ගැර­ඬි­ඇල්ලේ දිය­කෙ­ළිය අව­කෙ­ළි­යක් වීමේ ශෝකා­න්තය | සිළුමිණ

ගැර­ඬි­ඇල්ලේ දිය­කෙ­ළිය අව­කෙ­ළි­යක් වීමේ ශෝකා­න්තය

මළ­සි­රුරු ගොඩ­ගත් අව­ස්ථා­වන්
මළ­සි­රුරු ගොඩ­ගත් අව­ස්ථා­වන්

හාලිඇල ඇටම්පිටිය වත්ත පළමු කොටසේ ඉඹුල්වත්ත ප්‍රදේශයේ වෙසෙන රජීව් කුමාර්ලාගේ නි‌ෙවසට අවට වැසියන් මෙන්ම ඥාති හිතවතුන් සැවොම එකතු වූයේ ඉකුත් ජනවාරි 29 වැනිදායි. එදින රජිව් කුමාර්ලාගේ පියා වන ජෙයරාම් මියගොස් වසරක් පිරීම නිමිතිකොට හින්දු චාරිත්‍රානුකූලව දානමය පින්කමක් පැවැති දිනයයි. දහවල් දානමය වැඩ කටයුතු නිම වීමෙන් පසු රැස්වූ පිරිසෙන් කිහිප දෙනකු දිය නෑමට සැරසුණේ රජිව්ලාගේ නිවෙසට ආසන්න ගැරඬිඇල්ල පහළ පිහිටි දියනාවෙල දිය වළට ගොසිනි. ඒ සඳහා පිරිමි හත්දෙනකු සහ කාන්තාවන් සිවුදෙනකු එක් වූහ.

 

ගැරඬිඇල්ල, ඇටම්පිටිය පොලිස් බල ප්‍රදේශය මායිමෙන් ගලා බසින උමා ඔයෙන් නිර්මාණය වූ මීටර් 12ක පමණ උසින් යුත් දැකුම්කළු දියඇල්ලකි. මෙරට තුළ ගැරඬි ඇල්ල නමින් හඳුන්වන දියඇලි පහක් පමණ පිහිටා ඇත. ඒ, ඇටම්පිටිය ගැරඬිඇල්ල, කළුගල ගැරඬිඇල්ල, පස්සර ගැරඬිඇල්ල, ගැරඬි ගිනිඇල්ල සහ ගැරඬි රිකිලිඇල්ල ලෙසිනි.

වැලිමඩ-බදුල්ල මාර්ගයේ ඇටම්පිටිය බස් නැවතුම්පොළ අසලින් දිවෙන ගාවෙල මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගිය තැන හමුවන ඇටම්පිටිය ගැරඬිඇල්ලෙහි මනරම් බව ඔප්නංවන්නේ ඇල්ල පාමුල පිහිටි විශාල ගල් තලාව ආශ්‍රිත පරිසරයේ අලංකාරත්වයයි. එහි සුන්දරත්වය දියඇල්ල නැරැඹීමට යන අයවලුන්ගේ නෙත් සිත් වශී කරවන දසුනකි.

කතිකා කරගත් පරිදි මිතුරු මිතුරියන් 11 දෙනා එදින සවස තුන වෙද්දී ගැරඬිඇල්ල දියනාවෙල දිය වළට බසින්නට වූහ. ජල පහර සැඩ පහරක් සේ ගලා බැස්සත් කලෙකින් හමුවූ මිතුරු මිතුරියන් කෙළිදෙළෙන් මන්මත්ව දිය නෑවේ සතුටු සිනාහඬ අවට පතුරවමිනි. එහෙත් ඔවුනගේ සතුට බිඳී ගියේ ක්ෂණයෙනි. ඒ වන විට වේලාව සවස 3.30ට පමණ ඇත.

