණි. බෝතල් පිඟන් කෝප්ප එකිනෙකාගේ ඇඟේ හැප්පුණි. හෝටලේ සේවකයන් දරපොලු රැගෙන ශිෂ්‍ය පිරිසට පහර දුන්හ. අන්තිමේ වීරයන් පිරිස පසු නොබලා දුවන්නට වූහ. මේ පිරිස දිව ගොස් නැවතුණේ ට්රෑම් රථයකය.
“ඉක්මනට ටිකට් ගන්නව“ කියා කොන්දොස්තර නිගරුව කියූ කථාව තමාට ඇල්ලුවේ නැත. එතන ද වාදය විවාදයකට හැරුණි. කොන්දොස්තරගේ පැත්ත ගත් අය ද සිටියෙන් දෙපිරිස අතර ද ගැටුමක් විය. අතරමඟදී ටිකට් පරීක්ෂකයන් පිරිසක් ට්රෑම් රථයට ඇතුළු විය. තත්ත්වය නරක අතට හැරණේ එතනදීය. කලබල කළ ශිෂ්‍යයන් කිසිවකුට ටිකට් නැත.
“අල්ලනව බොරැල්ල පොලීසියට“
ටිකට් පරීක්ෂකවරු රියදුරුට කීහ. ට්රෑම් රථය බොරැල්ලේ නැවතුණේ ය. පොලීසියට ගෙන ගිය සිසුන් කෙළින්ම රිමාන්ඩ් භාරයට පමුණුවන ලදී. දැන් කළ යුත්තේ කිමෙක්දැයි කිසිවකුට වැටහීමක් නැත. සියලු දෙනා ළඟම තිබූ මුදල් එක්කර භාරදී යන්තම් ආපසු යා ගත හැකි විය. ඒ වනවිට පැය කීපයක් පොලිස් කූඩුවේ ගත කොට හමාරය.
රාජකීය විද්‍යාල කැඩේට් භට හමුදාවට බැඳී ප්රමුඛ නමක් ගත් කොතලාවල මහතා අසුන් පිට යාමේ දක්ෂයකු බවට රාවයක් පැතිර ගොස් තිබිණ. ගෙදරට හොරෙන් හැම දිනකම අසුන් පිට යාම පුරුද්දක් කරගෙන තිබුණි. ඒ කාලයේ කොළඹ හතේ වයසක සල්ලිකාර මිනිසුන් එකතුව හදා ගෙන තිබූ ‘මවුන්ටඩ් සෙක්ෂන් ටවුන්ගාඩ්‘ නමැති ඒකකයේ අසුන් පිට යාම පුරුදු කිරීමට තෝරාගත් කොතලාවල තරුණයා පිරිස අතර ජනප්‍රිය විය. අසුන් පිට යාමේ ප්‍රකට නමක් හිමි කරගන සිටි ඩී.ඩී. ප්‍රේද්‍රික්, ඩී.එස්, සේනානායක යන අය ද එකල මෙම සාමාජිකයෝ වූහ. මේ වනවිට කොතලාවල, සේනානායක, ආටිගල යන පවුල්වල හැම දෙනකුම වාගේ ජාතික සටන් ව්‍යාපාරයට පැටලීම නිසා හිරගෙදර දුක් විඳිමින් සිටියහ. හිරේ සිටින නෑදෑයන් ගැන ගෙදරදී කෙරෙන කථා බහට නිතර කන් දුන් කොතලාවලට ජාතික සටනට එකතු වීමට සිතුණි. මෙය බලවත්ව දැනෙන්නට වූයේ සාමකාමී වැඩපිළිවෙළකට වඩා ආක්‍රමණශීලී මුහුණුවරක් ගත යුතු යැයි හැඟීම පහළ විය.
තමාගේ පාසල් සගයන් සමඟ ද තම අදහස ප්‍රකාශ කළ කොතලාවලට හිතවත්ම මිතුරන් දෙදෙනා වූ පී.එච්.පී. ජයතිලක සහ ආර්.පී. ද සිල්වාගේ එකඟත්වය ලැබිණ. පාසල් කාල වේලාවේ තිදෙනාගේම කථා බහ වූයේ සටන් ව්‍යාපාරය පටන් ගත යුත්තේ කෙසේද කියාය. සටන් කරන්නට නම් අවි ආයුධ අවශ්‍ය බව කථිකා කරගත් මේ තිදෙනා තුවක්කු තුනක් සොරකම් කරගෙන ආහ. තුවක්කු තුන රාජකීය විදුහල පිටිපස වළක් තුළ සැඟවූහ. මුළු පාසලේම සිසුන්ගේ කථාවට මේ තුවක්කු සිද්ධිය පැතිරී යන්නට වැඩි වේලාවක් ගියේ නැත. ළමුන් දෙදෙනෙක් එකතු වූ තැන කථාව වූයේ තුවක්කු සිද්ධියමය. දිනක් ගත වන්නට පෙර මුළු පාසලේ ම ශිෂ්‍යයන් අතරට තුවක්කු සිද්ධිය ගැන විවිධාකාර කථා බහ පැතිරුණි.හදිසියේ විදුහල්පතිගෙන් මේ තිදෙනාට පණිවිඩයක් ලැබිණි. විදුහල්පතිගේ මුහුණ කේන්තියෙන් පිපිරෙමින් තිබිණි.
