කොළඹ විශ්වවිද්‍යාලය ලෝක ශ්‍රේණිගත කිරීම් අතර ඉහළට ගැනීම මගේ අභිප්‍රායයි | සිළුමිණ

කොළඹ විශ්වවිද්‍යාලය ලෝක ශ්‍රේණිගත කිරීම් අතර ඉහළට ගැනීම මගේ අභිප්‍රායයි

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස අප්‍රේල් 12 වැනිදා වැඩ බාර ගන්නා ජ්‍යේෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න

ලොකු දුව සකුරා සිනෙක් විශ්වවිද්‍යාලයේ සංචාරක කර්මාන්තය පිළිබඳ උපාධියක් හදාරනවා. මේ වනවිට ඇය සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කටයුතු කරනවා. පොඩි දුව මිදොලි ගායන ක්ෂේත්‍රයෙන් රටේ ජනප්‍රියත්වයක් දිනාගත් යොවුන් ගායිකාවක්. මගේ බිරිය අනුරාධා, ගොතටුව මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය වශයෙන් සේවය කරමින් සිටිනවා

 

පිරිමි දරුවන්ම අට දෙනෙක්ගෙන් යුතු පවුලක බාලයා ලෙස සාමාන්‍ය පවුලක ඉපිද කොළඹට නුදුරුව මෙගොඩ කොළොන්නාව ප්‍රදේශයේ හැදී වැඩී අඟ හිඟකම් මෙන්ම අභියෝග ද ජය ගනිමින් කොළඹ සරසවියේ උපකුලපති ධුරය දක්වා ආ ගමන ගැන ජ්‍යේෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මෙලෙස අතීතාවර්ජනයක යෙදුණේ පසුගියදා සැන්දෑවකය.

 

කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන මහාචාර්ය කරුණාරත්න කළමනාකරණ පීඨයේ, ව්‍යාපාර ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් ද වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් අප්‍රේල් 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් ජ්‍යේෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න පත්කර ඇත.

"අපේ තාත්තගේ රැකියාව සමූපකාරයෙ බිල් ලිවීම. තාත්තා රැකියාව කළේ දෙමටගොඩ සමූපාකාරයේ. අපට ඉඩමක්, උළු සෙවිලි කළ නිවසක් තිබුණා. මම හුඟක් පුංචි කාලයෙදීම තාත්ත රැකියාවෙන් විශ්‍රාම ලැබුවා. ඊට පස්සෙ තාත්තා ගොතටුවෙ මුදලාලි කෙනෙක්ගෙන් අක්කරයක විතර ඉඩමක් බදු ගත්තා. 1970 ඉඳන් 1983 විතර වෙනකල් මේ ඉඩමෙ එළවළු වගා කරලා තමයි අපිව ලොකු මහත් කළේ ඉගැන්නුවෙ"

මහාචාර්ය කරුණාරත්න අප සමඟ දීර්ඝ සංවාදයකට මුල පිරුවේ එලෙසය. 1970 දී ඔහු පාසල් අධ්‍යාපනය අරඹන විට එය අතිශය දුෂ්කර සමයක් විය. තෙල් අර්බුදයක් ද තිබූ අතර ආහාර සොයා ගැනීම ද දුෂ්කර විය. පාසල් යාමට පෙර පාන් පෝලිමේ සිටි ඔහු පාසල් හමාර වී සවස් කාලයේ පියාගේ එළවළු කොරටුවල වතුර දැමීමටද සිදු විණි. කරුණාරත්න ශිෂ්‍යයා වැල්ලම්පිටිය කප්පිත්තාවත්ත විද්‍යාලයෙන් පාසල් ගමන ඇරැඹීය. පසුව එය විද්‍යාභිවර්ධන විද්‍යාලය සමඟ ඒකාබද්ධ කෙරිණි. සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හැදෑරීමට කොළොන්නාව සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූයේ අයියා ද සමඟය.

