
- නැතිවූ ගිරවුන් යළිත් සත්වෝද්‍යානයට ගෙනත්
- අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කරන ලෙසට සේවක කණ්ඩායමකගෙන් ඉල්ලීමක්
- අධ්‍යක්ෂ ජනරාල්වරියට යහපත් වාතාවරණයක් සලසා දෙන ලෙස ඉල්ලමින් පශු වෛද්‍ය සංගම් නිහඬ විරෝධතාවක
දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ තාවකාලිකව එම ධුරයෙන් ඉවත් වී දැනට සතියක් ගත වී තිබේ. ඉකුත් දිනවල සිදු වූ බව කියන කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ නොමනා ක්‍රියා හා වංචා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන තුරු ඈ තාවකාලිකව එම ධුරයෙන් ඉවත් වන බව දැනුම් දුන්නාය.
කඩාකප්පල්කාරි ක්‍රියා යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරිය අදහස් කළේ ජනවාරි 18 වැනිදා දෙහිවල සත්වෝද්‍යාන සේවක සංගම් විසින් අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයයි. ශ්‍රී ලංකා පොදු ජන සත්වෝද්‍යාන සේවක සංගමය විසින් ආරම්භ කළ විරෝධතාව පසුව සත්‍යග්‍රහයක් දක්වා වර්ධනය වූයේ ඒකාබද්ධ සංගම් ඊට එකතු වූ බැවිනි. සත්වෝද්‍යාන සේවකයන් කීප දෙනකුට පමණක් රු. 5000/-ක අනතුරු දීමනාවක් දුන් නිසා ඒ දීමනාව සෙසු සේවකයන්ටත් ලබාදීම, පශු වෛද්‍යවරුන්ගේ අකාර්යක්ෂමතාව හා නොහැකියාව හේතුවෙන් දිනෙන් දින සතුන් මිය යන බැවින් ඔවුන් ඉවත් කර දක්ෂ පශු වෛද්‍යවරුන් පත් කිරීම යන ඉල්ලීම් මෙම සේවක සංගම්වලින් ඉදිරිපත් වී තිබිණි. ඒ ඉල්ලීම් කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත්කරන ලෙස ඉල්ලමින් ඔවුන් විසින් විරෝධතාව ආරම්භ කරනු ලැබීය. එහෙත් 20 වැනිදා රාත්‍රියේ සිට ඔවුන්ගේ වාත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවනු ලැබුවේ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් හමුවී කළ සාකච්ඡාවකින් පසුවය.
“ජනාධිපතිතුමාගෙන් අපට යහපත් ප්‍රතිචාර ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. එදා පැවැත්වූ සාකච්ඡාවේදී අපට සාධනීය ප්‍රතිචාර ලැබුණු නිසයි අපි වෘත්තීය ක්‍රියාමාර්ග අත් හැරියේ. අපි සත්වෝද්‍යානයේ සතුන් නිසා වැටුප් ලබාගෙන දරුපවුල් නඩත්තු කරන අය. අපි කවදාවත් සතුන් ප්‍රාණ ඇපයට තබාගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. අපි සතුන්ට කන්න බොන්න නොදී කූඩුවල ඉබියතුරු මාරු කරලා වතුර බට කඩලා අරගල කළා කියලා අධ්‍යක්ෂ ජනරාල්වරිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. අපි ඇගේ ප්‍රකාශය පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. අපි අරගලය දියත් කළේ සතුන්ගේ මරණ වැඩි වීම නිසා. පසුගිය මාස හයට සතුන් අනූ ගණනක් මිය ගියා. මේ මරණ අතරට ඔරංඔටං, කළු හංසයන්, සීබ්‍රා වැනි දුර්ලභ සතුන් මිය ගියා. ඒ නිසා දක්ෂ පශු වෛද්‍යවරුන්ගේ සේවය දෙහිවල සත්වෝද්‍යානයට අවශ්‍ය වී තිබෙනවා” යනුවෙන් පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් ය.
පසුගිය බ්‍රහස්පතින්දා උපත ලැබූ පැස්බරා පැටවා සිකුරාදා එළිවන ජාමයේ මිය ගියේ පශු වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා බව ඔහු තවදුරටත් සඳහන් කළේය. ඒ පිළිබඳව දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන්ගෙන් කළ විමසීමේදී ඔවුන් පැවසුවේ පැටවා උපත ලබන විට මවට යට වීමෙන් තුවාල ලබා සිටි බවයි.
දෙහිවල සත්වෝද්‍යානයේ සත්ව මරණ හා උපත් ගැන කතා කිරීමේදී 2021 මුල් මාස හය තුළ මිය ගිය සතුන් සංඛ්‍යාව 28කි. උපත් සංඛ්‍යාව 133කි. 2021 අවසන් මාස හය තුළ මිය ගිය සතුන්ගේ සංඛ්‍යාව 38කි. උපත් සංඛ්‍යාව 93කි. මේ අනුව වාර්ෂික උපත් ප්‍රතිශතය 6.4%ක් ලෙසත් මරණ ප්‍රතිශතය 1.7%ක් ලෙසත් දැක්විය හැකිය.
