දියත උයන හැඩ කරන්න 3D සිතුවම් අඳින සිත්තරු යුවළ අචලා සහ සුදත් අබේසේකර | සිළුමිණ

දියත උයන හැඩ කරන්න 3D සිතුවම් අඳින සිත්තරු යුවළ අචලා සහ සුදත් අබේසේකර

 මේ නිර්මාණය කරන්න අපි යොදාගත්තෙ රාත්‍රී කාලය. අපි පාවිච්චි කරන තීන්ත වර්ග ඉක්මනින් වේ‍ෙළනවා. ඒකත් ඒ වෙලාව තෝරගන්න බලපෑවා. අපි මේ සඳහා යොදාගන්නේ සවස 5ත් රාත්‍රි 11ත් අතර කාලය. ගෙදරක පවුලේ නිදහස ලබන කාලය අර්ථාන්විත නිදහසක් ලැබීම වෙනුවෙන් අපි යොදා ගත්තා. අපි දෙන්නාම මේ දේ යෙදෙන්නෙ සතුටෙන්. අපිත් මෙයින් වින්දනයක් ලබනවා

ඉඩම් සංවර්ධනය කිරීමේ  ආයතනයෙන් අපට කිහිප දෙනෙක් සහායට ලබාදී තියෙනවා. විදුලි ආලෝකය සපයා තිබෙනවා. රාජ්‍ය අංශයෙන් මේ සඳහා ලැබෙන  සහයෝගය අපි ගෞරවයෙන්  සඳහන් කළ යුතුයි

 

බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ මාර්ගයක් හරස් කළ සිත්තර යුවළක් එහි විසිතුරු පොකුණක් නිමවමින් සිටිති. ඔවුන්ගේ කැන්වසය බවට පත්ව ඇත්තේ මාර්ගයයි. දියතේ අසිරිය විඳි ඔබ එහි මාර්ගයක ඇද හැලෙන ත්‍රිමාණ දිය ඇල්ලේ ගල් පරයක් මත සිට ඡායාරූප ගෙන ඇතිවාට සැක නැත. දස වසරකට පමණ පෙර එය සිතුවම් කළේ ද ඔවුන්ම ය. පසුගිය දිනවල දියතේ සැන්දෑවක් ගත කළේ නම් වසංගත සමයක දැවැන්ත කූඩාරමක් යට දැල්වූ විදුලි පහන් එළියෙන් අලංකාර සිතුවමක් නිමවන මේ සිත්තර යුවළ ඔබ දකින්නට ඇත. ආයුබෝවන්! කියා අප පිළිගත් දෘෂ්‍ය කලා ශිල්පී සුදත් අබේසේකර සහ චිත්‍ර ශිල්පිනී අචලා ගුණවර්ධන සමඟ අප පිළිසඳරේ යෙදුණේ ඔවුන් අතින් නිමවෙන දැවැන්ත ත්‍රිමාණ පොකුණේ ඉවුරේ සිට ය.

බොහෝ දෙනෙක් කොරෝනා වසංගතය නිසා ඔද්දල්ව ගිය මානසිකත්වයෙන් යුතුව පසුබා සිටියදී ඔවුන් මේ කරමින් සිටින්නේ කුමක්ද? සංවාදය ඇරැඹුවේ ඔහු ය.

“මේ අවට බැලුවත් අපි දකින්නේ තමනුත් මාක්ස් දාගෙන කුඩා දරුවන්ටත් මාක්ස් දාලා මිනිස්සු නිදහස විඳින්නට දරන වෑයම. ඒකෙන් පෙනෙන්නේ මොනතරම් කාර්ය බහුල ජීවිත ගත කළත් ගහකොළ, දිය දහර සහිත මේ වගේ සුන්දර පරිසරයක ගත කිරීමට මිනිස්සුන්ට තියෙන වුවමනාව සහ මානව ඉතිහාසයේ තමන් සිටි තැනට නැවත නැවතත් එන්න දරන උත්සාහය. විශේෂයෙන් මේ වගේ කාලයක නිදහසේ හුස්මක් ගැනීමේ අගය, සොබාදහමේ අගය අපට වඩාත් දැනෙනවා. මේ විදිහට නිදහසේ සුළඟ විඳිමින්, මේ පරිසරය විඳිමින් ගත කරද්දී මානව ඉතිහාසයේ අප සිටි තැන අපට යළිත් සිහිපත් කරල දෙනවා...“

අතීතයේ පටන් මිනිස්සු විඩාව නිවා ගැනීමටත් විවේකය ගත කිරීමටත් කලාව භාවිත කළ අයුරු පැහැදිලි කාරණයකි.

