
රැම්සා තෙත්බිම්.... මේ වදන් අපේ භාවිතයේ වැඩි වශයෙන් භාවිතයට පැමිණියේ පසුගිය දශක 3ක පමණ කාලයක සිටය. ඒ ශ්‍රී ලංකාවද රැම්සා සම්මුතියට එළැඹීමත් සමඟය.
රැම්සා සම්මුතිය යනු කුමක්ද?
ලෝකයේ තෙත්බිම් සුරැකීමේ වැදගත්කම අවබෝධ කරගත් රටවල් කිහිපයක් එක්ව 1971 වසරේ පෙබරවාරි 2 වැනිදා ඉරානයේ රැම්සා නගරයේ සම්මුතියක් පවත්වන ලදී. රැම්සා නගරයේ පවත්වන ලද නිසා එම සම්මුතිය රැම්සා සම්මුතිය නමින් හැඳින්විණි. සීමිත රටවල් සංඛ්‍යාවකින් ආරම්භ කළද අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 90%ක් පමණ රැම්සා සම්මුතියට ඇතුළත් ව ඇත.
ශ්‍රී ලංකාව රැම්සා සම්මුතියට ඇතුළත් වන්නේ 1990 වසරේ ඔක්තෝම්බර් 15 වැනිදාය. මේ වන විට ශ්‍රී ලංකාවේ රැම්සා තෙත්බිම් හයකි. මෙරට ප්‍රථම රැම්සා තෙත්බිම ලෙස හැඳින්වූයේ බුන්දලයි. දෙවැන්න ආනවිලුන්දාවයි. ඊට අමතරව බලපිටිය මාදුගඟ අභයභූමිය, මන්නාරමේ වන්කාලේ අභය භූමිය, කුමන - පානම අභය භූමිය හා විල්පත්තුව එම රැම්සා කෙත්බිම් අතරට නම් කළ හැකි ය.
ශ්‍රී ලංකාවේ පළමු රැම්සා තෙත් බිම ලෙස බුන්දල ජාතික වන උද්‍යානය නම් කෙළේ 1996 වසරේදී ය. බුන්දල හෙක්ටයාර් 6,210කින් සමන්විත ය.
ලෝකයේ උතුරු අර්ධගෝලයේ සිට දක්ෂිණ අර්ධගෝලය කරා සැරිසරන පක්ෂීන්ගේ අවසන් නවාතැන්පළක් ලෙසින් බුන්දල ලෝක ප්‍රසිද්ධය. එබැවින් බුන්දල ලොව පුරා වඩාත් ප්‍රචලිතව ඇත්තේ කුරුලු පරාදීසයක් ලෙසය.
මෙරට දෙවැනි රැම්සා තෙත් බිම වන ආනවිලුන්දාව. 2001 වසරේ අගෝස්‌තු මස 03 වැනිදා ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
එහි ක්ෂීරපායී විශේෂ 21ක් ජීවත් වන බවද හෙළි වී තිබේ. තර්ජනයට ලක්‌වූ විශේෂයන් වන හඳුන් දිවියා, වල් බළලා හා උණහපුළුවා ද ඒ අතර සිටින අතර සමනල විශේෂයන් 78ක් එයින් වාර්තා වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොළඹ නගරය නාගරික තෙත්බිම් කලාපයක් ලෙස 2018 දී ප්‍රකාශයට පත් කරන ලදී.
තෙත්බිම් දිනය ලෝක මට්ටමින් සැමරීමේ අරමුණ වන්නේ, තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමය. තෙත්බිම් සම්මුතියේ අරමුණු ඉටුකිරීම සඳහා ඒ ඒ රාජ්‍යයන්, ආයතන, සිවිල් සංවිධාන හා පොදු මහජනතාවගේ ක්‍රියාකාරීත්වය ගොඩ නැංවීමත් එහි ප්‍රධාන අරමුණක් වේ.
විශේෂයෙන්ම කෘෂිකාර්මික, ධීවර හා නාවික කටයුතු සඳහා මේ තෙත්බිම් අවශ්‍ය වන්නාක් මෙන්ම ඇතැම් තෙත්බිම් ජලපෝෂක පද්ධති වීමත්, පක්ෂි, උරඟ, ක්ෂිරපායි, මත්ස්‍ය, කෘමීන් වැනි කාණ්ඩවල විශාල සත්ව විශේෂ පැවතෙමින් ඉහළ ජෛව විවිධත්වයෙන් යුක්තවීමත්, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආවේණික මෙන්ම ඒකදේශීක සත්ව හා ශාක විශේෂ බහුලවීමත් නිසා තෙත්බිම් පරිසර පද්ධති සුවිශේෂී වැදගත්කමකින් යුක්ත ය.