“සත්වෝද්‍යානයක් කියන්නේ ෆාම් එකක් නෙමෙයි. ඒ නිසා සතුන් වයසට ගියාම මැරෙනවා. වයසට ගියාම මිනිස්සුත් මැරෙනවා. ඒක නවත්වන්න බැහැනේ. ඒ හැරුණම ලෙඩරෝග හා විවිධ සංකූලතා නිසා සතුන් මිය යනවා. විශේෂයෙන් සතුන්ගේ අභිජනන කාර්යයේදී එකම පිරිමි සතාගෙන් මවටත් පැටවු ලැබෙනවා, දුවටත් පැටවු ලැබෙනවා. මෙම සහ අභිජනන කටයුතු නිසා එකම ජාන මඟින් පැටවුන් ලැබීමෙන් සතුන්ට විවිධ රෝගාබාධ හා සංකූලතා ඇති වී මිය යෑමේ හැකියාව වැඩියි. සත්ත්ව හුමවාරු යටතේ මෙවැනි එක ම ජාන ඇති සතුන් මාරු කරන්නේ ඒ නිසයි. දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් මෙවැනි සතුන්ගේ ලේඛනයක් සකස් කරලා නව අධ්‍යක්ෂ ජනරාල්වරියට බාර දීලා තිබෙනවා. නව අධ්‍යක්ෂ ජනරාල්වරිය සත්වෝද්‍යානයට ඇවිත් තවම මාස 2යි. ලෝකයේ සත්වෝද්‍යානවල සතුන් මිය යා හැකි ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායකයක් තිබෙනවා. ඒ නිර්ණායකය අනුව වසරකට 5%ක් මිය යන්න පුළුවන්. දෙහිවල සත්වෝද්‍යානයේ මිය ගිහින් තියෙන්නේ 1.7%යි. එය ඉතා හොඳ මට්ටමක්.” යනුවෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය එච්.එච්.ඒ.එස්.පියසිරි පැහැදිලි කළේය.
2021 වසරේ සීබ්‍රා පැටවුන් තිදෙනකු මිය ගොස් ඇති අතර එකී මරණවලට හේතුව ලෙස වාර්තා වී තිබෙන්නේ නිලීන ජාන මඟින් ඇති වූ වලිප්පුව ඇතුළු සංකූලතාවන් ය. අනෙක් දුර්ලභ සතුන්ගේ මරණ පිළිබඳව විමසා බැලීමේදී මෑතකදි මිය ගිය ඔරංඔටංගේ මරණයට හේතුව ලෙස වාර්තා වී තිබෙන්නේ ක්ෂය රෝගයයි. 2014 වසරේදී පමණ සත්වෝද්‍යානයේ අලි නැටුම්වලට යෙදවූ අලි 04 දෙනකුට ක්ෂය රෝගය වැළඳීම නිසා අලි නැටුම් සංදර්ශන නවත්වා අලින් වෙන් කළ යුතු බවට එදා සිටි පශු වෛද්‍යවරුන් නිර්දේශ කර තිබියදී දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන ආ අලි නැටුම් නවත්වා දමා සත්වෝද්‍යානය කඩාකප්පල් කරන පිරිසක් ලෙසින් පශු වෛද්‍යවරුන්ව හංවඩු ගසමින් ඔවුන්ට එරෙහිව එදත් උද්ඝෝෂණය කළේ මෙම සේවක පිරිසමය. අවසානයේ එදා එහි සේවය කළ පශු වෛද්‍යවරු දෙහිවල සත්වෝද්‍යානය හැර ගියහ. බේබිනෝනා ඇතින්නත් ඔරංඔටං සතකුත් ක්ෂයරෝගයට ගොදුරු වී මිය ගියහ. 2021 දී තවත් ඔරංඔටං සතකුට ක්ෂයරෝගයට ගොදුරු වී මිය යෑමට සිදු වූයේ එදා ක්ෂයරෝගය වැළඳුණු අලි වෙන් නොකිරීමේ ප්‍රතිඵල නිසා විය හැකිය. මන්ද ක්ෂයරෝග විෂබීජකාරකය දීර්ඝ කාලයක් පුරා නිද්‍රෝපගතව තිබී පසුකලක මතු වන බැවිනි. මීට අමතරව දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ධම්මිකා මල්සිංහට දූෂණ චෝදනා එල්ල කරමින් ඇයට එරෙහිව කටයුතු කළේ ද මෙම සේවක සංගම් බවට අපට අමතක නැත. අවසානයේදී ඇය ද මාරුවීමක් ලබා ගිය අතර අද ඈ පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන්නීය.
