ජගත් තෙත් බිම් දිනයේ ඇවරිහේන තෙත් බිමෙන් හඬක් | Page 4 | සිළුමිණ

ජගත් තෙත් බිම් දිනයේ ඇවරිහේන තෙත් බිමෙන් හඬක්

ඇවරිහේන තෙත් බිම සහ කුඹුරු යාය දිස්වන අයුරු
ඇවරිහේන තෙත් බිම සහ කුඹුරු යාය දිස්වන අයුරු

සෑම වසරකම පෙබරවාරි දෙවැනිදා ‘ලෝක තෙත්බිම් දිනය’ මහත් හරසරින් සැමරේ. මේ වසරේ එහි තේමාව වී ඇත්තේ “මිනිසා සහ සොබාදහම උදෙසා තෙත්බිම් ක්‍රියාකාරකම්(Wetlands action for people and Nature)” යන්නයි. ලොව සීමිත සම්පතක් වන ජලය; සුරක්ෂිතතාව සඳහා විශේෂයෙන්ම පිරිසුදු භූගත ජලය සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා තෙත්බිම්වලින් සිදුවන කාර්ය අප්‍රමාණය. ජලය හා බැඳුනු ජන ජීවිතය ගසට පොත්ත මෙන් එකට බැඳී පවතින ධර්මතාවකි. ඒ අනුව බලන කළ තෙත්බිම් ආරක්ෂා කිරීම යනු මානව පැවැත්ම සුරක්ෂිත කිරීමයි. එනිසා සොබාදහමට අනුකූලව මානව ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම මෙවර තේමාව මඟින් අවධාරණය කර තිබේ. මානවයාගේ මෙන්ම මානව ශිෂ්ටාචාරයේ ද ආරම්භය තෙත් බිම් ආශ්‍රිතව සිදු වූවක් බව මානව පරිණාමයේ ඉතිහාසය අපට පසක්කර දෙයි. එබැවින් “මානව ශිෂ්ටාචාරයේ බිහිදොර” ලෙස තෙත්බිම් හැඳින්වීම සාධාරණය.

මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය මධ්‍යම පරිසර අධිකාරිය විසින් පසුගිය දෙවැනි දා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ, පාසල් සහ විශ්වවිද්‍යාල සිසුදැරියන්ගේ , රාජ්‍ය නොවන සංවිධානවල හා ප්‍රජා සංවිධාන සාමාජිකයන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණි.

තෙත් බිම ගොඩකර අධිවේගී ගුවන් මාර්ගය ඉදිකිරීමට විරෝධය දක්වන ප්‍රදේශවාසීන්
 

එහෙත් ලෝක තෙත් බිම් දිනය සමරන මේ මොහොතේලෝකයේ පළමු රැම්සා තෙත්බිම් නගරය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අයත් කොළඹ තලංගම/ඇවරිහේන තෙත්බිම් දැඩි අවදානමකට ලක්ව තිබීම කනගාටුදායකය. මෙරට සංවර්ධන කටයුතු හේතුවෙන් කොළඹ සහ ඒ අවට තෙත් බිම්වලින් සියයට හතළිහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් විනාශ වී ඇති බව ආචාර්ය අජන්තා පෙරේරා පවසයි.

රාජගිරියේ සිට අතුරුගිරිය දක්වා අධිවේගී ගුවන් මාර්ගයක් යෝජනා වීමත් සමඟ මෙම තත්ත්වය තවත් වර්ධනය වී ඇත. කොළඹ තලංගම/ ඇවරීහේන තෙත් බිම් ප්‍රදේශයේ කිලෝමීටර් තුනයි දශම එක(3.1)ක් හරහා යෝජිත මෙම අධිවේගී ගුවන් මාර්ගය ඉදි කළහොත් ඉන් අවදානමට ලක්වන්නේ හුදු වගුරු බිමක් හෝ වෙල්යායක් පමණක් නොවන බව ආචාර්ය අජන්තා පෙරේරා අවධාරණය කරයි. තෙත් බිමක ගබඩා වී ඇත්තේ භූගත පිරිසුදුම ජලය වන අතර ගංවතුර පාලනය, කාබන් අවශෝෂණය වැනි බහුවිධ භූමිකාවන් එමඟින් ඉටු කරන බවත්, තලංගම /ඇවරිහේන තෙත්බිම්, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති දුර්ලභ, අද්විතීය සහ නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි ජෛව විවිධත්වයක් අනූන සුවිශේෂී කලාපයක් බවත්; කාබන් පියසටහන අවම කිරීම; දේශගුණික විපර්යාස අවම කිරීම; විවිධ ජීවී විශේෂ සඳහා ඔක්සිජන් නිෂ්පාදනය; වී ගොවිතැන සහ ආහාර නිෂ්පාදනය; පිරිසුදු වාතය; පක්ෂි නිරීක්ෂකයන් සහ පරිසර පර්යේෂකයන් සඳහා යෝග්‍ය වීම ආදී වරප්‍රසාද රාශියක් මින් ලබා දෙන බව ද ඇය පෙන්වාදෙයි.