“කලාවේ විකාශනයත් සමඟ එය නොයෙක් ක්ෂේත්‍රවලට විහිදෙන අයුරු දකින්න පුළුවන්. 3D ආර්ට් කියන්නේ ඒ එක් කලා මාධ්‍යයක්. කැමරාව සොයා ගැනීමත් සමඟ තමයි 3D ආර්ට් ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. මොකද ඒ ත්‍රිමාණ බව දකින්න පුළුවන්. කැමරාවෙන් පමණක් නිසා...“

ඔහුට සවන් දෙන අතරම මම පොකුණ දෙසට බැල්මක් හෙළමි. නිල් දිය තලයෙන් නැඟෙන විශාල පියුමකි. නෙළුම් කොළයක් මත සිටින දැවැන්ත ගෙම්බෙකි. තැනින් තැන මතුවී නොපෙනී යන විසිතුරු මසුන් ය. ඇත්තකි. ඒ රූ සටහන්වල ත්‍රිමාණ බව විඳින්නට මම කැමරාවෙන් එදෙස බැලිය යුතු ය. ඒ වනවිටත් දුෂ්මන්ත ත්‍රිමාණ පොකුණේ අසිරිය කැමරාවෙන් සිතුවම් කර අවසන්ය.

‍“මෑත භාගයේදී ජංගම දුරකතනයත් සමඟ කැමරාව පැමිණීම නිසා මෙය තවත් විකාශනය වුණා. හේතුව ක්ෂණිකවම ඒ ත්‍රිමාණ බව දකින්න පුළුවන් වීම. කලින් නම් පින්තූරයක් ගත්තම සේයා පටලය මුද්‍රණය කිරීම දක්වා කාලයක් ගත වෙනවා. දැන් එහෙම නෑ. දෘෂ්‍ය කලාව තාක්ෂණයත් සමඟ මුසුවෙලා කරන හරඹය නිසා තමයි 3D ආර්ට් ලෝකයේ ජනප්‍රිය වෙලා තියෙන්නෙ...“

ලෝකයේ ජනප්‍රිය වූ කලාවක් ලංකාවට පැමිණීමේ කතාව කෙටියෙන් අසා දැන ගැනීමට අපට අවශ්‍ය විය. මම යළිත් ඔහු දෙසට හැරෙමි.

“ඒ ආරම්භය 2010 වර්ෂය. මේ දියත උයන පරිශ්‍රයේ ලංකාවේ පළමු වැනි වතාවට 3D ආර්ට් එකක් කරන්න කියලා අපට ආරාධනයක් ලැබුණා. එවකට ඉඩම් සංවර්ධනය කිරීමේ ආයතනය තිබුණේ ඒ වනවිට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් යටතේ. විදෙස් රටවල සංචාරය කරද්දී අපට හිතෙනවා මේ ලස්සන දේවල් ලංකාවේ අයටත් පෙන්නන්න ඇත්නම් කියලා. හැමෝටම එහෙම අදහස් ඇති වෙන්නෙත් නෑ. ඒකටත් පරාර්ථකාමී සිතිවිලි ඇති වෙන්න අවශ්‍යයිනෙ. ගෝඨාභය රාජපක්ෂයන් තුළ ඇතිවූ ඒ සිතුවිල්ල තමයි අපට ඒ පළමු නිර්මාණය කරන්න අවස්ථාව උදා කළේ. Art Way බලාගාරයේ අපට ඒ ඉල්ලීම ලැබුණාට අපි බැලුවා, දැන් මෙහෙම දෙයක් තවමත් ලංකාවේ කොතැනකවත් ඇඳලා නෑ. ඒත් අපි මෙය කළ යුතුයි කියලා...“ දියතට එන්නට පෙර ඔවුහු පළමුව පෙර පුහුණුවක යෙදුණාහ. ඒ Art Way කලාගාරය ඉදිරිපිටම ය. ඉන් පසුව අදහසක් ඇති කරගැනීමට හැකි වූ බැවින් දියතේ 3D සිතුවම් කිරීමට බාර ගැනිණි.