අධ්‍යාපන කටයුතු ද හොඳින්ම සිදුකර විශ්වවිද්‍යාල වරම් ලැබුවේ වසර ගණනාවකට පසුව සිද්ධාර්ථ විද්‍යාලයෙන් සිසුවකු විශ්වවිද්‍යාලයට යොමු කරමිනි. 1984 ජනවාරියේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වීම ඔහුගේ ජීවිතයේ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. වියදම් පියවා ගැනීමට ටියුෂන් ද කරමින් ඔහු උත්සාහවත් ගමනක යෙදී සිටියේය. දෙවැනි වසරේ ඉඳන් අවුරුදු 4 ම "බැච් ටොප්" වුණෙත් මම. ආර්ථික විද්‍යාව මගේ ප්‍රතිඵල හොඳටම තිබුණා. මතක හැටියට අවුරුදු 4 - 5 කට පස්සෙ ආර්ථික විද්‍යාව සඳහා ප්‍රථම පන්තියේ විශේෂ උපාධියක් මට ලැබුණා."

ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අගභාගයට පිවිසෙන විට රටේ පැවැතියේ භීෂණකාරී වාතාවරණයකි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එය ඉතා අපල කාලයක් විය.

"1987, අපි අවසන් වසර ශිෂ්‍යයො. අපිත් එක්ක විශ්වවිද්‍යාලයට ආව 400 ගණනක්. 100ක් විතරම ඉතාම අවාසනාවන්ත විදිහට මරලා දැම්මා. මේ කලබල නිසා අධ්‍යාපනය දිග්ගැස්සුණා. මතක හැටියට අපි අවසාන විභාගයට ලිව්වෙ 1990 මාර්තු වගේ. ප්‍රතිඵල ලැබුණා මැයි මාසේ. මට පළමු පෙළ සාමාර්ථයක් තිබුණා. වෙනත් කිසිම විශ්වවිද්‍යාලයක ඒ අවුරුද්දෙ ආර්ථික විද්‍යාවට පළමු පෙළ සාමාර්ථයක් තිබුණේ නැති බවයි මට මතක"

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි අධ්‍යාපනය සපුරා සිටින අතර, එම විශ්වවිදාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ද ඇබෑර්තු සඳහා අයදුම් කිරීම සිදුවිය. කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණ බ්‍රහස්පතින්දාට යෙදුණු අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඊළඟ සතියේ අඟහරුවාදාට එය යෙදී තිබිණි.

"මම කොළඹ ඉන්ටවීව් එකට ගියා, වාණිජ අංශයේ. ඉන්ටවීව් බෝඩ් එකේ සිටියා සහාය මහාචාර්යවරයෙක් ඩබ්.එම්. ජයරත්න කියලා. එතුමා මට කිව්වා කාලෙකින් තමයි ආර්ථික විද්‍යාවට ෆස්ට් ක්ලාස් එකක් තියෙන්නෙ; ඒ හින්දා ඔයා සඳුදා ඉඳන්ම වැඩට එන්න කියලා. ඒ නිසා මට අඟහරුවාදා ජයවර්ධනපුර ඉන්ටවීව් යන්න බැරි වුණා. සඳුදා ඉඳන්ම කොළඹ වැඩට ආවා. එදා ජයවර්ධනපුර ඉන්ටවීව් ගිය කෙනෙක් තමයි, මේ වෙනකෙට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ධුරය දරන මහාචාර්ය සම්පත් අමරතුංග."

කොළඹ විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ ඉගැන්වීම් කළ ද කරුණාරත්නගේ විශේෂත්වය තිබුණේ ආර්ථික විද්‍යාවටය. මේ කාලයේ විවිධ ගුරුවරු හඳුනා ගැනීමට ලැබිණි. ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් ගේ මඟපෙන්වීම මත එතුමා ඇරැඹූ ආර්ථික විද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාව හැදැරීමට කරුණාරත්න ද යොමුවිය. මේ පාඨමාලාව පැවැත්වුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි.

