
අද ජීවත්වන බොහෝ දෙනා නොයෙකුත් ලෙඩ රෝගවලින් පෙෙළන අය වෙති. රජයේ හෝ පෞද්ගලික රෝහල් වලට ගියොත් දිනපතා මෙන්ම සතිපතා හා මාසිකව සායන වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව කොපමණ දැයි දැක ගත හැකිය.
වෙළෙඳ පොළේ පවතින සෑම භාණ්ඩයක් ම මිල දී ගැනීමේ දී නොයෙකුත් කේවල් කිරීම් කරනුයේ පවතින මිලට වඩා අඩුවෙන් මිල දී ගැනීමට ය. එහෙත් ඖෂධාලයකට යන ඕනෑම කෙෙනක් මිල කොතරම් වැඩි වුවත් කේවල් කිරීමක් නොකර නියමිත මුදල ගෙවා ඖෂධ මිල දී ගනිති. අතේ මිටේ එතරම් මුදලක් නැතිනම් ඖෂධ වර්ග මිලදී ගනු ලබන්නේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය ට සරිලන පරිදිය. මෙලෙස කරනුයේ අසනීපවලට බියේ හෝ මිය යාමට ඇති බිය නිසාවෙනි.
ඇතැම් රෝග සඳහා සමබාහන මධ්‍යස්ථාන කරා යන පිරිසක් ද සිටිති. ඒවායේ පිරිමින් සහ කාන්තාවන් සම්බාහන කටයුතු වල නිරත වී සිටිය ද මසුන් ලවා සම්බාහන කරන මධ්‍යස්ථාන රමණීය ගංගාවක් වන මාදු ගඟේ ආරම්භ වනුයේ මීට වසර දහ අටකට පමණ පෙරදීය. ‘ෆිෂ් තෙරපි’ යනුවෙන් හඳුන්වන මේ ස්ථාන කරා ඇදී එන දෙස් විදෙස් සංචාරකයෝ බොහෝය. ‘රතු තිලාපි’ යනුවෙන් හඳුන්වන විදේශීය මසුන් යොදාගෙන මෙම සම්බාහන කටයුතු කෙරේ. ගොඩබිමට ආසන්නව මාදු ගඟේ මාළු කොටු තනා මේවා ඉදිකර තිබෙන අයුරු සුලබ දර්ශනයකි. එම කොටු වලට කකුල් දමා සිටින විට දී මාළුන් පැමිණ කෙටීමෙන් මෙම තෙරපි කටයුතු සිදු කෙරේ.
දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් වන බළපිටිය මාදු ගඟේ පරිසර පද්ධතිය ට හානියක් වන හෙයින් මෙම ක්‍රමය තව දුරටත් පවත්වා ගෙන යායුතු නැති බව පරිසර විශේෂඥයන්ගේ මතයයි. ආක්‍රමණික මාළුවෙක් වන රතු තිලාපියා මාදු ගඟට යොමු වුවහොත් ගඟට ආවේණික මසුන් සියල්ලම වඳ වී යනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
ජල ජීවී දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබාගෙන දැනට මාදු ගඟේ සම්බාහන මධ්‍යස්ථාන අටක් පවත්වා ගෙන යන අතර බලපත්‍ර රහිතව පවත්වා ගෙන යන කුඩා මධ්‍යස්ථාන ද නැතුවා නොවේ.
දැනට වසර දෙකක පමණ කාලයක සිට මේ බලපත්‍ර ලබා නොදීමෙන් මසුන් ලබා ගැනීමට නොහැකිව සම්බාහන මධ්‍යස්ථාන පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. මේ මඟින් සෘජු ව හෝ වක්‍ර ව ජීවිකාව කරගෙන ගිය පවුල් තුන් හාර සියයකට යන එන මං නැතිවෙන තත්ත්වයක් ඇති වී තිබේ.
මාදු ගඟේ මත්ස්‍ය සම්බාහන මධ්‍යස්ථාන පවත්වා ගෙන යන කිහිප දෙනෙකු හමු වුණෙමි. මේ පිළිබඳව අදහස් දැක් වූ බළපිටිය ගල්මන්දූවේ පදිංචි තිදරු පියකු වන ඩබ්ලිව්. ඒ. සෙනෙට් මෙසේ කීය.
මෙම තෙරපි මධ්‍යස්ථාන පටන් ගත්තේ මීට වසර දහ අටකට පමණ ඉහත දී. මාදු ගඟ නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට බලන්න දෙයක් වුවමනා නිසයි මෙය ආරම්භ කළේ. මෙය ජනප්‍රිය වෙන විට දවසින් දවස එකින් එක වැඩි වුණා. ජලජීවී දෙපාර්තමේන්තුවේ බලපත්‍ර ලබාගෙන පවත්වා ගෙන යන තෙරපි මධ්‍යස්ථාන අටක් තිබෙනවා. නීති රීති මාලාවක් තිබෙනවා. තිබෙන කූඩු ප්‍රමාණයට වඩා වැඩි නොවිය යුතු අතර රතු තිලාපියා පමණක් ඇති කළ යුතුයි. වසරින් වසර බලපත්‍ර අලුත් කළ යුතුයි.
ජලජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ මතයක් තිබුණා මෙම මාළු කූඩු වලින් පිටත යාවි කියලා. කලාතුරකින් මිසක් එහෙම යන්න ඉඩක් නැහැ. ගඟේ ඉන්න මාළු කූඩු ඇතුළට එන්නත් කූඩුවල ඉන්න මාළු පිටතටත් නොයන සේ කුඩා ඇස තිබෙන දැල්වලින් ආවරණය කර තිබෙන්නේ. කලාතුරකින්වත් රතු තිලාපි මාළුවෙක් පිටතට ගියොත් වර්ණය නිසා ගඟේ ඉන්න මාළුන්ගේ ගොදුරක් බවට පත්වෙනවා. ගත වූ මේ වසර දහ අට කාලය තුළ දී රතු තිලාපි මාළුවෙක් ධීවරයන්ගේ දැල්වලට අසු වෙලා නැහැ.
පසුගිය වසර දෙකේ කිසිම සංචාරකයෙක් මාදු ගඟට ආවේ නැහැ. එහෙත් අපි මේ කොටු නඩත්තු නොකර හිටියෙත් නැහැ. ඉඳල හිටල කලාතුරකින් තමයි සංචාරකයෙක් ආවේ. ඒ ආවෙත් දේශීය සංචාරකයෝ. දැන් තමයි සංචාරකයෝ ටිකක් එන්න පටන් ගත්තේ. ජලජීවී දෙපාර්තමේන්තුවට වනජීවී දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී තිබෙනවා බලපත්‍ර නිකුත් කරන්න එපා කියලා. මේ මාළු ලබා ගන්නේ උඩවලව සහ දඹුල්ලේ තිබෙන රජයට අනුබද්ධිත මාළු අභිජනන මධ්‍යස්ථානවලින්. මාළුන්ගේ ප්රමාණයටයි මුදල් අය කරන්නේ. ජලජීවී දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර නොදෙන නිසා මාළු නිකුත් කරන්නේ නැහැ. මෙම රෝස පාට මාළු අභිජනනය කිරීමත් නතර කරලා. ඒ නිසා මෙම කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවධානමක් තිබෙනවා. දැනටමත් කූඩු වැඩි ප්‍රමාණයක් මාළු නැති නිසා වසා දමා තිබෙන්නේ.
සෘජු වශයෙන් පවුල් හැටක් පමණ ජීවත් වෙන්නේ මේ කර්මාන්තයෙන්. ඊට අමතරව බෝට්ටු හිමියන්, බෝට්ටු ධාවනය කරන අය, කොටු අලුත්වැඩියා කරන අය ආදී වශයෙන් පවුල් විශාල ප්‍රමාණයක් යැපෙනවා. ඒ සිලුදෙනා සදා අනාථ වෙනවා. රුපියල් තුන් දහස් පන්සියයකට ගෙනා මාළු කෑම කිලෝ විසි පහක් දැන් රුපියල් නව දහස් පන්සියයි. කොටු නඩත්තු කරන ලෑලි, යකඩ ඇණ, පොල් පරාල, ප්ලාස්ටික් දැල්, ලී මුක්කු ආදිය තුන් හතර ගුණයකින් ගණන් ගිහිල්ලා. අපේ රටට විදේශ විනිමය උපයන මාර්ගයක් වන මෙය කඩා වැටෙන්න දෙන්න එපා කියල ඉල්ලා සිටිනවා.
බළපිටිය ගොරකගොඩ පදිංචි දෙදරු පියකු වන පී. එම්. ඉන්දික (38) මෙසේ කීය.
මේ කර්මාන්තය මම පටන් ගත්තේ 2013 වසරේ දී. අපි ජීවත් වෙන්නේ මේ කර්මාන්තයෙන්. මාළු ලබා දෙන්නේ නැතිකමින් මගේ කොටුවේ කූඩු වැඩි ප්‍රමාණයකට මාළු නැතුව වහල තියෙන්නේ. පසුගිය වසර දෙක තුළ කිසිම ආදායමක් තිබුණේ නැහැ. ටිකක් ඔළුව උස්සගෙන එනවිට තමයි මේ බාධකය ආවේ. රුපියල් නව දහස් පන්සියයකට තිබුණු දැල් රෝලක් දැන් රුපියල් විසි තුන් දහසයි. හැම දෙයක්ම ගණන් ගිහිල්ලා. අපට සහනයක් දෙන්න කියල ඉල්ලන්නේ.
මේ පිළිබඳව අදහස් දැක් වූ බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරුද්ධ මහවැලි මෙසේ කීය.