“කිසිදු කෘෂි රසායනික පොහොරක් හෝ දියරයක් නොමැතිව කාබනික ගොවිතැන එදා සිටම සශ්‍රීකව සිදු කරන භූමියක් ලෙස මෙම තෙත් බිම හඳුන්වා දෙන්න පුළුවන්. අනුරාධපුර ශ්‍රී මහාබෝධිය මූලික කරගෙන වාර්ෂිකව පවත්වනු ලබන ජාතික අලුත් සහල් මංගල්‍යයේදී මෙම භූමියෙන් නෙළාගත් අස්වැන්න තමයි ඊට සම්බන්ධ වන රටේ රාජ්‍ය නායකයා පළමුකොටම පූජා කරන්නේ. එවැනි ආශ්චර්යමත් ආශිර්වාද ලත් භූමියක් තමයි මේ ඇවරිහේන තෙත් බිම. අපි යල මහ කන්න දෙකම කිසිම කෘෂි රසායනයක් නැතිව වගා කරනවා. ජනාධිපතිතුමා ගෙන යන කාබනික ගොවිතැනට හොඳම පුර්වාදර්ශය මේ තෙත්බිම ආශ්‍රිතව කෙරෙන කුඹුරු යායයි. එහෙම දෙයක් විනාශ කරලා කරන සංවර්ධනය මොකක්ද? මේ සඳහා ඕන තරම් විකල්ප මාර්ග තියෙනවා. අපි කියන්නේ ඒවට ගිහින්, මේ ගොවිබිම තෙත් බිම රැකදෙන්න කියලයි. කවුරුන් හෝ වේවා මේ විනාශ කිරීමට සැරසෙන්නේ නොඉඳුල් බුද්ධ බෝගයෙන් වාර්ෂිකව බුදුන් පුදන පුණ්‍ය භූමියක්” පාරම්පරික ගොවියකු වන සුවඳරත්න පෙන්වා දෙයි.

“මේ ඓතිහාසික තෙත් බිම වගේම මේ වෙල්යාය පස්වලින් යට වී කොන්ක්‍රීට් දමා විනාශ කිරීම බලාගෙන ඉඳීම තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් නැහැ. ඒක හරියට මවකට දරුවෙකු නැතිවනවා හා සමානයි. අපි රටේ සංවර්ධනයට විරුද්ධ නැහැ. නමුත් මේ දේවල් කරද්දි ඒවට විකල්ප ක්‍රම යොදාගැනීම පිළිබඳ අවධානය යොමු කිරීම වැදත්. අපි කාබනික ගොවිතැන දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරමින් රටට බරක් නොවී බොහෝම සතුටින් ජීවත්වන පිරිසක්. තලංගම තෙත්බිම සුරැකීමේ ව්‍යාපාරය අපි පටන් ගත්තේ අපි මේ පරිසරයට පණමෙන් ආදරය කරන නිසා. දකුණු ආසියාවේ අගනුවරක පිහිටි එකම තෙත් බිම මේ තෙත් බිමයි. දෙසිය අසූවකට වඩා වන ජීවීන් මෙම තෙත් බිමෙන් සොයාගෙන තිබෙනවා. දෙසිය පනහකට වඩා වෘක්ෂලතා සොයාගෙන තිබෙනවා. මෙම තෙත් බිම් කලාපය චිත්‍රපට නිෂ්පාදකයන්ගේ හා මංගල ඡායාරූප ශිල්පීන්ගේ ආකර්ෂණයට පාත්‍ර වී තියෙනවා. ඉතාම මනස්කාන්ත සන්සුන් සාමකාමී පරිසරයක් මේ තුළින් අපට උරුම කරදී තිබෙනවා. මේ පොතුවරාවට මේ දක්වා බස් සේවයක් නැහැ. දැන් මේ භූමිය වනසමින් ගුවන් මාර්ග ඉදිකරන්න හදනවා. මේ අපේ ජීවිතය ඒක විනාශ කරන්න එපා” ප්‍රදේශයේ නිවැසියකු වන ප්‍රියමාලි උඩවත්ත කීවාය.