එක්වරම දිය වළෙහි වූ එක් වළකට ඇද වැටුණේ ගලින් ගලට පනිමින් දිය නාමින් සිටි 23 හැවිරිදි වනරාජා ඩේවිඩ් කුමාර්ය. ඔහු ක්ෂණයෙන් දියේ ගිලී අතුරුදන් විය. එහෙත් අසල ගල් උඩ සිටි තවත් කිහිප දෙනෙක්ම ඩේවිඩ් කුමාර් බේරා ගැනීමට එකිනෙකාගේ දෙඅත් අල්ලාගෙන උත්සාහ ගත්හ. සිදු වූයේ නොසිතූවකි. ඩේවිඩ් කුමාර් සමඟ තවත් සිවු දෙනෙකුම එම දිය වළෙහිම අතුරුදන්ව ගියේ තවත් අනුවේදනීය ඛේදවාචකයක් සනිටුහන් කරමිනි.

ඒ අනුව දිය වළෙහි සැඟවී ගියේ වයස අවුරුදු 19ත් 23ත් අතර පසුවූ අනාගත සිහින දකිමින් සිටි තරුණ තරුණියන් පස්දෙනෙකි. ඒ, ඇටම්පිටිය වත්ත පළමු කොටසේ පදිංචි 23 හැවිරිදි වනරාජා ඩේවිඩ් කුමාර්, 21 හැවිරිදි ජෙයරාම් කාංචනප්‍රියා, හැටන්හි පදිංචිව සිටි 23 හැවිරිදි කඩෛයප්පන් භවානී චන්ද්‍රලේඛා, බණ්ඩාරවෙල, නෙළුවවත්ත, කින්රෝස් කොටසේ පදිංචි 22 හැවිරිදි සෙල්වකුමාර් ශෂිප්‍රියා සහ ඇයගේ නැඟණිය 19 හැවිරිදි සෙල්වකුමාර් පර්මිලාදේවි යන අයයි.

දියේ ගිලී මියගිය එක ම තරුණයා වූ වනරාජා ඩේවිඩ් කුමාර් ස්ථිර රැකියාවක් නොකළද පෙදරේරු රැකියාවට පුහුණු වෙමින් සිටි කා අතරත් හොඳහිත දිනාගත් තරුණයෙකි. ජෙයරාම් කාංචනප්‍රියා දානමය පින්කම පැවැති නිවෙසේ දියණියකි. ඇය ඇටම්පිටිය විවේකානන්ද දෙමළ විදුහලේ අධ්‍යාපනය ලැබූ තරුණියකි. දිය රකුසාට බිලිවූ ඩේවිඩ් කුමාර් සහ කාංචනප්‍රියා පෙම්වතුන්ය.

භවානී චන්ද්‍රලේඛා හැටන් ලිඳුල මෙරායා වතුයායේ තංගමලේ කොටසේ පදිංචිව සිටි යුවතියකි. ඇය දානමය පින්කම පැවැති ජෙයරාම් නිවෙසේ තරුණයකු වන 25 හැවිරිදි ජෙයරාම් කාවින්ද ප්‍රකාශ් හා විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටියාය. දෙදෙනාම අවිස්සාවේල්ල ප්‍රදේශයේ රැකියාව කරමින් සිටියහ. ඇඟලුම් කම්හලක සේවය කළ භවානී සිය මාපියන් සමඟ කිලෝමීටර් ගණනක දුරු කතර ගෙවා ජීවිතයේ ඉරණම ගමන යෑමට ඇටම්පිටියට පැමිණ තිබුණේ නුදුරේදීම විවාහපත් වීමේ අපේක්ෂාවෙන් සිටි කාවින්ද ප්‍රකාශ්ගේ නිවෙසේ පැවැති දානමය පින්කමක් හේතුවෙනි.

මියගිය සෙල්වකුමාර් ශෂිප්‍රියා සහ සෙල්වකුමාර් පර්මිලාදේවි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි. ඔවුනට තවත් සොහොයුරියන්ම තිදෙනෙක් සිටී. බණ්ඩාරවෙල, නෙළුවවත්ත, කින්රෝස් කොටසේ පදිංචිව සිටි සහෝදරියන් දෙදෙනා දානමය පින්කමට සහභාගි වී ඇත්තේ කාංචනප්‍රියාගේ මිතුදම නිසාවෙනි.