බළපිටිය මාදු ගඟේ මාළු සම්බාහන මධ්‍යස්ථානවලින් අටක් බලපත්‍ර ලබාගෙන පවත්වාගෙන යන අතර ලියාපදිංචි නොවූ කොටු ප්‍රමාණයකුත් තිබෙනවා. පවුල් තුන් හාර සියයක් පමණ ජීවත් වෙන්නේ මාදු ගඟට සහ මාළුන් ට පින් සිදුවෙන්නයි. මෑත කාලයේ මේ කොටුවලට ගැටලු රාශියක් මතුවෙලා තිබෙන්නේ ඔවුන්ට අවශ්‍ය මාළු ලබා ගැනීමට ක්‍රමවේදයක් නැති නිසයි. මාදු ගඟට එන සියලුම සංචාරකයන්ගේ වඩාත් කැමතිම ස්ථානයක් බවට පත් වී තිබෙන්නේ තෙරපි මධ්‍යස්ථානයි. මේ සම්බන්ධව අදාළ ආයතන දැනුවත් කර ඇති නමුත් විසඳුමක් ලබාදීමට මෙතෙක් කටයුතු කරල නැහැ. බළපිටිය ට පමණක් නොව රටට ම ආදායමක් උපයා දෙන මෙම ව්‍යාපාරය කඩා වැටෙන්න නොදී රජයේ වැඩපිළිවෙළක් හැටියට පවත්වා ගෙන යන්න කියල ඉල්ලනවා. මේ පිළිබඳව මම බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙදිත් කතා කරල දැනුවත් කළා. මෙම මාළු ගඟට මිශ්‍ර වීම ගැටලුවක් හැටියට සලකන්නේ නම් මෙම කොටු වසා දැමීම නොව එසේ නොවන්න ට විද්‍යානුකූල මඟ පෙන්වීමක් සහිත වැඩ පිළිවෙළක් සකස් කිරීම මහජන නියෝජිතයන් වූ අපටත් රජයේ නිලධාරීන් වන ඔවුන්ටත් පැවරුණු වගකීමක් සේ සලකනවා.
මේ පිළිබඳව හික්කඩුව වනජීවී උද්‍යාන බාර නිලධාරි උත්පල අදරංගගෙන් විමසූ විට මෙසේ කීය.
මෙය අභය භූමියක්. මේක ගඟේ පරිසරයට ප්‍රශ්නයක් වෙනවා. පරිසර හිතකාමී විදියට පවත්වාගෙන යන්නේ නම් විරුද්ධ නැහැ. ගඟේ සිට මීටර් සීයයක් ඈතින් ජලාශ හදල පවත්වා ගෙන යනවට විරුද්ධ නැහැ. මෙම තිලාපි මාළු පරිසර පද්ධතියට ආක්‍රමණිකයෙක් වෙන්න පුළුවන්. අභය භූමියේ මේ මාළුන්ගේ මළ පහ සහ කෑම ප්‍රශ්නයක් වෙනවා. කොටුවල පතුලේ අපද්‍රව්‍ය තැන්පත් වෙනවා. මාළු ලොකු වුණාම ගඟ ට දැමෙනවා. ජල ජීවී පනතේ 75 වැනි වගන්තිය යටතේ අභය භූමිය තුළ ධීවරයන් ට ඕන ඕන දේ කරන්න බැහැ.
බලපත්‍ර දීර්ඝ කරන්න එපා කියල ජලජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දීල අවුරුදු දෙකක් විතර වෙනවා. දැනට කරගෙන යන අයට නඩු දැමීමක් කරන්නේ නැහැ. ඒ වගේම අලුතෙන් කොටු දමන්න දෙන්නෙත් නැහැ. ලංකාවේ සමහර ජලාශ වල තිලාපි මාළුවා විතරයි ඉන්නේ. දේශීය මාළු වඳ වෙලා. මාදු ගඟටත් ඒ ටික වෙන්න ඉඩ තිබෙනවා. මේ මාළුන්ගේ අපද්‍රව්‍ය ගඟට බැහැර වීම නිසා ගඟ දූෂණය වෙනවා. ගඟේ ඉන්න දේශීය මාළුන්ටත් රෝග ඇති වෙන්න ඉඩ තිබෙනවා.
ජ්‍යේෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධනගෙන් ද මේ ගැන විමසුවෙමි.
මත්ස්‍ය තෙරපි වලින් රමණීය මාදු ගඟට අවදානමක් තිබෙනවා. ගොඩබිම ටැංකි තනා මේවා පවත්වා ගෙන යනව නම් ගැටලුවක් නැහැ. ස්වභාවික ජල ධාරාවල පවත්වා ගෙන යායුතු නැහැ. මේ මාළු ලොකු වුණාම මුදා හරින්නේ කොහේටද? නැත්නම් මේ මාළු ගඟ ට දැම්මොත් ආක්‍රමණය කරන්න පුළුවන්. මෙම තෙරපි මධ්‍යස්ථාන මාදු ගඟේ පවත්වා ගෙන යාම කිසිසේත් අනුමත කරන්න බැහැ.
බළපිටිය, අනුර යසමිත්