පරිසර පද්ධතීන් අතරින් වැඩිම ක්‍රියාකාරීත්වයක් දක්වන පරිසර පද්ධතිය වන්නේ තෙත් බිම් පරිසර පද්ධතියයි. පරිසර සමතුලිතතාවට අතිශය වැදගත්වන නිසා පරිසර පද්ධති මිනිසාගේ අවශ්‍යතා බොහොමයක් ද ඉටුකරනු ලබයි. මේ නිසාම තෙත් බිම් ආශ්‍රිතව මිනිස් ක්‍රියාකාරකම් බහුලය. එහි ප්‍රතිඵලය වන්නේ තෙත් බිම් වේගයෙන් විනාශවීමයි. රැම්සා වැනි සම්මුතියකට පැමිණීමට සිදුවූයේද එම නිසාය. මේ හානිය පිළිබඳව නිසි වැටහීමක් නොමැතිවීම හේතුවෙන් වේගවත් නාගරිකරණය හමුවේද මේ විනාශය සිදු වේ.
වැසි ජලය බැස යන්නේද මේ තෙත් බිම් වෙතය. ඒ නිසා ගංවතුර පාලනයට එය අතිශය වැදගත්ය. එමෙන්ම භූගත ජලය බොහෝ කාලයක් රඳවා තබාගත හැක්කේද තෙත්බිම්වලටය.
එමෙන්ම පරිසර විද්‍යාඥයන් පවසන්නේ තෙත් බිමක් යනු ස්වභාවික පරිසරයේ ම ඇති කාර්යක්ෂම ජල පිරිපහදු ක්‍රමයක් බවයි. තෙත් බිමක ඇති ශාක පද්ධතිය මේ කාර්යය සඳහා බෙහෙවින් ඉවහල් වේ. ස්වභාවික වනාන්තරයකින් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමට වඩා කාර්යක්ෂමව තෙත් බිම් පරිසර පද්ධතියකින් වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීම සිදුවන බවද මේ වන විට පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති.
රැම්සා තෙත්බිම්වලට අමතරව පාරිසරික ආරක්ෂක ප්‍රදේශ ලෙසද ප්‍රකාශයට පත් කර ඇති තෙත්බිම් මෙරට තිබේ.
ඒ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මුතුරාජවෙල ප්‍රේරණ කලාපය හෙක්ටයාර් 206.7කින් සමන්විතය. තලංගම වැව සහ කුඹුරු යාය අයත් හෙක්ටයාර් 118ක පෙදෙසත් නුවරඑළිය ග්‍රෙගරි වැව අයත් හෙක්ටයාර් 87.08ක කලාපයක්, කළුතර වලවේවත්ත වතුරාව වගුරු වනාන්තරයත් (හෙක්ටයාර් 6.02), හෙක්ටයාර් 1245කින් යුත් බොල්ගොඩ කලාපයත් මෑතදී නම් කළ මහනුවර වරාතැන්න හක්කිද අක්කර 59.04 ප්‍රදේශයත් මේ ලෙසින් පෙන්වා දිය හැකිය.
සංචාරක කුරුල්ලන්ගේ පරාදීසයක් බඳු ශ්‍රී ලංකාවේ තෙත් බිම් එවැනි ආගන්තුකයන්ගේ තෝ තැන්නක් වි ඇත. වර්ෂයකට වතාවක් මෙරටට පැමිණෙන සංචාරක කුරුල්ලෝ තෙත් බිම්වල කැදලි තනා තම පැටවුන් බිහිකර ඔවුන් සමඟ යළි සිය වාසභූමිය වෙත පියඹා යති. එලෙස යන පැටවුන් වැඩිහිටි කුරුල්ලන් බවට පත්ව යළි පැමිණෙන්නේ ද තමන් උපත ලැබූ ස්ථානයටම බව පරිසරවේදීන් විසින් තහවුරු කර ඇත. මේ අනුව සංචාරක කරුල්ලන්ගේ තෝ තැන්නක් වූ ශ්‍රී ලංකාවේ තෙත් බිම් ලොව පුරාම වෙසෙන සතුන්ට වටිනා සම්පතකි.
මේ සා විශාල වටිනාකමක් ඇති තෙත්බිම් සම්බන්ධයෙන් අපේ රටේ වගකිව යුතු ආයතන කටයුතු කරන්නේ ද? අපි ඒ සම්බන්ධයෙන් පළමුව විමසුවේ පරිසරවේදී සජීව චාමිකරගෙනි. ඔහු පවසන්නේ වසර ගණනාවක් තිස්සේ සිට කළ අරගල හමුවේ මෙරට තෙත්බිම් සංරක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කර ගත්තද මෙ වන තුරු තෙත්බිම් සුරැකීමට අවශ්‍ය සංරක්ෂණ කටයුතු සඳහා දෙපාර්තමේන්තුවක් නොමැති බවයි.