“මේක යුද්ධ නීති කාලෙ. උඹල තුන්දෙනා කරල තියෙන්නෙ බරපතළ වැරැද්දක්. පොලිසියට දාල නඩු යවන්නද? නැත්නම් උඹල තුන්දෙනා ගෙදර යවනවද?“විදුහල්පතිගේ කථාව ඇසූ තිදෙනාටම කර කියා ගත හැකි කිසිවක් නොවූයෙන් ගෙදර යාමට තීරණය කළේය.
“මම ගෙදර ගිහින් හිරේ ඉන්න නෑදෑයන්ට බත් ගෙනියනවා“ කොතලාවල කීවේය. “අපි ගෙදර ගිහිල්ල තාත්තලගෙ බිස්නස්වලට උදව් වෙනවා.“ පී.එච්.ටී සහ ආර්.පී. කීහ. තුන්දෙනාගේ ම පාසල් ගමන අවසන් වූයේ මෙපරිද්දෙනි.
රාජකීය විද්‍යාල ගමන නතර වූ පසු ගෙදර සුළු වැඩවලට සහාය වෙමින් සිටි කොතලාවල තරුණයා වැදගත් වැඩකට යොමු කළ යුතු යයි එෆ්.ආර්. සේනානායක මහතාට සිතුණි. කොතලාවල මෑණියන්ගේ සහෝදරියක හා විවාහ වී සිටි එෆ්.ආර්. සේනානායක මහතා ජෝන් කොතලාවල මහතාගේ මරණින් පසුව පවුලේ ආරක්ෂාව සැලසූ පුද්ගලයාය. දිනක් එෆ්.ආර්. සේනානායක මහතා කොතලාවල තරුණයා තමා වෙතට කැඳ වූයේ ය. “උඹ කැමති ද පිටරට ගොහින් ඉගෙන ගන්න“ එෆ්.ආර්. කොතලාවල තරුණයාගෙන් ඇසීය.
“කැමැතියි කැමතියි“
“මේ යුද්ධ කාලෙ හින්ද උඹට බයක් නැද්ද?“
“යුද්ධ කාලෙ හින්ද තමයි මම කැමති. නියම විධියට කෙරෙන යුද්ධ බලාගන්න පුළුවන් එතකොට.“
ලෝක යුද්ධය ඇවිළෙතැයි මුළු රටම තැති ගැන්මෙන්. බලා සිටිද්දී යුද්ධය කරන රටකට යන්නට කොතලාවල සිතුවේ ය. පිටරට යනවා නම් ඕස්ට්‍රේලියාවට යා යුතු යයි නෑදෑයෝ කීහ. යුරෝපයේ යුධ සටන් ඇවිළෙද්දී ඕස්ට්‍රේලියාවට යාම බියගුළු වැඩක් යයි කොතලාවලට සිතුණි. “මම යනව නම් යන්නෙ යුරෝපයට. ඕස්ට්‍රේලියාවට මාව යවන්න එපා.“ කොතලාවලගේ තීරණය අවසාන තීරණයකි. කිසිවකුට මෙයට විරුද්ධ විය හැකි නොවී ය. අන්තිමේදී යුරෝපයට යන්නටම අවසරය ලැබිණ. තනි නොතනියට නෑදෑයෙක් ද ලැබිණි. දෙදෙනා නැව් නැග්ගහ.