“අපට කිව්වා, මේ සඳහා මුදල් ගෙවීමක් සිදු වෙන්නෙ නෑ කියලා. අපි කිව්වා ඒකට කමක් නෑ අපි වැඩේ බාර ගන්නම් කියලා. මීටර් 500 ක විතර දුරක් අපට වෙන් කරල තිබුණා. හැමදේම මුදල් නෙවෙයි. මෙහෙම අවස්ථාවක් අපට යළිත් ලැබෙන්නෙ නෑ කියන හැඟීම අප තුළ තිබුණා. අලුත් අභියෝග කරගන්න අප තුළ ඇති කැමැත්තත් ඊට බලපෑවා. මමත් අචලත් හැමදාම ජීවිතයේ ඒ වගේ අභියෝග බාර ගත්තා“

3D සිතුවම් කලාව සහ මේ නිර්මාණ ගැන කතාබහ කරන අතර වාරයේම ඔවුන් ගැන ද කතා කරන්නටත්, මෙහිදී ලැබූ අත්දැකීම් ගැන දැන ගැනීමටත් අප හැරුණේ ඇය, අචලා ගුණවර්ධන දෙසට ය. ඇය නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ චිත්‍ර කලා ආචාර්යවරියකි.

“මේ අපට අලුත් අත්දැකීමක් වුණා. අපි දෙන්නාම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍ර හා මූර්ති අධ්‍යයන අංශයේ උපාධිධාරීන් හැටියට කලාව හැදෑරුවා. මෙතැනදී වෙන්නෙ අපි ඒ ඉගෙන ගත්ත දේවල් වෙනස් ම විදිහට භාවිත කිරීමත්, නිර්මාණකරණයකටත් වඩා මෙය ශිල්පීය ක්‍රමයක් කියන්නත් පුළුවන්. ඒ නිසා මෙතෙක් ඉගෙනගත් දේවල් මේ වගේ දේකට භාවිත කිරීම අපටත් අලුත් දෙයක් වුණා. මෙතැනදී වුණේ චිත්‍ර කලාවේ මූලධර්ම වෙනස්ම විදිහකට යොදා ගැනීම, ලංකාව වගේ රටක මේ වගේ පර්යේෂණාත්මක දෙයක් කරන්න තියෙන ඉඩකඩ ඉතාමත් අඩුයි. ඒ නිසා මේ අවස්ථාව අපටත් වෘත්තීය ජීවිතයට හුඟක් වැදගත් වුණා. මේ වගේ දෙයක යෙදෙන්න පෞද්ගලිකව අවස්ථාවක් නෑ වගේ ම විශාල වියදමක් දරන්න වෙනවා. ඒ නිසා මෙය මෑත කාලයේ රාජ්‍ය අනුග්‍රහයෙන් කළ දැවැන්ත නිර්මාණයක් ලෙස සලකන්න පුළුවන්.

“කවුරුන් කෙසේ කීවත් මම නම් විශ්වාස කරන්නේ එවැනි දැවැන්ත නිර්මාණ බිහිවීමට නම් රාජ්‍ය මැදිහත්වීම, අනුග්‍රහය අවශ්‍යමයි කියලා.“මේ වැදගත්කම කොපමණ වුව ද ඇතැම් දෙනා මෙවැනි දේ දෙස බලන්නේ මේ අපරාද වියදමක්. මේ කාලයේ මේ වගේ දේවල්වලට වියදම් කරන්නේ මොකටද වැනි ආකල්පය නිසා.

