ඇස්වහ කටවහ නැති මැදිවියේ දිදුල ජවය ශූරතාව World Giantsට අනුශූරයෝ Asia Lions | Page 4 | සිළුමිණ

ඇස්වහ කටවහ නැති මැදිවියේ දිදුල ජවය ශූරතාව World Giantsට අනුශූරයෝ Asia Lions

‘යුග ගණනාවක වීරයෝ ඕමානයේ දී තරග වැදුණේ පරණ වයින් අලුත් වීදුරු තුළ ද ඉහළ ම මුද්‍රා පානයක් ලෙසින් දිලිහෙන බව ප්‍රකට කරවමිනි. ඒ පසුගිය දා එරට සංවිධානය කර තිබූ ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ය. ඇස්වහක් නොමැති දක්ෂතාවයන්ගෙන් සපිරි මෙම ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාව හිමිවූයේ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩාමට ය. මේ ඒ කතාව ය.‘

පන්දුවාර 40 ක දී ලකුණු 487ක් වාර්තා වූ සංවේදී අවසන් මහා ක්‍රිකට් තරගයක් පසුගිය සතියේ අවසන් වූයේ ඩැරන් සැමී ප්‍රමුඛ ‘ලෝක ජයන්ට්ස්’ 2022 සමාරම්භක ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් ශූරයන් ලෙස කිරුළු පැලඳීමෙනි. ඕමානයේ පැවැත්වුණු ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ පැවති තීරණාත්මක අවසන් මහා තරගයෙන් ඒසියන් ලයන්ස් කණ්ඩායම ලකුණු 25 කින් පරාජය කරන්නට ලෝක ජයන්ට්ස් පිල ඒ අනුව සමත් විය.

ඒසියන් ලයන්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලෝක ජයන්ට්ස් පිල පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 256ක් ලබා ගන්නට සමත් විය.

මේ තරගය සඳහා ක්‍රීඩා කළ ඒසියන් ලයන්ස් කණ්ඩායමට ශ්‍රී ලාංකික හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වූ සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ශාන්, නුවන් කුලසේකර යන ක්‍රීඩකයන් හය දෙනා ක්‍රීඩා කිරීම සුවිශේෂී සිදුවීමක් විය.

තරගාවලිය පුරාවට හොඳින් ලකුණු අතර සිටි යළිත් සුපුරුදු ප්‍රහාරාත්මක ඉනිම දියත් කළ ලෝක ජයන්ට්ස් ආරම්භක පිතිකරු කෙවින් පීටර්සන් (පන්දු 22) ලකුණු 48ක් රැස් කළ අතර, ඔහුගේ එකී සුපිරි ඉනිමට 4 පහර 2 ක් සහ 6 පහර 5 ක් ඇතුළත් විය.

ලෝක ජයන්ට්ස් පළමු කඩුලු දෙක ලකුණු 51 කට සහ 63 කට දැවී ගිය පසුව පිටියට පැමිණි හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක 31 හැවිරිදි කෝරී ඇන්ඩර්සන් (පන්දු 43) ප්‍රවේගකාරි පිතිහරඹයක නිරතවෙමින් ලකුණු 94 ක් ලබා ගත් අතර, ඔහුගේ එකී ඉනිමට හයේ පහර 8 කින් හා හතරේ පහර 7 කින් ඒසියන් ලයන්ස් පන්දු යවන්නන්ට සංග්‍රහ කිරීමට ද අමතක නොකළේ ය. බ්‍රැඩ් හැඩින් (පන්දු 16) ලකුණු 37ක් ලබා සිටිය දී දැවී යද්දී, ලෝක ජයන්ට්ස් කණ්ඩායමේ නායක ඩැරන් සැමී ( පන්දු 17) ලකුණු 38 ක් රැස් කළේ හයේ පහර 4 කින් හා හතරේ පහර 2 ක් ද සමඟින් ය.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 45 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මුත්තයියා මුරලිදරන් (ලකුණු 40) හා චමින්ද වාස් (ලකුණු 47) එක් කඩුල්ල බැගින් බිඳ දැමූ හ.

ලෝක ජයන්ට්ස් පිල ලබා දුන්

ලකුණු 256ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා හිටපු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ඩිල්ෂාන් සමඟ එක්ව ඒසියන් ලයන්ස් පිලට 5 වැනි පන්දුවාරය දක්වා දර්ශනීය ආරම්භයක් ලබා දුන් අතර ජයසූරිය ලකුණු 29 ක් සහ ඩිල්ෂාන් ලකුණු 24 කින් ඊට දායක වූහ.

ඩිල්ෂාන්ගේ කඩුල්ල මොනි මෝකල් දවා ගනිද්දී ඔහු පන්දු දහසයක් තුළ ලකුණු 25 ක් රැස්කර සිටියේ ය. ඉන් අනතුරුව උපුල් තරංග හොඳින් අවසන් තරගයට අවතීරණ වූ නමුත් මොන්ටි පනේසර් හමුවේ ලකුණු 25 කට දැවී ගියේ ය.

නායක මිස්බා ලකුණු 2 කට දැවී ගිය අතර, 12 වැනි පන්දුවාරය වන විට ඉලක්කය බොහෝ දුරස් වන බවක් දක්නට ලැබිණි. ඒෂියන් ලයන්ස් පිල 11.4 වැනි පන්දුවාරයේ දී කඩුලු 5 ක් දැවී ලකුණු 122 ක් ලබා සිටියදී අසීරු තත්ත්වයක පසුවිය. මොහොමඩ් යූසුෆ්ගේ වේගවත් හා ප්‍රවේගකාරි ඉනිමෙන් ඒසියන් ලයන්ස් පිල 18 වැනි පන්දුවාරයේදී කඩුලු 6 කට ලකුණු 200 කට ළඟා විය. යූසුෆ් (පන්දු 21) ලකුණු 39 ක් ලබා නොදැවී සිටියේ ය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇල්බි මෝකල් ලකුණු 35 කට කඩුලු 3 ක් ද, මොන්ටි පනේසර් ලකුණු 40 කට කඩුලු 2 ක් ද බිඳ දැමූහ.

නියමිත පන්දුවාර විස්ස අවසානයේ ඒසියන් ලයන්ස් පිල කඩුලු 8 ක් දැවී ලකුණු 231 ක් ලබාගත් අතර ජයන්ට් පිලට ලකුණු 25 ක ජයක් හිමි විය. ශ්‍රී ලංකා ක්‍රීඩක මුරලිදරන් තමන් මුහුණ දුන් පළමු පන්දුවේදී ම පීටර්සන්ට හයේ පහරක් එල්ල කිරීම ඒසියන් ලයන්ස් ඉනිම අවසානයේ කැපී පෙනෙන සිදුවීමක් විය.

තරගයේ වීරයා ලෙස කෝරි ඇන්-ඩර්සන් නම් කළ අතර, තරගාවලියේ ලෙජන්ඩ් ලෙස මෝර්නි මෝකල් නම් කෙරිණි.

 

Comments