"අපි ශිෂ්‍යයො 22ක් විතර හිටිය. ඒ වැඩි දෙනා මෙරට සහ පිටරට සමාගම්වල සේවය කළ අය. අපි මේ දෙඅවුරුදු පශ්චාත් උපාධි පාඨමාලාව සම්පූර්ණ කළා. ඒ, 1992දි. ඒත් සමඟම වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ශිෂ්‍යත්වවලට අයදුම් කළා. මේ අතරින් මට ජපන් රජයේ ශිෂ්‍යත්වයක් ලැබුණා."

කුඩා කල පටන්ම ජපානය ගැන ඔහු තුළ තිබූ ආසාව මුඳුන් පමුණුවා ගැනීමට ඒ සමඟ වාසනාව උදාවිය.

"මම පාසල් ක්‍රීඩාවල යෙදෙන කාලයේ 1983 දී දැන හඳුනාගත් ක්‍රීඩිකාවක් හිටියා. ඇය, අනුරාධා විජේරත්න. මීටර් 100 උස සහ දුර පැනීම ඇගේ ක්‍රීඩා ඉසව්. මේ ඉසව්වලින් ඇය චැම්පියන් වුණා. ඇයට විශ්වවිද්‍යාලයට යාමට ලකුණු 2ක් මදි වුණා. මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුල්වෙලා ඇය ගුරුවරියක වුණා. ඇයට මට කලින් රැකියාවක් ලැබුණා. මම විශ්වවිද්‍යාලයට යද්දි ඇය ඉස්කෝලෙ උගන්වනවා. මගේ අවශ්‍යතා වලටත් ඇය තමයි මුදල් දුන්නෙ. අපි අතර යාළුකම දිගමට තිබිලා 1992දී අපි විවාහ වුණා."

1993 අප්‍රේල් මාසයේ මට ජපානයට යාමට සිදුවුණා. ඒ වෙද්දි ලොකු දුව ලැබෙන්න මාස 3ක් විතර තිබුණේ. ඒ නිසා මේ ගමන මම ගියේ තනිවම"

ශිෂ්‍යත්වය ලැබ ඔහු පළමුව ඇතුළත් වූයේ ජපානයේ යොකොහමා ජාතික විශ්වවිද්‍යාලයටයි. එහි මුලදී සය මසක් ජපන් භාෂාව හැදෑරීමට සිදු විය. ඊළඟ අවුරුදු 1 1/2 තවත් ප්‍රකට විශ්වවිද්‍යාලයක පර්යේෂණවල යෙදීම සිදුවිය. භාෂා දැනුම හා පර්යේෂණ දැනුම ද සමඟ ආචාර්ය උපාධිය හැදෑරීමට යොමු විය.

"මම ජපානයේ සිටියදී ලැබුණු පළමු දරුවා, අපේ වැඩිමහල් දියණියට නම තිබ්බෙ සකුරා ලක්ෂිකා කරුණාරත්න කියලා. මාස 3 - 4 කින් බිරියත් දියණියත් ජපානයට පැමිණියා. දෙවැනි දුව මිදොරි තාරුකා කරුණාරත්න ලැබෙන්නෙ ජපානයෙදි. මේ දෙදෙනාම එහෙ පෙර පාසල් අධ්‍යාපනය ලබද්දි බිරිය මුල පටන්ම වගේ රැකියාවක යෙදුණා. මම මුළුමනින්ම අධ්‍යාපන කාර්යය සඳහා කැපවුණා. ඒ නිසා මට ආචාර්ය උපාධිය අවුරුදු දෙක හමාරකින් වගේ සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. 2000 පෙබරවාරි 15 වැනිදා අපි ලංකාවට ආවා. ඔය අතරවාරයෙ, 1995 දී මගේ තාත්තාගේ අභාවයත් සිදු වුණා."

ආචාර්ය උපාධිය හදාරන අතර ඔහු පර්යේෂණ සඳහා විශාල වශයෙන් කැපවිය. ඉන් සාර්ථක ප්‍රතිඵල ද ලද හැකි විය. ආචාර්ය උපාධියට අමතරව ඔහු සම්පාදනය කළ පර්යේෂණ ලිපි සංඛ්‍යාව 22කි. පශ්චාත් උපාධි 2ක් සපුරා සිටි ඔහු ආචාර්ය උපාධිය හදාරන අතරම එතරම් ලිපි සංඛ්‍යාවක් සම්පාදනය කිරීමට යොමුවීම විශේෂයකි.