“එහෙම හිතන අයත් ඇති. හැබැයි මේ විදිහට අලුත් දේවල් කිරීම මිනිසුන්ගේ විනෝදාස්වාදය සඳහා බලපානවා. එය අවශ්‍යයි. ඒ නිසා තමයි මේ ප්‍රශ්න මැද වුණත් එළිමහන් සංගීත ප්‍රසංගයක් පැවැත්වුණොත් මිනිස්සු පොදිකමින් ඒවාට සහභාගී වෙන්නෙ නටන්නෙ. මෙවැනි කාලයක විශේෂයෙන් මානසික වින්දනයක් ලැබෙන දෙයක් විදිහටත් මේ නිර්මාණ වැදගත්. ලෝකයේ හොඳ නිර්මාණ බිහිවෙන්නෙ ඒ ඒ කාලවල අවශ්‍යතාව අනුව. ඒ නිසා අපි විශ්වාස කරනවා ළමයින්ට හරි වැඩිහිටියන්ට හරි අලුත් සංකල්ප ඇතිවීමට මෙවැනි නිදහස් වින්දනීය මානසිකත්වයක් අවශ්‍යයි කියලා. මෙතැන සිට බලද්දී දැන් වුණත් අපට පෙනෙනවා ඒ නිදහස මිනිසුන්ට මොන තරම් අවශ්‍යයි ද කියලා...“

අපට නුදුරින් බයිසිකල් පදිමින් විනෝද වන කුඩා දරුවන් කිහිප දෙනෙකි. ඔවුන්ගේ දෙමවුපියෝ ද දරුවන්ගේ සතුට මෙන් ම මේ පරිසරය ද විඳිමින් සිටිති. එක් පසෙකින් ව්‍යායාමය සඳහා ඇවිදීමේ යෙදෙන අය දිස්වේ. ඇත්තකි. සිත ගිලන් වූ විට කය ද ගිලන් වේ. මෙවැනි පරිසරයකදී ලබන ආශ්වාදය, නිදහස මිනිසුන්ගේ ජීවිතවලට කොපමණ සුව සහනයක් සලසන්නේ දැයි අපට මනාව දිස් වේ.

“මේ ඇත්ත පිළිගන්න සමහර දෙනෙක් සූදානම් නෑ. ඔවුන්ගේ මනස ඊට සූදානම් නැතත් අවිඥානිකවම එය ඔවුන් තුළ සිදුවෙනවා. ඒ එක් පැත්තක්. අනෙක් අතට අපි දෙන්නත් ඊටත් වැඩි වින්දනයක් ලබනවා. මොකද මේ වගේ වපසරියක අපට කවදාවත් චිත්‍රයක් අඳින්න ලැබෙන්නේ නෑ. මේ ආරාධනාව නොලැබුණා නම් ඍණාත්මක අසුබවාදී අදහස්වලින් මනස පුරවා ගැනීම වෙනුවට සුබවාදී වින්දනීය ආකල්ප හැඟීම් සමඟ ජීවිතය ගෙනයාමට ලැබීම ලොකු පිනක් කියන්නත් පුළුවන්...“

මෙවැනි දැවැන්ත කාර්යයකට කාල වේලාව සපයා ගන්නේ කෙසේ දැයි දැන ගැනීම අප කාටත් ප්‍රයෝජනවත් වනු ඇත. ඒ පැනය අපි සුදත් වෙතට යොමු කළෙමු.

“අපි මෙය කරන්නේ මුදල් අය නොකර. ඒකට හේතු අපි කලින් කිව්වා. ඒ නිසා අපි එදිනෙදා අනෙක් කටයුතුත් කරමින් තමයි මේ කාර්යයේ යෙදෙන්නේ. අපේ කලාගාරය සැමවිටම දරුවන් සඳහා විවෘතයි. චිත්‍ර ශිල්පීන් හැටියට අපි එදිනෙදා අපේ නිර්මාණ කටයුතුවලත් යෙදෙනවා. මේ නිර්මාණය කරන්න අපි යොදාගත්තෙ රාත්‍රී කාලය. අපි පාවිච්චි කරන තීන්ත වර්ග ඉක්මනින් වේ‍ෙළනවා. ඒකත් ඒ වෙලාව තෝරගන්න බලපෑවා. අපි මේ සඳහා යොදගන්නේ සවස 5 ත් රාත්‍රි 11 ත් අතර කාලය. ගෙදරක පවුලේ නිදහස ලබන කාලය අර්ථාන්විත නිදහසක් ලැබීම වෙනුවෙන් අපි යොදා ගත්තා.“

මෙම නිර්මාණය කිරීමේදී අදාළ අංශවලින් ලැබෙන සහාය ගැන ඔවුන් කළේ කෘතවේදී ව ය. “ඉඩම් සංවර්ධනය කිරීමේ ආයතනයෙන් අපට කිහිප දෙනෙක් සහායට ලබාදී තියෙනවා. විදුලි ආලෝකය සපයා තිබෙනවා. රාජ්‍ය අංශයෙන් මේ සඳහා ලැබෙන සහයෝගය අපි ගෞරවයෙන් සඳහන් කළ යුතුයි.“