මියගිය අය සමඟ දිය නෑමට ගිය අයවලුන් අතර දානමය පින්කම පැවැති නිවෙසේ තරුණයකු වන ජෙයරාම් රජිව් කුමාර්ද විය.

රජිව් මියගිය කාංචනප්‍රියාගේ සහෝදරයෙකි. දිය රකුසාට හසුවූ රජිව් දිවි බේරාගෙන තිබුණේ හාස්කමකින් මෙනි. සිය සහෝදරිය ඇතුළු හිතමිතුරු කැල මුහුණ දුන් ඛේදනීය සිදුවීම රජිව් කුමාර් හැඬු කඳුළෙන් යුතුව හෙළි කළේ මෙලෙසිනි.

“එදා අපේ ගෙදර තිබුණ දානයට සහභාගි වෙන්නයි මේ සියලු දෙනා ආවේ. මගේ අයියා කාවින්ද ප්‍රකාශ් බඳින්න ඉන්න භවානි අක්කාත් හැටන්වල ඉඳලා ඇවිත් හිටියා. ගමේ යාළුවෝත් ගොඩක් ආවා. දානය ඉවර වෙලා මාත් භවානි අක්කාත් නංගී කාංචනප්‍රියාත් එයා යාළුවෙලා හිටිය ඩේවිඩ් කුමාර් සහ තවත් කීප දෙනෙක් සමඟ අපි 11 දෙනෙක් ගැරඬිඇල්ලේ දියනාවෙල වළේ නාන්න ගියා. අපි ඉතාම සතුටින් විනෝද වෙමින් දිය නාමින් සිටියදි එක්වරම ඩේවිඩි කුමාර් දියේ ගිළුණා. ඔහුත් සමඟ තවත් කීප දෙනෙක්ම වළට වැටුණා.

සමහරු ඒ අය අල්ලාගන්න පැන්නා. කොහොම හරි අපි අට දෙනෙක් දියේ ගිළුණා. වැටුණ අයගෙන් මාත් සමඟ තුන්දෙනෙක් අමාරුවෙන් පීනාගෙන ගොඩට ආවා. අනෙක් පස්දෙනා වතුරේ නොපෙනී ගියා. අපි කෑ ගැහුවා. සමහරු පොලීසියට කෝල් කළා. සද්දෙ ඇහිලා ගමේ කිහිප දෙනෙකුත් එතැනට එකතු වුණා...“

ගැරඬිඇල්ලේ දිය නෑමට ගොස් පස්දෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට ඇටම්පිටිය පොලිසියට එදින සවස 4.20ට පමණ තොරතුරක් ලැබී තිබුණේ 119 පොලිස් හදිසි ඇමැතුම් අංකය ඔස්සේයි. ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත රණසිංහ සිය නිලධාරි කණ්ඩායමක් සමඟ ඛේදවාචකය වූ ස්ථානයට ළඟා වී තිබුණේ පස්වරු 5.15ට පමණය. පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායම යන විටත් එම ස්ථානයෙහි අවට වැසියන් සිය ගණනක් රැස්ව සිටියේය. එකී අනූවේදනීය සිදුවීම පිළිබඳ පොලිස් පරීක්ෂක වසන්ත අපට කීවේ මෙලෙසිනි.