පළමු වතාවට පිටරටකට යන ගමනක් නිසා කොතලාවල මහතාට මෙය මහත් විනෝදයක් මෙන්ම බලගතු අත්දැකීමක් ද විය. ගුවන් යානයකින් පැය ගණනකින් කෙරෙන ගමනකට වඩා නැවකින් මාස ගණනක් කෙරෙන ගමනක් නිසා තවත් අතකට මෙය විනෝදයක් ද විය. නැවේ ගමන් ගත් තමා සමඟ පැමිණි ඥාතියා හැර කථා කිරීමටවත් වෙනත් අයකු නොසිටියේ ය. එහි සිටි කිසිවකුට ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට හැකියාවක් නැත. නැවේ ගමනට අතරමඟදී බ්‍රිතාන්‍ය ජාතිකයකු එක් විය. බ්‍රිතාන්‍යයේ යටත් රටක ශිෂ්‍යයන් දෙදෙනකු නිසා කොතලාවලටත් තම නෑයාටත් ඔහු බෙහෙවින් කාරුණික විය. ඈත මුහුදේ තනිවෙද්දී මොවුන් ගිය නැවට අන්තරායක පෙරනිමිති පහළ විය. ජර්මන් සබ්මැරීනයක් මේ නැව ලුහු බඳින බව දැනගන්නට ලැබිණි. ජීවත්වීම පිළිබඳ ආශාව සියල්ලන් ගෙන්ම කෙමෙන් ඉවත් විය. සියලු දෙනාම නැවේ උඩ තට්ටුවට වී ජීවිත ආරක්ෂක පටිවලට ජීවිතය බාර කොට අවසන් මොහොත එනතුරු බලා සිටියහ. නොදැනුවත්ව නැව වර්සෙල්ස් වරායට සේන්දු විය. සියල්ලෝම සතුටට පත්වූහ. ජීවත්වීමට තවත් වාසනාවක් ඇතැයි ප්‍රීතියට පත්වූහ. එළියට පනින්නට පොර කෑ අය අතර මුලින්ම සිටියේ වයස් ගත ප්‍රංශ කාරයෝය. ප්‍රංශයේ දකුණු වෙරළට ගොඩ බැස්ස පිරිසට එංගලන්තයට යාම භයානක දෙයක් විය. මේ වනවිට ජර්මන් හමුදා පැරිසිය අසල යුද්ධ කරමින් සිටියහ. කොතලාවල සිය ඥාතියා සමඟ මේ ගමන ගියේ ජීවිතය පරදුවට තබා ය. ප්‍රංශ භාෂාව ගැන කිසි අවබෝධයක් නොවීම මේ දුෂ්කර බව තවත් වැඩිවීමට හේතු විය.
කෙසේ වුවද ජීවිතයේ පළමු වතාවට භයානක දේවල් දෑසින් දැක ගත හැකි විය. හැම මොහොතකම රංචු පිටින් ජර්මන් සෙපලින් යාත්‍රා අහසේ පියාසර කරමින් තිබුණි. ඒවාට පහර දෙන බ්‍රිතාන්‍ය ගුවන් යානා, කැඩී වැටෙන සෙපලින් යානා දිනය පුරාම දස අතින් ඇසෙන, වෙඩි ශබ්දය, වෙඩි බෙහෙත් ගඳින් පිරී ගිය දුමින් වැසී ගිය පරිසරය, මේවා දැකීමෙන් කොතලාවල කිසිදාක, අද්විතීය, විස්තර කළ නොහැකි අන්දමේ අත්දැකීම් රාශියක් උරුම කර ගත්තේය. මේ කලබලකාරී පරිසරය තුළ අධ්‍යාපනය සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්වූ කොතලාවල මහතා වඩා සිත් බැඳ ගත්තේ ක්‍රීඩා කටයුතුවලටය. එංගලන්තයේ සිටියදී යුරෝපයේ අනෙක් රටවලත් ඇවිදීම විනෝදය කොටගත් කොතලාවල මහතා වරක් ප්‍රංශයට ගියේය. ප්‍රංශයේ හෝටලයකට දිනක් ඇතුළු වූ ඔහුට බැරෑරුම් තත්ත්වයකට පත්වීමට සිදුවිය. කොතලාවල මහතාගේ කෑම මේසයේ ප්‍රංශ ජාතික කාන්තාවක් ද වූවා ය. එතුමා විහිළු තහළු කරමින් කෑම ගනිද්දී මේ දෙස ඊර්ෂ්‍යාවෙන් බලා සිටි ඇමෙරිකන් කාරයෙක් විය. ඔහුගේ මුහුණ කේන්තියෙන් දිලිසෙමින් තිබිණ. ඇමෙරිකන්කාරයා ඈත මේසයක සිට ඔවුන් දෙදෙනා සිටි මේසය වෙතට ආවේය.
ප්‍රංශ කාන්තාව කොතලාවල මහතාගෙන් සිගරට් එකක් ඉල්ලනු බලා සිටි ඇමෙරිකන් කාරයාට කේන්ති ආවේය. “පේනවද මුගේ හැටි. පිට දේසක්කාරයකු වෙලත්“ යැයි කේන්තියෙන් කෑ ගසමින් පැමිණි ඇමෙරිකානුවා කාන්තාවට තමාගේ සිගරට් කේස් එක ඇල්ලීය.
