මිලි තත්ත්පර අටකින් ගොදුර අනුභව කරන ඇස් නැති තරු නාසික ඌරු මීයා | Page 2 | සිළුමිණ

මිලි තත්ත්පර අටකින් ගොදුර අනුභව කරන ඇස් නැති තරු නාසික ඌරු මීයා

 

සොබාදහම හරිම අපූරුයි. මිනිසා කොතරම් නිමැවුම් කළත්, සොබා දහමේ නිමැවුම් එක්ක හැරෙන්නවත් මිනිසාට බැහැ. ඒ තරමට සොබාදහමේ නිමැවුම් සංකීර්ණයි. සුන්දරයි.

සොබාදහමේ හරිම අපූරු නිර්මාණයක් තමයි ජීවීන්. මිනිසා කියන්නෙත් ඒ අපූරු ජීවීන් අතරට එක් වෙන තවත් එක් ජීවියෙක්. ඇත්තටම අපි හොඳින් දන්නා සත්ත්ව විශේෂ රාශියක් ඉන්නවා පුදුම උපදවන හැසිරීම් රටා සහිත. මේ කියන්න යන්නෙත් ඒ වගේ පුදුම චර්යා රටා ඇති සතුන් කිහිප දෙනෙක් ගැන.

ඔබ ඌරු මීයා ගැන අහලා ඇති. රාත්‍රි කාලයේ ඔබේ වත්තේ එහා මෙහා දිව යන මේ සතුන් සමහර විට ඔබට කරදරයක් වෙලත් ඇති. ඒත් ඔබ අහලා තියෙනවද තරු නාසික ඌරු මීයා ගැන. ඔව්. ඔබ මේ සත්වයා ගැන අහලා නැත්නම් එය ඔබේ වැරැද්දක් නෙමෙයි. මොකද මේ සත්වයා ජීවත් වන්නේ උතුරු ඇමරිකාවේ නැ‍ෙඟනහිර වෙරළබඩ කලාපයේ නිසා.

මේ සත්ත්වයා අයත් වන්නේ මී විශේෂ අතරට. ඇත්තෙන්ම ඔහු සලකන්නේ මී විශේෂ අතරින් විශාලතම කොට්ඨාසය වන ඌරු මීයන් ගේ ඥාතියෙක් වශයෙන්. එහෙත් මේ සත්ත්වයා විශේෂයි. මේ සත්ත්වයාට කොහෙත්ම ඇස් පිහිටලා නැහැ. එයට හේතුව සොබාදහම් මව ‍මේ සත්වයාට අධි සංවේදී නාසයක් ලබා දීලා තියෙන නිසයි. මේ නාසය දෙකට බෙදී ගොස් තියෙන්නේ. එක් කොටසක එකොළහ බැගින් අති සංවේදී තන්තු පිහිටා තියෙනවා. මේ තන්තු කොපමණ සංවේදී ද කිව්වොත් මේ එක් තන්තුවක සංවේදන නැත්නම් ඉව දනවන කුඩා නාළිකා 25,000කට වැඩිය පිහිටා තිබෙනවා. ඉතින් මේවා හැඩය අතින් ගත්තම තරු වගේ පේනවා. මෙන්න මේ නිසයි මේ කුඩා සත්වයාට ‘තරු නාසික ඌරු මීයා‘ කියලා කියන්නේ.

මේ සත්ත්වයාගේ මේ අමුතුම ඉන්ද්‍රිය නාස ඉතා කුඩා චලනයක්, සංවේදනයක් වුවත් පහසුවෙන් ග්‍රහණය කර ගන්න මේ සත්ත්වයාට හැකියාව ලැබෙනවා.

තරු නාසික ඌරු මීයා මේ ලෝකයේ ඉන්න ඉතාම වේගයෙන් ආහාර ගන්නා සත්වයා ලෙසත් නම් කරන්න පුළුවන්. ඔහුගේ ගොදුරු බවට පත් වන්නේ කුඩා සතුන්. ශරීරයේ ඇස් පිහිටලා නැහැ කියලා මේ සත්වයන්ට කිසිම අඩුපාඩුවක් නැහැ. ඊව ඔස්සේ කුඩා සතුන් ග්‍රහණය කර ගන්න ඔවුන්ට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ග්‍රහණය කර ගන්නා සතුන් මිලි තත්ත්පර කිහිපයක් ඇතුළත අනුභව කරන්නත් මේ තරු නාසික ඌරු මීයන්ට හැකියාව තිබෙනවා.

හරියටම කියනවා නම් තමන්ගේ සංවේදන සීමාවේ ඉන්න සතෙක් ආහාරයට ගත හැකිද යන්න හඳුනා ගැනීමට මේ සත්ත්වයාට ගත වෙන්නේ මිලි තත්ත්පර 120ක් පමණයි. ග්‍රහණය කර ගත් සතෙක් සම්පූර්ණයෙන් අනුභව කරන්න මේ තරු නාසික ඌරු මීයෙකුට ගත වන්නේ මිලි තත්ත්පර අටක් පමණයි. ඉතින් ටිකක් හිතා බලන්න ඒ කොතරම් වේගයක්ද කියලා. ඇත්තටම ගොදුරට සිතා ගන්නවත් වේලාවක් ලැබෙන්නේ නැහැ. තරු නාසික ඌරු මීයා තවත් ගොදුරක් සොයා ගිහින් අවසානයි.

විස්මය ජනක කරුණ වන්නේ ගොඩබිමදී මෙන්ම ජලය අභ්‍යන්තරයේදීත් මේ තන්තු තරු නාසික ඌරු මීයාට ඉතා හොඳ සංවේදනයන් ලබා දීමටත් සමත් වීමයි. අමතක කරන්න එපා මෙයා ක්ෂිරපායි සතෙක්. ඉතින් අනෙක් මී අම්මලා වගේම තරු නාසික ඌරු මී අම්මලාත් ඇස් නැති පුංචි පැටවුන් මවු කිරෙන් පෝෂණය කරනවා.

තරු නාසික ඌරු මීයන් කුඩා සතුන් ඉක්මනින් ග්‍රහණය කර ගත්තත් ඔවුන්ට මිනිස්සුන්ගෙන් බේරෙන්න නම් පහසු වන්නේ නැහැ. ඉතින් ඔවුන් වඳ වී යන තර්ජනයටත් මුහුණ දෙමින් සිටින බවක් තමයි පැවසෙන්නේ.

කොහොම වුණත් මේ තරු නාසික ඌරු මීයා කියන්නේ සොබාදහමේ තවත් අපූරු නිර්මාණයක්.

 

Comments