වර්තමානය වන විට කොළඹට ආසන්නව ඉතිරිව ඇති හරිත බිම් කිහිපයෙන් එකක් ලෙස සැලකෙන මෙම ඓතිහාසික ප්‍රදේශයේ සුවිශේෂත්වය සඳහා ඉහත සියලුම සාධක බෙහෙවින් බලපා ඇත. ‘රැම්සා තෙත්බිම් ප්‍රතීතන යෝජනා ක්‍රමය’ යටතේ දකුණු ආසියාව තුළ අවධානය දිනා ගත් එකම නගරය මෙන් ම, එකම අගනුවර ලෙස සැලකෙන කොළඹ නගරයට අයත් තෙත්බිම් හත අතරට මෙම තලංගම තෙත්බිම ද ඇතුළත් ව තිබීම සුවිශේෂීය.

අධිවේගී මාර්ග ව්‍යාපෘතිය තලංගම තෙත්බිම හරහා ඉදිවුවහොත්, රථවාහන ධාවනයේදී පැය 24 පුරා සිදු වන කාබන් විමෝචනය සහ ශබ්ද දුෂණය හේතුවෙන් ඒ අවට ජීවත් වන දහස් ගණන් නිවැසියෝ මහත් අපහසුතාවට පත් වනවා සේම මෙම ප්‍රදේශයේ ජීවත් වන සංක්‍රමණික පක්ෂීන් ඇතුළු දුර්ලභ පක්ෂි විශේෂවලට ද ඉන් සිදුවන හානිය තක්ෂේරු කළ නොහැකි බව මේ කටයුත්තට විරොධය පළ කරන ප්‍රදේශ වාසියකු වන ලහිරු පෙරේරා පැවසීය. යෝජිත ව්‍යාපෘතිය මඟින් මෙම ප්‍රතිස්ථාපනය කළ නොහැකි, අමිල පරිසර පද්ධතියට වන හානිය, එම ව්‍යාපෘතිය සඳහා වැය වන මුදලට වඩා කිහිප ගුණයකින් වැඩි බව ගම්වැසියකු වන ප්‍රීති විරාජ් පෙරේරා පවසයි.

මෙමඟින් සිදු වන පරිසර හානියට අමතරව, විනාශ වන නිවාස, ගොඩනැඟිලි හා දේපළ ද සිය ගණනකි. තලංගම තෙත්බිම වැනි නැවත කිසිදා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සහ අද්විතීය පරිසර පද්ධතියක් ආරක්ෂා කරගනිමින් වෙනත් විකල්ප මාර්ගයන් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර, ඒ සඳහා 174 මාර්ගය, මුල්ලේරියාවේ පුරන් කුඹුරුයොදාගත හැකිව තිබිය දී රටේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි ස්වභාවික සම්පතක් අවදානමට ලක්කිරීම අඥාන ක්‍රියාවකි.

මීට අමතරව, මෙවැනි පාරිසරික පද්ධතියක් තුළ අධිවේගි ගුවන් මාර්ගයක් ඉදිකිරීමට ‘ජාතික පාරිසරික පනත’ යටතේ අවසර නැත. එමෙන් ම මෙම තෙත් බිම විනාශ කිරීම රැම්සා සම්මුතිය යටත්තේ තෙත්බිම් නගරයක් ලෙස ලබා තිබෙන ජාත්‍යන්තර ප්‍රතීතනයට ද අහිතකර ලෙස බලපානු ඇත.

ලෝක මට්ටමින් මෙම දිනය සැමරීමේ වැදගත් කම වන්නේ තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය පිළිබඳ ලෝක ප්‍රජාව දැනුම්වත් කිරීමත්, තෙත්බිම් සම්බන්ධයෙන් ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කර තෙත්බිම් සුරක්ෂිතව අනාගත පරම්පරාවට දායාද කිරීමත්ය. 1971 පෙබරවාරි දෙවැනි දා ඉරානයේ රැම්සා නගරයේ දී තෙත්බිම් රැක ගැනීම අරමුණැතිව “රැම්සා සම්මුතිය” ඇති කර ගත් අතර 1997 පෙබරවාරි දෙවැනිදා සිට “ලෝක තෙත්බිම් දිනය” ප්‍රකාශයට පත් කෙරිනි. තෙත්බිම්වල ඇති වැදගත්කම සහ ඊට සිදු වන බලපෑම අවම කිරීම මෙම දිනය සැමරීම මඟින් අපේක්ෂා කරයි.ලෝව භූමි ප්‍රමාණයෙන් සියයට හයක්(6%) තෙත්බිම් වේ.