“තොරතුර ලැබිලා පැයක් වැනි කාලයකදී අපි එම ස්ථානයට ළඟා වුණා. අප යන විටත් 500 ක පමණ ජනතාවක් අවට රැස්ව සිටියත් මේ ගිලුණු ළමුන් ගොඩගැනීමට කිසිවෙක් ප්‍රමාණවත් උත්සාහයක් ගෙන නොතිබීම අවාසනාවක්. එක් ගැහැනු ළමයෙකුගේ දේහයක් පමණක් වතුර මැද වූ ගලක් මතට ගෙන තිබුණා. එම ස්ථානයට ගිය සැණින් මමත් තවත් නිලධාරීන් දෙදෙනෙකුත් දියට බැහැලා කිමිදුණා. අපි තුන්දෙනා ගමේ අයත් සමඟ එකතු වෙලා විශාල පරිශ්‍රමයකින් තවත් තුන් දෙනෙකුගේ සිරුරු සොයාගෙන ගොඩට ගත්තා. ඒත් ශෂිප්‍රියා නමැති තරුණියගේ දේහය එදින සොයාගන්න බැරිවුණා. ගල් කුහරයක හිරවෙලා තිබුණ ඇගේ සිරුර සොයාගත්තෙ පහුවදා හවස් යාමයේ. ඒ සඳහා යුද හමුදා කඳවුරේ නිලධාරි පිරිසකගෙන් ලැබුණු සහාය ඉතාම අගය කළ යුතුයි.“ එසේම පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ, මාපිය වැඩිහිටියන් තරුණ දරුවන් ගැනද වඩාත් සැලකිලිමත් විය යුතු බවයි. එසේ වන්නේනම් මෙවන් විපත් බොහොමයක් වළකාගත හැකි බවයි. තවද දිය වළට වැටුණු තරුණ දරුවන් බේරා ගැනීම සඳහා එම ස්ථානය ගැන හොඳින් දැනසිටි පිහිනීමට හැකියාව ඇති මාළු ඇල්ලීමේ මෙන්ම වැලි ගොඩදැමීමේ නියුතු පිරිස්ද ඒ අවට සිටියද එම පිරිස යම් උත්සාහයක් ගත්තේ නම් ඇතැම් විටෙක එක් ජීවිතයක් හෝ බේරාගත හැකිව තිබූ බවටද පොලිස් ස්ථානාධිපතිවරයා චෝදනා ස්වරයෙන් පැවැසූහ. කෙසේ වුවද එම ස්ථානය දිය නෑම සඳහා කිසිසේත් නුසුදුසු ස්ථානයක් බවද ඔහු අවධාරණය කළේය.

ගැරඬි ඇල්ලේ සැඩ පහරට හසුවු අවසන් ගමන් ගියේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනා ශෂිප්‍රියා සහ පර්මිලාදේවි යන දෙදෙනාගෙන් නැඟණිය පර්මිලාදේවි විශ්වවිද්‍යාල වරම් ලබා සිටි තරුණියකි. ඔවුන් දෙදෙනාගේ මව අන්නාමලේ පුෂ්පරාණි තම දරුවන් දෙදෙනාට අත්වූ ඉරණම ගැන වවාගත නොහැකි දුකෙන් යුතුව මෙසේ පැවැසීය.

“මේ අවාසනාවන්ත සිදුවීමෙන් මගේ දුලා දෙන්නෙක්ම මියගියා. අනේ මං කොහොමද මේ දුක උහුලන්නේ. බාල දුව විශ්ව විද්‍යාලයටත් තේරිලයි හිටියේ. අනෙක් දුව ගාමන්ට් එකක වැඩ කළේ. එදා 29 වැනිදා උදේ දරුවෝ දෙන්නා යාළුවකුගේ දානේ ගෙදරක යනවා කියලා ගෙදරින් ගියේ. හවස ඒ අය ගෙදර එනකල් අපි බලා ඉඳිද්දී රෑ 7.30 ට විතර මේ සිද්ධිය ආරංචි වුණේ. මට හිතාගන්න බෑ. මගේ දරුවො දෙන්නෙක්ම හොරු අරන් ගියා වගේ මට නැතිවුණා.“

සිය සොහොයුරියන් දෙදෙනාට අත්වූ ඛේදනීය ඉරණමෙන් ළතැවෙන නැඟණිය සෙල්වකුමාරි ජෙයප්‍රියාද පවසන්නේ මෙවැන්නකි.

“මියගිය ලොකු අක්කා ගාමන්ට් එකේ වැඩ කරලයි අම්මයි තාත්තයි අපිවයි ජීවත් කෙරෙව්වේ. අනෙක් අක්කා විශ්වවිද්‍යාලයට තේරිලයි හිටියේ. ඒ සේරම හීන එක මොහොතින් විනාශ වුණා. දැන් අපේ පවුලම අසරණයි.“

ගැරඬිඇල්ල යනු එතරම් උසකින් යුත් දියඅල්ලක් නොවේ. එහෙත් එහි ජලය පතිත වන ස්ථානය සේම ජල පහර ගලා බසිනා ඉසව්ව ඉතාම අනතුරුදායකය. දිය සුළිවලින් යුත් දිය වළවල් රැසක්ම ගැරඬි ඇල්ලේ ජල පහර ගලා බසිනා මාර්ගයේ පිහිටා ඇති බව හෙළි කළේ ප්‍රදේශවාසියෙක් වන ඩබ්ලිව්. එස්. සරත් අබේවර්ධනයි.