"වසර 2002 දී කළමනාකරණ පීඨයේ "හොඳම පර්යේෂකයාට" හිමි සම්මානය පළමුවතාවට ලබා දුන්නේ මට. ඊට පෙර එම පීඨයේ කිසිවෙක් ඒ මට්ටමට පර්යේෂණ සිදුකර තිබුණේ නෑ. 2003 දී මම ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සිට සහාය මහාචාර්යවරයෙක් බවට පත්වුණා. ඒ සමඟම මම කළමනාකරණ පීඨයේ ජ්‍යේෂ්ඨතම ආචාර්යවරයා බවටත් පත්වුණා. 2005දී වාණිජ අංශයේ අධ්‍යයන අංශ ප්‍රධානී වශයෙන් පත්වෙනවා."

ඒ සමඟම ඔහුට ජපානයෙන් ආරාධිත මහාචාර්ය ධුරයක් සඳහා ද ඇරයුම් ලැබිණි. ඒ ටෝකියේ නුවර පිහිටි හෝෂේ විශ්වවිද්‍යාලයටය. මෙරට සහාය මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරමින් සිටි ඔහුට ජපානයෙන් ලැබුණේ සම්පූර්ණ මහාචාර්ය ධුරයකි. ඒ සමඟ 2006 වසරේ, ජපානයේදී සම්පූර්ණ මහාචාර්යවරයෙක් ලෙස යළි ඔහු සේවය ඇරැඹීය. ලංකාවේදී සහාය මහාචාර්යවරයෙක් ලෙස සේවය කරමින් ලැබූ වැටුපට වඩා එකොළොස් ගුණයක් වැඩි වැටුපක් ජපානයේදී මහාචාර්යවරයෙක් ලෙස ඔහුට ලැබිණි.

"මේ අවුරුදු 2 අවසානයේ හෝෂේ විශ්වවිද්‍යාලයේම නිත්‍ය මහාචාර්ය ධුරයක් සඳහා අයදුම් කරන්නට කියල මට දැනුම් දුන්නා. නමුත් අපට මේ රටත් එක්ක බැඳීමක් තිබුණා. අම්මා සිටියෙත් ලංකාවෙ. එහෙ සංස්කෘතියත් බොහොම හොඳයි. ඒත් අපි කල්පනා කළා දරුවො ලංකාවට ගෙනැත් සිංහල උගන්වන්න. එහෙම වුණොත් තමයි රට ගැන හැඟීමක් ඇති වෙන්නෙ. ඒ අය කැමැති නම් ඊළඟට ජපානයට ගියාවෙ කියල තමයි අපි ලංකාවට ආවෙ."

ලංකාවට පැමිණි පසු යළි කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන අතර 2009 වසරේදී මහාචාර්ය ධුරයක් ද ඔහුට ලැබිණි. නැවත අධ්‍යයන අංශ ප්‍රධානී තනතුර බාර ගැනීමට ද ඉල්ලීම් කෙරිණි. මහාචාර්ය කරුණාරත්න "ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය" යනුවෙන් අලුත් අධ්‍යයන අංශයක් ද බිහි කළේය. ඒ අංශයේ ප්‍රධානියා ලෙස ද ඔහු වසරක පමණ කාලයක් කටයුතු කර තිබේ. අනතුරුව 2011 වසරේදී පීඨයේ සියලුම දෙනාගේ ඒකමතික ඉල්ලීම පරිදි ඔහු පීඨාධිපති වශයෙන් පත්විය.

"මම එය සතුටින් බාර ගත්තා. 2011 - 2014 කාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති වශයෙන් කටයුතු කළා. එසේ සේවය කරන අතර 2014 අප්‍රේල් මාසයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති වශයෙනුත් පත්වුණා."