“මෙම සේවකයන්ගේ කඩාකප්පල්කාරි හා නොමනා ක්‍රියා නිසා සතුන්ගේත් සේවකයන්ගේත් ජීවිතවලට හානි වීමට ඉඩදෙන්න බැහැ. මම සති 2කට තාවකාලිකව ඉවත් වුණේ ඒ නිසයි. ඒ වගේම පසුගිය කාලයේ මෙහි සිදු වී ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස විෂය භාර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට මම ලිඛිතව දැනුම් දී තිබෙනවා. මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළ බව තවම නම් දැනගන්න ලැබුණේ නැහැ. පත්කිරීමට කටයුතු කරගෙන යන බවට තමයි ආරංචි වුණේ. දින 14ක් ඇතුළත පරීක්ෂණ කටයුතුවලට පියවර නොගතහොත් රාජකාරි කිරීමට යහපත් වාතාවරණයක් නැති වුවහොත් මම ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.” යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පැවසුවාය.
දෙහිවල සත්වෝද්‍යානයේ උද්ගත වී ඇති ව්‍යාකූල තත්ත්වය සම්බන්ධයෙන් වනජීවී රැකවරණ, හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ ජනාධිපති විසින් පත් කළ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුව ජනාධිපති ලේකම් විසින් නිරාකරණය කරන බවයි.
මේ අතරවාරයේදී 2021 මැයි මස 08 වැනිදා නිල්මාල ගිරා කූඩුව බාර ගත් සේවකයා නිල්මාල ගිරවකු අඩු බවට දැනුම් දී තිබුණත් ඒ සම්බන්ධයෙන් එවකට සිටි පාලනාධිකාරිය කටයුතු නොකිරීම නිසා වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරිය නිල්මාල ගිරවාගේ අතුරුදන්වීම ගැන දෙහිවල පොලිසියට පැමිණිලි කර තිබේ. පසුගිය බදාදා මෙම නිල්මාල ගිරවා ළඟ තබාගෙන සිටි කළුබෝවිල පදිංචි යුවළක් විසින් සතාව දෙහිවල සත්වෝද්‍යානයට බාර දී ඇති අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. 2021 අගෝස්තු මාසයේ සිට අතුරුදන්වී සිටි මැකෝ ගිරවා ද රත්මලාන බොරුපන නිවසකින් සොයාගෙන තිබේ. උද්ඝෝෂණ වර්ජන හා සත්‍යග්‍රහ සිදුවීම් අතරේ කළු හංස පැටවුන් දෙදෙනකුගේ මිය යෑමක් ද දෙහිවල සත්වෝද්‍යානයෙන් වාර්තා වෙයි. දෙහිවල සතුන්වත්තේ පශු වෛද්‍යවරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වුවද කළු හංස පැටවුන්ගේ මළ සිරුරු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යවා තිබෙන්නේ ස්වාධීනව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහාය.
“ඇත්තම කියනවා නම් දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන්ගේ වැරැද්දක් නෙමෙයි මෙතන තිබෙන්නේ. බල අරගලයක්. පශු වෛද්‍යවරුන් කියන්නේ සත්වෝද්‍යානයක තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමවේද අනුව කටයුතු කරන පිරිසක්. ඒ අය සතුන්වත්තක දීර්ඝ කාලයක් සේවය කළ විට එයාලාට ඉහළ පරිපාලන තනතුරු දක්වා යන්න පුළුවන්.
ඒත් දෙහිවල සත්වෝද්‍යානයේ පරිපාලනයට පශු වෛද්‍යවරුන් පැමිණෙනවාට සමහරුන් කැමති නැහැ. ඒ නිසා පශු වෛද්‍යවරුන්ට අවුරුදු 7, 8 ක් එකදිගට සේවය කරන්න ඉඩ දෙන්නේ නැහැ”. යනුවෙන් සඳහන් කළේ රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති එච්.එච්.ඒ.එස්. පියසිරි ය.
ජනවාරි 27දා දෙහිවල සත්වෝද්‍යාන ජාතික සේවක සංගමය සහ වනජීවී පශු වෛද්‍ය සංගමය එකතු වී නිහඬ විරෝධතාවක යෙදුණේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සහ අධ්‍යක්ෂ ජනරාල්වරිය දූෂණ වංචා විමර්ශනය කරන විට ඇයට බාධා කරන හෙයින් බාධා ඉවත් කර යළි සේවය කිරීමට යහපත් වාතාවරණයක් සලසා දෙන ලෙස ඉල්ලා සිටිමිනි. දෙහිවල සත්වෝද්‍යානයට අමතරව පින්නවල සහ රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරු ද මෙයට එකතු වී සිටියහ.