“බොහෝම ස්තුතියි“
“මට තමුසෙගෙ සිගරට් එපා“ යයි. ප්‍රංශ කාන්තාව කීවාය. ඇමෙරිකන් කාරයාට කේන්තියට වඩා ලජ්ජාවක් ඇතිවීය. ඔහු කොතලාවල දෙසම බලාගෙන සිටියේය. මොහුගේ ක්‍රියාවෙන් කේන්තිය ඇවිස්සුණු කොතලාවල නැගී සිටියේය. කළු මිනිහගේ සිගරට් කොහොම වෙතත් කළු මිනිහගෙ පාරක් කන එකත් දෙවැනි නෑ යැයි කී ඔහු ඇමෙරිකන් කාරයාගේ හොක්කෙන් ලේ ගලන්නට පහර කීපයක් ගැසීය.
මේ කලබලය බලන්නට එක් රොක්වූ අයගෙන් හෝටලය පිරී ගියේය. සිද්ධිය විස්තර කිරීම ඇමෙරිකන් කාරයාට අපහසු වූයේ ප්‍රංශ බසේ අකුරක් වත් දැන නොසිටි හෙයිනි. හොඳින් ප්‍රංශ භාෂාව උච්චාරණය කළ හැකිවූ කොතලාවල දෙස සියල්ලෝම විශ්මයෙන් බලා සිටියහ.
මේ සිද්ධිය කොතලාවල මහතාගේ ජීවිතයේ නවතම පිටුවක් පෙරළීමට සමත් වීය. කළු ජාතිකයන් හැම රටකදීම කොන්වන්නට සිදුවී ඇති යුගයක ලංකාවේ මිනිසුන් පමණක් සුදු ජාතිකයන්ට වැඳුම් පිදුම් කොට දෙවියන්ට මෙන් සලකන්නට පුරුදුවී සිටීම ගැන විශාල වේදනාවක් සිත තුළ ඇති වන්නට විය. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමේ භාරදූර කාරියට තමා ද මූලික විය යුතු බවට දැඩි හැඟීමක් ඔහු තුළ ඇති විය. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමේ කටයුතු මේ වනවිට රට තුළ පැන නැඟෙමින් තිබිණ. එයට එක්වී මුළු මහත් ජාතියම එකී උවදුරෙන් මුදාගත යුතු යැයි හැඟීමක් ඔහු සිත තුළ පහළ විය.
ආපසු ලංකාවට පැමිණි කොතලාවල මහතා ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක ආදීන් ගෙන ගිය ජාතික සටන් ව්‍යාපාරයට හවුල් වී කටයුතු කළේය.
ඇෆ්.ආර්. සේනානායක ආදී මහත්වරු සමඟ සම්බන්ධවී කටයුතු කිරීමෙන් දේශපාලන ලෝකය පිළිබඳ හැඟීමක් ඇතිව සිටි ජෝන් කොතලාවල 1931දී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමිවූ පළමු වතාවේම මැතිවරණ කටයුතුවලට හවුල් විය. සර් ඔලිවර් ගුණතිලකගේ මඟ පෙන්වීම අනුව ඔහු කුරුණෑගල ආසනය සඳහා ඉදිරිපත් විය.
අද මෙන් නිදහස් ඡන්ද ව්‍යාපාරයක් පැවැත්වීමට ඉඩකඩ නොතිබූ ඒ යුගයේ විවිධ බලපෑම්වලට බොහෝ විට අපේක්ෂකත්වය තීරණය කළ හැකි තත්ත්වයක් තිබුණි. කුරුණෑගල වැනි ප්‍රදේශයක විශාලතම බලවේගය වූයේ වතු අධිකාරී සතු බලයයි. කුරුණෑගල වතු අධිකාරිවරුන්ගේ සංවිධානය ලෙස 1931 ඡන්ද සටන සඳහා තම ආධාර ලැබෙන පුද්ගලයා තේරීමට රැස්වීමක් කැඳවීය. කුරුණෑගල ආසනය සඳහා ඉදිරිපත්වන සියලුම දෙනාට එක් දිනක කුරුණෑගල තානායමට එක් රැස්වන ලෙස දන්වා තිබිණ. අනෙක් අපේක්ෂකයන් සමඟ කොතලාවලත් එතැනට ගියේ වතු අධිකාරි සංගමයට නියත වශයෙන්ම ඡන්ද ව්‍යාපාරයේදී විශේෂ බලපෑමක් කළ හැකි බවට ලැබී තිබුණු අවබෝධය නිසාය.
(තව කොටසක් ලබන සතියේ)