යළිත් වරක් ජපානයට පැමිණීම සඳහා ඔහුට ඉල්ලීම් ලැබිණි. මේ අතරවාරයේ දියණියන්ගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු ද යෙදිණි. වැඩිමහල් දියණිය සබරගමුව විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුවත් එහි නොගොස් 2016 දී යළිත් සිය පවුලම ජපානය බලා පිටත් විය. ඔහු 2018 දක්වා දෙවසරක් ඉගැන්වීම් කටයුතු කළේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේය. දියණියන් දෙදෙනා මෙරටදී මුලින්ම අධ්‍යාපනය ලැබුවේ කොළොන්නාව බාලිකා විද්‍යාලයෙනි. අනතුරුව ඔවුන් ඇතුළත් වූයේ සිරිමාවෝ බාලිකා විද්‍යාලයටයි. එය පිහිටියේ පියාණන් පීඨාධිපති ධුරය දැරූ කළමනාකරණ පීඨයට යාබදවය.

"දියණියන් දෙදෙනාම ක්‍රීඩා සහ විෂයය බාහිර ක්‍රියාකාරකම්වලත් හොඳින්ම යෙදුණා. මිදොරි දැනට සංඛ්‍යාන විද්‍යා උපාධිය හදාරනවා. නෙට්බෝල් කණ්ඩායමේත් සිටියා. ඒ අතරතුර දණහිසක ආබාධයක් ඇතිවීම නිසා ඇය සංගීතයට යොමුවුණා."මේ වන විට මිදොරි ගායන ක්ෂේත්‍රයෙන් රටේ ජනප්‍රියත්වයක් දිනාගත් යොවුන් ගායිකාවකි.

"ලොකු දුව සකුරා සිනෙක් විශ්වවිද්‍යාලයේ සංචාරක කර්මාන්තය පිළිබඳ උපාධියක් හදාරනවා. මේ වනවිට ඇය සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කටයුතු කරනවා. මගේ බිරිය අනුරාධා, ගොතටුව මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය වශයෙන් සේවය කරමින් සිටිනවා"

මහාචර්ය එච්.ඩී. කරුණාරත්න වරින්වර නොයෙක් සම්මානයට පාත්‍රවී තිබේ. ඒ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හොඳ ම පර්යේෂකයාට හිමි සම්මානය ඇතුළු සම්මාන තිබේ. පශ්චාත් උපාධි පාඨමාලාවල සම්බන්ධීකාරක වශයෙන් ද කටයුතු කළ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා මණ්ඩලයේ සභාපති ලෙස වසර 3ක් ක්‍රීඩා සංවර්ධනය සඳහා ඔහු කැපවිය. කළමනාකරණ පීඨය පුළුල් කිරීම සඳහා ඔහුගේ දායකත්වය ප්‍රබල ය. ඔහු එය පීඨාධිපතිව සිටියදී එම පීඨයට විශාල ගොඩනැඟිලි 2ක් ද එක්විය. අද එය විශාලතම පීඨයකි.

"මං හිතන්නෙ මම එක දවසකවත් ගෙදර ඉඳලා නෑ. හැමදාමත් විශ්වවිද්‍යාලයට යනවා. ඔය අතරවාරයෙ විවිධ ජාතික වැඩපිළිවෙළටත් මගේ දායකත්වය ලබාදීමට ලැබීම සතුටක්. ජනමාධ්‍ය ඔස්සේත් මම ඒ දායකත්වය ලබාදී තියෙනවා. මේ වැඩසටහන් යූ ටියුබ් එකටත් එකතු කළා. සමාජ මාධ්‍ය භාවිතයට මම ගොඩක් දුරට නැඹුරු වුණේ ප්‍රධාන වශයෙන්ම තරුණයන් දැනුම්වත් කළ හැකි මාධ්‍ය එය නිසා."