“ලෝකයේ වෙනත් රටවල් 3D දිය ඇලි වගේ නිර්මාණ බොහොමයක් දකින්න පුළුවන්. අපි මෙතැන ඇඳපු මේ මල්, ගෙම්බා, මාළු වෙනත් තැන්වල ආදර්ශ හැටියට අපි දැකපු ඒවා නෙවෙයි. මේ චිත්‍රවල ළඟට ගිහින් බැලුවාම ඒ නියම රූපය දකින්න බෑ. කැමරාවෙන් තමයි 3D රූපය බලන්න පුළුවන්. වෙනත් තැනක තියෙන දෙයක් කොපි කරනවාට වඩා මේ රූප අදිද්දී ගණිතමය මිනුම් පවා අපි මෙහිදී යොදා ගත්තා. එය අවබෝධයෙන් කළ යුතුයි වගේම විශාල අධ්‍යයනයකුත් වුණා“ ඒ අචල ගේ අදහස් ය. මෙවැනි නිර්මාණ කාර්යයන්වලදී ඇති වූ බාධාවන් තිබේ ද බාහිර අභියෝග පැමිණියේ ද යන්න ගැනත් දැන ගැනීමට අපට අවැසි විය.

“අපි කලින් කළ මුල් නිර්මාණයට පසුව, 2015 දී සිදුවූ ආණ්ඩු පෙරළියත් එක්ක මේක සම්පූර්ණයෙන් ම අත්හැරල දාලා තිබුණේ. අපි මේ නිර්මාණ කළේ මුදල් අය නොකර වුණත් අපටත් ප්‍රශ්න ඇති වුණා. අපි මෙය නොමිලේ කළේ කියලා මේ පසුව බලයට ආ අය දැන සිටියේ නෑ. අපි දෙන්නාව FCID ගෙනියන තැනටම ආවා. එතැනදි සුදත් දුන්න උත්තරේ තමයි, ගොඩනැඟිල්ලක් පින්තාරු කරන්න වුණත් අය කරන්නෙ වර්ග අඩි ගණනට. මේක එහෙම දෙයක් නෙවෙයි. නිර්මාණයක්. නිර්මාණයකට මිලක් තීරණය කරන්න බෑ. අපේ මහන්සිය ගත්තත් අඩුම තරමින් අපට ලක්ෂ 50 ක් වත් ගෙවන්න ඕන කියලා. ඒ නිසා මුලින් ඒ ගාන ගෙවලා අනෙක් කාරණා අපෙන් අහන්න කියලා.“

නුදුරු අනාගතයේදී මේ පොකුණු තෙර සිට එහි අසිරිය විඳින්නට ඔබට හැකි වනු ඇත. සුදත් අබේසේකර, අචලා ගුණවර්ධන සිත්තර යුවළ දෙස් - විදෙස් චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන ගණනාවක් ම පවත්වා තිබේ. ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට ඇති දුරකතන මූර්තියේ නිමැවුම්කරු ද ඔහු ය. මීට පෙර ‘කපුටන් 225 ක්‘ මැයෙන් දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයක් ද ඉදිරිපත් කළ ඔහු මේ දිනවල ඊළඟ ප්‍රදර්ශනයට සූදානම් වෙමින් සිටී. සමුගැනීමට පෙර අපි ඒ ගැන ද විමසීමු.

“මගේ මීළඟ දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය, ‘මාස්ක්වාදය‘ පෙබරවාරි 14 වැනිදා ආරම්භ වෙනවා. වසංගත සමයේ අපි සෑම තැනකම දකින්නෙ මුව වසාගත් මිනිසුන්. අයුක්තිය. අසාධාරණය වෙනුවෙන්වත් මිනිසුන් හඬ නඟන්නේ නෑ. 14 වැනිදා සිට කලා රසිකයන්ටත් මේ ගැන උනන්දුවක් ඇති අයටත් තමන්ගේ අදහස් අපට කියන්න“

 

සේයාරූ - දුෂ්මන්ත මායාදුන්න

Comments