ශ්‍රී ලංකාවේ පිහිටි රැම්සා තෙත්බිම් ගණන හයකි. මෙම රැම්සා තෙත්බිම් හයෙහි මුළු විශාලත්වය හෙක්ටයාර 198,172 ක් වේ. ඒ බූන්දල ජාතික උද්‍යානය (ප්‍රකාශිත දිනය - 1990.06.15 - හෙක්ටයාර් 6210) , ආනවිලුන්දාව අභය භූමිය (ප්‍රකාශිත දිනය - 2001.08.30 - හෙක්ටයාර් 1397), මාදු ගඟ අභය භූමිය (ප්‍රකාශිත දිනය - 2003.12.11 - හෙක්ටයාර් 915), වාන්කලේ අභය භූමිය (ප්‍රකාශිත දිනය- 2010.07.12 - හෙක්ටයාර් 4839), කුමන ජාතික උද්‍යානය (ප්‍රකාශිත දිනය - 2010.10.29 - හෙක්ටයාර් 19011) ,විල්පත්තු ජාතික උද්‍යානය යි. (ප්‍රකාශිත දිනය - 2013.02.02 හෙක්ටයාර් 165800) මෙම තෙත්බිම්වල නෛතික අයිතිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුවේ. ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන යටතේ පරිසර ආරක්ෂක ප්‍රදේශ ලෙස සංවේදී පරිසර පද්ධති දහයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට අයත් අනෙක් තෙත් බිම් වන්නේ, නුවරඑළිය ග්‍රෙගරි වැව, ගම්පහ මුතුරාජවෙල, කොළඹ තලංගම/ඇවරීහෙන වැව, බුලත්සිංහල වලව්වේවත්ත, වතුරාන, කොළඹ හා කළුතර දිස්ත්‍රික් හරහා දිවෙන බොල්ගොඩ වැව හා වරාතැන්න හක්කිඳ යන ඒවා වේ. වරින් වර ඇති වන ගංවතුර, දැඩි සූර්ය රශ්මිය, හරිතාගාර විමෝචනය ආදී විවිධ බලපෑම් හේතුවෙන් මනුෂ්‍ය වර්ගයා පැවැත්ම කෙරෙහි රතු එළි දල්වන බව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ නවතම වාර්තාව මඟින් හෙළි කරයි. වර්තමානය වන විට ලොව පුරා ජෛව විවිධත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රදේශ ජෛව විද්‍යාත්මකව ඵලදායි පරිසර පද්ධති ලෙස නම් කර ඇත. එම නිසාම වනාන්තර සහ ගොවිබිම් කළමනාකරණය කිරීම සිදු වුවත් බොහෝ පරිසර පද්ධති විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇති බව පැවසිය යුතුම කරුණකි. මිරිදිය සැපයුම්, ආහාර, ජීවනෝපාය සහ ගොඩනැඟිලි ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ජෛව විවිධත්වය, ගංවතුර පාලනය, භූගත ජලය නැවත ආරෝපණය කිරීම, ඔක්සිජන් නිෂ්පාදනය, කාබන් අවශෝෂණය, සෞඛ්‍යයට හිතකර පිරිසිදු වාතය ලබා දීම වැනි විවිධ ප්‍රතිලාභයන් ලබා ගැනීමට මෙන්ම, දේශගුණික විපර්යාස අවම කිරීමට සහ එම විපර්යාසයන්ට අනුවර්තනය වීම සඳහා ද තෙත් බිම් අත්‍යවශ්‍ය වේ.

මෙනිසා ඉහත සඳහන් සියලු කරුණු සලකා බලා නෛතික, විද්‍යාත්මක හා තාර්කික කරුණු පදනම් කරගනිමින් මෙරට වටිනා සම්පත් රැකගනිමින් සංවර්ධන කාර්යයන් සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

• ඡායාරූප - රුවන් ද සිල්වා

Comments