එම තත්ත්වය නිසා මේ වන විට මෙරට තෙත්බිම්වලින් ආරක්ෂා කිරීමට යොමුව ඇත්තේ 30%ක පමණ ප්‍රමාණයක් බවත් 70%ක් තෙත්බිම් ආරක්ෂිත නොවන බවත් එම තෙත්බිම් සංරක්ෂණය කිරීමට කිසිදු පියවරක් නොමැති බවයි. වසරකට වරක් තෙත්බිම් දිනය සැමරීමෙන් පමණක් තෙත්බිම් ආරක්ෂා කර ගැනීම කළ නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය. රාජ්‍ය ආයතන විසින් කළ යුතු කාර්යයක් මෙසේ පරිසර සංවිධාන විසින් කළ යුතුද? එහෙත් අද සිදුව ඇත්තේ පරිසරය රැක ගැන්මට පරිසර සංවිධානයට පෙළපාළි යාමටය. අධිකරණ කරා යාමටය. ඒ තත්ත්වය වැළැක්විය යුතුය.
අපි මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී. හේමන්ත ජයසිංහගෙන් විමසුවෙමු. ඔහු පැවසුවේ වන සම්පත් ඇතුළු පරිසර සම්පත් ආරක්ෂා කිරීමට රාජ්‍ය ආයතන කිහිපයක්ම ඇති බවයි. විශේෂයෙන්ම වනජීවී, වන සංරක්ෂණ ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම ඇතැම් තෙත්බිම් සම්බන්ධව පහත් බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලතල ඇති බවයි. මේ සියලු ආයතන එක්ව තෙත්බිම් ඇතුළු පරිසර සම්පත් ආරක්ෂා කිරීමට කටයුතු කළ ද මිනිස් ක්‍රියාකාරකම් නිසා හානි සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. වසරකට වරක් හෝ රැම්සා තෙත්බිම් දිනයක් පවත්වා එයින් මහජනතාවගේ අවධානය පවා ඇති කිරීමට කටයුතු කර ඇත්තේ එහෙයින් බවද ඔහු පෙන්වා දුන්නේය. ගැසට් මඟින් පවා මේ සම්පත් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව වී ඇත්තේ ද ‘මිනිසුන් හා සොබා දහම උදෙසා තෙත් බිම් ක්‍රියාකාරකම්‘ යන්නයි. මෙරට තෙත්බිම් සැමරීමේ ජාතික උත්සවය පෙබරවාරි 2 වැනිදා පැලවත්ත අපේගම පරිශ්‍රයේදී පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා පැවැත්වේ. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ය. එදින කෙත්බිම් අසිරිය 4 වන සංස්කරණය එළි දැක්වීමටද නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනයේ සම්මානිත විශේෂඥ ආචාර්ය ආචාර්ය ප්‍රියානි අමරසිංහ පැවසුවේ තෙත්බිම් සංරක්ෂණය පිණිස ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානත්, පරිසර සංවිධානත් කටයුතු කිරීම අගය කරනු ලබන බවයි. එමෙන්ම ඇතැම් තෙත්බිම් මිනිසාගේ ජීවනෝපායට පවා ඍජුවම සම්බන්ධ වී ඇති නිසා මෙම තෙත්බිම් රැක ගැනීමේ ප්‍රධාන වගකීමක් ප්‍රජාව සතුව පවතින බවද ඇය පවසයි. ලොව පුරා ප්‍රජාවගේ දායක්වය ඇති තෙත්බිම් සංරක්ෂණය ඉතා සාර්ථක වී ඇති බව ඇයගේ අදහසයි.
එ නිසා තෙත්බිම් ආශ්‍රිතව සිටින සියලු දෙනාත් නියාමකයින් හා සියලු ප්‍රජාව තෙත්බිම් සංරක්ෂණ ක්‍රියාවලියට එක් විය යුතු බව ද ඇය පෙන්වා දෙන්නීය. බොහෝ තෙත් බිම් හායනය වී ඇති බවත් ඒවා නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැහැදිලි සැලසුම් තිබිය යුතු බවද ඇය අවධාරණය කරයි.
අපේ රටේ ද ආරක්ෂා කළ යුතුම තෙත්බිම් මිනිස් ක්‍රියාකාරකම් නිසා විවිධ තර්ජනයට ලක්ව ඇත. ඒ තත්ත්වයන්ගෙන් වළක්වා ගැනීමට කටයුතු කිරීම වහ වහා කළ යුතුය. ඒ වෙනුවෙන් තෙත්බිම් දිනයක් පැමිණෙන තෙක්ම බලා සිටිය යුතු නැත.