ඔහු මේ සියල්ල කළේ විශ්වවිද්‍යාලයේ හරියාකාර ඉගැන්වීමේ ද යෙදෙන අතරය. සතියකට පාඨමාලා 10 - 15 ක ඔහු ඉගැන්වීම්වල යෙදේ. 2004 වර්ෂයේදී පමණ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ලද ඇරයුමක් මත එහි උපදේශකයෙක් ලෙස ද ඔහු එක්විය. 2015 වසර දක්වාම ඔහු එහි නියැළිණි. මේ හේතුවෙන් වර්තමානයේ හමුදාවේ සිටින ඉහළ නිලධාරින් බොහෝ දෙනෙකුට අධ්‍යාපනය ලබා දීමට ද මහාචාර්ය කරුණාරත්නට හැකිවිය.

මෙවැනි පසුබිමක් ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති වශයෙන් පත්කර තිබෙන්නේ සුදුස්සාට සුදුසු තැන ලබා දෙමිනි.

"ආචාර්යවරයෙක් හැටියට මම විශ්වවිද්‍යාලයෙ සෑම මට්ටමක් ම සමත් වුණා කියන්න පුළුවන්. ඒ කියන්නෙ සහකාර කථිකාචාර්යවරයෙක්ගේ සිට කථිකාචාර්ය, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, සහාය මහාචාර්ය, මහාචාර්ය, ජ්‍යේෂ්ඨ මහාචාර්ය හා ඊට පසුව ඇති මුලසුන මහාචාර්ය ද දක්වාම මම ඇවිත් සිටින්නෙ. මගේ විෂයයට අදාළව මට වෙනත් දරන්න තනතුරක් නෑ. අධ්‍යාපනිකව ඒ සුදුසුකම් අතින් බැලුවොත් උපකුලපතිකම හෙබවීමට ගැළපෙන සුදුසුකම් මට තිබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම අධ්‍යාපනය කිව්වාම මම විෂයය දැනුම වගේම විෂයය බාහිර ක්‍රියාකාරකම් ගැනත් වැඩි අවධානයක් යොමු කරනවා. ක්‍රීඩාව, නර්තනය, ගායනය, සාහිත්‍ය ආදී මේ හැම දෙයක්ම පිරිපුන් මිනිසෙක් බිහි කිරීමට අවශ්‍යයි"

විවිධ භාෂා දැනුම, පරිගණක දැනුම, මූල්‍ය සාක්ෂරතාව, ව්‍යවසායකත්වය, කණ්ඩායම් හැඟීම ආදී නොයෙක් ක්ෂේත්‍ර ඔස්සේ දැනුම ලබාදී නූතනයට ගැළපෙන අන්දමින් උපාධිධාරීන් රටට බිහි කිරීමේ අවශ්‍යතාව මහාචාර්යවරයා අවධාරණය කරයි. ඊට අවශ්‍ය වැඩපිළිවෙළ ද ඉදිරියේදී ඔහු විසින් සම්පාදනය කරනු ඇත.

"ඒ වගේම කියන්න ඕන විශ්වවිද්‍යාලයට එක ළමයෙක් හරි වැඩියෙන් ඇතුළු කරගන්න පුළුවන් නම් මම ඒකට ඉතාමත් කැමැතියි. මොකද අපේ රටේ ළමයි විශාල සංඛ්‍යාවක් ඉන්නවා විශ්වවිද්‍යාල වරම් නොලැබෙන. එසේ ඇතුළත් කරගන්නා ළමයින්ට නිසි අධ්‍යාපනයක් වගේම නිවැරදි පුහුණුවකුත් ලබාදීලා රැකියාගත කිරීම ගැනත් අපි යොමුවිය යුතුයි. කොළඹ විශ්වවිද්‍යාලය ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර ඉහළට ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරනවා. විශේෂයෙන් උපකුලපති කෙනෙක් හැටියට පීඨාධිපතිවරු සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. අපේ පීඨ 9ම පීඨාධිපතිවරු සමඟත් සාකච්ඡා කරලා ඉදිරියේදී හොඳ සැලැස්මක් ක්‍රියාවට නැංවීම තමයි අපේ බලාපොරොත්තුව“.

 

Comments