ඔහු ගැරඬිඇල්ලෙ බියකරු බව පසක් කළේ මෙලෙසිනි.

‘ගැරඬිඇල්ලේ ජලය වැටෙන තැන තියෙන්නේ ඉතාම අනතුරුදායක ගැඹුරු වළක්. ඊට අමතරව පහළට යන්න යන්න තවත් දිය වළවල් තියෙනවා. ඒවායේ දිය සුළි හැදෙනවා. දිය සුළිවලට හසු වුණොත් බේරෙන්න බෑ යට යනවා. ඒ වගේම ගල් කුහර තිබෙනවා. යට ගිය කෙනෙක් මේ කුහරයක හිර වුණොත් ආයෙ බේරෙන එක බොරු. මේ වළ ගැන දන්න කෙනෙක් නම් මේකෙ නාන්න එන්නේ නෑ. මීට කලිනුත් මෙතන තුන්දෙනෙක් විතර මිය ගිහින් තිබෙනවා. ගමේ මිනිස්සු දන්නවා නම් මේ අයට මෙතන නාන්න දෙන්නේ නෑ. මේ වගේ තරුණ ළමයින්ගේ ගමන් බිමන් ගැන වැඩිහිටි උදවිය මීට වඩා සැලකිලිමත් වුණානම් මේ විනාශය වෙන්නේ නෑ.“

කෙසේ වුවද මේ වන විට සිදු නොවිය යුතු සියල්ල සිදුවී හමාරය. ජීවිතයේ ආරම්භය සනිටුහන් කරමින් සිටි තරුණ ජීවිත රුදුරු දිය පහරක ගොදුරු බවට පත්වී හමාරය. තවත් කී දෙනෙකුගේනම් සතුට සොරා ගත්තාක් මෙන් නැත්තටම නැතිවී හමාරය.

ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන හදිසි අනතුරු සහ බෝ නොවන රෝගවලට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ දියේ ගිලීම නිසා බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ දත්තවලින් හෙළි වේ. ඒ අනුව වසරකට මිනිස් ජිවිත 800ක් පමණ දියේ ගිලීම නිසා අහිමි වේ. 2020 වසරේදී 751 දෙනකුගේ ජීවිත ජලාශ්‍රිතව සිදුවූ අනතුරු නිසා රටට අහිමි වී තිබේ.

එසේම දිය රකුසාට බිලිවන්නෙ වැඩිපුරම වයස අවුරුදු 1 - 14ත් අතර වයස්හි පසුවන්නන් බවද හෙළි වේ. තවද 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළදී දියේ ගිලීම නිසා අහිමි වූ ජීවිත සංඛ්‍යාව 2982කි. ඒ අතර විදේශිකයන්ද 52ක් වේ. සෑම වසරකම ජුලි 25 වැනිදා ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය ලෙස නම් කෙරුණේ ගිය වසරේදීයි. ඒ අනුව 2019 වසරේදී පමණක් ලොව පුරා දියේ ගිලීමෙන් 236000ක පිරිසක් මියගොස් ඇත.

ඇටම්පිටිය ගැරඬිඇල්ලේ ඛේදවාචකය පිළිබඳ බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි අපෝන්සු සහ බණ්ඩාරවෙල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයසිංහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 1 බී.එම්.එම්.දසනායකගේ අධීක්ෂණයෙන් ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත රණසිංහගේ මෙහෙයවීමෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කෙරෙති.

දාන­මය පින්කම පැවැති නිවෙස
ඩේවිඩ් කුමාර්ගේ නිවෙස

පසු­බිම් තොර­තුරු සහ ඡායා­රූප, ආර්. එම්. විජේ­රත්න, හාලි­ඇල සමූහ

Comments