
නනර්තන කලා ක්ෂේත්රයට අයත් බැලේ නර්තනය 15 වැනි සියවසේදී ඉතාලි පුනරුද යුගයේදී බිහිවූ කලාංගයක්. පසුව එය වර්ධනය වූයේ රුසියාව හා ප්‍රංසයේ ප්රසාංගික නර්තනයක් ලෙසිනි. බැලේ නර්තන ප්‍රසංගයක අංග රචනා මෙන් ම නර්තනාංග ඉදිරිපත් කිරීම මනා පුහුණුවක් ලැබූ නර්තන ශිල්පීන් හා ශිල්පිනියන් මඟින් සිදුවේ. සම්ප්‍රදායික සම්භාව්‍ය බැලේ නර්තනයේදී උපයෝගී කරගත්තේ සම්භාව්‍ය සංගීතයයි. බැලේ නර්තනයේදී මිනිස් සිරුරේ චලන ප්‍රබල ලෙස ඉස්මතු කෙරෙන අතර ඒ නර්තන කතාන්දරයන් ඉදිරිපත් කිරීම, හැඟීම් හෝ සංකල්ප ප්රකාශනය සිදු කරයි. නව සම්භාව්‍ය බැලේ නර්තන කලාව 20 වැනි සියවසේදී ලොවට හඳුන්වා දුන් අතර සමකාලීන බැලේ නර්තනය නූතන නර්තන කලාවේ ආභාසය ලබා ඇත.
The Nutcracker, Swan Lake.Romeo and Juliet. Cinderella වැනි බැලේ නර්තන ප්‍රසංග ලෝ පතළය. මෙය දැක්වෙන්නේ 21 වැනි සියවසේදී බැලේ නර්තනයෙන් විස්කම් පෑ නර්තන ශිල්පිනියන් පස් දෙනෙකි.
මිස්ටි කෝප්ලන්ඩ් (1982)
ඇමෙරිකාවේ විසුරිහිදී උපත ලැබූ මිස්ටි 13 හැවිරිදි විය තෙක්ම බැලේ නර්තන කලාවට යොමු නොවූ අතර සැන් ෆ්රැන්සිස්කෝ බැලේ පාසලෙන් නර්තනය හැදෑරුවේ එතැන් සිට ය.
ඇමෙරිකානු බැලේ නර්තන කණ්ඩායමේ ප්‍රධාන නර්තන ශිල්පිනිය බවට පත්වූ පළමු අප්‍රිකා - ඇමෙරිකානු නර්තන ශිල්පිනිය ඇයයි. බැලේ නර්තනයෙන් පළමුවරට ජයග්‍රහණයක් අත්කරගන්නා විට ඇය 15 හැවිරිදි වියේ පසු විය. අවස්ථා 2 කදී ම ඇයට බැලේ නර්තනය හැදෑරීමට ශිෂ්‍යත්ව ලැබිණි. බැලේ නර්තනය ඉගැන්වීමේද යෙදී සිටින ඇය සිය ජීවිත කතාව Life in Motion An Unlikely Ballerina මැයෙන් 2014 දී එළි දැක්වූවා ය. බැලේ නර්තනය පිළිබඳ කෘති කිහිපයක් ද ළමා කෘති දෙකක් ද ඇය රචනා කර ඇත. මියුසික් වීඩියෝ රූපවාහිනී හා සිනමා නිර්මාණවල ද ඇයගේ මෙන් ම නර්තන දස්කම් දැකිය හැකි ය. දේශන පැවැත්වීමට ද ඇය ප්‍රකට ය. සම්මාන රැසකින් පිදුම් ලැබූ මේ තරුණ ශිල්පිනිය 2015 වසරේදී TIME සඟරාව ප්‍රකාශයට පත් කළ ලොව වඩාත් ම බලපෑම් සහගත පුද්ගල චරිත 100 අතරට ද ඇතුළත් වූවා ය.
ඔල්ගා ස්මර්පනාවා (1991)
රුසියාවේ පීටර්ස්බර්ග් නුවරදී උපත ලැබූ ඔල්ගා මේ වනවිට බොල්ෂොයි බැලේ නර්තන කණ්ඩායම සමඟ කටයුතු කරමින් සිටී. යුරෝපය පුරා මෙන් ම චීනයේ සහ ජපානයේ ද ඇය නර්තන ප්‍රසංගවලට සහභාගි වී ඇත.
අන්තර්ජාතික සම්මාන ද ඇතුළුව සම්මාන රැසක් දිනා ඇත. 2014 වසරේදී අමෙරිකා බැලේ නර්තන රඟහලේදී ඇය දස්කම් දැක්වූවාය. 2018 වසරේදී හොඳම නර්තන ශිල්පිනිය ලෙස ඉතාලියානු Dance & Dance සඟරාව තෝරා ගත්තේ ඇයයි. 2013 වසරේදී ලොව හොඳම නර්තන ශිල්පිනිය වශයෙන් සම්මානයට පාත්රවන විට ඇය 25 හැවිරිදි වියේ පසු වූවාය.
අලීනා කොජොතාරු (1981)
රුමේනියානු බැලේ නර්තන ශිල්පිනී අලීනා, බැලේ නර්තනය හදාරා නිම කළේ රාජකීය බැලේ නර්තන පාසලෙනි. අනතුරුව ඇය කිව් බැලේ නර්තන කණ්ඩායමට එක්වූවා ය. ලන්ඩනයේ රාජකීය බැලේ නර්තන කණ්ඩායමේ ප්‍රධාන නර්තන ශිල්පිනිය බවට පත්වන විට ඇය 20 හැවිරිදි වියේ පසුවූවා ය.
ප්රමුඛ බැලේ නර්තන ශිල්පී ජොහාන් නොබොර්ග් හා අලීනා කොජොතාරු සුසංයෝගය බැලේ නර්තන ඉතිහාසයේ විශිෂ්ටතම සුසංයෝගයම ලෙස හැඳින්වේ.
රාජකීය බැලේ නර්තන කණ්ඩායමෙන් සමුගැනීමෙන් පසුව ඇය ඉංග්‍රීසි ජාතික බැලේ නර්තන කණ්ඩායමට එක්වූ අතර 2020 දී එයින් ද ඉවත් වූවේ සමාගම සමඟ කොන්ත්‍රාත් කාලය නිමාවූ බැවිනි.
2008 දී නර්තන පුහුණුවීම් අතරතුර අනතුරකට ලක්වීමෙන් දරුණු ලෙස ආබාධයට ලක්වුව ද සැත්කමකින් සුවය ලැබූ ඇය යළිත් වේදිකාවට පිවිසියා ය. අලීනාගේ විවාහය සිදුවූයේ ද ජොහාන් නොබොර්ග් සමඟ ය.
දුද්මිලා පැග්ලියෙරෝ (1983)
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිදී උපත ලැබූ ඇය මේ වනවිට පැරිස් ජාතික ඔපෙරා කණ්ඩායමේ ප්රමුඛ නර්තන ශිල්පිනිය ලෙස කටයුතු කරයි.
දුද්මිලා නර්තන ශිල්පය ප්‍රගුණ කළේ කුඩා කල පටන්මය. මුලදී ජෑස් සංගීතය හැදෑරූ ඇය පසුව සම්භාව්‍ය නර්තනය හැදෑරීමට යොමු වූවා ය. ඊට බලපෑවේ ඇයගේ ගුරුවරියයි.
සන්තියාගේ බැලේ නර්තන කණ්ඩායමේ එක් අවුරුදු කොන්ත්‍රාත්තුවක් ලැබීමත් සමඟ ඇයට සිය පවුලෙන් නික්ම විදෙස් ගත වීමට සිදුවන විට ඇය 16 හැවිරිදි වියේ පසුවූවා ය. පසුව ඇය අමෙරිකා බැලේ නර්තන කණ්ඩායම සමඟ ද එක්වූවා ය. පැරිස් නර්තන කණ්ඩායම සමඟ දෙවතාවක දී කටයුතු කළ ඇය දැනට ද එක්ව සිටින්නේ එය සමඟ ය.
මාගරට් ෆොන්ටෙයින් (1919 - 1991)
එක්සත් රාජධානියේ දී උපත ලැබූ ඇය ජීවිත කාලය පුරාම බැලේ නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කළේ රාජකීය බැලේ නර්තන කණ්ඩායම සමඟ ය. දෙවැනි එළිසබෙත් රැජින, ඇය ප්රමුඛ නර්තන ශිල්පිනිය ලෙස ද පත් කළා ය.
ඇය බැලේ නර්තනය හැදෑරීමට පටන් ගත්තේ සිවු හැවිරිදි වියේ පටන් ය. එංගලන්තයේදී මෙන් ම චීනයේදී ද ඇය අධ්‍යාපනික කටයුතු සිදු කළා ය. 1949 දී සිදුකළ ඇමෙරිකා සංචාරයත් සමඟ ඇය අන්තර්ජාතිකව ප්‍රසිද්ධියට පත් වූ කලා ශිල්පිනියක බවට පත් වූවා ය.
ඇයගේ සැමියා පැනමා දේශපාලනඥයෙක් වූ රොබර්තේ ඇරියස් ය. ඔහු ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගත්ත ද ජීවිත කාලය පුරා ම ආබාධිතව පසු විය. ඔහු රැකබලා ගැනීම පිණිස ඇය නර්තනයෙන් විශ්‍රාම ලැබූව ද ලේඛන කලාවට ද නැඹුරු වූවාය.
එංගලන්තයේම ඉපිද ඉංග්‍රීසි ජාතික බැලේ නර්තන කණ්ඩායමට එක්වූ පළමු බැලේ නර්තන ශිල්පිනිය මාගරට් ය. 1991 දී ඇයගේ අභාවය සිදුවූයේ ද එංගලන්තයේදී ම ය.